UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පවාරණය සහ එහි අරමුණ

පවාරණය සහ එහි අරමුණ

ඇසළ පුර පසළොස්වක පොහෝදා පොහොය කිරීම නමැති විනය කර්මය සිදුකර වස් විසූ භික්ෂූන් වහන්සේගේ එම වස වප් පුර පසළොස්වක පොහෝ දින නිමාවට පත්වෙයි. එම වප් පුර පසළොස්වක පොහොය දින සිදුවන විශේෂ විනය කර්මය පවාරණය යි. එසේ වුවද පවාරණය යනු වස් අවසන් කිරීම නම් නොවේ. වස් තුන් මාසය අවසන් වීමත් සමඟම වස අවසන් වේ. වස අවසන් කිරීම පිණිස අමුතුවෙන් කළ යුත්තක් නැත. වස් පවාරණය යන යෙදුම වැරැදිය. පවාරණයක් මිස වස් පවාරණයක් නැත. එසේ නම් පවාරණය යනු කුමක්ද ?

පවාරණ නම් පැවරීමය. කුමක්, පැවරීමද? තමා අතින් කිසියම් වරදක් සිදුවනු දුටු හෝ ඇසූ හෝ එබඳු වරදක් තමා විසින් කරන ලදැයි සැක ඇති කරගත් හේ යම් භික්ෂූන් වහන්සේ නමක් වෙත් නම් එය තමාට කියන ලෙස සංඝයාට පැවරීමයි. පැවරීම නම් භාර කිරීමය. ආරාධනා කිරීමයි. සංඝ පවාරණයේදී භාවිතා කෙරෙන පාලි වාක්‍යයෙහි සිංහල අර්ථයට අවධානය යොමු කළ විට මෙය හොඳින් පැහැදිලි වේ. “ස්වාමීනි මා පිළිබඳව දුටු හෝ ඇසූ හෝ සැක කළ හෝ වරදක් වෙතොත් එය මා කෙරේ අනුකම්පාවෙන් පවසන ලෙසට සංඝයාට ආරාධනා කරමි. එසේ පැවසීමෙන් පසු මගේ වරදක් ඇති බව මට වැටහුණොත් එයට පිළියම් කරන්නෙමි”

මෙම වාක්‍යයෙහි වස් අවසන් කිරීමක් ගැන නොකියැවෙන බව ඉතා පැහැදිලිය. ඉහත සඳහන් ආකාරයේ පැවරීමක් කිරීමට බුදුරජාණන් වහන්සේ නියම කළේ ඇයි? එහි අරමුණ කුමක්ද? මෙයට පිළිතුරු සෙවීමේදී පවාරණය නියම කිරීමට පසුබිම් වූ නිදාන කථාව දෙස බැලීම ප්‍රයෝජනවත්ය.

බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වසන සමයෙක කොසොල් ජනපදයේ එක්තරා භික්ෂූ පිරිසක් වස් විසූහ. උන් වහන්සේලාගේ සමගිය ආරක්ෂා වීම පිණිස වස් කාලය ආරම්භයේදීම මෙබඳු කතිකාවතක් විය.” අපි එකිනෙකා සමඟ කථා නොකරමු. යම් භික්ෂු නමක් පිඬු සිඟාගෙන සැමට පළමුව ආවාසයට පැමිණෙයිද උන්වහන්සේ දාන ශාලාවේ ආසන පැනවිය යුතුයි. පා සේදීමට අවශ්‍ය උපකරණ සහ ජලය ගෙනැවිත් තැබිය යුතුයි. පානීය පරිභෝජනීය ජලය සපයා තැබිය යුතුයි. යම් භික්ෂු නමක් සැමටම පසුව පිඬු සිඟා පැමිණෙයිද සෙසු භික්ෂුන් ඉතිරි කළ ආහාරවලින් කැමැති දෙයක් ගෙන වැළඳිය යුතුය. ඉතිරි ආහාර ඉවත් කර ආසන සකසා තබා භාජන පිරිසුදු කර දාන ශාලාව ඇමදිය යුතුය. දිය බඳුනක් හිස්ව තිබෙන බව දුටු භික්ෂු නම එය ජලයෙන් පිරිවිය යුතුය. තමා හට කළ නොහැකි නම් අතින් සංඥා කර අන් භික්ෂු නමක් කැඳවා උන්වහන්සේ සමඟ දිය ගෙනවුත් පිරවිය යුතුය. ඒ සඳහා කථා මාත්‍රයකුදු නොකළ යුතුය”

මෙම කතිකාව පරිදි ක්‍රියා කළ උන්වහන්සේ බුදුරදුන් දැකීමට පැමිණියහ. උන්වහන්සේ සමඟ පිළිසඳරෙහි යෙදුණූ බුදුරජාණන් වහන්සේ වස් කාලය සමගි සම්පන්නව පහසුවෙන් ගත කළහුදැයි එම භික්ෂූන් වහන්සේගෙන් විමසූහ. තමන් සමගියෙන් විසීමට අනුගමනය කළ ක්‍රියා මාර්ගය භික්ෂූන් වහන්සේ පැහැදිලි කළහ. එම ක්‍රියා මාර්ගය බුදුරජාණන් වහන්සේ අනුමත කිරීමක් හෝ අගය කිරීමක් කළේ නැත. ඒ පිළිවෙත ගොලු ව්‍රතයක්, මෝඩ ව්‍රතයක් ලෙස හැඳින් වූ බුදුරජාණන් වහන්සේ ඉහත සඳහන් පරිදි පවාරණය කරන ලෙස නියම කළහ. එසේ පවාරණය කිරීම භික්ෂූන්ගේ දුටු වරද කියාපෑමට අනුකූල වන බවක්,ඇවැත්වලින් නිදහස් වීමට හේතුවන බව මෙන්ම විනයට මුල්තැන දීමක් සිදු වන බවත් දේශනා කළහ. ගොළු වුත්‍රය සමාදන් වීම නොපහන් අයගේ පැහැදීම පිණිසටත් පහන් අයගේ පැහැදීම වැඩි දියුණුූ වීම පිණිසමත් හේතු නොවන බවද වදාළහ.

ඉහත සඳහන් බුද්ධ නියමය දෙස විමසිල්ලෙන් බැලූ විට පැහැදිලි වන්නේ භික්ෂූන් වහන්සේගේ සමගි සම්පන්නතාව මෙන්ම විනයගරුක බව ආරක්ෂා වීම සඳහා පවාරණය නියම කර ඇති බවයි. සමූහයක් ලෙස එක ස්ථානයක වස් විසූ භික්ෂූන් වහන්සේ වස් අවසානයේ විසිර යෑමට පෙර ඔවුනොවුන් අතින් සිදුවූ යම් වරදක් වෙතොත් එය කතිකා කර පිළියම් කර ගෙන සමගි සම්පන්නව විසිර ගිය හැකිය.

අනුන් තම වරද පෙන්වා දෙනතුරු නොසිට තම වරදක් ඇතොත් පෙන්වා දෙන ලෙස ආරාධනා කරන ලෙස නියම කරන්නේ තම වරද නිවැරැදි කර ගැනීමේ අවශ්‍යතාව තමන් තුළ පැවතිය යුතු බව ප්‍රකට කරමිනි. එය අතිශය වැදගත් වූවකි. ඇතැම් අය තමන් තුළ සැබැවින්ම දක්නට ලැබෙන වරද වුවද වෙන අයකු විසින් පෙන්වා දෙනු ලබනවාට කැමැති නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙන්නේ තමන්ට වරද පෙන්වා දෙන තැනැත්තා නිධානයක් වැනි තැනක් පෙන්වා දෙන්නකු කොට සැලකිය යුතු බවයි.

යම් කෙනෙකු තුළ පවත්නා වරද ආරාධනාවකින් තොරව වුවද මෙත් සිතින් පෙන්වාදීම සද්පුරුෂ ගතියකි. ආරාධනාවක් ලැබුණූ විට වඩාත් සැලකිල්ලෙන් දුටු වරද ඇසූ වරද, සැක සහිත බව ප්‍රකාශ කර එම ආරාධකයාට නිවැරැදි වීමට අනුබලයක් ගැනීම බෙහෙවින් වැදගත්ය. කෙනෙකුට නිවැරැදි වීමට මඟ පෙන්වීම සද්පුරුෂ තරයන්ගේ වඩාත් සද්පුරුෂ ලක්ෂණයකි. එම ලක්ෂණය ගොඩනඟා ගැනීමට ඉඩ කඩ සැලසීමක්ද පවාරණයෙන් සිදුවෙයි. ඒ අනුව පැහැදිලි වන්නේ පවාරණය හුදු වතාවතක් සම්පූර්ණ කිරීමක් නොව පුළුල් අරමුණක් ඇතිව සිදු කෙරෙන්නක් බවයි.

විවිධ ආරාමවල වස් විසූ භික්ෂූන් වහන්සේ කොතැනක හෝ තිබෙන සීමාවකට රැස් වී එක් එක් නාම පවාරණ වාක්‍යය කී පමණින් හෝ අනෙක් භික්ෂූන් වහන්සේ එම වාක්‍යයට නිහඬව සවන්දී විසිර ගිය පමණින් හෝ පවාරණයෙන් අපේක්ෂිත අරමුණ ඉටු නොවේ. තමන් පිරිසුදු වීමේ අරමුණ අන්‍යයාට පිරිසුදු වීමට උපකාර කිරීමේ අරමුණ වගේම විනය ගරුක සුසිල්වත්, සමගිසම්පන්න භික්ෂු සමාජයක් ගොඩනගා ගැනීමට දායක වීමේ අරමුණද පවාරණ විනය කර්මයට සහභාගි වන භික්ෂුන් වහන්සේ තුළ තිබිය යුතුය.

පවාරණයේ අරමුණූ අනුව බැලූ විට එය සංඝ සමාජයට පමණක් නොව ගිහි සමාජයටද වරද නිවැරද කර ගැනීමට මග පෙන්වන්නකි. කිසියම් පවුලක සිටින අය එකිනෙකාට ආරාධනා කරන්නේ නම් තමන් තුළ වරදක් ඇතොත් පෙන්වා දෙන ලෙස කොතරම් වැදගත්ද? එම ආරාධනාවට අනුව එම ආරාධකයා තුළ පවතින අඩුපාඩු මෙත් සිතින් පෙන්වා දෙන්නේ නම් එයද මොන තරම් වැදගත්ද?

අනවබෝධය හෝ වැරැදි අවබෝධය නිසා නිකරුණේ සැක උපදවා ගෙන,අමනාපකම් ඇතිකර ගෙන සිටින අයට ඒවා නැති කරගෙන සමගියෙන් සමාදානයෙන් ජීවත්වීමටද පවාරණ සංකල්පය මඟ පෙන්වයි. තම වරද කවරකු විසින් හෝ පෙන්වා දෙනු ලබනවාට අකැමැති නම්, තමා තුළ ඇති වරද වරදක් ලෙස දැකීමට අකැමැති නම්,ඇති වරද නිවැරැදි කර ගැනීමට සූදානම් නැත්නම් එබඳු අයට පිරිහීමක් මිස දියුණුවක් ඇති නොවේ’. එයට ගිහි පැවිදි භේදයක් නැත. එබැවින් පවාරණ සංකල්පය පුද්ගල පාරිශුද්ධිය මෙන්ම සමාජ පාරිශුද්ධියද අරමුණු කර ගත්තක් ලෙස හඳුන්වා දිය හැකිය.

 

 වප් පුර පසළොස්වක පෝය

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් මස 07 වැනිදා අඟහරුවාදා අපරභාග 07.17 ට ලබයි. 08 වැනිදා බදාදා අපරභාග 04.25 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 08 වැනිදා බදාදාය.

 මීළඟ පෝය ඔක්තෝබර් 15 වැනිදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 08

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 15

Full Moonඅමාවක

ඔක්තෝබර් 23

First Quarterපුර අටවක

ඔක්තෝබර් 31


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]