තෙරුවන් සරණින් දෙවියන් බැතියෙන් ජනමන සනසන සිරි දළදා පෙරහර මංගල්‍ය
අස්ගිරි මහා සංඝ සභාවේ මහෝපාධ්‍යාය ශාස්ත්‍රවේදී පණ්ඩිත
අමුණුපුර පියරතන හිමි
සිරිලක සෙංකඩගල පුරවර ඇසළ දළදා පෙරහර සකල ජනමන සනසන බුද්ධාදී තෙරුවන්ට
හා නාථ, විෂ්ණු, කතරගම පත්තිනි යන දෙවිදේවතාවන් ප්‍රධාන ලෝකපාලක
දෙවියන්ටත් පුදපූජා වශයෙන් සිදුකරන පුණ්‍ය මහෝත්සවයකි. මෙම පෙරහර
මංගල්‍ය නිසා සිදුවන ප්‍රධාන සේවාවන්.
1. ආගම දහම ආරක්ෂාවීම
2. අන්තර් ජාතික සමගිය තහවුරුවීම
3. මානව කුසලතා වර්ධනය
4. ශිෂ්ටාචාරය පෝෂණයවීම
5. සංසාර විමුක්තිය ලබාගැනීමේ පදනමවීම
ආත්ම දමනය සඳහා මිනිසා විසින් නිර්මාණය කරගත් ප්‍රධානතම විෂය ආගම වන
අතර එය ක්‍රියාත්මක කිරීමෙහිලා සම්මතවූ පිළිවෙළ දහම නමින් හැඳින්වෙන්නේ
ය. මෙය ලෝකයේ ජීවාත්මකව පැවතීමට ආගමින් ආගමට සම්ප්‍රේෂණය වන බලයක් ඇති
නිසා පුද්ගලාන්තරව මානසික ගැටීමක් ඇතිවේ. එය භෞතික වශයෙන් උත්සන්නවී
යාමට නොදී ආවරණය වන්නේ විවිධාකාර පූජා විධි මඟිනි.
බුදුදහම භාරතීය ආගම් ජාලයේ දර්ශනයක් වශයෙන් බිහිවුවද ක්‍රමක්‍රමයෙන්
සමාජ පරිණාමයත් සමඟ කාලානුරූපව, දේශානුරූපව, පුද්ගලයාත්තරව, සමාජගත
වන්නට විය. මේනයින් ලක්දිව බුදුදහම ආරම්භවූ දා සිට සමාජයේ සාමූහික
පැවැත්ම උදෙසා පැවැතගෙන එන ප්‍රධාන තේමාව වූයේ පෙරහරයි. එයිනුත්
බුදුරජාණන් වහන්සේගේ දළදාවහන්සේ භාරත කාලිංග දේශයේ සිට ලංකාවට වැඩමවූ
දා පටන් අනුරාධපුරය, පොළොන්නරුව, දඹදෙණිය, කුරුණෑගල, කෝට්ටේ,
සෙංකඩගලපුර ආදී රාජධානිවලදී සිදුකළ පුද පූජා පෙරහර අපමණ වන්නේ ය.
සිංහල බෞද්ධයන් අතර තරම් විවිධාකාර පෙරහර ලෝකයේ කිසිම රටක දක්නට නැති
අතර එයින් ලාංකිකයන් පිළිබඳ සියලු විෂයන් ප්‍රකාශවන්නේ ය. දර්ශනයක්
වශයෙන් බුද්ධධර්මය උගතුන් අතර සම්භාවනාවට පාත්‍රවන අතර පොදුජනතාවගේ
සිතුම් පැතුම් කේන්ද්‍රගතවීම සඳහා පෙරහර ප්‍රධාන වශයෙන් මහෝපකාරීවන්නේ
ය. ශ්‍රීමත් දළදාවහන්සේ ප්‍රධාන කරගෙන හෙළරජදරුවන් ක්‍රමානුකූලව
චාරිත්‍රානුකූලව, පෙරහර කළ අයුරු ඓතිහාසික මූලාශ්‍රවලින් ප්‍රකට වන්නේ
ය.
ලාංකික ජනතාවගේ ප්‍රධාන ආගමික සිතුම් පැතුම් දෙකක් ඇත. බුද්ධාදී
තෙරුවන් පිළිබඳ ශ්‍රද්ධාව තේමාව කරගෙන බෞද්ධ ආගමික හැඟීමත්, දේව සංකල්ප
අනුව භක්තිය තේමාව කරගෙන හින්දු හා බෞද්ධාගමික හැඟීමත් යන මෙම දෙයාකාර
ආගමික හැඟීම් එක්වන්ව ක්‍රියාත්මක වන්නේ පෙරහර කිරීමෙනි. සොබාදහමත්
ජනතා චින්තනයත් මෙම පෙරහර මංගල්‍යයට යටත්විය යුතු බවත් ඒ සඳහා පූර්ව
සූදානමක් වශයෙන් කප්සිටුවීම, පිරිත්දේශනය, භාරහාරවීම දේවාල ශුද්ධ
පවිත්‍ර කිරීමාදී කටයුතු රාශියක් සිද්ධ කරන්නේ ඉරහඳ අහස පොළව, ජලය,
ගින්න ආදී සොබාවික වස්තූන්ට අරක්ගත් දෙවියන් වෙනුවෙන් ඇප කැප වීමෙනි.
නාථ, විෂ්ණු, ස්කන්ධ, පත්තිනි යන ප්‍රධාන දේවාලවල කරන කප් සිටුවීම
වූකලී මෙම මහා ආගමික, ජාතික උත්සවය සඳහා සොබාදහමේ ආශීර්වාදය ලබාගැනීමට
කරන කන්නලව්වකි. එය භක්තිවාදයෙන් කළයුතු අතර චිරකාලීනව පරපුරෙන් පරපුරට
ආරක්ෂා කරගෙන එන චාරිත්‍ර රාශියකින් සමන්විත වන්නේ ය.
අප බුදුරජාණන් වහන්සේ වැඩසිටි කාලයේ වුවද බුද්ධාදී තෙරුවන් උදෙසා පෙරහර
කළවග ත්‍රිපිටක සාහිත්‍යයේ දක්නට ඇත. ජනසමූහයක් එක්වී, තමතමන්ගේ
කුසලතාවයන් ප්‍රකාශයට පත්කරමින් කලාත්මකව ගමන් කිරීම පෙරහර නමින්
හැඳින්වෙන්නේ ය. භාරතයේ පැවති සෞන්දර්ය විෂයන් ක්‍රියාත්මක වූයේ
දේවායතන ආශ්‍රය කරගෙන දේව භක්ති වාදයෙනි. සෑම විෂයකම නිර්මාණය
අයත්වන්නේ විශේෂයෙන් මහාබ්‍රහ්මයාටය. මෙම නිර්මාණවාදය, දේවභක්තිවාදය,
එමෙන්ම බ්‍රහ්මනිර්මාණවාදය ආශි‍්‍රතව භාරත චින්තනය විකාශනය විය.
ලාංකික ජනතා චින්තනය ඒකීයත්වයෙන් ආරක්ෂා කිරීමෙහිලා බෞද්ධ හා හින්දු
ආගමික පෙරහරවලින් ලැබෙන සහාය, අනුබලය අපමණ වන්නේ ය. අප බුදුරජාණන්
වහන්සේ තම තමන්ගේ ආරක්ෂාව සනාථභාවය තමන් විසින්ම සලසාගත යුතු බව දේශනා
කළ සේක. එමෙන්ම බුදුරදුන් පිරිණිවිකල්හි තමන්වහන්සේගේ ධර්මය ශාස්තෘවරයා
ලෙස ආරක්ෂකයා ලෙස තබාගත යුතු බව මහා පරිනිර්වාණ සූත්‍රයේ දක්නට ඇත.
බුද්ධාගම ආරක්ෂා කරණ මහා විෂ්ණු දෙවියන් ජනතා සිතුම් පැතුම් භාර කරන
ස්ඛන්ධකුමාර දෙවියන් අනාගතයේ බුදුබව ලබන නාථ දෙවියන් කාන්තාවන්ගේ
දුක්වේදනා සමනය කරන පත්තිනි දේව මෑණියන්, මහා තෙදබලැති අලුත් නුවර
දැඩිමුණ්ඩ දෙවියන් සමනල කඳු පෙදෙසට අධිපති සමන් දෙවියන්, විභීෂණ
දෙවියන් ආදී විවිධ ගුණාංග මූර්තිමත් කරන එමෙන්ම විවිධ ආසන, ආභරණ ධජපතාක
වර්ණ සමලංකෘතව පෙරහර පුද පූජා, භාරහාර, ආවතේව කිරීමෙන්, ආරක්ෂාව,
ශාන්තිය අභිවෘද්ධිය, ප්‍රාර්ථනා කිරීම ජනතාවගේ චිර කාලීන සිරිත් විරිත්
වන්නේ ය. භාරතය, ලංකාව, නේපාලය, කාම්බෝජය, තායිලන්තය ආදී බෞද්ධ රටවල
බෞද්ධ හා හින්දු, දමිළ ජනතාව ඉතා භක්තියෙන් අදහන, පුදපූජා පවත්වන,
එමෙන්ම ලක්දිව වාර්ෂිකව පෙරහර පවත්වන විෂ්ණු දෙවියන් පිළිබඳ දීර්ඝ
ඉතිහාසයක් මෙන්ම සාහිත්‍ය ග්‍රන්ථ රාශියක්ද ඇත. විෂ්ණු පුරාණය අනුව
ලෝකයටත් සියලු දෙයටත් මුල් වූ විෂ්ණු දිව්‍යරාජයා නිදාගෙන සිටින්නේ
දහසක් හිස් ඇති ශේෂ නාගරාජයා මතය. ඔහුගේ නාභියෙන් මතුවන නෙළුම් මලින්
මහාබ්‍රහ්ම උපදී. ඔටුණු පැළඳ අත් සතරක් ඇතිව, තද නිල් පැහැයෙන් දේහය
බබලන එමෙන්ම හක්ගෙඩිය, චක්‍රායුධය, ජයකොන්තය හා නෙළුම්මල යන චිහ්න එම
අත්වලින්ගෙන මහානුභාව ලීලාව වර්ධනය කරන කෞස්තුභ මාණික්‍ය ගෙලවටා
පැළඳගෙන ගරුඪ පක්ෂියා වාහනාරූඪව සත්වයන්ගේ පුද පූජා ලබමින් වැඩ සිටින
සේක.
විෂ්ණු දේව ඇදහිල්ල භාරතීය ජනතාව අතර පුරාතනයේ පටන් පැවතිවග භගවත්
ගීතාව වැනි ඓතිහාසික දාර්ශනික ග්‍රන්ථවලින්ද සනාථ වන්නේ ය. ඉතා කරුණා
වෙන් සත්වයන්ගේ ප්‍රාර්ථනාවන් සඵල කරවන විෂ්ණු දේව ප්‍රතිමාව දර්ශන
මාත්‍රයෙන්ම නෙත් සිත් ප්‍රබෝධමත් වන්නේ ය.
නීලවර්ණ ධජපතාකවලින්ද අලි ඇතුන්ගේ මෙන්ම නළුවන්, රාජකාරිකාරයන්,
නිලමේවරුන් ආදී සෑම කෙනෙක්ම, සෑම භාණ්ඩයක්ම නීලවර්ණයෙන් බබලමින් පෙරහර
වීදි සංචාරය කරනවිට වර්ණනා විෂය අතික්‍රාන්ත වූ ප්‍රසාදජනක භක්තිවාදී
මානසික වින්දනයක් ලබාගැනීමට හැකි වන්නේමය.
ලොව්තුරා බුද්ධත්වය අපේක්ෂා කරන බෝධිසත්වයන් අනාථ වූ සත්වයන්ට නාථවන
බැවින් “නාථ දේව“ ඇදහිල්ලටද දීර්ඝ ඉතිහාසයක් ඇත. මහනුවර කන්ද උඩරට
සෙංකඩගල පුරවරයේ පැරණිතම දේවාලය වශයෙන් පුද පූජා භාරහාර ආවතේව සිදුකරන
නාථ දේවාලයද ඇසළ පෙරහර මංගල්‍යයට සම්බන්ධ වන්නේ ය. කරුණාගුණයට
ප්‍රතිමූර්තියක්වූ නාථ දෙවියන් විශේෂයෙන් බෞද්ධයන්ගේ වන්දනමානයට භාජන
වන්නේ ය.
රක්ත වර්ණයෙන් විචිත්‍රවූ මහේශාක්‍යාලීලාවෙන් විරාජමානවන කතරගම
දෙවිඳුන් වෙනුවෙන් කරන පුදපූජා වන්දන මානන, භාරහාර, යාතිකා අපමණ වන්නේ
ය. විශේෂයෙන් කාවාඩි නර්තන ප්‍රධාන ගැයුම් වැයුම් හොරණෑ සක්, සින්නම්
කාලම් සමලංකෘතව කඳසුරිඳුන් වෙනුවෙන් සිදුකරණ මහා පෙරහරද බෞද්ධ හින්දු
ප්‍රධානව සකල ජනතාවට දේවාශීර්වාදය ගෙන එන්නේ ය. බුද්ධාදී තෙරුවන්
පිළිබඳ ශ්‍රද්ධාවත් දේවාශීර්වාදයත් ලබාදෙන මහනුවර ඇසළ පෙරහර මංගල්‍ය
දර්ශනයෙන් ඔබ සැමට ශාන්තියක්ම උදාවේවා. සාමය, සම්පත ඉතිරේවා.
ඔබ සැමට තෙරුවන් සරණයි. |