නිකිණි පුර පසළොස්වක පෝදා 2014.08.10
යහපත් හෙට දවසකට
නිකිණි පුර පසළොස්වක පොහොය ශාසනික වැදගත්කමින් යුත් ඓතිහාසික
පොහොය දිනයකි.
කිත්සිරිමෙවන් රජු දවස කළිඟු රටෙන් හේමමාලා කුමරිය සහ දන්ත
කුමරුන් විසින් වැඩමවන ලද සිරි දළදා වහන්සේ උදෙසා ගෞරව
පූජෝපහාර දැක්වෙන අති උතුම් දළදා පෙරහර පැවැත්වෙනුයේ මෙම
පෝදාය. ශ්‍රීමත් දන්ත ධාතුන් වහන්සේ උදෙසා උපහාර පුද කෙරෙන
සෙංකඩගල ඓතිහාසික කලා මංගල්‍යය මෙරට බෞද්ධ ජනතාවට පමණක් නොව
ලෝකවාසී බෞද්ධ ජනතාව මෙන්ම ලෝකවාසී විදේශීය නරඹන්නන්ගේ
ගෞරවෝපහාරයට බඳුන් වන අසිරිමත් පෙරහර මංගල්‍යයයි.
ගෞරවණීය උපසම්පන්න භික්ෂූන් වහන්සේ වස් එළඹෙන දින දෙකක් වේ.
ඉන් පළමු හා ප්‍රධාන දිනය වන්නේ ඇසළ පුර පසළොස්වක දා පොහොය කර
ඇසළ අව පෑළවිය දා පෙර වස් එළඹීමයි. යම් අපහසුතාවයක් නිසා එසේ
අවපෑළවිය දා පෙරවස් එළඹීමට නොහැකි වුවහොත් නිකිණි පුර පසළොස්වක
දා පොහොය කර නිකිණි අව පෑළවිය දා පසුවස් එළඹීම පෞරාණික
චාරිත්‍රයයි.
කඨින චීවර පූජා පින්කම සිදු කළ හැක්කේ පෙර වස් එළඹ මහා
පවාරණයෙන් පවාරණය කරන ලද භික්ෂූන් වහන්සේට පමණි. එමගින් පවා
පෙනී යන්නේ පෙර වස් විසීම ප්‍රධාන බවයි.
ඒ අනුව බලන විට ශාසනික ප්‍රතිපදාවන් ආරක්ෂා කරන, ගුණ දහම්
දියුණුවට ගෞරවනීය ස්වාමීන් වහන්සේත්, සැදැහැවත් බෞද්ධ
පින්වතුන් අතරත් අන්‍යෝන්‍ය සුහදතාවය වර්ධනය කරන වැදගත් දිනයකි
නිකිණි පුර පසළොස්වක පොහොය.
වස් එළඹී වැඩ සිටින ගෞරවණීය භික්ෂූන් වහන්සේලාට සිවු පසයෙන්
උපස්ථාන කිරීමට දායක පින්වතුන් කටයුතු කිරීම ඔවුන්ගේ යුතුකමවේ.
එසේ උපස්ථාන ලබන භික්ෂූන් වහන්සේ විසින් ධර්ම දානයෙන්
ප්‍රත්‍යුපකාර කැරේ.
සැදැහැති බෞද්ධ ජනතාව මෙසේ වසරකට වරක් උදාවන වස්සාන සමය එළඹෙන
තෙක් ඉතා ඕනෑකමෙන් පසුවනුයේ ජීවිතයේ අනුස්මරණීය පින්කම්
සමුදායක් සිදුකර ගැනීම සඳහා ය.
මෙයට පෙරද අප සඳහන් කර ඇති ආකාරයට වස් කාලය භික්ෂූන් වහන්සේට
පමණක් නොව සැදැහැති බෞද්ධ ජනතාවට සුවිශේෂී වූ පුණ්‍ය කාලයක්
ලෙස සැලකිය හැකි ය.
එනම් ගමේ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ දායක පින්වතුන්ගේ
ආධ්‍යාත්මික සුවය සඳහා දිනපතා හෝ සතිපතා නැතහොත් සති අන්තයේදී
හෝ විශේෂ පින්කම් සිදුකිරීමට මාර්ගෝපදේශකත්වය සලසනු ලැබේ.
උන්වහන්සේලාගේ අවවාද අනුශාසනා අනුව දායක පින්වතුන් එම
පින්කම්වල නිරතවෙමින් ගම්වැසියන් තුළ සහජීවනය වර්ධනය කැරේ.
ගම්වැසි ලොකු කුඩා සියලු දෙනා සමගි සම්පන්නව ඒකරාශී වී එසේ
පින්කම්වල නිරතවීමෙන් හැදෙන වැඩෙන බාල පරපුරද ඒ අනුව ආදර්ශයට
යමින් අනාගතයේ ඔවුහු ද එම පින්කම්වල නිරතවීමට යොමුවීමෙන් උදාර
සමාජ මෙහෙවරක් මෙන්ම යහපත් ආදර්ශයක් සැපයීම ද එම උදාර කාර්යය
මගින් සිදු කැරේ.
සමාජය භෞතික දියුණුව අත්පත් කර ගන්නාක් මෙන්ම පුද්ගලයාගේ
ආධ්‍යාත්මික ශික්ෂණය ද අත්‍යවශ්‍යය. එසේ ආධ්‍යාත්මික ශික්ෂණයට
යොමු කැරෙන කේන්ද්‍රස්ථානය ගමේ විහාරස්ථානය වේ.
එබැවින් මව්පියවරුන්, වැඩිහිටියන් සතු උදාර යුතුකම වනුයේ තම දූ
පුතුන් ද සමඟ විහාරස්ථානයට ගොස් ආගමික වතාවත්වල නිරත වීමයි.
එය අනාගත දරු පරපුර සඳහා ආදර්ශයෙන් කියාදෙන යහපත් පාඩමක් වනු
ඇත. ගුණ දහමෙන් තොර මනුෂ්‍ය ජීවිතය එතරම් ඵලදායී හෝ වැඩදායී
නොවීමට ඉඩ ඇත.
දරුවා කායිකව ලොකු මහත් කිරීම මෙන්ම අධ්‍යාපනය ද සලසා දෙමින්
මානසික ශික්ෂණය ද ඇතිකිරීමට වගබලා ගත යුත්තේ මව්පිය දෙපළමය.
එසේ නැණවත්, ගුණවත් දරුවන් තැනීමෙන් පමණක්ම වුවත් මව්පියවරු
වෙත සැනසිල්ලේ තම දිවි ගත කිරීමට අවස්ථාව උදාවනු ඇත. |