UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නීතිය හා සදාචාරය තහවුරු කළ සිරි දළදා වහන්සේ

නීතිය හා සදාචාරය තහවුරු කළ සිරි දළදා වහන්සේ

ශ්‍රී ලාංකේය ඉතිහාසය තුළ පාලක පන්තියේ සිට පාලිත ජනතාව දක්වා විහිදයන සමාජගත චරිතයන්හි හැසිරීම් රටාව මෙන්ම ඔවුන්ගේ චර්යාත්මක භූමිකාව වඩාත් අර්ථ ගැන්වීමට මෙන්ම සදාචාරාත්මක හැඩ තලයක් වෙත ගෙනයාම පිණිස බෞද්ධ දර්ශනය තුළින් මෙන්ම බෞද්ධ සංස්කෘතියත් ඒ හා සබැඳි පූජා වස්තූන් ආශි‍්‍රතයෙන් ලැබුණු පිටිවහලත් සුළු කොට තැකිය නොහැකිය. ක්‍රිස්තු වර්ෂ සිවුවැනි සියවසේ දී ලක්දිවට ශ්‍රී දළදා වහන්සේ වැඩම කිරීමත් සමඟ මෙතෙක් පැවැති පූජ්‍ය වස්තු ගණයට දළදාවද එක්වූ අතර එතැන් පටන් බුදුරදුන්ගේ ලක්දිව ඇති මහර්ඝනීය පූජ්‍ය වස්තු බවට ද පත්විය. පාලකයා හා පූජ්‍ය වස්තූන් අතර පැවැති සම්බන්ධය නව සංකල්පයක් ඔස්සේ වර්ධනය වීමටත් දළදාව පදනම් කොට දළදා සංස්කෘතියක් නිර්මාණයවීම කෙරෙහිත් බලපෑ බව ඇති සාක්ෂි විභාග කර බලන කල්හි පෙනීයන කරුණකි.

ආගමික හා සංස්කෘතික භූමිකාව තුළ ද ශ්‍රී දළදා වහන්සේ ලක්දිවට වැඩම කළ දින සිටම සුවිශේෂිත පූජ්‍ය වස්තුවක් ලෙසින් සනිටුහන් වේ. බුදුරදුන්ගේ අති උත්තම ශාරීරික ධාතුන් වහන්සේ ලෙසින් සැලකෙන ශ්‍රී දළදාව ශ්‍රී ලාංකේය බෞද්ධ ප්‍රජාව අතට පත්වීම මහත් භාග්‍යයක් ලෙසින් පුරාතන අවධියේ සිටම සැලකූ අතර දළදාව හා සම්බන්ධ පූජා අභිචාරවිධි හා චින්තන සම්ප්‍රදායක් මෙන්ම සංස්කෘතිකාංග රැසක් ද කලින් කලට ශ්‍රී ලාංකේය බොදුජන ජීවන පැවැත්ම හා නිරන්තරයෙන් ඒකාබද්ධ වෙමින් පෝෂණය විය. නිසි කලට වැසි ලැබ රට සශි‍්‍රකවීම ද කාල විපත්වලින් තොර සෞභාග්‍ය ලැබීමේ බල මහිමයක් ද ශ්‍රී දළදාව කෙරෙහි නිසි පුද පූජා සත්කාර දැක්වීම තුළින් ලැබෙන බව ලක්වැස්සෝ අතීතයේ සිටම බැතිබර සිතින් යුතුව විශ්වාස කළහ.

ක්‍රිස්තු වර්ෂ සිව්වැනි සියවසේ දී බුදුරදුන්ගේ වාම ශ්‍රී දළදාව ශ්‍රී ලංකාවට වැඩම වීමත් සමඟ දේශීය සංස්කෘතියේ ප්‍රධාන පූජ්‍ය වස්තුවක් බවට දළදා වහන්සේ පත්වන අතර රාජ්‍යයේ පාලකයාගේ දැහැමි බවේ සංකේතය ලෙසින් මෙන්ම රාජත්වයේ උරුමයෙහි හා හිමිකමේ එක් ප්‍රධාන සංකේතයක් බවට ද පත්වේ.

අනෙක් අතට දළදාවේ අයිතිය හෙවත් උරුමය රාජ්‍යත්වය හිමිකම මෙන්ම රාජ්‍යත්වය ඔපවත් කළ සංකේතය විය. දෙවැනි ගජබාහු දවස මානාභරණයන් සටන් කොට පොළොන්නරුව අල්වාගෙන දළදාව හා පාදාව හා සිය මෑණියන් ද පොළොන්නරුවට ගෙන්වා ගනිමින් තමා රටේ අගරජ බව ප්‍රකාශ කිරීමට තරම් ශක්තියක් මෙන්ම නිත්‍යානුකූල බවක් හිමිකරගනු ලැබුවේ ද දළදා වහන්සේ හා පාත්‍රධාතුව තමන් සතුව පැවැතීම මතය.

දළදා වහන්සේ සුගලා බිසවගෙන් ලබාගෙන පෙරළා පොළොන්නරුවට වැඩම වීමෙන් පසු පළමුවැනි පරාක්‍රමබාහු රජු සිය දෙ අතින් පිළිගෙන හිසමත තබා පෙරහරකින් වීදි සංචාරය කරමින් ගෙනයනු ලබන්නේ ද සිය දැහැමි බව මෙන්ම රාජත්වයේ නිත්‍යානුකූලත්වය මහජනයා වෙත ප්‍රදර්ශනාත්මකව පෙන්වීමක් ලෙසටය. නිශ්ශංකමල්ල රජු සිය පුතණුවන් හා දියණිය දළදා වහන්සේ වෙත පූජා කරනුයේ ද අනාගත නායකත්වයට නිත්‍යානුකූල බවක් ලබාදීමේ එක් අපේක්ෂාවක් මත බව පැහැදිලිය.

දඹදෙණි යුගයේ තෙවැනි විජයබාහු, දෙවැනි පරාක්‍රමබාහු, සිවුවැනි විජයබාහු, පළමු භුවනෙකබාහු, දෙවැනි භුවනෙකබාහු තෙවැනි පරාක්‍රමබාහු, සිව්වැනි භුවනෙකබාහු, සවැනි පරාක්‍රමබාහු, පළමුවැනි විමලධර්මසූරිය වැනි පාලක පිරිස් දළදා වහන්සේ පෙරමුණු කරගෙන සිය දේශපාලන ක්‍රියාකාරීත්වය ආරම්භ කරනුයේ රාජ්‍යත්වය හා දළදා වහන්සේ අතර ගොඩ නැඟෙමින් තිබූ සම්බන්ධතාවය ඉස්මතු කිරීමට මෙන්ම දළදා වහන්සේ ඉදිරියෙන් තබා ගනිමින් සිය සධාර්මිකත්වය මතු කරලීම උදෙසාත් බව පැහැදිලි කරුණකි.

උඩරට අල්වාගත් ඉංගී‍්‍රසීන් ද දළදා වහන්සේගේ භාරකාරත්වය ලබා ගැනීම තමාට ලංකාවේම බලය නිත්‍යානුකූලව ලබා ගැනීමක් ලෙසින් කල්පනා කළ බව ඔවුන්ගේ ලිපි ලේඛන විමසන විට පෙනීයන කරුණකි. 1818 කැරලි සමයේ දී තමාගේ නායකත්වය තහවුරු කර ගැනීමට ජනතාව ඉදිරියේ දළදා වහන්සේ ප්‍රදර්ශනය කළ බව ඇති සාක්ෂි විභාග කරන විට පෙනීයන කරුණකි. දළදා වහන්සේ ඉංගී‍්‍රසීන් අතට පත්වූ පසුව රට වැසියන් තුළ උද්ගත වූ ආකල්පය ජෝන් ඩේවි මෙසේ සඳහන් දක්වයි. ‘දැන් ඉංගී‍්‍රසීහු ඇත්ත වශයෙන්ම රටේ ප්‍රධානීහුය. මක් නිසාද යත් ධාතුව හිමි තැනැත්තන්ට රාජ්‍ය සතර පාලනය කිරීමේ අයිතිවාසිකම සතුය...’ මෙමඟින් ද පැහැදිලි වනුයේ ද රටේ අයිතිය යුද බලයෙන් හෝ ගිවිසුම් මඟින් ලබාගත්ත ද නිත්‍යානුකූල බවක් හෝ නෛතික බලයක් ලබා ගැනීමට දළදා වහන්සේ ලබා ගැනීම හෝ දළදා වහන්සේගේ නිත්‍ය අයිතියක් තමන් සතු කර ගැනීම වැදගත් වූ බවය.

එමෙන්ම දළදා වහන්සේ සාක්ෂියට තබා යම් නිත්‍යානුකූල පැවරීම් කළ බවට ඓතිහාසික සාක්ෂි තිබේ. තෙවැනි විජයබාහු රජු තමා ජීවමාන අවධියේ දීම රාජ්‍යත්වය සිය පුත් පරාක්‍රමබාහු කුමරුට පැවරීමේ දී දළදා වහන්සේ හා පාත්‍රාධාතුව ඉදිරියෙන් තබා එම කාර්යය ඉටු කොට ඇත. භික්ෂූන් වහන්සේ ඉදිරියේ දී දළදාව හා පාත්‍ර ධාතුව ලබාදීම තුළින් රාජ්‍යත්වයේ නියම හිමිකාරිත්වයට සාක්ෂියක් ලෙසින් මෙම පූජා වස්තුන් දෙක මුල්තැන්හිලා සැලකු බවය. දළදා වහන්සේ ආශිර්වාදය මැද මෙන්ම දළදා වහන්සේ සාක්ෂියට තබා එම තීරණය කිසිවකුටත් වෙනස් කළ නොහැකි මට්ටමින් කළ බවත් මෙම සිද්ධීන් එකිනෙක විමසා බලන විට පෙනීයන කරුණකි.

දළදා වහන්සේ අති පූජනීය වස්තුවක් ලෙසින් උපහාර ලද අතර නීතිමය තත්ත්වය තහවුරු කරමින් ඒ තුළින් සදාචාරාත්මක බව වර්ධනයට අදාළ කරගත් බවට සාක්ෂි තිබේ. “නිරිඳුන් බිහි වූ මඟුල්හි ද වනුවක් මඟුලෙහි ද දළදා පමුණුවක් දෙනුව ඉසා” යනුවෙන් දළදා සිරිතේ දක්වනුයේ රජෙකු සිය උපන් දවස ද අභිෂේක ලද දිනය ද සමරමින් වාර්ෂිකව පමුණු ඉඩම් දෙකක් දළදා මාලිගයට පිදිය යුතු වූ බව මෙමඟින් නියම කර තිබේ. ඒ ඔස්සේ රජෙකුගේ දැහැමි බව නීති ගරුක බව මෙන්ම ඔහු කෙතෙක් දුරට සදාචාරවත්ව ආචාර ධර්මවලට ගරු කරනු ලබන පුද්ගලයෙකු ද යන්න ආදර්ශමත්ව ප්‍රදර්ශනය කිරීමක් බව පැහැදිලිය.

එමෙන්ම පාලකයන් යම් ප්‍රදානයන් කිරීමේ දී දළදා වහන්සේ සාක්ෂියකට තබා එම කාර්යේ නිරත වූ බව ගඩලාදෙණිය සෙල් ලිපියෙන් සනාථ වේ. එහි එක් සෙල්ලිපියක සේනාසම්මත වික්‍රමබාහු රජු විසින් කළ ප්‍රදානයන්හි දළදා වහන්සේගේ ආඥාය යනුවෙන් දක්වමින් දළදා වහන්සේ අණසක නැතහොත් දළදා වහන්සේ සාක්ෂි වශයෙන් තබා ගනිමින් එම ප්‍රදානය කර ඇති බවක් පෙනේ. (තුනුරුවන්ගේ ආඥාය දළදා පාත්‍ර ධාතුන් වහන්සේගේ ආඥාය තිස්තුන් කෝටියක් දෙවියන්ගේ ආඥාය..) දළදා වහන්සේ සාක්ෂි වශයෙන් තබා ගත් කල එම නියමයනට යමෙකුට උද්ධරණයක් කිරීමට හෝ පැහැර හැරීමට හා නැති කරලීමට නොහැකි බවක් එමඟින් හැඟ වේ.

ලක් පාලකයන් බොහෝ දෙනෙකු බෞද්ධාගම තුළින් දැහැමි පාලකයන් බවට පත්ව සිටි බැවින් ඔවුන් සැම දෙන තමා දැහැමි බව වඩාත් අර්ථවත් කර ගැනීමට මෙන්ම තම සුචරිතවත් බව මතුකරලීම පිණිස දළදා වහන්සේ වෙත පූජෝපහාරයන් දැක්වීමට නිරතුරුව ඉදිරිපත් වූහ. මෙහි එක් අංගයක් වූයේ රට ව්‍යසන අවස්ථාවලදී තමාගේ දැහැමි බව වඩාත් අර්ථවත් කරලීම පිණිස දළදා ප්‍රදර්ශනයන් පවත්වමින් සත්‍ය ක්‍රියා කරමින් නියං, සාය වැනි උවදුරුවලින් රට මුදවා ගැනීමට ක්‍රියා කිරීමය. පොළොන්නරු හා දඹදෙණි යුගවල දී දළදා ප්‍රදර්ශනවලින් අනතුරුව වර්ෂාව ලැබුණු අවස්ථා කීපයක්ම සාහිත්‍ය මූලාශ්‍ර වාර්තා කර ඇත.

මුල් කාලයට වඩා පසුකාලය වන විට දළදා වහන්සේට කිරි දරුවන් භාර කිරීමේ සම්ප්‍රදායක් ද දළදා වහන්සේ මුල් කොට ගෙන ඇති වේ. කිරි දරුවන් දළදා වහන්සේට බාර කිරීමේ චාරිත්‍රයක් වර්තමානයේ දී ද ජනතාව අතර පවතී. බිලිඳා කරඬුව ඉදිරිපිට තබා දළදා හිමියන්ගේ රැකවරණයත් ආශිර්වාදයත් පතයි. මෙහිදී මව්වරුන් පෙරළා බිලින්දන්ව ලබාගන්නේ කිසියම් පඬුරක් පූජාකිරීමෙන් පසුව බව හෝකාර්ට් සඳහන් කර තිබේ.

සිය දරුවා දළදා සමිඳුන්ට බාරදීමක් ද මෙම අවස්ථාවේ සිදුවන අතර එමඟින් දරුවාට උපද්‍රවයක් ඇතිවීම ද වළකාලයි. තව ද සදාචාරවත් දරුවකු බවට සිය දරුවා පත්කිරීමේ අරමුණක් ද දෙමාපියන්ට මෙම අවස්ථාවේ ඇතිවීම නොවැළැක්විය හැකි කරුණකි. සිය දරුවා දළදා සමිඳුගේ පිහිට ලබන බැවින් ඔහු හෝ ඇය සුචරිතවත්ව හැදිය යුතුය යන ආකල්පයක් ද නිතැතින්ම දෙමාපියනට ඇතිවීම හා ඒ ඔස්සේ දරුවා හදා වඩා ගැනීම තුළින් සමාජයට යහපත් දරුවකු ලබාදීමට හැකිවේ.

තවද දළදා සමිඳුන් කේන්ද්‍ර කොට දිව්රිල්ලක් ද සමාජය තුළ ඇතිවීම ඔස්සේ සත්‍ය අසත්‍ය විනිශ්චයේ දී එහි නිරවද්‍යතාවය පසක් කරලීමට දී ද වැදගත් වේ. ගැමි සමාජය තුළ “දළදා හාමුදුරුවන් පල්ල” යන්න හා “දළදාව පල්ල” යන්නෙන් ඔවුන් දිවුරුම් ක්‍රමවේදය සකස් කොට ඇති අතර තමා කළ හෝ කී දේය සත්‍ය බව පසක් කරලීමට මෙම වදන් භාවිත කිරීම වත්මන දක්වාම සමාජගතව පවතියි. සමාජයේ සත්‍ය අසත්‍ය බව මෙන්ම පුද්ගලයින් නීති ගරුක බව මෙන්ම සදාචාරාත්වය යන්න පසක් කරලීමට ද මෙලෙසින් සමාජය තුළ ගොඩනැඟී ඇති ආකල්ප වැදගත් වන බව පැහැදිලි කරුණකි.

 

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු මස 10 වැනි දා ඉරිදා පූර්වභාග 03.37 ට ලබයි. එදිනම අපරභාග 11.40 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අගෝස්තු මස 10 වැනි දා ඉරිදා ය.

මීළඟ පෝය
අගෝස්තු 17 වැනිදා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 10

Second Quarterඅව අටවක

අගෝස්තු 17

Full Moonඅමාවක

අගෝස්තු 24

First Quarterපුර අටවක

සැප්තැම්බර් 02


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]