UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධර්මචක්‍ර ප්‍රවර්ධනය

ධර්මචක්‍ර ප්‍රවර්ධනය

මානව චින්තනයෙහි ඇති වූ සියලු වෙනස්කම් සහ නව ප්‍රවණතා ආරම්භ වී ඇත්තේ සම්ප්‍රදායට ගැති නොවී නිවහල්ව, නිර්මාණාත්මකව මෙන් ම සහේතුකව සිතන්නට සමත් තනි පුද්ගලයන් වෙතින් බව දර්ශන ඉතිහාසය විධිමත්ව හදාරන විට පැහැදිලිව පෙනී යයි. මානවයන්ගේ ශිෂ්ටාචාරයෙහි ඉදිරි ගමන් පෙළගස්වන ලද්දේ එවන් නිර්භීත සහ අදීන චින්තකයන් විසිනි.

සාම්ප්‍රදායික ආගම් විසින් මිනිස් චින්තනයට විලංගු යොදා අවිද්‍යා අන්ධකාරයේ අතරමං කරන්නට වෙර දරද්දී ඊට එරෙහිව ප්‍රඥා ප්‍රදීපය දැල්වූ දාර්ශනිකයෝ මිනිස් නුවණෙහි අසීමිත ශක්‍යතා පුබුදු කරලීමට අනන්ත පරිත්‍යාගයන්හි නිරත වූහ. ශතවර්ෂ විසිපහකට පෙර භාරතීය මහෝත්තමයකු එසේ යාත්‍රාරම්භ කළ දාර්ශනික ප්‍රවේගයක සමාරම්භය අනුස්මරණය කිරීම ඇසළ පොහෝ දිනයට යෙදී ඇත.

සමස්ත බෞද්ධ ලෝකයා විසින් ම ඇසළ පොහෝදා එසේ සමරනු ලබන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ දම්සක් පැවැත්වීමයි. ශාක්‍ය වංශික කුමාරයකු ලෙස ඉපිද සියලු සැප සම්පත් අතහැර එවකට පැවැති නිර්මාණ වාදයේ පටන් භෞතික වාදය දක්වා විවිධ ස්වරූපවලින් ප්‍රකට වූ දාර්ශනික චින්තන ධාරා සියල්ල ප්‍රගුණ කර සියලු ආගමික චර්යා විධි අත්හදා බැලූ උන්වහන්සේ ස්වකීය අදීන විචාර ශක්තිය මගින් ඒ සියල්ලෙහි අසන්තෘප්තිකර, අතාර්කික සහ විසංවාදී ස්වරූපය පසක් කර ගත්හ. විශ්ව ස්වභාවය පිළිබඳව නිරවද්‍ය යථාර්ථවාදී චින්තනය හෙවත් යෝනිසෝමනසිකාරය මෙහෙයවා තමන් අවබෝධ කරගත් සත්‍යය ලොව හමුවේ තැබීමේ සමාරම්භය ඇසළ පොහෝ දින පැවැත්වූ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනයයි. එතැන් පටන් වසර හතළිස්පහක් පුරා උන්වහන්සේ පැවැත්වූ දේශනයන් ඒ වෙනුවෙන් ම දිවි කැප කළ සඟරුවන විසින් අප වෙනුවෙන් රැක බලාගනු ලැබිණි.දම්සක් පැවැත්වීමත් සමඟ සමාරම්භ වූ නව දාර්ශනික ප්‍රවණතාව මගින් සමස්ත ආසියාවේ ම ආගමික චින්තනය විප්ලවීය වෙනසකට පාත්‍ර වූ බව ලෝක ඉතිහාසය මුලුමනින් සමාලෝචනය කළ එච්. ජී. වෙල්ස් 1922දී සටහන් කළේය. 1946දී ශ්‍රී ජවහර්ලාල් නේරු බුදුරදුන් සිදු කළ චින්තන විපර්යාසය අගය කළේ මෙසේය. “ජනප්‍රිය ආගම්, අන්ධ විශ්වාස, අභිචාර පිළිවෙත් මෙන් ම පූජක වෘත්තිය සමඟ බැඳුණු වාණිජමය වැඩ පිළිවෙළ ද පිළිකෙවු කිරීමට උන්වහන්සේට ධෛර්යය තිබිණි. එතුමෝ පාරභෞතික සහ දේවවාදී දෘෂ්ටි, ප්‍රාතිහාර්ය, ආවීකෘතයැයි කියා ගත් දේවවාක්‍ය සහ අධිස්වාභාවික පදාර්ථ සමඟ කෙරෙන ගනුදෙනු සියල්ල හෙළා දුටුවහ. උන්වහන්සේ යොමු වූයේ තර්කය, බුද්ධිය සහ අනුභූතිය විෂයෙහිය. අවධාරණය කළේ සදාචාරයය. ක්‍රම වේදය වූයේ මනෝ විද්‍යාත්මක විශ්ලේෂණයයි: ආත්මයකින් තොර මනෝවිද්‍යාවයි. බුදුරදුන්ගේ සමස්ත ආකල්පය අධිභෞතික පරිකල්පන නම් වූ හපුටු සුළඟට පසු කඳු මතින් හමා ආ නවමු නළ රළක ආඝ්‍රාණය බඳු විය.” සැබවින් ම බුදුරදුන්ගේ නව පණිවුඩය භාරතයෙන් ඇරැඹි ආසියාව පුරා විහිද ගොස් එපමණකින් නැවතුණේ නැත. අවි බලයෙන් මැර බලයෙන් සිදු කළ මර්දනය හමුවේ පවා ප්‍රඥාවන්තයන් අතර සුරැකෙමින් පැවැති බුදු සමය දැන් යුරෝපය සහ අමෙරිකාව සිසාරා පැතිරෙමින් දාර්ශනික ලෝකයාගේ අභිනන්දනයට පාත්‍ර වෙමින් ශතසහස්‍ර සංඛ්‍යාත ප්‍රජාවකගේ ජීවිත ප්‍රභාවත් කරයි.

මෙවන් අසිරියක් විද්‍යමාන කිරීම සඳහා බුදුරදුන්ගේ දර්ශනය තුළ පවත්නා සුවිශේෂී ගුණාංග කවරේද? විශේෂයෙන් ම වසර දෙදහස් පන්සියයකට පසුවත් මෙතරම් විද්‍යා ශාස්ත්‍ර වර්ධනය වී සියුම් විචාර ශක්තියෙන් සන්නද්ධ බුද්ධිමතුන් මධ්‍යයේත් අග්‍රගණ්‍ය දර්ශනයක් සේ එය පිළිගැනෙන්නේ කවර හෙයින් ද?

බුදුරදුන්ගේ දර්ශනය දර්ශන විෂයාන්තර්ගත ඥානවිභාගය, ලෝක විඥානය, ආචාර විද්‍යාව, තර්ක ශාස්ත්‍රය මෙන් ම සෞන්දර්ය විභාගයෙන් ද ප්‍රදර්ශනය කර ඇත්තේ උත්කෘෂ්ට සුවිශේෂීතාවකි. සාම්ප්‍රදායික ආගමික චින්තනය තුළ දක්නට නොලැබුණු විප්ලවීය නවතාවක් විදහා පාමින් භාරතීය චින්තනය ගවු ගණනක් පෙරට පිනූ මහා පිම්මක් ලෙසින් නවීකරණයකට පාත්‍ර කළ අයුරු රමණීය විදර්ශනයට මං පාදයි.

ඥාන විභාගය පිළිබඳ භාරතීය සම්ප්‍රදාය තුළ පැවැත්තේ අතිශයින් ගතානුගතික පැවැත්මකි. පූජකයන් විසින් පාරම්පරිකව පවත්වාගෙන ආ ආගමික සාහිත්‍යය අන්ධ භක්තියෙන් පිළිගැන්වීම පිණිස ඉදිරිපත් කළ තර්ක එසමයෙහි විසූ බොහෝ දෙනා බැති සිතින් පිළිගත්හ. ගැඹුරු සත්‍යයන් වටහා ගන්නට මිනිසුන් සතු ඉන්ද්‍රියානුසාරී නුවණ ප්‍රමාණවත් නොවෙතියි තර්ක කළ සාම්ප්‍රදායික පූජකයෝ සියල්ල දෙවියන් විසින් විවර දෙන ලදැයි සාධක විරහිතව අදහන්නට සැලැස්වූහ. ශුද්ධ යැයි හැඳින්වුනු ග්‍රන්ථ ප්‍රශ්න නොකර පිළිගැනීම සිරිත විය. එහෙත් බුදුරදුන්ගේ දර්ශනය විසින් මෙම ගතානුගතික සිරිත සහමුලින් ම ප්‍රතික්ෂේප කරන ලදී. කවර කෙනෙකුන්ගේ නමින් කවුරුන් විසින් කෙසේ ඉදිරිපත් කළ අදහසක් වුව ද ප්‍රශ්න කිරීමේ අයිතිය මිනිසා සතු බව බෞද්ධ චින්තනයෙන් තහවුරු කරන ලදී. දාර්ශනිකයකු ජන සමාජයට අදහසක් ඉදිරිපත් කළ යුත්තේ ඔහු එය සුපිරිසිඳ දැන පසක් කර ඇත්නම් පමණක් බව දැක්වූ බුදුසමය දාර්ශනික සංකල්පයක් අප පිළිගත යුත්තේ අපටත් එය දැන දැක අවබෝධ කර ගන්නට හැකි නම් පමණක් බව අවධාරණය කළේය. මෙය ඒ යුගයේ පමණක් නොව අද පවා විප්ලවීය අදහසකි. පැරැණි ශුද්ධ ග්‍රන්ථවල එන දේ විවේචනය කිරීම, සැක කිරීම හෝ ප්‍රශ්න කිරීම පාපයක් සේ සලකන්නෝ අද ද වෙති. මිනිසාට ස්වකීය ඉන්ද්‍රියානුසාරී ඥානයෙහි සහ තාර්කික බුද්ධියෙහි අගය වටහා දෙන්නට බෞද්ධ දර්ශනය ක්‍රියා කර ඇත්තේ ඉතා නිර්භීත ආකාරයෙනි. සංයුක්ත නිකායෙහි එන සබ්බ සූත්‍රයෙහිදී ලොව ඇති සියලුම දේ මිනිසාගේ ඉන්ද්‍රිය හය සහ ඒවාට ගෝචර වන දේ බව පෙන්වා දුන් බුදුරජාණන් වහන්සේ ඊට වඩා වැඩි දෙයක් ලොව ඇතැයි කීම හුදෙක් කට රිදවාගෙන වෙහෙස වීමක් පමණක් බව පෙන්වා දුන්හ.

මිනිසා කවර ම හෝ අධිකාරයකටවත් සිය නුවණ පාවා නොදිය යුතු බව ප්‍රථම වරට ආගමකින් පැවසුණේ බුදුසමය වෙතිනි. බුදුන් වදාළ දේ පමණක් නොව බුදුන් සැබවින් ම බුදු කෙනෙක් ද යන්න පවා නිර්දයව විමසන්නට බුදුහු දිරි දුන්හ. සාදුකාර දෙන්නන් නොව ප්‍රශ්න කරන්නන් ප්‍රිය කරන බුදුසමය අමූලික ශ්‍රද්ධාව හෙළා දකියි. පැරැණි ධර්ම දේශක හිමිවරුන් තමන් දේශනා කරන දේ ප්‍රශ්න කරන්නට දිරි දෙනු පිණිස ප්‍රතිවචන දෙන්නකු ළඟින් වාඩි කරවා ගෙන දම් දෙසන ලද්දේ එහෙයිනි. (එහෙත් පසු කලෙක ඔවුන් ප්‍රතිවචන නොදී එහෙයි කියන්නන් බවට පත් වූයෙන් දැන් ඒ සිරිත අභාවයට ගොස් ඇත.) බුදුසමය විසින් මිනිසා ප්‍රඥාවෙන් අනූන ස්වාධීන සත්වයකු බවට පත් කොට දෙපයින් සිටුවීම දර්ශන ඉතිහාසයෙහි ඓතිහාසික ජයග්‍රහණයකි. මෙම කොන්දේසි විරහිත චින්තන නිදහස දර්ශන කෘත්‍යය ප්‍රජාතාන්ත්‍රී කරණයකැයි ද හැඳින්විය හැකිය.

දෘෂ්ටි ග්‍රහණයෙන් දර්ශනය නිදහස් කිරීම ද බෞද්ධ දර්ශනයේ තවත් ලක්ෂණයකි. බොහෝ දාර්ශනිකයන් දර්ශනය නමින් කාල්පනික දෘෂ්ටි වැළඳ ගන්නා බව දුටු බුදුරජාණන් වහන්සේ දෘෂ්ටි ග්‍රහණය වෙනුවට දර්ශනයෙන් සමන්විත වන ලෙස ශ්‍රාවකයනට අවවාද කළහ. බුද්ධකාලීන බොහෝ චින්තකයෝ අස්ති වාදය, නාස්ති වාදය වැනි දෘෂ්ටි ගෙන ඒවා සමර්ථනය කිරීම පිණිස තර්ක කරමින් එක තැන පල්වූහ. බ්‍රහ්මජාල සූත්‍රයේදී මේ දෘෂ්ටීන්ගේ සම්භවය දක්වමින් ඒවායින් මිදී සිත නිදහස් කර ගත යුතු ආකාරය පැහැදිලි කළහ. මෙම දෘෂ්ටී ගත්තවුන් ආගමික වරණය ලෙස අත්තකිලමථානුයෝගය හෝ කාමසුඛල්ලිකානුයෝගය ගන්නා හෙයින් දම්සක් පැවතුම් සූත්‍රයේදී ම ඒ අන්තවාදී නිෂ්ඵල පිළිවෙත් දෙකින් වෙන්ව මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීමේ වැදගත් කම ප්‍රකාශ කරන ලදී.බෞද්ධ දර්ශනාගත ලෝක විභාගය ද අධිභෞතිකවාදී උපකල්පනයන්ගෙන් මිදී ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය පදනම් කර ගනිමින් ලෝක ස්වභාවය තේරුම් ගන්නට උපකාරි වන්නකි. සාමාන්‍යයෙන් බොහෝ භාරතීයයන් ජීවිතයේ දුක පිළිබඳව අවදිකමක් දක්වා තිබුණ ද අනිත්‍යය පිළිබඳව පූර්ණ අවබෝධයක් ඔවුනට නොතිබිණ. අනිත්‍යය පසුපස නිත්‍යතාවක් ඇතැයි උපකල්පනය කළ ඔවුහු ඒ හරහා ආත්ම වාදය කරා යොමු වූහ. හටගැන්මක් ඇති හැමදේ ම අනිත්‍ය බව නිර්වචන වශයෙන් ම තාර්කිකව හෙළි කළ බුදුසමය නිත්‍ය දෙයකට ආරම්භයක් හෝ අවසානයක් තිබිය නොහැකි බව අවධාරණය කළහ. මෙය එතෙක් භාරතීය දාර්ශනිකයන් පසක් නොකළ යථාර්ථයක් තර්කානුකූලව හෙළි කිරීමකි. දියුණු තර්ක ශාස්ත්‍රයකට හිමිකම් කී ජෛනයෝ පවා මෙම තාර්කික යථාර්ථය පසක් කර ගත නොහී පුද්ගලයා සතුව භවගාමී ආත්මයක් ඇතැයි ප්‍රතිජානනය කළහ. සෑහෙන දුරකට අනිත්‍යය අවබෝධ කරගත් භෞතික වාදීහු පවා ආත්ම සහ නිත්‍ය යන වචනයන්හි දාර්ශනික පාර්භාෂික අර්ථයෙන් බැහැරට ගොස් ආත්මයක් තිබී විනාශ වන බව පවසමින් නාස්තිකවාදී දෘෂ්ටියකට යොමු වූහ. එහෙත් බෞද්ධ චින්තනය තුළ සුවිනිශ්චිත දාර්ශනික පාරිභාෂික පද භාවිතය මගින් අන්තවාද දෙක ම බැහැර කර ඇත. ලොව සියලු සංස්කාරයන් ප්‍රත්‍ය නම් වූ සංඝටකයන් එක්රැස්ව යළි විසිර යන ආකාරය අනුව විපර්යාසයනට භාජනය වන ආකාරය බෞද්ධ දර්ශනයෙහි පැහැදිලි කර ඇත.

බෞද්ධ ආචාර විද්‍යාව ද භාරතීය චින්තනය නව මගකට යොමු කරන්නක් විය. මානව කේන්ද්‍රීය ලෝක විභාගයක් මඟින් මිනිසාගේ ශ්‍රේෂ්ටත්වය දැක්වුව ද ඔහු සර්ව ජීව හිතවාදී ආකල්ප වර්ධනය කරගත යුතු බව එහි දැක්වෙයි. මනුෂ්‍යයා සමස්ත ජීව, අජීව සන්තතිය සමඟ ම ප්‍රතීත්‍ය සමුත්පාදානුකූලව සම්බන්ධ වන බව දක්වමින් ඔහු ජීව හිතවාදී පැවැත්මකට යොමු කර ඇත. එතකුදු වුවත් ජෛනයන් මෙන් ප්‍රායෝගික නොවන අන්ත අහිංසා වාදයකට යොමු නොවී සාධාරණ මැදුම් පිළිවෙතක් උගන්වනු ලැබීම එහි විශේෂත්වයයි. එමෙන් ම හින්දුන් මෙන් යාග භූමියේදී හැර අන් තැන්වල අහිංසා වාදී වන්නට උගන්වනු නොලැබේ. හොඳ සහ නරක තමන්ට ම නිර්මාණය කර ගැනීමට ඉඩ සලසා ඒ සඳහා මිනුම් දඬු සපයා දීම ද විශේෂතාවකි. රාග, ද්වේෂ, මෝහ චේතනාවලින් මෙහෙයනු ලැබ කරන තමාට හෝ අනුනට හෝ දෙපක්ෂයට ම දුක් පිණිස හේතුවන කඳුළු සලමින් පසුතැවෙමින් විපාක විඳින්නට සැලසෙන ක්‍රියාවෝ අකුසල කර්ම වෙති. අලෝභ, අදෝෂ, අමෝහ චේතනාවන්ගෙන් මෙහෙයනු ලැබ කරන තමාටත් අනුන්ටත් සැප පිණිස පවතින ප්‍රීතිමත් සිනාමුසු මුහුණින් විපාක විඳිය හැකි ක්‍රියාවෝ කුසල කර්ම වෙති. කිසි ම ක්‍රියාවක් බුදුරදුන් වදාළ හේතුවෙන් කුසල හෝ අකුසල වන්නේ නැත. ඒ අනුව බුදුසමය ප්‍රායෝගික, ජීව හිතවාදී, මනෝවිද්‍යාත්මක මෙන් ම ඕනෑම ආගමිකයකුට පිළිගත හැකි සර්ව සාධාරණ ආචාර විද්‍යාවක් ඉදිරිපත් කර ඇති බව පෙනී යයි.

ලෞකික ජීවිතය අනිත්‍ය මෙන් ම අසන්තුෂ්ටිදායක අත්දැකීම්වලින් පිරුණක් බව පවසන නමුත් ජීවිතය අසන්තෝෂයෙන් ගත කළ යුත්තකැයි බෞද්ධ දර්ශනයෙන් කියැවෙන්නේ නැත. ජීවිතයට අරමුණු තිබේ. නිර්වාණය ගිහි බෞද්ධයන්ගේ දුරස්ථ අරමුණ වන අතර ආර්ථික සහ සාමාජික වශයෙන් සාර්ථක යහපත් ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීම සමීප අරමුණයි. සෞන්දර්යාස්වාදයෙන් ඔවුන් ඈත්ව සිටින්නේ අටසිල් හෝ දසසිල් සමාදන් වූ දිනක පමණි. මිනිස් ජීවිතයේ අරමුණ නිරවද්‍ය අහිංසක ප්‍රතිපදාවක් තුළින් සැපවත් ජීවිතයක් ගත කිරීම මිස අහෝ සියල්ල දුක යැයි වැළපෙමින් මුකුලිත වීම නොවේ. බෞද්ධ දර්ශනය සමතුලිත සහ ප්‍රමෝදජනක ජීවිතයක් සඳහා මඟ පාදන්නකි.

ඇසළ පොහෝ දිනය සමස්ත මානව වර්ගයා විසින් ම අති උත්කර්ෂයෙන් අනුස්මරණය කළ යුතු වන්නේ සියලු බැමි බිඳ ස්වාධීනව සිතන්නට උගන්වා විද්‍යාත්මක සහ අනුභූතිමය මාර්ග මගින් ලෝකාවබෝධය ලබා සර්ව ජීව හිතවාදී උදාර පැවැත්මක් මඟින් ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීම සඳහා අංගසම්පූර්ණ නව දර්ශනයක් බිහි කළ දිනය හෙයිනි.

 

ඇසළ පසළොස්වක පෝය

ඇසළ පසළොස්වක පෝය ජුලි මස 11 වැනිදා සිකුරාදා අපරභාග 08.31 ට ලබයි. 12 යවැනිදා සෙනසුරාදා අපරභාග 04.54 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුලි මස 12 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
ජුලි මස 19 වැනිදා සෙනසුරාදා ය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුලි 12

Second Quarterඅව අටවක

ජූලි 19

Full Moonඅමාවක

ජූලි 26

First Quarterපුර අටවක

අගෝස්තු 04


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]