UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

ඇසළ පුර පසළොස්වක ජූලි 12 වනදා සෙනසුරාදා

උතුම් පිළිවෙත

ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ අසිරිමත් සම්මා සම්බුද්ධත්වයට පත්ව දෙමසක් සපිරුණු ඇසළ පුර පසළොස්වක පෝදා බරණැස ඉසිපතන මිගදායේදී පස්වග තවුසන් ප්‍රධාන කොට දස දහසක් සක්වලින් පැමිණි දෙවිබඹු පිරිස් මැද ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කර වදාළහ.

දුකත්, දුකට හේතුවත් නිවනත්, එය ලබන පිළිවෙතත් යන සත්‍ය සතර ලොවට දේශනා කර වදාළේ අද වැනි අසිරිමත් ඇසළ පුර පසළොස්වක පෝදාකය.

භාරතීය ජන සමාජය ක්‍රි.පූ. සයවන සියවස වන විට විවිධ වු ආගමික දෘෂ්ටි හා මතවාදයන්ගෙන් පිරී පැවතිණි. සත්‍ය ගවේෂණයෙහි යෙදුණු බුද්ධිමතුන්ගේ විවිධ පර්යේෂණ හේතුවෙන් එකල භාරතීය ජන සමාජය තුළ එක්තරා ප්‍රමාණයක බුද්ධි ප්‍රබෝධයක්ද උදාවී තිබිණි. එසේ විවිධාකාරවූ දෘෂ්ටිවාදීන්ගේ ප්‍රතිපත්ති සත්‍යයෙන් බැහැර වුවද, බොහෝ දෙනාගේ මූලික අපේක්ෂාව වූයේ සත්‍ය සෙවීමය. ආධ්‍යාත්මික විමුක්තිය උදා කර ගැනීම ප්‍රධාන අරමුණ විය.

එවන් යුගයක පහළ වී ලෝක සත්වයා වෙනුවෙන් මහා කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ ලොවට දේශනා කර වදාළ ශ්‍රී සද්ධර්මය ලොවටම මහත් ශාන්තියක් උදාකළහ.

ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළවී වසර 2600 ක් ඉක්ම ගියද, සම්බුදු දහම මඟින් ගිහි පැවිදි බොහෝ දෙනා අද පවා මහා සැනසීමක් උදාකරගනු ලැබේ. බුදුපියාණන් වහන්සේ දේශනා කර වදාළ ශ්‍රී සද්ධර්මය සර්වකාලීනය. කලින්කලට වෙනස් නොවන්නකි.

ජීවිතය යනු මොහොතක් පාසා වෙනස්වන සුළුය. එසේ වෙනස් වෙමින් පවත්නා ජිවිතය මගින් නොවෙනස් වන පරම සැපත වන නිවන් සැපත ළඟා කර ගැනීමට ක්‍රියා කළ යුතු බව සම්බුදු දහම පෙන්වා දෙයි.

පසිඳුරන් පිනවීමේන් ලැබෙන. සතුටේත්, ඉඳුරන් හික්මවීමෙන් ලැබෙන සතුටේත් විශාල වෙනසක් ඇති බව සම්මා සම්බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළහ. බෞද්ධයාගේ ප්‍රධාන අපේක්ෂාව වන නිවන් සැපත උදාකර ගත හැක්කේ ඉඳුරන් පිනවීමෙන් තොරව ඉඳුරන් සංයමයෙන් බව සම්බුදු දහම නිසා ලෝකවාසීන්ට අවබෝධ වන්නට විය.

අත්තකිලමථානුයෝගය හා කාම සුඛල්ලිකානු යෝග ක්‍රමවල යෙදී සිටි ලෝවැසියනට මධ්‍යම ප්‍රතිපදාව නම් වු උතුම් ධර්ම මාර්ගය දේශනා කළ තථාගත බුදුපියාණන් වහන්සේගේ දහම ඉතා කෙටි කලක් තුළ ප්‍රචලිත විය.

ශරීරයට අධික දුක් පීඩා ගෙන දෙන කටුක ව්‍රතාදියෙහි නැවත නැවත යෙදී වාසය කිරීමත් විවිධ ව්‍රත සමාදානයෙහි යෙදෙමින් කයටත්, සිතටත්, බලවත් පීඩා ගෙන දෙන අයුරෙන් හැසිරීම අත්තකිලමථානුයෝගය වේ. ඇතැමුන් මිථ්‍යාශීලි ව්‍රත අනුගමනය කරමින් එමගින් විමෝක්ෂය අපේක්ෂා කළහ.

කාම සුඛල්ලිකානුයෝගය වස්තුකාම ,ක්ලේශකාමයන් පිළිබඳ සත්වයා තුළ පවත්නා තෘෂ්ණාවයි. සත්වයා විසින් තෘෂ්ණාවෙන් පිළිගනු ලබන සවිඤ්ඤාණක අවිඤ්ඤාණක වූ ස්ත්‍රී පුරුෂ ධන ධාන්‍යාදි සියලු දේ වස්තු කාමයෝය. මේ ක්ලේශ කාමය නම් ඒ වස්තුකාමය පිළිබඳව සත්වයාට උපදින ආශාවයි. එම කාමයන්හි ඇලී ගැලී කටයුතු කිරීම කාම සුඛල්ලිකානුයෝගයයි.

සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ දේශනාව වූයේ එම අත්තකිලමථානු යෝගයත්, කාමසුඛල්ලිකානු යෝගයත් යන අන්ත දෙක ආර්යයන් විසින් සේවනය නොකළ යුතු අනාර්යයන් විසින් සේවනය කළ යුතු හීන වු ග්‍රාම්‍ය වූ පෘථග්ජනයන් විසින් පුරුදු කරන ලද්දක් බවය.

උන්වහන්සේ පැහැදිලි කර වදාරන ලද්දේ තමන්ද එහි යෙදී කිසිදු හරයක් නොමැති බව ප්‍රත්‍යක්ෂ ලෙස අවබෝධ කර ගනිමිනි.

එම ද්විවිධ ක්‍රමයන්ගේ ඇති අනාර්යත්වය අවබෝධ කර ගෙන එයින් වෙන් වන ලෙස වදාළහ.

එම අන්ත දෙකට නොපැමිණ, නිවන් සුව උදාකරගනු පිණිස ගමන් කළ යුතු සම්මා දිට්ඨියෙන් ඇරැඹෙන අංග අටකින් යුත් උතුම් ප්‍රතිපදා මාර්ගය හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒ මඟ ගමන් කිරීමට බෞද්ධයා නිරතුරුවම උත්සාහ කළ යුතුය.

 

ඇසළ පසළොස්වක පෝය

ඇසළ පසළොස්වක පෝය ජුලි මස 11 වැනිදා සිකුරාදා අපරභාග 08.31 ට ලබයි. 12 යවැනිදා සෙනසුරාදා අපරභාග 04.54 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුලි මස 12 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
ජුලි මස 19 වැනිදා සෙනසුරාදා ය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුලි 12

Second Quarterඅව අටවක

ජූලි 19

Full Moonඅමාවක

ජූලි 26

First Quarterපුර අටවක

අගෝස්තු 04


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]