UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කතරගම ඓතිහාසික පුදබිම

තර මැද ක්ෂේම භූමියක් බඳු වූ කතරගම පුද බිම තීර්තයේ දෑළ සෙවණ සිසිලස සපයන කුඹුක් ගස් පෙළින්ද තවත් නොයෙකුත් වෘක්ෂයන් ගෙන් ද සුසැදි වන වියන යටින් ශුෂ්ක කලාපයක ගී‍්‍රෂ්මයද දාහයද නිවාලමින් වසන්තයක සිරියාව රැගෙන මැණික් නදිය ගලා බසියි.

මෙවන් පරිසරයක් පසු කරගෙන එන අපට ක්ෂණිකව සැනසීමක්, අමුතු ප්‍රබෝධයක් ප්‍රදානය කිරීමට තරම් විශේෂිත පාරිසරික පරිවර්තනයක් ඇතිකිරීමට කතරගම පුදබිම සමත්වෙයි.

ඒ විශේෂතාවය දැනෙන්නේ මේ පුණ්‍ය භූමිය සම්බුදු පියාණන්ගේ පහසින් පූජනීය වූ ද උත්තම බුදු පහස විඳි ශ්‍රී මහා බෝධි රැක් රජුන්ගේ පාරම්පරික උරුමය ලද්දා වූද මතු බුදු බව ලබනවායැයි ජනප්‍රවාදය පවසන කඳ දෙව් රදුන්ගේ දේව විමානයේ පිහිට ඇල්ම බැල්මද ඇති නිසා යැයි සිතෙන තරමට මේ විශේෂිත බිම් කඩ අපූර්වත්වයෙන් - සුන්දරත්වයේ සැදැහැති බවෙන් මෙන්ම භක්තියෙන්ද එකිනෙක අමුණන ලද සුවඳ සොඳුරැ මල් කළඹක් සේය.

මැණික් ගඟින් නා,පේවී පිරිසුදු වී සුදු පිරුවට ඇඳි මල් වට්ටියද පළතුරු වට්ටිද රැගෙන යන සැදැහැති බැතිබර මිනිසුන්ගේ දසුන මෙහි සුන්දරත්වය තව තවත් වඩවාලන සුළුය.

ඒ නිසාම ලංකාවේ බහුතරයක් දනන් තම ජීවිත චාරිකාවේදී යන වන්දනා ගමන් අතර කතරගම පුද බිම වෙත ගමනට වැඩි ඉඩක් වෙන්කර දී තිබෙයි. ඒ අතර වසරකට වරක් එළඹෙන කතරගම විශේෂ උත්සව සමය තුළදී ලක්ෂ සංඛ්‍යාත ජනී ජනයාගෙන් මෙම පින් බිම පිරී තිරී යයි.

ලංකාවේදී අප දකින සම්ප්‍රදායික පෙරහර සංස්කෘතියේ විචිත්‍රතා හඳුනා ගැනීමට අවශ්‍යනම් කතරගම පෙරහර ඊට කදිම නිදසුනකි.

ජාති, ආගම් භේද නොතකමින් සැදැහැති බව භක්තිවන්ත භාවය, සතුට, උද්දාමය, එකමුතුභාවය එකසේ කැටිකරගත් මේ සංස්කෘතික මංගල්‍යය සංස්කෘතිකමය විෂමතා නසන මාවතක් සාදන සුළුය . එය වඩාත් ඔපවත් වන්නේ කතරගම පුදබිමෙහි ඇති ඓතිහාසික පූජනීයත්වයේ අගය නිසාය.

ක්‍රි .පූර්ව යුගය දක්වා දිවෙන දීර්ඝ ඉතිහාස කතාවක මග සලකුණු ඔස්සේ දෙව් විමනද පසු කරමින් බෞද්ධයන් වන මුලින්ම යායුත්තේ සම්බුදුපහස ලද සොළොස්මස්ථානයන්ගෙන් එකක් වී පිදුම් හරසර ලද කිරි වෙහෙර වෙතය.

දේව බැල්මෙන් පිහිටක් යැදීමට පෙර උත්තම සම්බුදු පාදශ්පර්ශය ලැබීමට වාසනාවන්ත වූ නිසාම කතරගම පින්බිම පිවිතුරු වූ බව අප කවුරුත් සිහි තබා ගත යුතුය.

තිලෝගුරු බුදුපියාණන් වහන්සේගේ තෙවන ලංකාගමනයේදී ‘කතරගම දාගැබ් වහන්සේ පිහිටුවන්නා වූ ස්ථානයෙහි පන්සියයක් මහ රහතන් වහන්සේ සමඟ සමාපත්තියට සම වැද එතන්හිදු පොළව ගුගුරුවා .ඒ ස්ථානයෙහි මතු රැකවල් පිණිස සමනීහාර නම් දිව්‍ය පුත්‍රයකු රඳවා’.ආදී වශයෙන් ධාතු වංශයේ මෙන්ම වෙනත් වංශ කතාවන්හි සඳහන්ව තිබේ.

එසේ නම් සම්බුදුරජාණන් වහන්සේ ධර්මාන කාලයේද මෙම ප්‍රදේශයේ ආගන්තුක ශාස්තෘවරයකු ගේ විශේෂතාවය විඳීමට හැකි තරම් බුද්ධියකින් හෙබි මිනිසුන් සිටියායැයි අපට විශ්වාස කළ හැකි ෙයි.

බුදුන් වහන්සේ සමවත් සුවයෙන් වැඩ සිටි එම බිම්කඩ සැමරීම වෙනුවෙන් එතැන සෑදු මහා සෑය කිරිවෙහෙර නමින් අද හඳුන්වනු ලබයි.

එදවස මෙතන කිහිරි උයනකි. බුදුන් වහන්සේ වැඩසිටියේ කිහිරිගසක් මුලය.

කිහිරි උයනේ කිහිරි ගසක් මුල වැඩ සිටි තැන කිරිවන් පැහැයෙන් කරවන ලද ස්තූපය කිරිවෙහෙර වශයෙන් හඳුන්වනු ලබයි. මෙම කිරිවෙහෙර කරවන ලද්දේ රුහුණේ රජ කම් කළ මහානාග රජතුමා විසින් බව කියැවෙයි. මෙය ක්‍රි.පූර්ව 1 වන ශතවර්ෂයේදී කළ බව එම වෙහෙරේ ගඩොල් වල ඇති ලක්ෂණ සාක්ෂි දරන බවද ඇතැම් තැනක සඳහන්ව තිබේ.

තවත් මතයක් වන්නේ චෛත්‍යය ක්‍රි.පූර්ව 2 ශත වර්ෂයේදී කටගමුවේ විහාරස්ථානයක වැඩ විසූ භික්ෂූන් වහන්සේ නමක් විසින් කර වූ බවකි. ක්‍රි.පූ. 2 ශත වර්ෂයෙන් වසර 700 කට පසුව දප්පුල රජතුමා විසින් විහාර මන්දිරයක් ගොඩ නැංවූ බවද සඳහන්ව ඇත. පස්වන ශත වර්ෂයට අයත් ශිලා ලේඛනයකට අනුව කිරිවෙහෙර මංගල මහා චෛත්‍ය වශයෙන් හඳුන්වා දී තිබෙයි. කාලයාගේ දීර්ඝ ගමන් පථයේදී ගරාවැටුණු මේ මහා සෑ රදුන් නැවත ප්‍රතිසංස්කරණය කරන ලද්දේ 1961 වසරේදීය. කිරිවෙහෙර අඩි 95 ක් උස් වන අතර පහත බිම් මට්ටමේ වට ප්‍රමාණය අඩි 280 ක පමණ වෙයි.

කතරගමට පිවිසෙන බොහෝ මිනිසුන්ගේ සිත්, භක්තිය හා රැඳුණු විශ්වාසයන්,අපේක්ෂාවන් අතර ද දෝලනය වුවද කිරිවෙහෙර,සමීපයට පැමිණෙන මිනිසාගේ සිත මත තැන්පත් වන්නේ අපමණ වූ සැනසිලිදායක සැහැල්ලුවකි. වනකතර පිස එන පවනැල්ල සදහම් සිහිලෙන් නැහැවී සම්බුදු පහසින් පිවිතුරු වී මහරහතන් වහන්සේගේ පහසින් සවි බල වී බොදු මිනිස් සන්තානයටම සුවයද, සැනසුමද සමීප කරවන අපූරු පරිසරයක් නිර්මානය කරවන සුළුය.සර්වඥ ධාතු කතා විස්තර සටහන් අනුව ඇතැම් තැනක කියැවෙන්නේ

බුදුන් වහන්සේ කිගිරි ගස අසල වැඩ සිටි රන් අසුනක් – සිදුහත් කුමරුගේ මඟුල් කගපතක් බුදුන් වහන්සේගේ කේෂ ධාතූන්ද මෙම කිරිවෙහෙරෙහි නිධන් කර ඇති බවය. බුදුන් වහන්සේගේ සර්වඥ ධාතූන් නිධන්කර සාදා ඇති කිරිවෙහෙර වන්දනාකර එතැනින් නික්මී බෝධීන් වහන්සේ වෙත එන කෙටි දුර මත ලියවී ඇත්තේ දිගු ඉතිහාස කතාවක ස්වර්ණමය පරිච්ඡේදයකි .

සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේට තෛ‍්‍රලෝකාග්‍ර වූ උත්තම බුද්ධත්වය ලබා ගැනීමේදී සෙවණද, සිසිලසද සැපයූ ඒ අචේතනික වෘක්ෂය ශ්‍රී මහා බෝධියයි.එතැන් පටන් මේ අචේතනික ගස ශ්‍රී මහා බෝධීන් වහන්සේ නමින් සචේතනික මිනිසා ද පරදවන සුළු වූ සකල බෞද්ධ මානව සමාජයේම වැඳුම් පිදුම් ලබනා පිරිපත නිමවන, උතුම් ප්‍රාර්ථනාවන් ඵල දරවන පූජනීය වස්තුවක් බවට පත්විය. ගසක දිග පළල වට අඩි ප්‍රමාණයට මිලක් නියම වුවද මලක්,ඵලයක් ගත නොහෙන කිසිදු භෞතික වටිනාකමක් නැති මේ පුදුමාකාර ගසට මිලක් නියම කළ නොහැක.

එය එසේ වන්නේ මේ මහා රුක් රජුන් බුද්ධත්වයට පිටදුන් සෙවණ සළසා දුන් නිසාම නොව ධර්මාශෝක රජතුමා මුළු ජම්බුද්වීප රාජ්‍යයම ශ්‍රී මහා බෝධියට පූජා කළ බැවිනි.

ඒ ලෙසම දෙවනපෑතිස් නරේන්ද්‍රයාණෝද ධර්මද්වීපයක් වූ අප මාතෘභූමියම ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ නාමයට පූජා කළ බැවිනි.

ශ්‍රී මහා මාතෘ බෝධියේ දක්ෂිණ ශාඛාව අනුරපුරයේ මහමෙව්නා උයනේ රෝපණය කර එයින් ඒ මොහොතේ පැණ නැගුණු ඵල අටින් එකක් වඩමවාගෙන විත් රෝපණය කිරීමට තරම් වාසනාවන්ත වූ කතරගම අප මාතෘ භූමියේ ගෞරවාන්විත පුණ්‍ය භූමියක් විය.

ශ්‍රී මහා බෝධින් වහන්සේ අනුරපුර අග නගරය වෙත වැඩමවාගෙන එන රාජ්‍ය ගෞරව සහිත පෙරහරම කාචරගාම ක්ෂත්‍රිය වංශික කුල පුත්‍රයකු කැඳවීමට තරම් ඒ යුගයේ මෙපුරවරය ලාංකේය බිමේ කැපී පෙනෙන ඉසව්වක් බවට පත් වී තිබුණි.

අප මව් බිමේ බුද්ධාගම ව්‍යාප්ත කිරීමේ ප්‍රබලතම රාජ්‍ය සංකේතයක් බවට පත් වූයේද ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පාරිශුද්ධ ශාඛා පරපුරෙහි සහජාත දරු පරපුරක් වන් වූ ශ්‍රී මහා බෝධි අංකුරයන්ය

එවන් වූ, වටිනාකමක් නියම කළ නොහැකි අෂ්ඨඵල රුහ බෝධීන් වහන්සේගේ එක් මහා වෘක්ෂයක් කතරගම පුදබිම තුළ විරාජ මානව වැඩවසමින් බෞද්ධ ජනතාවගේ හරසර ලබන ගෞරවාන්විත සැමරුමක් බවට පත් වී තිබෙයි.

ස්කන්ධ කුමාර දෙවියන් වැඩ වසනා දේව මාලිගාවටද ඒ උතුම් බෝධි වෘක්ෂයේ සෙවණ සිසිලස ප්‍රදානය කෙරෙයි.

බෞද්ධ ජනතාවගේ සද්ධා සම්ප්‍රයුක්ත ගෞරව බහුමානය උපරිම තලයකට පත්කරවීමට සමත් ඓතිහාසික බොදු උරුමයක් උත්තරීතර සැමරුම් ද්විත්වයක් පිහිටි එකම බිමක් තුළ කඳ දෙව් සුරිඳුගේ දේව මන්දිරය ද පිහිටා තිබීම නිසා කතරගම පුද බිම බෞද්ධ උරුමයකට දේව බැල්ම ලද පින්බිමක් බවට පත්වී ඇත.

ශ්‍රද්ධාවද,භක්තියද, එක් තැන් වී අපේක්ෂා සහගත ප්‍රාර්ථනයන් ඵල දරා දීම වෙනුවෙන් කතරගම නම් පුදබිම පෙනී සිටිතැයි අන්‍ය භක්තිකයන් පවා විශ්වාස කරන්නේ කතරගම පූජනීය කෙම්බිම වසා පවතින මේ අපූරු පෙළ ගැස්ම නිසාමය.

අසීමිත ලෞකික අපේක්ෂාවන් පසුපස දිව යන මිනිසාටද සියල්ල අතහැර ලෝකෝත්තර සුවය වෙනුවෙන් සිත එකඟ කර ගත හැකි සුවදායක පරිසරයක් සොයන මිනිසාටද කතරගම නොදැන ගියහොත් අතරමං වන දැන ගියහොත් සුවය සදන අසිරිමත් අඩවියක්ම ය.

 

ඇසළ පසළොස්වක පෝය

ඇසළ පසළොස්වක පෝය ජුලි මස 11 වැනිදා සිකුරාදා අපරභාග 08.31 ට ලබයි. 12 යවැනිදා සෙනසුරාදා අපරභාග 04.54 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුලි මස 12 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
ජුලි මස 19 වැනිදා සෙනසුරාදා ය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුලි 12

Second Quarterඅව අටවක

ජූලි 19

Full Moonඅමාවක

ජූලි 26

First Quarterපුර අටවක

අගෝස්තු 04


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk