UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහාචාර්ය වල්පොළ රාහුල නාහිමි

මහාචාර්ය වල්පොළ රාහුල නාහිමි

මහාචාර්ය වල්පොළ රාහුල හිමියන් ඉතා අල්පේච්ඡ දිවියක් ගත කළ සුපේශල ශික්ෂාකාමි විනය ගරුක හිමි නමකි. කිසිවිටක ප්‍රසිද්ධිය යන්න ගැන මඳ හෝ අවධානයක් යොමු නොකළ මේ කෘතහස්ත හිමිපාණන් පවසා තිබුණේ තමන් වහන්සේ අපවත් වූ විට අපවත් වූ දා පසු දින හෝ ළඟම තිබෙන ආදාහනාගාරයේ අවසන් කටයුතු කඩිනමින් සිදුකර අවසන් කරන ලෙසයි.

ලක්දිව පමණක් නොව අන්තර්ජාතික වශයෙන් පවා ගෞරවාදරයට පත් වූ මහාචාර්ය වල්පොළ රාහුල හිමියන්ගේ සේවාව ඇගැයීමට ලක් කර මහාචාර්ය වල්පොළ රාහුල හිමියන් සම්බන්ධ සියලු විස්තර අනාගත පරපුරට දායාද කිරීමේ අරමුණින් රාහුල හිමියන් සම්බන්ධ අනුස්මරණ දේශනයක් සහ සමරු වැඩසටහනක් ජූලි මස 3වැනිදා බ්‍රහස්පතින්දා පස්වරු 4.00 ට කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මහාචාර්ය වල්පොළ රාහුල හිමියන්ගෙන් ඉටු වූ අධ්‍යාපනික හා ධර්ම ශාස්ත්‍රීය සේවය අගය කිරීම සඳහා මෙම වැඩසටහන සංවිධානය කර ඇති අතර අද ඇතැමුන් මහාචාර්ය වල්පොළ රාහුල හිමියන් යනු කවුරුන්දැයි නොදන්නා තරමට උන්වහන්සේගේ සේවය අමතකව ගොස් ඇති සේයාවක් පෙන්නුම් කෙරේ.

උන්වහන්සේට සිටියේ එකම ශිෂ්‍ය රත්නයකි. ඒ ගල්කන්දේ ධම්මානන්ද හිමියන්ය. කෝට්ටේ පාර්ලිමේන්තු පාරේ බෞද්ධායතන මාවතේ වල්පොළ රාහුල බෞද්ධ අධ්‍යයන ආයතනාධිපති කැලණිය විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ කථිකාචාර්ය ධුරය හොබවන ධම්මානන්ද හිමියන් පවසන්නේ කිසිදා ප්‍රසිද්ධිය ප්‍රචාර බලාපොරොත්තු නොවූ රාහුල හිමියන්ගේ අරමුණු ප්‍රතිපත්ති අද වත්මන් සමාජයට අවශ්‍ය ම වී ඇති බවයි.

උන්වහන්සේ පැවැසූ අදහස් මෙසේය.

ආරම්භයේ සිට අපවත් වීම දක්වා උන්වහන්සේගේ ජීවන තොරතුරු හා ධර්ම ශාස්ත්‍රිය කරුණු මෙන්ම විදේශයන්හි බුදුදහම ප්‍රචලිත කිරීමට උන් වහන්සේගේ මැදිහත්වීම පිළිබඳවත් සකස් කරන ලද වීඩියෝ වැඩසටහනක් සහ මහාචාර්ය අසංග තිලකරත්න විසින් පවත්වනු ලබන දේශනයකින් ද මෙම වැඩසටහන සමන්විත වෙනවා. ඉන්දීය ජාතිකයකු වන එංගලන්තයේ සිටි මෑත යුගයේ ප්‍රසිද්ධව සිටි දාර්ශනිකයකු වූ ක්‍රිෂ්ණ මුර්ති මහතා සමඟ කළ සාකච්ඡා පවා මේ වැඩසටහනේ දී ඉදිරිපත් කෙරෙනු ඇත.

මහාචාර්ය වල්පොළ රාහුල හිමියන් ඉතා අල්පේච්ඡ දිවියක් ගත කළ සුපේශල ශික්ෂාකාමි විනය ගරුක හිමි නමකි. කිසිවිටක ප්‍රසිද්ධිය යන්න ගැන මඳ හෝ අවධානයක් යොමු නොකළ මේ කෘතහස්ත හිමිපාණන් පවසා තිබුණේ තමන් වහන්සේ අපවත් වූ විට අපවත් වූ දා පසු දින හෝ ළඟම තිබෙන ආදාහනාගාරයේ අවසන් කටයුතු කඩිනමින් සිදුකර අවසන් කරන ලෙසයි.

අවසන් කටයුතුවලදී මාධ්‍යවලට විශේෂ අවස්ථා නොදිය යුතු බවට උන්වහන්සේ අවසන් කැමැති පත්‍රය පැහැදිලිව දක්වා තිබෙනවා. කිසිදු අවස්ථාවක වසරක් පාසා පවත්වනු ලබන සමරු උත්සව ආදිය නොපැවැත්විය යුතු බවට උන්වහන්සේ පවසා තිබෙනවා.

එසේ වුවත් වර්තමානයේ ඇතැම් සංඝයා වහන්සේගේ ඇතැම් ක්‍රියා දෙස බලන විට වල්පොළ රාහුල හිමියන් සම්බන්ධව කථිකාවක් අවශ්‍ය බව තේරුම් ගොස් ඇත. විශේෂයෙන් රාහුල හිමියන් නිරතුරුවම පවසා සිටියේ සියල්ල බුදු දහමට අනුව සිදු විය යුතු බවයි. මුල් බුදු දහමේ හරය මහත් සේ අගය කළ උන්වහන්සේ විසින් සිදුකළ අපිරිමිත මෙහෙය ඇගැයීමේ දී වර්තමාන ගිහි පැවිදි දෙපිරිසට ම උන්වහන්සේගේ චරිතය මහඟු ආදර්ශයක් වනු ඇති බව විශ්වාසයයි .

1907 මැයි 09වැනි දා ගාල්ලේ ඉමදුව වල්පොළ ගමේදී උපත ලත් උන්වහන්සේ 1920 වසරේ දී පැවිදි බව ලබා ගත්තා. ඒ වයස අවුරුදු 13 දී. වල්පොළ දම්මදස්සී යන නමින් පැවිදි බව ලැබුවත් පසුව බුදුහිමියන් උදෙසාම දිවිය කැප කිරීම උදෙසා වල්පොළ රාහුල යන නම් උන්වහන්සේ භාවිතා කළා.

ආරම්භයේ දී පරගොඩ සුමනසාර හිමි යටතේ අධ්‍යාපනය හැදෑරූ උන් වහන්සේ භාෂා ශාස්ත්‍ර හැදෑරීම මෙන්ම පරගොඩ හිමියන් මෙන්ම පිණ්ඩපාතයෙන් යැපෙන්න කටයුතු කළා. දුෂ්කර දිවියක් යටතේ පුහුණුව ලැබූ උන් වහන්සේ හීනැටියන ධම්මාලෝක හිමියන් සමඟ ධර්මදේශනා කිරීමට සහභාගි වුණා.

බුදුදහමේ නියම අරුත් රැගත් සත්‍යෝදය නමින් පත්‍රිකා රැසක් උන් වහන්සේ විසින් රචනා කළා. ඒවා මහත් ආන්දෝලනයකට පත් වුණා. එයින් ගැඹුරු විදිහට බුදුදහම ගැන කියවෙනවා. බුදු දහමට පටහැනි දේ මෙන්ම ධර්මයෙන් ඈත්ව තිබෙන දේ ගැනත් උන්වහන්සේ පැහැදිලි කළා. 1993 දී එය පොතක් ලෙසින් පළ කළා. අදත් ඒ කෘතිය ලබා ගත හැකියි.

මෙකල උන් වහන්සේගේ මිත්‍රයකුට ලොතරැයියක් ඇදී උන් වහන්සේගෙන් විමසා සිටියේ අවශ්‍ය යමක් ඇත්නම් දන්වන ලෙසයි. උන්වහන්සේ එහිදී වත්මන් කොළඹ විශ්ව විද්‍යාලය පිහිටි ස්ථානයේ තිබූ ලන්ඩන් යුනිවසිටි කොලේජ් ප්‍රවේශ විභාගය නිර්දේශවය ලබා දෙන්නැයි උන් වහන්සේ ඉල්ලා සිටියා , ඒ අනුව පළමුව විශ්වවිද්‍යාලයකට ඇතුළු වූ භික්‍ෂූන් වහන්සේ බවට උන්වහන්සේ පත් වෙනවා. අධ්‍යාපනය හැදෑරීමෙන් පසු ගුණපාල මලලසේකර මහතා විසින් ලබා දුන් කථිකාචාර්ය තනතුර පවා ප්‍රතික්ෂේප කළ උන්වහන්සේ තවදුරටත් ධර්ම ශාස්ත්‍රීය කටයුතුවල නියැළෙනවා. මලලසේකර මහතා යටතේ ලක්දිව බුදුසමයෙහි ඉතිහාසය නමැති කෘතිය රචනා කරමින් ආචාර්ය උපාධිය ලබා ගත්තා.

මේ අතර නිදහස් අධ්‍යාපන පනත ආචාර්ය සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා විසින් ගෙනාවද එම පනත වසර 3ක යනතුරු න්‍යාය පුස්තකයට පවා ඇතුළු කෙළේ නැහැ. එසේ නොකිරීමට හේතුව ලෙසින් එවක දේශපාලඥයන් පවසා ඇත්තේ සියලු දෙනාට ම නිදහසේ අධ්‍යාපනය ලබා දුන්නොත් ‘අපේ ගස්වල ගෙඩි කඩන්න කට්ටිය නැතිවෙයි ‘ යන්නයි.

එවකට විද්‍යාලංකාර පිරිවෙනේ වැඩ වාසය කළ යක්කඩුවේ ශ්‍රී පඤ්ඤාරාම, නාත්තන්ඩියේ පඤ්ඤාකර, කොටහේනේ පඤ්ඤාකිත්ති , කලුපහන රේවත වැනි යතිවරයන් වහන්සේ එක්ව එවකට ලංකාවේ දිගම අස්සන් සහිත පෙත්සම ඉදිරිපත් කරා. ඒ නිදහස් අධ්‍යාපන පනත ගෙන එන ලෙස ඉල්ලමින්.

එකල පළ වූ ‘කාලය ‘ පුවත්පත ඔස්සේ භික්‍ෂූන් රැස් කරවා 1947 වෙසක් පෝය දින ධර්ම ශාලාව මේ දැනුවත් කිරීම් සඳහා යොදා ගන්නා ලෙස දැනුම් දුන්නා.

1947 දී නිදහස් අධ්‍යාපන පනත සාකච්ඡාවට ගන්නවා. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ වී. නල්ලයියා නම් දෙමළ මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශයක් කරමින් පවසන්නේ භික්ෂූන් වහන්සේ පිරිස නොවන්නට මේ පනත සාකච්ඡා නොකරන බවයි. මේ නිසා අද නිදහස් අධ්‍යාපනය ලබන සියලුදෙනා කන්නන්ගර මහතාට අමතරව වල්පොළ රාහුල හාමුදුරුවන් ඇතුළු ඒ ස්වාමින් වහන්සේලාට ගෞරවය පුද කළ යුතුයි.

වර්ෂ 1950 දී ප්‍රංශ රජයෙන් උන්වහන්සේට ශිෂ්‍යත්වයක් හිමි වෙනවා .ඒ උන්වහන්සේගේ දැනුම ගැන හොඳින් දන්නා නිසයි. ඒ ශිෂ්‍යත්වය හිමි වන්නේ මහායාන දහම හැදෑරීම උදෙසායි. එහිදී උන්වහන්සේ පෝල් ඩමියවෙල් මහතා සමඟ සම්බන්ධ වී මහායාන ධර්මය ගැන පර්යේෂණ කළා. අසංග ආචාර්යපාදයාණන් වහන්සෙගේ අභිධම්ම සමුච්චය කෘතිය ටිබෙට් සහ චීන ග්‍රන්ථ සමඟ සංසන්දනය කරමින් ප්‍රංශ භාෂාවට පරිවර්තනය කළා. ඒ උන් වහන්සේගේ සටහන් සහ විස්තර සහිතවය. එය සමස්ත ලෝකයට කළ ශාස්ත්‍රිය දායාදයක් අදටත් මේ ප්‍රංශ පරිවර්තනය එරට විශ්වවිද්‍යාලයන්හි භාවිතා වනවා.

මේ අතර රාහුල හිමියන් විසින් What the Buddha Taught  නම් කෘතිය පළ කරනවා. එය අද වන විට භාෂා 17කට පරිවර්තනය කර තිබෙනවා. බුදුන් වදාළ ධර්මය නමින් අප අතර ඇත්තේ එම කෘතියයි. මේ අතර මහායාන දහම සම්බන්ධයෙන් උන් වහන්සේ කෘති පළ කරන ලදී.

උන්වහන්සේ ඇමරිකාවේ නොර්ත් වෙස්ටර්න් විශ්ව විද්‍යාලයට සම්බන්ධ වුණි. මේ අතර ලංකා රජය උන්වහන්සේට ආරාධනා කරන්නේ විද්‍යෝදය සරසවියේ උප කුලපති ධුරය බාර ගන්නා ලෙසයි. තම උපන් දේශය වෙනුවෙන් උන් වහන්සේ 1966 එම තනතුර බාර ගනු ලැබුවා. එය අන්තර් ජාතික විශ්ව විද්‍යාලයක් බවට පත් කෙළේ උන්වහන්සේ විසිනි. එවක අධ්‍යාපන ඇමැති විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතුවලට මැදිහත් වීමට විරෝධය පා උන් වහන්සේ තනතුරෙන් ඉල්ලා අස්විය.

යළි ඇමරිකාවට වැඩම කළ උන්වහන්සේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයට ද සම්බන්ධ වී කටයුතු කළා. ආරාධිත දේශන පවත්වමින් ලොව පුරා වැඩම කළ උන්වහන්සේ 70 අගභාගයේ දී යළි ලක්දිව වැඩම කොට අදත් බොදු දහමට මහ මෙහෙයක් කරනු ලබන පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලය ආරම්භ කළා.

බුදුදහමට අනුවම තම දිවි පෙවෙත ගත කළ උන්වහන්සේ කිසිවිටක තවත් අයෙකුගේ සිත රිදෙන ආකාරයට කටයුතු කළේ නැහැ. එසේ සිතු රිදුණා නම් යම් වරදක් කළ අය පමණි.

1997 සැප්. 18වැනි දා අපවත් වන තුරුම උන්වහන්සේ විසින් කරන ලද ශාසනික හා සමාජ මෙහෙවර අද ද බොහෝ දෙනෙක් නොදන්නේ ගුණ වර්ණනා සමරු උත්සව ආදිය නොපවත්වන ලද නිසයි. එහෙත් මෙවර සමරු වැඩසටහනෙන් පසුව හෝ යම් ඇස් ඇරීමක් සමාජය තුළ සිදුවනවා නම් එය උන්වහන්සේට කරනු ලබන විශාල සේවාවක් වනු ඇත. විශේෂයෙන් භික්‍ෂුවකගේ උරුමය කෘතියේ දක්වා ඇති කරුණු සම්බන්ධයෙන් වර්තමාන සමාජය ම අවධානය යෙමු කළ යුතු වෙනවා.

 

පොසොන් මස අමාවක පෝය

පොසොන් මස අමාවක පෝය ජූනි මස 26 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 12.11 ට ලබයි. 27 වැනිදා සිකුරාදා අපරභාග 01.41 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ජූනි මස 26 වැනි දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
ජූලි මස 05 වැනිදා සෙනසුරාදා ය.

 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූනි 26

First Quarterපුර අටවක

ජූලි 05

Full Moonපසෙලාස්වක

ජුලි 12

Second Quarterඅව අටවක

ජූලි 19


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]