පොසොන් අමාවක ජුනි 26 වනදා බ්‍රහස්පතින්දා
සිත රැක ගැනීම
සිත නිරන්තරයෙන්ම කිලිටට පත්වීම ස්වභාවයයි. අපවිත්‍රවීම
ස්වභාවයයි. උපතින්ම සිත ප්‍රභාස්වරය. පිරිසුදුය. දීප්තිමත්ය.
ඒ පවිත්‍ර වූ සිතට බාහිර වශයෙන් පැමිණෙන විවිධ හේතු මුල්වීමෙන්
සිත අපිරිසුදුවෙයි. කිලිටට පත්වෙයි. මනුෂ්‍යයාගේ සිත අපවිත්‍ර
කරන, කිලිටට පත් කරන ප්‍රධාන කරුණු තුනක් වෙයි.
එනම් ආශාවන් හෙවත් ලෝභය, තරහ, වෛරය ආදී දේ නිසා ද්වේෂයත්,
මුලාව, නොදත්බව නිසා මෝහයත් යන එම කරුණු වේ. ප්‍රභාස්වර වූ
සිතට එසේ ලෝභ, ද්වේශ, මෝහ යන සිත අපිරිසුදු දෑ ඒකරාශී වීම නිසා
ඊට කෙලෙස් යනුවෙන් සම්බුදු දහමෙහි සඳහන් වෙයි.
සිත මොහොතක් පාසා වෙනස්වන සුළුය.
සිත පිළිබඳ පැහැදිලි කිරීමට වනයෙන් අල්ලා ගන්නා කුළුමීමා
නොසන්සුන් බව උපමාවක් ලෙස දක්වයි. සිත ද එබඳුමය.
සිතෙහි හට ගන්නා සිතිවිලි ඉතා වේගවත්ය. එමෙන්ම එක් අරමුණක
නොපවතී. මොහොතක් පාසා වෙනස් වෙයි. සන්සුන් බවෙන් ද තොරය. සිත
ජලයෙන් ගොඩටගත් මත්ස්‍යයකු වැනිය. චංචලය. හැම අතටම ගැහෙන
සුළුය.
සංවර කර ගැනීමට අපහසු, වහ වහා වෙනස් වන්නාවූ සිත දමනය,
සංසුන්කර ගැනීම යහපත උදාකරයි.
මනුෂ්‍යයාගේ සිතෙහි හට ගන්නා සිතිවිලි දැකීම පහසු නොවේ.
සිතිවිලි ක්‍රියාවට පත්වන විට ඒවා දැකීමට පහසු වේ. ඉතා
සියුම්වූ සිත තමා කැමැති කැමැති අරමුණුවල එල්ලෙයි.
එහෙත් ඉතා අපහසුවෙන් ආයාසයෙන් නමුත් අසංවර වූ සිත සංවර කර
ගැනීමට නුවණැත්තා විසින් කටයුතු කරනු ලැබේ. එනම් නුවණැත්තා
විසින් සිත රැක ගනු ලැබේ. ආරක්‍ෂා කර ගනු ලැබේ. එසේ රැක ගන්නා
වූ සිත නිවන් සුවයෙන් පවා සැනසීමට පත්වනු ලැබේ.
සත්වයා අනන්ත කාලයක් පුරා සසර සැරිසරන්නේ, හසුරුවන්නේ සිත
මඟිනි.
ස්වභාවයෙන් නපුරට, නරකට පහසුවෙන් ඇදී යන සිත ආරක්‍ෂා කර ගත
යුත්තේ තමා විසින්මය. සිත සංවර කර ගැනීමෙන් සියලු යහපත උදාවන
අතර ඒ සිත අසංවර වුවහොත් අයහපත උදා කර ගනු ලබන්නේ ද තමා
විසින්ම ය.
තනිව හැසිරෙන, සිරුරක් නැති සිත සංවර කර ගැනීමෙන් නිවන් සුවය
ළඟා කර දෙයි.
සිත දමනය නොකිරීම, සිත ආරක්‍ෂා නොකිරීම මහත් අනර්ථයන් පිණිස
හේතුවේ.
කයින්, වචනයෙන් සිතින් යන තිදොරින් සිදුවන සියලු දේ සඳහා
ප්‍රමුඛ වන්නේ, මුල් වන්නේ සිතයි. බොහෝ දේ හට ගන්නේ සිත
මුල්වීම මඟිනි.
සිතෙහි උපදින, හට ගන්නාවූ සිතිවිලි යහපත් වුවහොත් ඉන් සිදුවන
යහපත සුවිශාලය. එමෙන්ම සිතිවිලි අසංවරවීමෙන් සිදුවන අනර්ථය ද
සුළු පටු නොවේ. සිත යහපත් ලෙස පිහිටුවා ගැනීම මඟින් සිදුවන
යහපත තම මව්පිය වැඩිහිටියන් කරන යහපතටත් වඩා උසස් ලෙස සැලකිය
හැකිය.
නොදියුණු සිත් ඇති, ඉන්ද්‍රිය දමනයක් නැති අයද, දියුණු සිත්
ඇති, ඉන්ද්‍රිය දමනය ඇති අයද වෙති. අප අතර එබඳු තත්ත්වයක්
ගොඩනැඟෙනුයේ දියුණු වූ මනසක් ඇති කම හා නැතිකම අනුවය.
සදාචාර සම්පන්න සමාජය උසස් සමාජයක් ලෙස පිළිගැනේ. ඊට
ආධ්‍යාත්මික ශික්‍ෂණය අත්‍යවශ්‍යය. මානසික දියුණුවක් තිබිය
යුත්තේ එබැවිනි. එසේ දියුණුවීමට ශික්‍ෂණ ක්‍රමයක් අවශ්‍ය වන
හෙයින් මානසික ශික්‍ෂණය දියුණු කළ භාවිත මනසකින් මිස අභාවිත
සිතකින් එසේ ලැබිය නොහැකිය.
වර්ධනය කරන සිත තරම් පුද්ගලයාගේ දියුණුවට, අභිවෘද්ධියට හේතුවන
තවත් කරුණක් නොමැති තරම්ය. ශාන්තිනායක අමාමෑණී බුදුපියාණන්
වහන්සේ එ බව ප්‍රත්‍යක්‍ෂයෙන්ම දැන දේශනා කළ ශාස්තෘන් වහන්සේය.
ජීවිතය අස්ථිර, තාවකාලික නම් ජීවත් වන කෙටි කාලය තුළ ලෝභ,
ද්වේශ, මෝහ අකුසලයන් සිතට ළඟා කරගෙන සසර දුක් විඳින්නට පෙළඹිය
යුතු නොවේ. නාමිකව මමය, මාගේය යැයි අල්ලා ගැනීමට කල්පනා කළ ද?
ඒ කිසිවක් මමය මාගේය යැයි පවත්වා ගත හැකිද? සිත ආරක්‍ෂා කර
ගැනීම තුළින් මෙලොවත් පරලොවත් යන දෙලොවදීම සුවය, සහනය ළඟා කර
දෙයි. |