UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මැකී නොමැති පියසටහන්

බෞද්ධාගම හා සබැඳෙන ඓතිහාසික සන්සිද්ධීන් සිහිපත් කිරීමේදී පොසොන් පුර පසළොස්වක පොහොය ප්‍රධාන වන්නේ මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනය නිසාය.

සම්බුද්ධ චරිතයේ ප්‍රබල සිදුවීම් ප්‍රමුඛ නොවෙමින් මහින්දාගමනය වඩාත් ඉස්මතු වන පොසොන් පුරපසළොස්වක පොහොය දිනය අප මාතෘභූමිය හා සබැඳෙන නිසා ලෝක බෞද්ධ ජනතාව පොසොන් පොහොය සමරන විට එය හා එක එල්ලේ සම්බන්ධ වන ලංකාවටද ඓතිහාසික පූජනීයත්වයක් උරුම වීම නොවැළැක්විය හැකිය. ලෝකය පුරා සදහම් දීපය නොහොත් ධර්මද්වීපය නැතිනම් දහම් දිවයින වශයෙන් ශ්‍රී ලංකාව සැළකීම ඊට කදිම උදාහරණයකි.

ලංකාවට බුද්ධාගමේ ස්වර්ණමය සන්දේශය රැගෙන වැඩිය මිහිඳු මහ රහතන් වහන්සේ ලාංකේය බෞද්ධ ජනතාවගේ හද පත්ල තුළ සටහන් තබන්නේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ යන අති ගෞරවනීය නාමයෙනි. බෞද්ධ ජන සමාජයට මිහිඳු මහ රහතන් වහන්සේ ‘දෙවන බුදුන් වහන්සේය.

ඊටත් වඩා ගෞරවණීය නාමයක් ශබ්ද කෝෂයෙන් සොයා ගැනීමට නොහැකි තරම්ය.

එයින් ඇරැඹෙන ලාංකේය ශිෂ්ඨාචාරවත් ගමන් මඟ මිහින්තලාවට නැඟෙන අසිරිමත් පිට ගැය පෙළ සේය. බෞද්ධාගම සමඟ ගොඩනැඟෙන සංස්කෘතිකාංග දෙපස රමණීය කරනා අපූර්වත්වයෙන් පිරි අරලිය වෘක්ෂ මත පිපී නැළවෙන පුෂ්පයෝද , කඳු මුදුන් සිසාරා දිදුලන චෛත්‍ය පෙළද, පධාන ඝර උපෝෂථ ඝර සන්නිපාත ශාලා මහා දාන ශාලා, ලියවැල් මුරගල් මනහර පොකුණු, මහා රුක් දෙවිඳුන් හා සමවැදී සබැඳී නොකිලිටි මහා සංස්කෘතියක සභ්‍යත්වයක පැහැදී උල්පත් සෑදී ගලනා සදහම් පුළුල් පදනමක් සාදා තිබෙයි.

ලාංකික බිම මහමළුවක් කළ එවන් උත්තමයකු නොවන්නට මෙතරම් සුබඵල මේ දේශයට නො ලැබෙන බව සත්‍යයක් වුවද අනුබුදු හිමි මේ දේශයට වැඩිය ගමන් මගේ සැමරුම් සටහන් සොයා යන ඉතිහාසඥයා , පුරා විද්‍යාඥයා ඒ අසිරිමත් මාවතේ ස්ථිර පිය සටහන් සෙවීමට වෙහෙසෙයි.

ගවේෂණයේ සාර්ථකත්වය මත විශ්වාසය ස්ථිරත්වයට පත්වී දේශයක අභිමානය, සාඩම්බරය තව තවත් ඔද තෙද වත් කරවයි.

මෙම වෙහෙසකර ව්‍යායාමයට උරදුන් ගවේෂකයන් අතර මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන්ගේ නාමය අමතක කළ නොහැකිය.

1951 වසරේදී කළ කැණීම් වලින් නිශ්චිත වශයෙන් මිහින්තලේ මිහිඳු මහා සෑය තහවුරු කර ගනිමින් මිහිඳු මහ රහතන් වහන්සේගේ පූජනීය ධාතු සොයා ගැනීම මෙම ඓතිහාසික සන්සිද්ධියේ විශේෂ අවස්ථාවකි.

එය දීර්ඝ ගවේෂණයක මහඟු ඵලයකි. මිහින්තලයේ මහා ස්තූපයට බස්නාහිරින් වූ ගොඩැල්ල අතිශය වටිනා සිහිවටනයක් වශයෙන් හඳුනා ගැනීමට හැකිවීම භාග්‍යයක්මය. එහි කැණීම් කටයුතු කරද්දී ‘ලංකාවේ හෝ ඉන්දියාවේ හෝ එතෙක් කිසිවිටෙක හෙළිවී නැති වර්ගයකට අයත් ඔප දැමූ කළු මැටියෙන් නිම වූ කරඬුවක් හමුවිය. එහි උස අඟල් 5 3/8ද විශ්කම්භය අඟල් 2 7/8ක්ද වේ. මෙම කරඬුව ලංකාවේ මෙතෙක් සොයාගෙන ඇති වටිනාම මැටිබඳුන වන්නේය. එය ඉතාම පැරැණි බඳුනද වෙයි”

‘කරඬුවේ තැන්පත් කර තිබුණේ මීට වඩා සුළු කොට තැකිය හැකි දෙයක් නොවේ. එහි උඩහෙප්පුවේ තුනි රන් තහඬුවකින් තැනූ ධාතු කරඬුවක් විය.

එය තනා තිබුණේ ලංකාවේ හෝ ඉන්දියාවේ හෝ දක්නට ලැබෙන ඉතා පැරණි ස්තූපයක ආකාරයටය. ධාතු කරඬුව ඇතුළත ඉතා කුඩා අස්ථි කැබලි ද අළු ස්වල්පයක් ද විය “ “ධාතු කරඬුවෙන් නිරූපණය කර ඇත්තේ ඉන්දියාවේ ඇති පුරාණතම ස්තූපය වන සාංචි ස්තූපයේ නිර්මාණ ක්‍රමයයි. මේවා ක්‍රි.පූර්ව තෙවැනි හෝ දෙවැනි සියවස් වල නිර්මාණය විය යුතු යැයිද නිගමනය කිරීම සාධාරණය ‘ ‘සුන්බුන් අතර වූ ගඩොල් කැටවල කොටා තිබූ බ්‍රාහ්මී අක්ෂර වලටත් එය ගැළපෙන වකවානුවකි. කරඬුවේ තිබුණු අළුද ස්තූපයක් සාදා නිධන් කර ගරු කළ යුතු තරම් ශ්‍රේෂ්ඨ යැයි සැලකු අති පූජිත සමකාලීනයකුගේ අළු යැයි සැලකිය හැකිය’
(පුරා විදු පර්යේෂණ -සෙනරත් පරණවිතාන)

මෙම ග්‍රන්ථයේම සෙනරත් පරණවිතාන මහතා මෙසේ සදහන් කරයි. ‘ඉතා පැරැණි බ්‍රාහ්මී අක්‍ෂර සහිත ගඩොල් කැට නිසා එම ස්තූපය ලංකාවේ තනන ලද මුල්ම ස්තූප වලින් එකක් බවට සාක්‍ෂි දරයි. ‘අද අපට දකින්නට තිබෙන්නේ මිහින්තලේ නිධන් කළ මිහිදු මහ රහතන් වහන්සේගේ ශාරිරික ධාතු වලින් කාලයේ ව්‍යසනයෙන් බේරී ඉතිරි වුණු කොටසකි.

‘එය එසේම බව භාජනයේ සඳහන් කර නොතිබීමෙන් ස්තූපයේ හෝ ඒ අසල හෝ කිසිතැනක එය සටහන් කර නොතිබීමත් නිසා අපගේ නිගමනය සපුරා නිවැරැදි යැයි කිව නොහේ. එහෙත් එය සනාථ කිරීමට ඇති අනුමාන සාධක ප්‍රමාණය අනුව බලන විට අපේ නිගමනය පිළිගත යුතු වන තරම් යැයි කිව හැකිය’

මෙම ගවේෂණයන්ගෙන් ලැබෙන නිරීක්‍ෂණයන් තවත් විමසා බැලීමට හැකිය. එම තහවුරු කරගත් යුගය යනු මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසුව එළඹුණු ආසන්න කාලයකි. විශේෂයෙන් ස්තූපයක් සාදා ගරු ගාම්භීර ලෙස එවන් ස්තූපයක් තුළ ධාතු ගර්භයක අළු ශාරිරික ධාතු තැන්පත් කරන්නේ නම් ඒවා පූජනීය විශිෂ්ට පුද්ගලයකුගේමයි. සාධාරණ සැකයේ වාසිය අනුව මහාචාර්ය සෙනරත් පරණවිතානයන් තහවුරු කරන සාක්‍ෂිය පිළිගැනීම ඉතාමත් යුක්තිසහගත වෙයි.

මහින්දාගමනය පිළිබඳ තවත් ප්‍රබල සාක්‍ෂියක් එකතු කරන්නේ මහා සෑය වෙතට යාමට ඇති ගල්තලාවේ කපා ඇති පළමු වැනි පඩි පන්තියට නුදුරින් ඇති සෙල් ලිපියය. ඒ පිළිබඳව 1912 දී ඵල කළ වලිසිංහ හරිශ්චන්ද්‍ර මහතාගේ ‘සිතියම් සහිත පුරාවිද්‍යාව ‘ ග්‍රන්ථයේ මෙසේ සඳහන් වෙයි.

‘ මීට අවුරුදු දෙදහස් දෙසීය විස්සකට පූර්ව කාලයෙහි දඹදිව එක්සේසත් කොට රාජ්‍ය කළාවූ ධර්මාශෝක හෙවත් අශෝක මහ රජතුමාණන් කල දඹදිව ව්‍යවහාර වූ අක්‍ෂර වර්ගයක් වන අශෝක නම් අකුරෙන් යුත් සන්නසක් අම්බස්තලයෙහි ගලේ කොටා තිබේ. පේළි පහකින් යුතු එහි අර්ථය මෙසේය ‘

‘ගෞරවාර්හ ආචාර්යවරයාණන් විසින් කරන ලද නියම ඇත්තේ පියාණන් විසින් පිටත් කරන ලදුව සිව්දෙනකු විසින් පිරිවරනු ලැබ ලො වැඩකරනු කැමැත්තෙන් පැමිණ මෙම භූමියේ සැතපෙමින් සිටිමින් හිඳිමින් සියලු ජනයා පාපයෙන් මුදවයි’ යන්නයි.

මිහිඳු මහ රහතන් වහන්සේ වැඩ සමකාලීන අක්‍ෂරයෙන් ලියන ලද්දක් වීමෙන් අනු බුදු හිමියන්ගේ ලංකාගමනය පිළිබඳ නිගමනයකට පැමිණීමට එයද කදිම සාක්‍ෂියක් වනු නියතය.

මහින්දාගමනය තවත් තහවුරු කරගත හැකි සෙල් ලිපියක් නැඟෙනහිර පළාතේ ඇති ‘ගිරි කිබලව් තිස හෙවත් රජගල ‘ මහා විහාර සංකීර්ණයෙන් හමුවී තිබේ.

පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ තම ‘සිංහල බෞද්ධ උරුමය ‘ ග්‍රන්ථයේ ඒ පිළිබඳව මෙසේ සදහන් කරයි. ‘මෙහි පර්වත තලාවේ කැටගල් ස්තූපය අසල පර්වතයේ උඩ සිට පහතට විශාල අකුරෙන් මෙම ලිපිය කොටා තිබේ. එයින් කියැවෙන්නේ මේ දිවයිනට ඍද්ධියෙන් වැඩ ‘මහින්ද ඉට්ඨිය යන මහ රහතන් වහන්සේලාගේ භෂ්මාවශේෂ එහි ස්තූපයේ නිධන් කර ඇති බවයි ‘ ‘මහින්දාගමනය, තත් ශතවර්ෂයේදීම ලියුවුණු මෙම ලිපියෙන් මොනවට සනාථ වේ ‘

‘එපමණක් නොව මිහිඳු මහ රහතන් වහන්සේ පිරිනිවි පසු ආදාහනයෙන් ලත් භෂ්මාවශේෂ ලක්දිව විවිධ ප්‍රදේශවලට පූජනීය වස්තු වශයෙන් බෙදාහළ බවත් ඒ අනුව සියලු තැන ස්තූප කරවු බවත් කියැවෙන වංශකතා පුවත මෙම ලිපියෙන් සනාථ වෙයි ‘ යනුවෙනි .

එසේම කොළඹ කෞතුකාගාරයේ ඇති 6 –7 සියවසට අයත් යැයි සැලකෙන ජීව ප්‍රමාණයේ ලෝකඩ පිළිමය මිහිඳු මහ රහතන් වහන්සේගේ බව මහාචාර්ය මාලිංග අමරසිංහ මහතා තහවුරු කර ගෙන ඇත.

එසේම සිතුල්පව් විහාරයේ කටාරම් ලකුණු වලට යටින් වියැකී යමින් පවතින ධර්මදේශනා කරන අයුරු පෙන්වන රූ පෙළින්ද චිත්‍රනය කර ඇත්තේ මිහිඳු මහරහතන් වහන්සේගේ ධර්ම දේශනා කරන ආකාරය පිළිබිඹු කිරීමක් බව මහාචාර්යවරයා පවසයි. යම් ඓතිහාසික සන්සිද්ධියක් ඕපපාතිකව පැණ නොනගී. පූර්ව සාක්‍ෂි දත්තයන් මත ක්‍රමිකව විකාශනය වී ආ බව මහින්දාගමනය සනාථ කරනා සන්සිද්ධි මත ගොඩනැගෙයි.

ඒ නිසාම 6 –7 සියවස් වලදී පැවැත්වු පෙරහර වල බුදුන් වහන්සේ නොවන වෙනත් සුවිශේෂී විශිෂ්ඨයකුගේ ප්‍රතිමාව වැඩම වූ බවත් සනාථ වන කරුණු හෙළිවෙයි. ඒ අනුව කෞතුකාගාරයේ ඇති සුවිශේෂී පිළිමය මිහිඳු මහ රහතන් වහන්සේගේම බව සනාථ කර ගත හැකිය.

මේ සියලු කරුණු සම්පිණ්ඩනය කර අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ ඒ ඵෙශ්චර්යවත් පූජනීය සංචාරය සනාථ කිරීමට අවැසි ප්‍රබල සාක්‍ෂි එකතු කරනු ලබයි.

එමෙන්ම සැදැහැති බෞද්ධ සිත්සතන්හි නිධන්ගත වී ඇති මාතෘභූමිය පුණ්‍යවන්ත කළ අනුබුදු හිමියන් ගේ ආගමනය හෙවත් මහින්දාගමනය පොසොන් පුන් සඳ නැඟ එනවාසේම අපගේ අත්මයෙන් ගළවා දැමීමට, කිසිවකුටත්, කිසිවිටෙකවත් නොහැකි වනු ඇත. ඒ තරමට එය ඇට මිඳුළුවලට කැවී ජාන වලට ද සම වැදුණූ පරම්පරාගතව පැවතෙන ඥාති සබඳතාවයක් වී හමාරය.

 

පොසොන් මස අව අටවක පෝය

පොසොන් මස අව අටවක පෝය ජුනි මස 19 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 01.06 ට ලබයි. 20 වැනිදා සිකුරාදා පූර්වභාග 11.29 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි මස 19 වැනිදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය ජුනි මස 26 වැනිදා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 19

Full Moonඅමාවක

ජූනි 26

First Quarterපුර අටවක

ජූලි 05

Full Moonපසෙලාස්වක

ජුලි 12


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk