2014 ජුනි 19 වනදා බ්‍රහස්පතින්දා
දෙලොව යහපත උදාකරන සම්බුදුදහම
මනුෂ්‍යයාගේ මෙලොව සහ පරලොව හිත පිණිස හේතුවන කරුණු හතරක්
බැගින් බුදුදහමේ දැක්වේ. එනම් උට්ඨාන සම්පදා, ආරක්ඛ සම්පදා,
කල්‍යාණ මිත්තතා සහ සම ජීවිකතා යන කරුණු පුද්ගලයාගේ මෙලොව
ජීවිතයේ යහපත උදාකරන බව භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ දේශනා කර
වදාළහ.
යමෙක් ගොවිතැන් කිරීමෙන්, වෙළෙඳාමෙන්, ගවපාලනයෙන්, රාජ්‍ය
සේවාවෙන් හෝ වෙනත් යම්කිසි ශිල්පයක් මඟින් තම ජීවිකාව
පවත්වාගෙන යන්නේද? ඒ තමන් කරන කටයුත්තෙහි දක්‍ෂවේද? අලසකමක්,
උදාසීනකමක් ඇති කර නොගනීද? ඒ ඒ ක්‍රියාවෙහි විමසීමෙන් කටයුතු
කරන්නේද? එමෙන්ම එම කටයුතු කිරීමට යම් කෙනෙක් සමත්වේද? එය
උට්ඨාන සම්පදාවයි.
ලොකු කුඩා සියලු දෙනාගේ ජීවිත පිළිබඳව කල්පනා කරන විට උට්ඨාන
සම්පදා හෙවත් උත්සාහය නොමැති වූ විට එම ජීවිතය මෙලොව වශයෙන්
උසස් තත්ත්වයකට පත්කර ගැනීමට අපහසු වේ.
දහඩිය මහන්සියෙන්, දෑත දෙපයේ වීර්යයෙන් උපයා සපයා ගන්නා දැහැමි
ධනය තමා ආරක්‍ෂා කර ගත යුතු වෙයි. උපයන ධනය සිව් කොටසකට වෙන්
කළහොත් ඉන් එක් කොටසක් තමන්ගේ පරිහරණයට සහ දෙකොටසක් තම මතු
අභිවෘද්ධිය සඳහා වැය කළ යුතු වේ. සිව්වන කොට තමා වෙත විපතක්,
කරදරයක් උවදුරක් පැමිණිවිට එය ප්‍රයෝජන ගැනීම සඳහා තැන්පත් කර
තබා ගත යුතු වේ.
එමෙන්ම මෙලොව ජීවිතය යහපත්ව පවත්වාගෙන යාම සඳහා කල්‍යාණ මිත්‍ර
ඇසුර අත්‍යවශ්‍යය. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය සම්පතකි.
දැහැමින් ධනය උපයා ගනිමින් මෙලොව ජීවිතය ගොඩ නගා ගැනීමට උත්සාහ
කරන විට ඇතැම් විට එය නොරිස්සන මිතුරන්ගේ ඇසුරට යොමුවීමෙන් තමා
බලාපොරොත්තු වන යහපත් ගමන යා හැකි නොවනු ඇත.
මිතුරන් ඇසුරු කිරීම පිළිබඳවද බුදුරජාණන් වහන්සේ ඉතා පැහැදිලිව
දේශනා කර ඇත. එමඟින් යහපත් කලණ මිතුරන් කවරෙක්ද? මිත්‍ර
ප්‍රතිරූපකයන් ආදී මිතුරන් පිළිබඳව පැහැදිලිව දේශනා කර වදාළහ.
දියුණුව, යහපත අපේක්‍ෂා කරන සෑම අයෙක් විසින්ම කල්‍යාණ මිත්‍ර
ආශ්‍රයටම යොමුවිය යුතුය. කල්‍යාණ මිතුරන්ගෙන් වෙන් වූ ජීවිතය
අගාධයට යොමුවනු ඇත. එබැවින් යහපත් අර්ථාන්විත ජීවිතයක් ගත
කිරීමට කල්‍යාණ මිත්‍ර ආශ්‍රය සම්පතකි.
සිව්වන කරුණ නම් සමජීවිකතා වේ. තමාගේ දියුණුව, ප්‍රගතිය
අපේක්‍ෂා කරන සෑම කෙනෙක්ම අයවැය සමව පවත්වාගෙන යා යුතු ය.
වැවක පිරි ජලය සොරොව්, හා ඇළ මඟින් ඈතින් ඈතට ගෙන ගොස් අක්කර
දහස් ගණනක් වගාබිම් කෙත්බිම් බවට පත් කරනු ලැබේ. එසේ වැවකින්
ජලය බෙදා හරිනුයේ ඒ වැවට ජලය ඒකරාශිවීමට අවශ්‍ය ඇළ මාර්ගද නිසි
ලෙස යොදා තිබීමෙනි. වැවක ස්වභාවය පත්ලට සිඳෙන තෙක් එහි ජලය
බෙදා හරිනු නොලැබේ. වැව ද ආරක්‍ෂා කරගනිමින් ජලය බෙදා හරිනු
ලැබේ. වැවට ජලය ගලා එන මාර්ග විවෘතව තබමින් වැවෙන් ජලය පිටවන
මාර්ග අත්‍යවශ්‍ය වේලාවට විවෘත කරගන්නා සේ තමා හැකිතාක්
දැහැමින් උපයා ගන්නා ධනය ආදායමට අනුව වැය කිරීමට කල්පනා කළ
යුතු ය.
ලැබෙන ආදායමට වඩා පරිභෝජනය වැඩිවුවහොත් අයවැය සමව පවත්වාගෙන යා
නොහැකිය. එබැවින් ලැබෙන ආදායමට සරිලන සේ ජීවිතය පවත්වාගෙන යාමට
සැලසුම් කළ යුතුය. ධනය වියදම් කිරීම පිළිබඳව සිඟාලෝවාද සූත්‍රය
කරුණු පැහැදිලි කර දෙනු ලැබේ.
මංගල, අවමංගල ආදී නොයෙක් උත්සව සඳහා බොහෝ ධනය වියදම් කර යි.
ඇතැම්විට ණයට මුදල් ගෙන හෝ වියදම් කරයි. එහෙත් තම ආදායමට අනුව
සියලු වියදම් දැරීමට හැමවිට කල්පනා කළ යුතුව ඇත. ඇතැම් විට
නිවසට, දරුවන්ට අවශ්‍ය ඇඳුම් පැළඳුම් පමණක් නොව වෙනත් බොහෝ
උපකරණ පිළිබඳව විමසා බලන විට පවා තමාට භාණ්ඩ මිලට ගැනීමේදී එය
අවශ්‍යද? නැතිනම් අත්‍යවශ්‍යද? එසේත් නැතිනම් අනවශ්‍යදැයි
කල්පනා කර භාණ්ඩ මිලදී ගැනීමේ දී පවා කල්පනා කළ යුතුව ඇත.
ගෙදරදොර ලස්සන කර ගැනීමට නැතිනම් අල්ලපු ගෙදර අයත් ගෙනා නිසා
හෝ යැයි සිතමින් අනවශ්‍ය භාණ්ඩ රැස්කර තබාගැනිමෙන් තමාගේ
අල්පේච්ඡ ජීවිතය සරල බවෙන් ඈත්වී යාමට ඉඩ ඇත.
අප මෙලොව ජීවිතය ගැන පමණක් නොව මරණින් මතු ජීවිතය ගැන ද
කල්පනාවට ගත යුතුය. ‘සද්ධා’ ‘ශීල’ ‘චාග‘ හා ‘පඤ්ඤා’ යනුවෙන්
දහමෙහි දැක්වෙනුයේ පරලොව සුගතිගාමී වන සම්පත් සතරකි. එබැවින්
බුදුදහම මෙලොව ජීවිතය මෙන්ම පරලොව ජීවිතය ද යහපත් කරන උතුම්
දහමකි. |