UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් දැනුම

ප්‍රශ්නය
මජ්ඣිම නිකායේ ‘කොසම්බි’ සූත්‍ර දේශනාවට අනුව සපයාගත් දෙය කොතරම් දැහැමි වුවද සමාජ යහපැවැත්ම සඳහා සහජීවනය අරමුණු කොටගෙන ධනය බෙදා හදා ගත යුතුය.අවම වශයෙන් තම පාත්‍රයට ලැබුණු සුළු දෙය වුවද බෙදා හදා නොගෙන නොවැළඳීය යුතු බව දැඩි ලෙස ම අවධාරණය කොට ඇත. පෙළ දහමට අනුව ‘චාග‘ සම්පතකි. සිව් සඟරාවතින් (චතුස්සං ගහ වත්ථු) දානය පළමු වැන්නෙන් අවධාරණය කළේ ඒ නිසයි. සමාජ සාධරණීකරනය සඳහාද බුදුදහම දානය අවශ්‍යම අංගයක් වශයෙන් සලකා තමා වෙතින් අනෙකාට හෙවත් ‘එකා සැමටත් සෑම දෙනාටත් ‘ යන තේමාව ඔස්සේ (පරිත්‍යාග) චාග සම්පත්තිය අත්‍යවශ්‍ය අංගයක් විය යුතු බව පැහැදිලි කරන්න.

පිළිතුර
පෙළ දහමට අනුව ප්‍රධාන හේතු දෙකක් නිසා ‘දන්දීම’ අවධාරණය කර තිබෙන බව පැහැදිලිය. ඉන් පළමුවැන්න පුද්ගලයා සමාජ සත්වයෙකු ලෙස සැලකීමයි. අනෙක් පුද්ගලයෙකුගේ පරිත්‍යාගශීලිබව සමාජ ප්‍රගතියට බෙහෙවින් හේතු සාධකයක් වන බවයි. පුද්ගල හා සමාජගත දුකට ප්‍රධාන හේතුව තෘෂ්ණාව බව බුදුහු වදාළහ. තෘෂ්ණාව නිසා අයත්කර ගැනීම රැස්කිරීම, පැහැරගැනීම මගේ බවට පමුණුවාගැනීම මමත්වය ගොඩනැගීම එමගින් (සක්කාය දිට්ඨි) හෙවත් ආත්මීය මානයක් ගොඩනගා ගැනීම ආදිය සිදුවෙයි. මෙම මිථ්‍යා දෘෂ්ටිය පුද්ගල සන්තානය තුළින් ඉවත් කිරීමට ප්‍රතිපක්ෂ ධර්මයක් පුහුණු කළ යුතුයි.මෙසේ ලෝභය, රාගය, තෘෂ්ණාව, ප්‍රහීණ කිරීමට පරිත්‍යාගය අනුගමනය කළ හැකි ඵලදායි මාර්ගය වෙයි.

අත්හැර දැමීමේ සංකල්පය ‘නෙක්ඛම්ම’ නමින් හැඳින්වෙයි. ආධ්‍යාත්මික දියුණුව සැලසීමේ අඩිතාලම එයින් දැමෙයි. සිව් සඟරාවතින් වඩාත් අවධාරණය කර ඇත්තේ දන් දීමෙහි (පරිත්‍යාගයෙහි) සමාජමය අරුතයි. සමාජ යේ යහපැවැත්ම මෙන්ම සත්ගුණවත් භාවයට පරිත්‍යාගය අත්‍යවශ්‍ය වෙයි. නොදීමෙන් තැන් තැන්වල එක් රැස්වීමට පටන් ගැනේ. එවිට වෙනත් තැනක හිදැසක් (ඉඩක්) අවකාශයක් (අඩුවක්) ඇතිවෙයි. ඒ හේතුවෙන් සන්නිධිකාර (අධිකාරි) බලයක් ඇතිවෙයි. සමාජය තුළ එක්කොටසක් බලය පවරාගනී. එමගින් සමාජය තුළ සමතුලනය (සමසේ බෙදීයාම) නැතිවේ . සම්පත් සූරාකෑමකට ලක්වේ. එවිට සම්පත් හිඟයකට හා විනාශයකට මුහුණපෑමට සිදුවේ.

ප්‍රශ්නය
පුද්ගලයෙකු උපයාගත් ධනය ධාර්මික වන්නේ උට්ඨාන විරියාධිගත’ යන බෞද්ධ සංකල්පය නිසා බව බුදු දහම අවධාරණය කරයි. “උට්ඨානවීර්ය’ පිළිබඳ හඳුනාගැනීම සඳහා ව්‍යග්ඝපජ්ජ සූත්‍රා ගත උට්ඨාන සම්පදා “ යන්න පැහැදිලි කරගත යුතුය. සටහනකින් පැහැදිලි කරන්න.

පිළිතුර
පළමුවෙන් සිහියේ තබාගත යුතු වැදගත්ම කරුණවන්නේ ඕනෑම දෙයක් සඳහා කෙරෙන ඕනෑම ආකාරයක උත්සාහයක් ‘උට්ඨාන වීර්ය’ ලෙසින් බුදු දහම පිළිනොගන්නා බවයි. ‘ව්‍යාඝ්‍රපදය. උට්ඨාන වීර්ය කවරේද කුලපුත්‍රයා විසින් කෘෂිකර්මයෙන්, වෙළඳාමෙන් , ගවපාලනයෙන්, දුනු ශිල්පයෙන්, රාජ්‍ය සේවයෙන් හෝ වෙනත් උගත් ශිල්පයකින් කර්මාන්ත කර ජීවිකාව කෙරේද? හෙතෙම එහි දක්‍ෂවෙයි. අලස නොවෙයි.එහි උපාය විමසා කළමනාකරණය කරයි.අනුන් ලවා සහභාගිත්ව ක්‍රියාවලියකටද නොපැකිල ඉදිරිපත්වෙයි. මේ සඳහා සූත්‍රාගත භාවිතයන්ම සටහන් කළොත් මෙහිදී සලකා බැලෙන කරුණු පහක් සලකා බැලේ. දක්ඛො (දක්ෂ වීම 2.අනලසො ,(අලස නොවීම) 3.තත්තෘපාය වීමංසාය සමන්නාගතො (උපාය විමසන සුළුවීම) 4.(තමන් එම කාර්ය කිරිමට හැකියාවක් ඇත්තකු වීම) අලංකාතං 5. අලං සං විධාතුං )සංවිධානයට හෙවත් අනුන් ලවා එය කරවීමට සමත් කම යනුවෙනි.

ප්‍රශ්නය
අනුට්ඨානය (උත්සාහවත් නොවීම) ආලස්‍යය අලසකම, ගර්හාවට ලක්කරන බුදු දහම මිනිසා ක්‍රියාවට පොළොඹවන බෞද්ධ ආකල්පය සූත්‍රාගත දේශනා වලින් පැහැදිලි කරන්න.

පිළිතුර
අං:නි: අට්ඨක නිපත ‘කුසිතාරම්භ වත්ථු සූත්‍රාගත දේශනා බෙහෙවින් ආධාරක වෙයි. ඒ අනුව කුසිතාරම්භ වත්ථු අට වශයෙන් කරුණු අටක් මෙසේ දක්වා ඇත.

මිනිසෙකු යම්කිසි ශ්‍රමය වැයකරන ක්‍රියාවකදී මට මෙම කටයුත්ත ශරිරයට වෙහෙස කරයි.එම නිසා වෙහෙස නිවාගැනීම සඳහා නිදාගනිමි. එසේ වූ ඔහුට ලබාගත හැකි කිසියම් ලාභයකට හිමිකරු නොවී කිසිඳු අධිකමයකට (ඉදිරියකට අභිවෘද්ධියකට) හිමිකමක් නොලබයි. එසේම මම කළ කටයුත්තෙන් වෙහෙසට පත් වූයෙමි.

යා යුතු ගමනක් එය වෙහෙස කරය

ගමනක් ගියෙමි එය වෙහෙස කරය

ආහාරපාන ප්‍රමාණවත්ව නොලැබීම ඒ නිසා මගේ ශරීරයට ශක්තිය නැත

ආහාරපාන අසීමිතව ගැනීම නිසා ස්ථූල ගතියෙන්

සිරුරට වෙහෙසත් දැනෙන නිසා කටයුතු ඉදිරියට ගෙන යා නොහැකිය.

සුලු අසනීපයක් ඇත. එය වැඩ කිරීමෙන් අසාධ්‍ය විය හැක. ඒ නිසා උත්සාහය අත්හරී.

අමාභිමානය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉදිරිපත් කරන මෙම සූත්‍රය උද්යෝගීමත් මිනිසෙකු නිර්මාණය කිරීම සඳහා කරුණු සටහන් වී ඇත.

ඉදිරියට කරන්නට ඇති වැඩ ගැන සිතා දැන් කළ යුතුදේ දැන්ම කරන්න

වැඩක් කර අවසන් වූ විට එය අවසන් කළා යැයි නොසිතා ඒ වැඩය කළ කාලය තුළ අතපසු වූ වැඩක් ඇත්දැයි සොයා බලා එයද කරන්න.

ගමනක් යාමට අවශ්‍ය වූ විට නියමිත කටයුත්ත නිමාව දැක යන්න අසංවිධිත කාර්යක්සේ කටයුතු නොකරන්න.

නිරතුරුව කළ යුත්ත මග හැරුණු තැන් පිළිබඳව ආපසු බලන්න

ආත්ම සුඛ විහරණය දෙවැනිව සිතා පළමුව ආරම්භ කළ කටයුත්තෙහි නිමාව දකින්න.

ප්‍රමාණවත් ආහාර ගැනීම කටයුත්ත නිමාව සඳහා පමණක් සිතා ආහාරගන්න

මඳ ගිලන් බව උකටලීවීමට හේතුවක් කර නොගෙන, හැකිතාක් උත්සාහවත් වන්න.

රෝගී බව හැකිතාක් මානසික රෝගයක් බවට පත් නොකොට ආරම්භ කළ කාර්යය අවසන් කරන්න.

ප්‍රශ්නය
මහා මංගල සූත්‍රයෙහි ‘සුභාසිත වාචා “ යනුවෙන් සඳහන් වන මංගල කරුණ පිළිබඳව වැඩිමනත් පැහැදිලි කිරිමක් කරන්න.

පිළිතුර
සු+භාසිත යන පද දෙක එක්ව සැදුන පදයකි. ‘සු’ යන උපසර්ග පදය යහපත් වඩා හොඳ යන අර්ථය ගෙන දෙයි. ‘භාසිත’ කියනලද අර්ථය ගෙන දෙන අතීත කෘදන්තයෙකි. ඒ අනුව යහපත ගෙනදෙන වචන සුභාසිත වාචා නම් වෙයි. ත්‍රිපිටක බුද්ධ වචනය සුභාසිත වචනය බව අටුවාචාරින් වහන්සේලා නිරතුරුව සඳහන් කරයි. වචනයෙහි ‘සුභාසිත’ ගුණය රඳා පැවැත්මට හේතු කාරණ පෙළ දහමෙහි දක්නට ඇත. පළමුවැන්න ‘කාලෙන භාසිතං’ තැනට පුද්ගලයාට සුදුසු වචන කථා කිරීමයි.දෙවැන්න වචනයේ හෘදයංගම බව හෙවත් සත්‍යවාදී බවයි.රළු නොවන මෘදු මොලොක් වචන භාවිතය තෙවැන්නයි. සතරවැන්න හරාත්මක හෙවත් මෙලොව පරලොව දෙකට යහපත් වන වචනයයි. පස්වැන්න තමන් හා අන්‍යයන්ට අමිහිරි අවැඩදායක වචනවලින් බැහැරව මෙත් සිත් පෙරටුව භාවිත වචනයයි. එබඳු වචන තමෙව වාචං භාසෙය්‍ය - යා යත්තානං න තාපනං පරෙචන විහිසෙය්‍ය - යා වාචා සුභාසිතාං

ප්‍රශ්නය
දානමය පුණ්‍යකර්මයක අවසානයෙහි (භුත්තානුමෝදනාව) කළ පින්කමෙහි ඵල වශයෙන් ‘ආයුරාරෝග්‍ය සම්පත්ති ‘ ආදි වශයෙන් සම්පත් බොහොමයක් ලබන්නට දායක පිරිසට අනුශාසනා කරති. සම්පත් යන්නෙහි සරල අර්ථය ඒ අනුව ලැබීම යන්නයි. බුදු දහමෙහි එබඳු දැහැමි ලැබීම් (පංච සම්පදා) පහක් පිළිබඳ ව සටහන් වෙයි. පැහැදිලි කරන්න.

පිළිතුර
පංච සම්පදා නම්

ඤාති සම්පදා – ඤාතීන් ලැබීම
භොග සම්පදා - භෝග - ධනය ලැබීම
සීල සම්පදා – ශීල සම්පත්
ආරෝග්‍ය සම්පදා – නීරෝගී බව
දිට්ඨි සම්පදා – නිරවද්‍ය දැකීම

 

 
වෙසක් අමාවක පෝය

වෙසක් අමාවක පෝය මැයි මස 27 වැනිදා අඟහරුවාදා අපරභාග 11.50 ට ලබයි.29 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 00.13 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම මැයි මස 28 වැනිදා බදාදා ය.

මීළඟ පෝය
ජූනි මස 05 වැනි දා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මැයි 28

First Quarterපුර අටවක

ජූනි 05

Full Moonපසෙලාස්වක

ජූනි 12

Second Quarterඅව අටවක

ජූනි 19


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]