UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

වෙසක් අමාවක මැයි 28 වනදා බදාදා

තිදොර සංවරය

අද වෙසක් අමාවක පොහොය දිනයයි. අදට දින කීපයකට පෙර ශ්‍රී බුද්ධ වර්ෂ 2558 සම්බුදු තෙමඟුල අනුස්මරණය කරන්නට යෙදිණි.

එය ලෝකවාසී බෞද්ධ ජනතාවගේ ආගමික දිනය වන හෙයින් සමස්ත බෞද්ධ ජනතාව මහත් ශ්‍රද්ධාවෙන් හා ගෞරවයෙන් සිහිපත් කරමින් දාන ශීල භාවනා පින්කම්වල නිරත වූහ.

බොහෝවිට වෙසක් පොහොය දිනය දවස පුරා ශීල, භාවනා, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා ආදී පින්කම් මාලාවකට විහාරස්ථානයේ දී සම්බන්ධවීමට අවස්ථාව උදා වේ. විහාරස්ථානවලදී මෙන්ම බෞද්ධ සමිති සමාගම්වලදී ද එසේ වෙසක් පොහොය දිනය දවස පුරාම ආගමික වැඩසටහන් පැවැත්වේ.

බුදුරජාණන් වහන්සේ උදෙසා සිදු කෙරෙන උසස්ම බුද්ධ පූජාව සේ සලකා ප්‍රතිපත්ති පූජාවෙහි එසේ නිරතවීම අගය කළ යුතු ය. සැබැවින්ම එය බෞද්ධයාගේ බුද්ධිමත් බවද කියාපාන්නකි.

මහ මග යන එන අය නතර කර, යන එන වාහන නතර කර දන්සැල් වෙතින් සංග්‍රහ කිරීමද අගය කළ යුතු ය. එවන් පාරම්පරික චාරිත්‍රයන් අනාගත පරපුරටද ආදර්ශයන් කියා දීමට ද මහඟු අවස්ථාවකි.

පරිත්‍යාගශීලී චේතනා පහළ වී සම්බුදු තෙමඟුල වෙනුවෙන් එවන් පරිත්‍යාග කිරීම් මඟින් පරිත්‍යාගශීලී බව වර්ධනය කර ගත හැකි වේ.

එමෙන්ම වෙසක් තොරණ ද ඉදිවිය යුතු ය. අපගේ සිතුවම් කලාවේ පෝෂණයට හා ආරක්‍ෂාවට ද තොරණ නිර්මාණය බෙහෙවින් බලපාන හෙයිනි.

වෙසක් තොරණට, දන්සැලට නිරතුරුව ජනතාව ඒකරාශී වේ. එබැවින් ඊට ඒකරාශීවන ජනතාව මහ මග යන එන අනෙකුත් ජනතාවගේ ගමනාගමනයට බාධා නොවන අයුරෙන් ඊට සහභාගි වීම ද වගකීම වේ.

අප පුවත්පතෙහි 7 වන පිටුවෙහි දොඩම්පහළ ශ්‍රී රාහුල ස්වාමීන් වහන්සේ විසින් අදහස් දක්වන ලිපියකදී ද වෙසක් දිනය අර්ථවත්ව ගත කරන්නේ කෙසේදැයි විස්තරාත්මකව සඳහන් කර තිබේ.

වෙසක් පොහොය දිනය පෙරවරුව මෙන්ම පස්වරුවත් ආගමික කටයුතුවල නිරතවී රාත්‍රී කාලයේ දී එය ඇතැම් අයකුගේ විනෝදාස්වාදය සඳහා යොදා ගනිමින් සෙසු අයටත් යම් හිරිහැරයක් වන්නේ නම් එය අනුමත කළ නොහැකිය.

මහ මඟ යන එන අනෙකුත් අයට එහි නිදහසේ ගමන් කිරීමට ඇති නිදහස අගය කිරීමට පුරුදු විය යුතු ය.

පෝදා සන්ධ්‍යාවේ නිවසින් බැහැරව වෙසක් සිරි නරඹන්නට යන තරුණ පුතුන් කෙරෙහි මව්පියවරු අවධානය යොමු කළ යුතු ය.

වෙසක් පෝදා පෙරවරුවේ සහ පස්වරුවේ දී මෙන්ම රාත්‍රී කාලයේ දී ද විහාරස්ථානවල ආගමික කටයුතු තව තවත් වර්ධනය කරමින් පෝදා රාත්‍රියේ විහාරස්ථානයෙන් බැහැර වන පිරිස යළි විහාරස්ථානය වෙත ළඟා කර ගත යුතුව ඇත. බොහෝ වෙහෙර , විහාරස්ථානවල ඉහත දැක් වූ ආකාරයට පින්කම් සංවිධානය කරනු ලැබේ.

එහෙත් පෝදා රාත්‍රියේ වෙසක් නරඹන්නට බොහෝ දෙනා නගරය වෙත ඇදීයන හැඟීමෙන් කලින්ම තීරණය කර ඇතැම්විට රාත්‍රී කාලයේ දී පින්කම් යොදා ගනු නොලැබේ.

වෙසක් පොහොය දවස පෙරවරුව පමණක් නොව පොහොය දවස පුරා විහාරස්ථානයේ රැඳී සිටිමින් ආගමික වතාවත්හි යෙදීමට උත්සාහ කළ යුතුය.

මේ වසරේ වෙසක් පොහොය දින යම් අතපසුවීමකින් හෝ යම් අයෙකු වෙතින් අඩු පාඩුවක් වූයේ නම් එය ලබන වෙසක් පොහොයට නැවත සිදුවීමට ඉඩ නොතබා හැරීම අපගේ වගකීම විය යුතු ය.

වෙසක් පොහොය දිනය ප්‍රතිපත්ති පූජාවටම මුල් තැන දී ක්‍රියා කිරීමෙන් පෝදා ඇතිවිය හැකි බාහිර අපහසුතා මඟින් ඈත්වීමට හේතු වේ.

අපේ බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා වෙත මහා කරුණාවෙන්ම ලොව පහළ වී වදාළහ. එබඳු කරුණාවකින් ලොව පහළ වූ ගෞතම බුදුපියාණන් වහන්සේගේ අසිරිමත් සම්බුදු තෙමඟුල ගෞරවයෙන් සිහිකරන විට ඒ සිත් වෙත බාහිර අරමුණු නොපැමිණේ. තම තමන්ට හැකි පමණින් කය වචනය සිත යන තිදොර රැක ගැනීමෙන් උදාවන්නේ යහපත් ප්‍රතිඵලය. එමෙන්ම තිදොර සංවරයෙන් දිවිමග ආලෝකමත් වෙයි. එබැවින් තිදොර සංවරය සැප උදාකරවන හෙයින් බුද්ධිමත් මනුෂ්‍යයා ඒ පිළිබඳව කල්පනා කළ යුතු වේ.

 
වෙසක් අමාවක පෝය

වෙසක් අමාවක පෝය මැයි මස 27 වැනිදා අඟහරුවාදා අපරභාග 11.50 ට ලබයි.29 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 00.13 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම මැයි මස 28 වැනිදා බදාදා ය.

මීළඟ පෝය
ජූනි මස 05 වැනි දා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මැයි 28

First Quarterපුර අටවක

ජූනි 05

Full Moonපසෙලාස්වක

ජූනි 12

Second Quarterඅව අටවක

ජූනි 19


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]