කැලණිය විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ
මහාචාර්ය
මකුරුප්පේ ධම්මානන්ද හිමි
පරියත්ති පටිපත්ති පටිවේධ යන ත්‍රිවිධ ශාසනයේ දෙවැන්න වන ප්‍රතිපත්ති
ශාසනය යන්නෙන් අදහස් වන්නේ ධර්මානුකූල පැවැත්ම පිළිබඳ තථාගත
අනුශාසනාවයි. මෙම ත්‍රිවිධ ශාසනය වූ කලී ධර්මයේ පියවර තුනකි. ඒවා
එකකින් එකක් වියුක්ත නොවේ. වෙනත් විධියකින් කිවහොත් එකකට එකක්
සම්බන්ධය. මෙහි පරියත්ති සාසනය යන්නෙන් අදහස් වන්නේ ධර්මය පිළිබඳ
බුද්ධිමය අවබෝධයයි.
පරියත්ති පටිපත්ති පටිවේධ යන ත්‍රිවිධ ශාසනයේ දෙවැන්න වන ප්‍රතිපත්ති
ශාසනය යන්නෙන් අදහස් වන්නේ ධර්මානුකූල පැවැත්ම පිළිබඳ තථාගත
අනුශාසනාවයි. මෙම ත්‍රිවිධ ශාසනය වූ කලී ධර්මයේ පියවර තුනකි. ඒවා
එකකින් එකක් වියුක්ත නොවේ. වෙනත් විධියකින් කිවහොත් එකකට එකක්
සම්බන්ධය. මෙහි පරියත්ති සාසනය යන්නෙන් අදහස් වන්නේ ධර්මය පිළිබඳ
බුද්ධිමය අවබෝධයයි.
බුදුරදුන්ගේ දේශනාව පිළිබඳ ඇසීමක් කියවීමක් නැති කෙනෙකුට බුද්ධ දේශනාවේ
ගැඹුර හෝ ඒ තුළ ගැබ් වන විශ්ව සත්‍යය තේරුම් ගත නොහැකිය. එක්තරා
දාර්ශනික චින්තාවක්, ආගමික චාරිත්‍ර වාරිත්‍ර පද්ධතියක්, පුදපූජා හෝ
ආගමික උත්සව සමුදායක් ලෙස බුදුදහම හඳුනාගන්නා ඔවුහු ඒවායේ යෙදෙති.
බුද්ධ දේශනාවේ සුතවා යනුවෙන් හැඳින්වෙන්නේ ධර්මය අසා කියවා එය බුදුදහම
විශ්ව සත්‍යය විශ්ව නීතිය හා නියාමය උගන්වන දහමක් බවත් එහි පුද පූජාමය
කොටසක් නොවන බවත් තේරුම්ගත් පුද්ගලයාටය. එය නොදත් තැනැත්තා අස්සුතවා
හෙවත් අශ්‍රැතවත්(අඥාන) පුද්ගලයෙකි. ශ්‍රැතවත් වීම ප්‍රතිපත්තියේ මූලික
පදනමය.
ප්‍රතිපත්තිය
‘පටිපත්ති’ යන්න වෙනුවට බුද්ධ වචනයෙහි භාවිත වන අනෙක් පදය වන්නේ සම්මා
පටිපදා යන්නයි. ජාති ජරා ව්‍යාධි ව්‍යසන උරුම කරගත් ජීවිතයක් භුක්ති
විඳිමින් ලෞකික ආස්වාදය උසස් කොට සලකන පුද්ගලයෝ අනාර්ය චර්යාවන්ට
පෙළඹෙති. සමාජයේ අනෙක් සාමාජිකයන්ගේ ජීවිතවලට වටිනාකමක් නොදීම, වංචනික
ක්‍රම මගින් තමා ශක්තිමත් වීමට පෙළඹීම, ලිංගික සදාචාරයන් උල්ලංඝනය
කිරීම වැනි ක්‍රියාවල වරදක් ඔවුහු නොදකිති. මෙය දහමෙහි දක්වා ඇත්තේ
මිච්ඡා පටිපදා යනුවෙනි. මෙය වැරදි සහිත ජීවන ප්‍රතිපදාවකි. ප්‍රතිපත්ති
ශාසනය යනු සම්මා පටිපදා හෙවත් සම්‍යක් ප්‍රතිපදාව පිළිබඳ තථාගත
දේශනාවයි. එයම ආර්ය ප්‍රතිපදාව හෙවත් උසස් පිළිවෙතයි. එය නිර්වාණ මූලික
වේ. මෙම තථාගත ශාසනයේ වඩාත් අගය වන්නේ භික්ෂු භික්ෂුණී උපාසක
උපාසිකාවන් තුළ පවතින මෙකී පිළිවෙත් ශාසනය වේ. එය එකිනෙකාට අවශ්‍ය
පරිදි අර්ථ දැක්විය නොහැකිය. සාමාන්‍ය අරුතින් ගිහි පැවිදි දෙකොටසට
අදාළ පිළිවෙත් ඇතත් බුද්ධ වචනයෙහි සඳහන් වන පටිපත්ති යන්නෙන් අදහස්
වන්නේ නිර්වාණයෙන් මෙපිට එම මාවතට අදාළ වන පිළිවෙත් සමුදායයි. මෙය
තේරුම් ගැනීමට පරියත්තිය හෙවත් බුද්ධ වචනය පිළිබඳ යම් අවබෝධයක් අවශ්‍ය
වේ.
ධර්මය ඉගෙනීම
අර්ථ සම්පන්න ලෙස ප්‍රතිපත්ති පිරීමට මුල පිරිය හැක්කේ ඉහත දැක්වූ
පරිදි ධර්මය පිළිබඳ බුද්ධිමය වැටහීමක්
(intellectual knowledge) ඇති
කෙනෙකුට පමණකි. ධර්මය වැඩීම, නැවත නැවත පුරුදු පුහුණු කිරීම(භාවිතා
බහුලීකතා)ප්‍රතිපත්තිය (Practice) වේ. බුදුදහමෙහි දැක්වෙන ආකාරයේ
ප්‍රතිපත්තිමය ජීවිතයක් ඇරඹීමට නම් යමෙකු තුළ මුලින්ම ඒ සඳහා කැමැත්තක්
හා උද්‍යෝගයක් ඇතිවිය යුතුය. එය ඇති වන්නේ නිවැරදි තථාගත ධර්මය ඇසීම හෝ
කියවීම නිසාය. වර්තමාන ලංකා භූමිය තුළ තම විෂය පථයට හසුවූ පමණින් ධර්මය
විවරණය කරන්නෝ බහුල වෙති. ඇතැම්හු විවිධ උපැස් යුවළ මගින් ධර්මය දැකීමට
උත්සුක වෙති. එහෙත් ත්‍රිපිටක බුද්ධ වචනය දෙස බැලිය යුත්තේ
ත්‍රිපිටකයෙන්ම මිස අනෙකකින් නම් නොවේ. එබැවින් ත්‍රිපිටකය කියවා
තේරුම් ගැනීමේ රුචිය උපදවා ගැනීමට මෙකල බුද්ධිමත් බෞද්ධයා තුළ
උත්තේජනයක් ඇති වන්නේ නම් මහත් භාග්‍යයක් වේ.
අනුවණකම
‘මම ප්‍රතිපත්ති ගරුක මිනිසෙක්මි’යි රහමෙර බොමින් අඹුදරුවන්ට ගරහමින්
විප්‍රකාර දොඩවන මිනිසුන් අපි කොතෙකුත් දැක ඇත්තෙමු. දේව ධර්ම ලෙස
සැලකෙන ලැජ්ජා භය නොමැතිව දුරාචාරකම්වල යෙදෙන ගැහැනු පිරිමින්
ප්‍රතිපත්තිගරුක මිනිසුන් ලෙස තමන් හඳුනා ගන්නා අයුරුත්, පොදු සමාජයට
හඳුන්වා දෙන අවස්ථාත් අපි දකිමු. මෙය අනුවණකම හේතුවෙන් උපදින
සිතිවිල්ලකි. ප්‍රතිපත්ති නොදත් ඇතැම් ගිහි පැවිදි දේශකයන් පරියත්ති
පටිපත්ති දෙක පසෙකලා ප්‍රතිවේධය හෙවත් අවබෝධය කරා අනුගාමිකයන් රැගෙන
යාමට දරන වෑයම්වලින් ප්‍රවේශම් විය යුත්තේ මෙම ත්‍රිවිධශාසනය
අනුක්‍රමිකව එකිනෙකට සම්බන්ධ ප්‍රතිපදාවක් වන නිසාය. එයට විකල්ප මාවත්
නැත. පංචශීලය ආජීව අෂ්ටමක ශීලය සාමණේර ශීලය උපසම්පදා ශීලය ආදී වශයෙන්
අර්ථ ගැන්වෙනුයේ ගිහි පැවිදි දෙපක්ෂයට අදාළ වන ප්‍රතිපත්ති සමුදායයි.
අප විසින් කළ යුතු වන්නේ මෙකී ප්‍රතිපත්තිවලට නැඹුරුවීමයි.
සාවකසංඝ
ධර්මය පිළිබඳ දැන හඳුනාගැනීමක් ඇතිව සිටින පුද්ගලයන් දහමෙහි දක්වා
ඇත්තේ සාවකසංඝ නමිනි. ඔවුන්ගේ ප්‍රතිපත්තිය දක්වා ඇත්තේ සුපටිපන්න
යනුවෙනි. මනා ප්‍රවේශයක් ඔවුන්ට ඇත. ඔවුන්ගේ ප්‍රතිපත්ති ගති පැවැතුම්
පුරුදු පුහුණු කිරීම් අතිශය ප්‍රශස්ත වේ. ඔවුන්ගේ ප්‍රතිපත්තියේ අරමුණ
නිර්වාණය ඉලක්ක කිරීමයි. මෙම අරමුණ සපුරා ගත හැක්කේ පටිපත්තියෙනි. ඔබ
මිනිසෙකු වශයෙන් මානව සමාජයේ සාමාජිකයෙකු වශයෙන් පරියත්තියෙන් හෙවත්
ධර්මය පිළිබඳ හැදෑරීමෙන් ඔබගේ ජීවිතය ඇරඹිය යුතුය. ධර්මයෙන් වටහාගත්
ශීලමය චර්යාවක් ඔබගේ නිවස තුළ හා සමාජ ජීවිතය තුළ පවත්වාගෙන යා යුතුය.
ඔබ ඔබගේ නිවස තුළ හෝ සමාජ වටපිටාව තුළ අනෙක් සාමාජිකයන්ගේ සාමයට සමගියට
අවිහිංසක පැවැත්මට බාධා කරන්නෙක් නම් ඔබ කෙසේ සාමය සමගිය ආරක්ෂා
කරන්නෙක් වේද? එබැවින් එබඳු හිංසන සිදුවන කායික වාචසික ක්‍රියාවන්ගෙන්
බැහැර විය යුතුය. සාධු සම්මත චරියාවන් පුරුදු පුහුණු කිරීමෙන් ඔබ තුළ
ඇති වන ප්‍රතිපත්තිය ඔබ ප්‍රතිවේධය හෙවත් අවබෝධය කරා රැගෙන යයි. ගිහි
පැවිදි භේදයකින් තොරව සෑම පුද්ගලයෙකුටම සත්‍යය පිළිබඳ අවබෝධය ලැබෙනුයේ
මෙම ප්‍රතිපත්ති ශාසනයෙහි පිහිටා සිටියහොත් පමණකි. එසේ නොවන පුද්ගලයෙකු
මෙකල තැනින් තැන හැඳින්වෙන ආකාරයේ බුදු පසේබුදු මහරහත් මගඵල ලාභියෙකු
ලෙස තබා සද්පුරුෂයෙකු ලෙසවත් හඳුනාගැනීම වැරදි සහිතය. නිර්වාණගාමී
ප්‍රතිපදාව ආත්මීය ලෙස නොගැනෙන ආත්මොත්කරෂණ පරවම්භනාදියෙන් විනිර්මුක්ත
පිරිසුදු මානසිකත්වයක විකසිත වීමකි. |