කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති
කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක
විද්‍යාලංකාර පරිවේණාධිපති ආචාර්ය
වැලමිටියාවේ කුසලධම්ම නා හිමි
වෙසක් දිනය සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවට ඉතාම වැදගත් දිනයක් බව
අමුතුවෙන් කිව යුතු නැහැ. ලෝකයටම ඉතා වැදගත් වන මේ වෙසක් දිනයේ අපේ
ක්‍රියාකාරකම් කෙසේ පවත්වා ගත යුතුද? වෙසක් උලෙළ, වෙසක් දින බුදුරජාණන්
වහන්සේ උදෙසා පවත්වනු ලබන බුද්ධ පූජාවක් බව අප සිහි තබා ගත යුතුයි.
බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම හා පිරිනිවන් පෑම යන කරුණු උදෙසා
පවත්වනු ලබන මෙම උලෙළ හැම විටම ධාර්මික විය යුතුයි. සංවරයක් හා සංයමයක්
එතුළින් ප්‍රදර්ශනය විය යුතුයි.
බුදුරජාණන් වහන්සේට පවත්වනු ලබන මේ බුද්ධ පූජාව විවිධ ක්‍රම මගින්
පැවැත්වීමට අප රටේ වැසියන් පුරුදු වී සිටිනවා.
වෙසක් දින අපේ රටේ සියලු විහාරස්ථානයන්හි සීල සමාදානයන් පැවැත්වෙනවා.
එය එක් පූජා ක්‍රමයක්. එයටම සම්බන්ධව විශේෂ බුද්ධ පූජා, මල් පූජා
ආදියත් පවත්වනවා. ඒ සමඟම විවිධ පෙරහර පවත්වනවා. පෙරහර සියල්ලම බුද්ධ
පූජාවන් ලෙසින්මයි පවත්වන්නේ. ඇතැම් අය දර්ශනීය තොරණ ඉදිකරනවා. තොරණ
සෑම විටම නිරූපණය කරන්නෙ බුද්ධ චරිතය එසේත් නැත්නම් බෞද්ධාගමේ
ධාර්මිකත්වය විදහා දැක්වෙන, එසේත් නැත්නම් ආදර්ශයක් ලබාදෙන කතාවක්.
දර්ශනීය පහන් කූඩු (වෙසක් පහන් කූඩු) ප්‍රදර්ශනය කරමින් පහන් පූජා
පැවැත්වීමෙත් තවත් අංගයක් . ධර්ම දේශනා පැවැත්වීම මගින් පුද්ගලයකු
යහපත් මාර්ගයට යොමු කිරීමේ ක්‍රියාවලියක් මේ වෙසක් වැඩසටහනෙහි තවත්
අරමුණක්.
බුද්ධාලම්භන පී‍්‍රතිය වැඩි කිරීමේ අරමුණින් බැති ගී සංදර්ශන පැවැත්වීම
තවත් පියවරක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්.
මේ සියල්ලෙන්ම බලාපොරෙත්තු වෙන්නේ සමාජයට තැන්පත් සන්සුන් සංවර
පුද්ගලයෙක් බිහි කිරීමයි. අප බුදුරජාණන් වහන්සේට මල් පූජා කරනවා. පිළිම
වහන්සේට නැත්නම් බෝධියට එසේත් නැත්නම් චෛත්‍යයට මේ මල් පූජාකිරීමෙන්
සිදුවන්නේ අපගේ සිත සන්සුන් කර ගැනීමයි.
සංවර කම තැන්පත්කම ඔස්සේ මල් පූජා කරන පුද්ගලයා එක්තරා භාවනාවකට යොමු
වනවා.
ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්නවා. මල් පූජා කිරීමෙන් පසු ඒ දෙස බලා සිට
‘මේ ලස්සන මල් ටික මොහොතෙන් මොහොත අවලස්සන වී මැළවී අභාවයට යන්නාක්
මෙන් මගේ ජීවිතයද ඒ අයුරින්ම විනාශය කරා ළංවනවා යන අර්ථාන්විත
සිතිවිල්ල ඇති කර ගැනීමට අපට හැකියාව ලැබෙනවා.
වෙසක් පොහොය දිනයේ සැබෑම අර්ථය වනුයේ අර්ථය විය යුත්තේ බුදුරජාණන්
වහන්සේට උපහාර පුද පූජා පැවැත්වීමෙන් තමන්ගේ ජීවිත නිසි මඟට යොමු කර
ගැනීමයි. නිසි මඟට යොමු කර ගැනීමට උත්සාහ කිරීමයි.
එහෙත් අද බොහෝ දෙනෙකුට වෙසක් උලෙළේ මුල් අරමුණ අමතක වෙලා ඒ සියල්ල
සිරිත් බවට පත්වෙලා සිල් සමාදන් වීම සිරිතක් වෙලා සිල් ගැනීමේ අරමුණ
සිත, කය, වචනය යන තුන්දොර සංවර කරගෙන ජීවිතයද සන්සුන් කර ගැනීම බව බොහෝ
අයට අමතක වෙලා. තවත් අය දන්නේ නැහැ. සිරිතක් ලෙසට මේ අරමුණූ පත්වෙලා.
ඥාති හිතමිත්‍රයෙක් මිය ගිය විට පින් පැමිණවීමත් සිරිතක් වෙලා. එහි
මූලික අරමුණ කුමක්දැයි බොහෝ අය දන්නේ නැහැ.
වෙසක් දිනයේ අරමුණු නොදන්නා අය එදින සැණකෙළියක් බවට පත්කරගෙන තිබෙනවා.
ජනතාවට විනෝද වෙන්න, නටන්න, සින්දු කියන්න නිවාඩු දිනයක් ලෙසයි අද
ඇතැම් අය වෙසක් දිනය සලකන්නේ.
වෙසක් දින දන්සල් දීම, පෙරහර පැවැත්වීම අරමුණ අද බොහෝ දෙනාගේ මනසේ
නැහැ. වෙසක් දින ඇතැම් පෙරහරේ තිබෙන විකාර රූපී නැටුම් බෞද්ධකමට
කිසිසේත් ගැළපෙන්නේ නැහැ.
අපේ අතීත මුතුන් මිත්තන් විශාල පරිශ්‍රමයක් දරල ආරම්භ කරපු සංස්කෘතික
උරුමයන් අප නොදැනුවත්කම නිසා නොසලකා හරින ස්වරූපයක් පෙනෙන්නට තිබෙනවා.
අපේ උරුමයන් එසේ හෑල්ලුවට පත්වීම අනාගත පරපුරට විශාල හානියකි.
වෙසක් පොහෝ දින කුමන පින්කම කළත් එහි සංයමය ගරුත්වය තිබිය යුතුයි.
එහෙත් අද ඇතැම් වෙසක් පින්කම් සැණකෙළි වීම තුළින් සිදුවන්නෙ ‘සෝදමින්
යළි මඩේ දැමීමක්’ බව අප වටහා ගත යුතුයි. පින්කම අවසානයේ අකුසල් කර
ගැනීමක් සිදුවනවා නම් ඒ පින්කමෙන් තමන්ට හෝ සමාජයට වැඩක් වන්නේ නැහැ.
මේ සම්බන්ධයෙන් විශාල වගකීමක් අපේ විහාරස්ථානයන්ටත් තිබෙනවා. අතීතයේ
අපේ ස්වාමීන් වහන්සේ ඒ කාර්යය ඉතා හොඳින් සිදු කළා. ඊට හොඳම උදාහරණයක්
අපේ ඉතිහාසයන්ම ලබා දෙන්න පුළුවන්.
පෘතුගීසින් ලංකාවට ආවේ 1505 දී, ලන්දේසින් ලංකාවට ආවේ ඊට පස්සේ
ඉංගී‍්‍රසින් ලංකාවට ආව.මේ ජාතින් තුනම ලෝකේ් රටවල් යටත් කරගෙනයි
ලංකාවට ආවේ. ඔවුන් කිසිවකුට ලංකාව සම්පූර්ණයෙන් යටත් කරගන්න නොලැබුණේ
ඇයි? ලංකාව සම්පූර්ණයෙන්ම ඉංගී‍්‍රසි ජාතිකයන්ට යටත්වුණේ 1815 දී. 1505
ඉඳල 1815 වෙනකල් අවුරුදු 310 ක් විදේශීය ජාතිකයන්ට අප යටත් කරගන්න
ලැබුණේ නෑ. මීට හේතුව මුහුදුබඩ පළාත් ඉංගී‍්‍රසි ආණ්ඩුකාරයා විසින්
එංගලන්තයේ රජ්ජුරුවන්ට ලියා යවනවා . “ලෝකයම ඇල්ලුවත් මෙරට අල්ලන්න බෑ.
මේ රටේ පුදුම මිනිස්සු ජාතියක් ඉන්නෙ. ඔවුන්ට අපේකම තියෙනවා. මේ අපේ රට
මේ අපේ ජාතිය මේ අපේ භාෂාව, යන හැඟීම ඔවුන්ට තියෙනවා. ඒක ඇතිකරල
තියෙන්නෙ පන්සලෙන්,පන්සලේ හාමුදුරුවො කියන දෙයින් එහාට එක මිනිහෙක් වැඩ
කරන්න නෑ. ඒක නිසා ලංකාව අල්ලන්න ඕන නම් පන්සලයි ගමයි අතර සම්බන්ධය
ගිහි – පැවිදි සම්බන්ධය නැති කරන්න ඕන” .
එදා ඉංගී‍්‍රසින් යෙදූ උපක්‍රම නිසා ගිහි – පැවිදි සබඳතා දුරස්වුණා. ඒ
හිඩැස තුළින් රට ඇතුළට එන්නත් සමස්ත ලංකාවම අල්ලා ගන්නත් ඔවුන්ට
හැකිවුණා.
අපේකම, සිරිත්විරිත්, ආගම, භාෂාව ඇඳුම් පැලඳුම් මේ සියල්ල නැති කරල
සිංහලයා නිවට නියාලු ජාතියක් බවට පත් කළා. නිදහස ලැබිල අවුරුදු 67 ක්
විතර ගතවුණත් අපට තවමත් අපේකම ඇතිකර ගන්න බැරිවුණා. අපේ උරුමය මොකක්ද?
කියලවත් අපට හිතාගන්න බැරිතරමට සමාජය විකෘති වෙලා.
එම නිසා අතීතයේ වැඩවාසය කරපු භික්ෂූන් වහන්සේ කරපු කියපු ඒ කටයුතු
සියල්ල ඒ ආකාරයට කරන්න අද භික්‍ෂූන් වහන්සේට හැකියාවක් නැහැ. ජනතාව
හුරුවෙලා තියෙන්නෙ පන්සලෙන් ඈත් වෙන්න මිසක් ළංවෙන්න නෙමෙයි.
අද ජනතාවට සත්‍ය අවබෝධ කරදීමත් පහසු නැහැ. අඩුම ගණනේ වන්දනා කිරීමටත්
නිසි ආකාරයට කරගන්න අපේ බෞද්ධයන් දන්නෙ නැහැ. දහදෙනෙක් දිහා බැලුවහොත්
ඒ දහදෙනා වඳීන්නේ දස ආකාරයකටයි.
මේ නිසා අපේ සංස්කෘතික සබඳතා බිඳ දැමීමෙන් සිදුවූ මේ අභාග්‍ය සම්පන්න
තත්ත්වය එකවර ගොඩ නගන්න බැහැ. අවබෝධය මඟින්ම මේ තත්ත්වය වෙනස් කළ
යුතුවනවා.
ආගම් අතර පුද්ගලයන් අතර තරගයක් අවශ්‍ය නැහැ. අඩුතරමින් වෙසක් දිනයේ හෝ
එය අධිෂ්ඨාන කර ගත යුතු වනවා. එක් තැනක කුරුසයක් ඉදි කරන විට තවත් තැනක
බුදුපිළිමයක් හදනවා. බුදු පිළිමය සෙල්ලම් බඩුවක් නොවන බව බෞද්ධ අප
සැවොම තේරුම් ගත යුතු වනවා. මේ සම්බන්ධයෙන් බෞද්ධ සංවිධාන දහම් පාසලේ
භික්ෂූන් වහන්සේ සමඟ පෙරමුණ ගත යුතුවනවා. එසේ නැත්නම් අපේ සාරධර්ම
සියල්ල අභාවයට යනවා.
මීට හොඳම උදාහරණයක් දක්වන්න පුළුවන්.
මෑත කාලයක් වන තුරුම ධර්ම දේශනාවකට භික්ෂූන් වහන්සේ ධර්ම ශාලාවට
නැත්නම් වෙනත් ස්ථානයකට වැඩම කරන විට සාධුනදින් පළාතම හඬ නැගෙනවා. අද
ස්වාමීන් වහන්සේ වැඩම කර ‘සාධුකාරයක් දෙන්න’ යනුවෙන් පවසන්න ඕන. ඒත්
ඇල්මැරුණු සාධුකාරයක් එන්නෙ. අපේ සාරධර්ම ගිලිහීමට හොඳම උදාහරණයක් ලෙස
එය දැක්වීමට පුළුවන්.
බෞද්ධ සිරිත් විරිත් චාරිත්‍රවාරිත්‍ර පොත්පත්වලින් කිසිවෙක් ඉගෙනගෙන
නැහැ. පොතපතින් ඉගෙන ගන්නේ බුද්ධ ධර්මයයි.
අකුරු පවා නොදන්නා ආච්චි, සීයා ළඟ ඉහළ මට්ටමේ බොදු සිරිත් විරිත්
චාරිත්‍ර තිබුණා. ඒ සියල්ල වැඩිහිටියන්ගෙන් පරම්පරාවට උරුම වූ ඒවා.
සංස්කෘතිය රැක ගැනීමට වැඩිහිටියන් ගුරුවරුන් වගේම භික්‍ෂූන් වහන්සේ
එක්ව කටයුතු කළ යුතුවනවා. ඒ සියලු දෙනා පිරිහිලා නම් අපේ අනාගතය අඳුරේ.
අද වෙසක් දිනය මහමඟ යන්න බැරිතරමට සැණකෙළි දන්සල් තොරණ පවා තරග බවට
පත්වෙලා .වර්තමානයේ බාල, මහලු, තරුණ සියලු දෙනාම වෙන රසයක් රුචියක් කරා
යොමු වී තිබෙන නිසා ඒ අය සදාචාරවත් සංස්කෘතික රටාවකට යොමු කර ගැනීමට
විශේෂිත වැඩ පිළිවෙළක් සකස්කළ යුතුවනවා.
පන්සලට ජනතාව ගෙන්වා ගැනීමට පවා අද නැටුම් ගැයුම් වයන්න සිදුවෙලා. මේ
නිසා පාසල, දහම් පාසල යන අංශ දකම අද මුල්තැනක් ගත යුතුයි. පාසලේ අරමුණ
‘පූර්ණ පෞරුෂ වර්ධන මිනිසකු බිහි කිරීමයි.
එය ඉටුකිරීමට නම් දරුවා තුළ ආකල්ප, දැනුම සහ කුසලතා වර්ධනය විය
යුතුවනවා. ආකල්ප කෙරෙහි වැඩි වශයෙන් අවධානය යොමු කළ යුතුයි. අපෙන් ගලිහී
යන ආකල්ප යළි ජනතාව වෙත යොමු කළ යුතුවනවා. දහම් පාසල පමණක් නොව පාසල හා
සම්බන්ධව කටයුතු කිරීමට ‘සාරධර්ම අධ්‍යාපන ඒකකය’ නමින් අධ්‍යාපන
අමාත්‍යාංශයේ වෙනම අංශයක්ම තිබෙනවා. එහෙත් අද පාසල් යන දු දරුවන්ගේ
සාරධර්ම වර්ධනයන් නොව ගිලිහී යාමක් අපට පෙනෙන්නේ. මේ සදහා නොපමාව
කටයුතු කිරීමට අප ප්‍රතිපත්ති සම්පාදනය කර ජනතාවට යොමු කළ යුතුයි.
වෙසක් උළලේ අධිෂ්ඨානය යහපත් මිනිසුන් බිහි කිරීම මිස තරගකාරි මිනිසුන්
නොවන බව අවබෝධ කරගත යුතුයි.
සාකච්ඡා කළේ – තාරක වික්‍රමසේකර |