අනුරාධපුර
රුවන්වැලිසෑය මහා විහාර
(විශ්‍රාමික) පරිවේණාධිපති
කොළඹ නව කෝරළේ සහ
නව තොටමුණේ ප්‍රධාන සංඝ නායක
වහුමුවේ විජයවංස නා හිමි ප්‍රශ්නය
සිද්ධාර්ථ ගෞතම බෝසතුන්ගේ උපත සහ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදු
වූ දින වකවානු පිළිබඳ දේශනා පාලියෙහි එන පරිදි, ඓතිහාසික බුදුසිරිතක්
සකස්කරන්න.
පිළිතුර
සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය දින වකවානු නිර්ණය කිරීමෙහිදී විද්වතුන්
අතර මතවාද රාශියකි. වඩාත් නිවැරැදි ලාංකේය මූලාශ්‍ර වංශ කතාවල එන පරිදි
බුද්ධ පරිනිර්වාණය ක්‍රි.පු. 543 දී සිදුවූ බව සම්මතව ඇත. එම සම්මතයෙහි
පිහිටා සිදුහත් උපත සිදුවූ වකවානුව සලකා බලතොත් එය ක්‍රි.පූ. 623 දී
සිදුවූ බව පිළිගත යුතුවෙයි. පරිනිර්වාණය සිදුවනවිට බුදුරදුන් අසුවන
වියෙහි විසූබව වරෙක සැරියුත් තෙරුන් අමතා මෙසේ පැවසුව ම.නි. මහාසීහනාද
සූත්‍රයෙහි දැක්වෙයි.
මම දැන් ජරා දුර්වල වූයෙමි. වෘද්ධයෙමි. මහලු වූයෙමි. කල් වයස් ගතවූයේ
වෙමි. පැසුළු වියට පැමිණියෙමි. අසූවියට පත්වීම. අසුවන වියට පත්
භාග්‍යවතුන් වහන්සේ එම වයසේ දීම පිරිනිවන් පෑ බව සුභද්ද නම්
පරිබ්‍රාජකයා හා සමඟ සංවාදයෙහිදී උන්වහන්සේ මෙසේ පැවසූහ.
සුභද්ද කිං කුසල ගවේසීව එකුන්තිස්වන වියෙහි මම පැවිදි වූයෙමි. මා
පැවිදි වී හරියටම දැන් පනස් වසරකටත් ටිකක් වැඩියි.
මෙහි සඳහන් පරිදි අභිනිෂ්ක්‍රමණය එකුන් තිස්වන වියෙහි සිදුවිය. එතැන්
පටන් පිරිනිවන් අවස්ථාව වන විට පනස් වසරක් ටිකක් කල් පසුවී තිබුණි.
එවිට උන්වහන්සේ පසුවූයේ අසූවන වියෙහිය. පරිනිර්වාණය සිදු වූයේ යැයි
සැලකෙන ක්‍රි.පූ. 543 සිට අසූවස ආපසු ගණනය කිරීමෙහිදී සිදුහත් උපත
ක්‍රි.පූ. 623 දී සිදු වූ බව සම්මත වෙයි.
තවද දී.නි. මහාපදාන සූත්‍රයෙහි එන විස්තරය අනුවද ඉහත සඳහන් වාර්තාව
සනාථවනු ඇත. මහණෙනි, මේ මහාභද්‍රකල්පයෙහිම මෙකල මම අර්හත් සම්බුද්ධ
වෙමි. මම ජාතියෙන් ක්‍ෂත්‍රියව ක්‍ෂත්‍රිය කුලයෙහි උපනිමි. ගෝත්‍රයෙන්
ගොතම නම් වීමි. මෙකල මාගේ ආයුප්‍රමාණය අල්පය ටිකය. යමෙක් බොහෝකල් ජීවත්
වෙයි නම් ඔහු අවුරුදු සියයක් හෝ ටිකක් වැඩියෙන් හෝ අඩුවෙන් ජීවත්වෙයි.
අර්හත් සමඟ සම්බුද්ධ වූ මම ඇසතු රුක්මුල්හි බුදුවීමි. මෙකල මට
සාරිපුත්ත මොග්ගල්ලාන නම් අග්‍රභද්‍ර ශ්‍රාවක යුගමයක් වෙති. මෙකල මට
රහතන් වහන්සේලාම එක්දහස් දෙසිය පණසක් වූ එකම ශ්‍රාවක සන්නිපාතයක විය.
ආනන්ද භික්‍ෂුනම අග්‍ර උපස්ථායක විය. සුද්ධෝදන රජ විය. මායා දේවිය
වැදූමව වූවා ය. කපිල වත්ථුව රාජධානියයි. (දී.නි. මහාපදානසූත්‍ර)
මහාපදාන සූත්‍රාගත මෙම තොරතුරුවලින් ගෞතම බුදුරජාණන් වහන්සේගේ
චරිතාපදානයට අදාළ ප්‍රධාන පුවත් රාශියක් ගොනු වී ඇත.
ප්‍රශ්නය
මිහිමත විසූ ශාස්තෘන් වහන්සේලා අතුරින් ධෛර්ය සම්පන්නත්වයෙන් හා කාර්ය
ශූරත්වයෙන් බුදුරජාණන් වහන්සේම අග්‍රගණ්‍ය වෙති. අරිය පර්යේසන මහා
සච්චක ආදී සූතාගත තොරතුරු අනුව සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන් වහන්සේ
පැවිදිව කිං කුසල ගවේෂීව ඒ ශාන්තිපදය සොයමින් ආලාර කාලාම තාපසයන්
හමුවීමෙන් පසු බෝසතුන් කළ කී දෙයින් ඉහත සඳහන් විශිෂ්ට චරිත ලක්‍ෂණ
පැහැදිලි වෙයි. පෙළදහමෙහි එන නිදසුන් ඇසුරු කරමින් විවරණය කරන්න.
පිළිතුර
ආලාර කාලාම තවුසා හමුවීමෙන් පසු බෝසතාණන් වහන්සේ කළ කී දෑ මෙසේ
දැක්විය හැකිය. ආයුෂ්මත් කාලාමයෙනි. මම මේ ධර්ම විනයෙහි හැසිරීමට
කැමැත්තෙමි. මම කීවෙමි. ආයුෂ්මතුනි මෙහි බඹසර හැසිරෙන්න. නැණවත්
පුරුෂයෙකුට මෙය තමන්ම වහා දැන ප්‍රත්‍යක්‍ෂ කොට ලබා වාසය කළ හැකි
ධර්මයකැයි කාලාම කීය. නොබෝ දිනකින්ම මම ඒ ධර්මය ප්‍රගුණ කළෙමි. තොල ගෑ පමණින් කී දේ වරක් කී
පමණින් දනිමි කියාත් මම එහි ස්ථිර වෙමි කියාත් කීවෙමි. දනිමි, දකිමි
යනුවෙන් පැවසීමි. අන්‍යයෝත් මට එසේ කීහ. කාලාම මේ ධර්ම තමන් විශිෂ්ට
ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ලබා වාසය කරන බව ශ්‍රද්ධා මාත්‍රයෙන්
පමණක් පවසන දෙයක් නොවේ. කාලාම නිසැකයෙන්ම මේ ධර්මය දනිමින් දකිමින්
වාසය කරති.
මට සිතිණ ඉක්බිති මම කාලාමගෙන්, ආයුෂ්මත් කාලාමයෙනි, කොපමණකින් මේ
ධර්මය ලබා වාසය කරන්නෙහිදැයි විමසීමි. ඔහු ආකිඤ්චඤ්ඤායතනය සඳහන් කළේ ය.
මට මෙසේ සිත්විය. ශ්‍රද්ධාව ඇත්තේ කාලාමට පමණක් නොවේ මටත් ශ්‍රද්ධාව
තිබේ. වීර්ය, ස්මෘතිය, සමාධිය, ප්‍රඥාව, ඇත්තේ කාලාමට පමණක් නොවේ මටත්
තිබේ. ඒ සමාධිය ලැබීමට උත්සාහ කළොත් මැනවි කියායි. මම ටික දිනකින්ම ඒ
ධර්මය විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට ලබා වාසය කළෙමි. (ම.නි.
අරියපරියේසන සූත්‍ර. සහ මහා සච්චක සූත්‍ර සංවගාරව සූත්‍ර)
ප්‍රශ්නය
භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වාණයට ආසන්න තොරතුරු බොහොමයක් දී.නි. මහා
පිරිනිබ්බාන සූත්‍ර දේශනාවෙහි දක්නට ලැබෙයි. උන්වහන්සේ අවසාන
චාරිකාවෙහි බේලුවනම් ග්‍රාමයට වැඩ දැඩි සේ ගිලන්ව වැඩ සිටි අවස්ථාවෙහි
දී ආනන්ද හිමියන්ට අතිශය වැදගත් දේශනයක් කළහ. ශාසනික වශයෙන් ඉතාමත්
වැදගත් වූ එම ප්‍රකාශන මොනවාද?
පිළිතුර
දෙසිතො ආනන්ද මයා ධම්මො අනුත්තරං අබාහිරං කත්වා තත්වානන්ද තථාගතස්ස
ධම්මෙසු ආචරිය මුට්ඨි. අභ්‍යන්තර හා බාහිර වශයෙන් කොටස් දෙකකට නොබෙදා
ගුරු මුෂ්ටි වශයෙන් යමක් නොතබා දේශනා කළෙමි.
තථාගතස්ස ඛො ආනන්ද න එවංහොති
අහං භික්‍ඛු සංඝං පරිහරිස්සාමීති වා
මමුද්දෙසිකො භික්‍ඛු සංඝොති මම මේ භික්‍ෂූ සංඝයා මා සඳහා සිටින්නේ ය.
කියා හෝ තථාගතයන් වහන්සේගේ අදහසක් නැත.
‘අහං ඛො පනානන්ද එතරහි ජිණ්ණො වුද්ධො මහල්ලකො අද්ධ ගතො වයො අනුප්පත්තො
ආසීති කොමෙ වයො වත්තති, සෙය්‍යාථාපි ජජ්රසකටං වෙධ මිස්සකං’ ආනන්ද , මා
වනාහී ජරාවට ගියේ මහලු වූයේ වෘද්ධ වූයේ වියපත් වූයේ වෙයි. මාගේ වයස
අවුරුදු අසූවකි. මාගේ සිරුර තෙල් ගැන්වූ පරණ කරත්තයක් බඳුයි.
අත්තදීපා විහාරථ අත්තසරණා අනඤ්ඤ සරණො ධම්මදීපො භික්‍ඛවෙ ධම්ම සරණො
අනඤ්ඤ සරණො.
මහණෙනි, ධර්මය පහනක් කරගන්න. ධර්මය සරණය හැර වෙනත් සරණක් නැත.
ආනන්ද හිමියන්ට කරන ලද අනුශාසනාවයි.
ප්‍රශ්නය
බුදු සිරිතෙහි දැක්වෙන සුවිශේෂ වූ කරුණක් නම් ශ්‍රාවක සිව් පිරිසට
අමතරව බුදුරජාණන් වහන්සේ විවිධ වූ පිරිස් අටක් හමුවූ බවත් ඒ පිරිස්
අතරට වැඩම කොට ඔවුන්ගේ සිතැඟි පරිදි සංවාදශීලීව කතාබස් කොට දැහැමි
දිවිපෙවෙතට ඔවුන් යොමුකළ බව බෞද්ධ මූලාශ්‍රවල දැක්වේ. බුදුරජාණන් හමුවූ
ඒ පිරිස් අට මොනවාද?
පිළිතුර
සුතාගත තොරතුරු අනුව ඒ පිරිස් අට මෙසේ ය.
1. ක්‍ෂත්‍රිය පිරිස
2. බ්‍රාහ්මණ පිරිස
3. ගෘහපති පිරිස
4. ශ්‍රමණ පිරිස
5. චාතුර්මහා රාජික පිරිස
6. තාවතිංස පිරිස
7. මාර පිරිස
8. බ්‍රහ්ම පිරිස
මේ සියල්ල අතරට බුදුරජාණන් වහන්සේ වැඩම කළහ.
ප්‍රශ්නය
කාමාවචර කුසල කර්ම යන්න පැහැදිලි කොට, එහි විපාක වශයෙන් ලැබෙන
ප්‍රතිඵලද පැහැදිලි කරන්න.
පිළිතුර
කාම ලෝකයෙහි විපාක දෙ කුසලකර්ම දහයක් තිබේ.
දානය, සීලය, භාවනාව, අපචායනය( වැඩිහිටියන්ට සැළකීම) වෙය්‍යාපච්ච
(වතාවත් කිරීම) පත්තිදාන (පින්දීම) පත්තානුමෝදනා (අනුන්ගේ පිනෙහි
සතුටුවීම) ධර්මශ්‍රවණය දෘෂ්ටිය සෘජු කිරීම (තම දෘෂ්ඨිය නිවැරැදි
අයුරින් තහවුරු කර ගැනීම) යන මේවා ය.
දන්දීමෙන්, ධනය ලැබේ. සීලය උසස් උපතට හා සැප සම්පත ලබාදෙයි. භාවනාව
මගින් රූප හා අරූපලෝකවල උපත ලැබෙන අතර අඤ්ඤ හා විමුක්තිය ද ලැබේ.
පින්දීමෙන් මතු භවයේ යස ඉසුරු ලැබීමට හේතුවෙයි. අන්‍යයන්ගේ කුසල්ගැන
සතුටුවීම නිසා පී‍්‍රතිමත් උපතක් ලැබේ. ධර්මශ්‍රවණය හා ධර්මදේශනය නුවණ
ලැබීමට හේතුවෙයි. අපචායනය උතුම් දෙමව්පියන් ලැබීමට වාසනාව උදාකර ගනී.
වතාවත් කිරීම පිරිස් ලැබීමට මහෝපකාරී වීමට හේතුවන පින්කමකි. අනුන් කළ
පින් සිහිපත් කොට සතුටුකිරීම පැසසුමට නිරතුරුව ලක්වෙයි.
ප්‍රශ්නය
ලාභො අලාභොඅයසො යසොච
නින්දා පසංසා සුඛංච – දුක්ඛං
පෙළ දහමට අනුව ඉහත සඳහන් අටලො දහමට මුහුණ දිය යුතුය. (පුට්ඨස්ස ලෝක
ධම්ෙමිහි චිත්තං යස්ස න කම්පති) මෙහි අවසාන අංග දෙක සැප හා දුක පිළිබඳව
ධර්මානුකූල විවරණයක් කරන්න.
පිළිතුර
අටලෝ දහමෙහි අවසාන අංග දෙක වන දුක හා සැප මිනිසාට ඉතා ප්‍රබල ලෙස බලපාන
දේ වෙති. පහසුවෙන් විඳගත හැකි දේ සැප (සුඛ) වන අතර විඳ දරා ගන්නට අපහසු
දේ (දුඞඛ) දුක නම් වෙයි. බුදුදහමට අනුව නියම සැපය වේදනාව (සුඛවේදනා)
ඉක්මන් යන ආධ්‍යාත්මික වූවකි. ධනය, බලය හෝ කීර්තිය හෝ විජයග්‍රහණ එයට
සම්බන්ධ නැත. බුදු දහමට අනුව ගිහි සුඛ, පබ්බජිත සුඛ යනුවෙන්ද දෙකොටසක්
දක්නට ලැබේ. එයින් ගිහි සුඛ හෙවත් ගිහි චතුර්විධ බව බුදුරජාණන් වහන්සේ
දේශනා කොට ඇත. එනම් අත්ථි සුඛ භෝග සුඛ අණන සුඛ අන වජ්ජසුඛ යනුවෙනි.
අං.නි. දුක නිපාතයෙහි එක් වර්ගයක් හඳුන්වා ඇත්තේ ‘සුඛ වර්ගය’ නමිනි.
එසේම ධම්මපද ග්‍රන්ථවෙහිද ‘සුඛ’ නමින් එක් වර්ගයක් සඳහන්ව ඇත. දුක
නිපාතයෙහි බුදුරජාණන් වහන්සේ ‘සුඛ’ විසිහය ආකාරයකින් සඳහන් කරයි. එයින්
සමහරක් මෙසේ ය. ගිහි සුඛ පබ්බජ්ජා සුඛ, කාම සුඛ, නෙක්ඛම්ම සුඛ, උපධි
සුඛ, නිරුපධි සුඛ, කායික සුඛ, චෛතසික සුඛ යනුවෙනි. |