සීල විසුද්ධිය
4 කොටස
ස්වාක්ඛාත ධර්මය මනාව ඉගෙනීම
සීල විසුද්ධියේ ආරම්භය යි
නාවලපිටියේ
අරියවංශ හිමි
යම් කෙනෙක් ඒ අතිශය පාරිශුද්ධ වූ ඒ ඇසුරු කිරීම ආරම්භ කරන්නේ කොහෙන්ද?
සීලය පිරිසුදු කර ගැනීමෙන්. එතැනින් තමා ඒ ඇසුර ආරම්භ වන්නේ. ඔහු සීලය
පරිපූර්ණ වශයෙන් පිරිසුදු කර ගන්නවා. එයට කියනවා ‘සීල විසුද්ධිය’ කියා.
භාග්‍යවතුන් වහන්සේ ගෞරවයෙන් ඇසුරු කරන පුද්ගලයා පළමුවෙන්ම කරන්නේ
මොකක්ද? සීල විසුද්ධියට පැමිණෙන්නට කැමැති වෙනවා. එයට වෑයම් කරනවා.
වීර්යය කරනවා. ඔහු සීල විසුද්ධිය කරා පැමිණ වාසය කරනවා. ඒක තමා
භාග්‍යවතුන් වහන්සේ ගෞරවයෙන් ඇසුරු කරන පුද්ගලයාට සිදුවන පළමු වැනි දේ.
පළමුවැනි ඇසුරු කිරීම. ඔහු තමයි යම් කලෙක පිරිනිවන් පාන්නේ.
අපේ සිත්වල උපදින නොයෙකුත් වැරදි අදහස් අත්හරින්නෙ නැතිව මේ ධර්මයෙන්
යහපත් ප්‍රතිලාභයක් අපට අත්කර ගන්නට අවස්ථාව ලැබෙන්නේ නැහැ. අපේ සිත්වල
උපදිනවා මෙන්න මේ වගේ අදහස්. ‘මම දන්න කෙනෙක්’. ‘මට අවබෝධ වුණා’ , ‘මට
අවබෝධ වෙලා තියෙන්නේ’ කියල මෙන්න මේ වාගේ අදහස්. අන්න ඒ විදිහට හිතේ
උපදින අදහස් අප අතහරින්ට ඕන. ඒ වගේ අදහස් අපට තිබෙන තුරු මේ ධර්මයෙන්
යහපත් වූ කිසිවක් අත්කර ගන්නට ලැබෙන්නේ නැහැ. ඔහුට අහිමිවීම් පමණයි
තිබෙන්නේ. නමුත් යම් කෙනෙක් කැමැති වුණොත් ‘මම දන්නවා’ කියන මේ අදහස
අතඇර දැමු විට ඔහුට පරම දුර්ලභ වූ අවස්ථාවක් ලැබෙනවා. මොකක්ද ඒ ලැබෙන
අවස්ථාව? ඔහුට අවස්ථාව ලැබෙනවා. භාග්‍යවතුන් වහන්සේ ගෞරවයෙන් ඇසුරු
කරන්නට.
භාග්‍යවතුන් වහන්සේ ගෞරවයෙන් ඇසුරු කරන්නට යම් කෙනෙක් කැමැතියි නම් ඔහු
විසින් කළයුතු අතිශයින් අමාරු කටයුත්ත තමා ‘මම දන්නවා’ ‘මට අවබෝධ වුණා’
කියන ඒ හීන අදහස අතහැරල දැමීම. මේ අදහස ලොකු දෙයක් වගේ තමා අපට
පෙනෙන්නෙ. නමුත් ඒක හීනයි. හීනයි කියා කියන්නේ මහත් වූ ලාභයක් ඒ නිසා
අහිමි වෙනවා. නමුත් ඒ අදහස වටිනවා වගේ තමා අපට තේරෙන්නේ. ඒ නිසාම තමා
අප ඒක අල්ලාගෙන ඉන්නේ. ඒ හීන බව තේරුම් අරගෙන ‘මම දන්නවා’ කියන අදහස.
‘මට අවබෝධ වුණා’ කියා හිතේ ඇතිවුන අදහස. මේ හීන අදහස අතහැර දක්ෂ වෙන්න.
යම් කෙනෙක් ඒකට දක්ෂ වුණොත් ඔහුට පුළුවන්කම ලැබෙනවා භාග්‍යවතුන් වහන්සේ
ගෞරවයෙන් ඇසුරු කරන්නට.
ඒ විදිහට ‘මම දන්නවා’ කියන අදහස අතහැරල යම් කෙනෙකුට භාග්‍යවතුන් වහන්සේ
ගෞරවයෙන් ඇසුරුකරන්නට පුළුවන් වුණොත් ඔහු එකම එක දේකට කැමැති වෙන්න ඕන.
මොකද්ද ඒ කැමැතිවෙන්නට ඕන එකම එක දේ? ඔහු කැමැති වෙන්න ඕන පිරිනිවන්
පාන්නට. එවිට ඔහුට කැමැති වෙන්ට සිද්ධවෙනවා පිරිනිවන් පාන්නට. එහෙමනම්
අප විසින් අර හීන අදහස අතහැර ගත්තොත් අපට පුළුවන්කම ලැබෙනවා අවස්ථාවක්
ලැබෙනවා ඒ භාග්‍යවතුන් වහන්සේ ගෞරවයෙන් ඇසුරු කරන්නට. එසේනම් අප
භාග්‍යවතුන් වහන්සේ ගෞරවයෙන් ඇසුරු කරන්නේ කුමක් පිණිස ද? පිරිනිවන්
පෑම පිණිස. ඒ තමා ඒ ඇසුරු කිරීමේ අවසාන ය. ඒ ඇසුරු කිරීම එතැනින් කෙළවර
වෙනවා.
එහෙමනම් යම් කෙනෙක් ඒ අතිශය පාරිශුද්ධ වූ ඒ ඇසුරු කිරීම ආරම්භ කරන්නේ
කොහෙන්ද? සීලය පිරිසුදු කර ගැනීමෙන්. එතැනින් තමා ඒ ඇසුර ආරම්භ වන්නේ.
ඔහු සීලය පරිපූර්ණ වශයෙන් පිරිසුදු කර ගන්නවා. එයට කියනවා ‘සීල
විසුද්ධිය’ කියා. භාග්‍යවතුන් වහන්සේ ගෞරවයෙන් ඇසුරු කරන පුද්ගලයා
පළමුවෙන්ම කරන්නේ මොකක් ද? සීල විසුද්ධියට පැමිණෙන්නට කැමැති වෙනවා.
එයට වෑයම් කරනවා. වීර්යය කරනවා. ඔහු සීල විසුද්ධිය කරා පැමිණ වාසය
කරනවා. ඒක තමා භාග්‍යවතුන් වහන්සේ ගෞරවයෙන් ඇසුරු කරන පුද්ගලයාට සිදුවන
පළමු වැනි දේ. පළමුවැනි ඇසුරු කිරීම. ඔහු තමයි යම් කලෙක පිරිනිවන්
පාන්නේ.
එබඳු ඇසුරු කිරීමක් කිරීම පිණිස අප විසින් ‘මම දන්නවා’ කියන හීන අදහස
අත්හැර දැමිය යුතු වෙනවා. ඒ අදහස අපට තියෙනවද නැද්ද? හොඳට හොයා බලන්න.
ඒක තියෙනවාද නැද්ද කියා. තියෙනවා නම් ඒක අත්හැර දාන්න. එය අත්හැර
දාන්නේ නැතිව භාග්‍යවතුන් වහන්සේ ගෞරවයෙන් ඇසුරු කරනවා කියන දේ සිද්ධ
වෙන්නේ නැහැ. කවදාවත් සිදු වෙන්නේ නැහැ. නමුත් ඔහු බණත් කියනවා.
බුදුගුණත් සියල්ලම කියනවා. ධර්මයත් ඉගෙන ගන්නවා. භාග්‍යවතුන් වහන්සේට
වැඳීම් පිදීම් ඔක්කෝම කරනවා. නමුත් ගෞරවයෙන් ඇසුරු කිරීම සිදුවන්නේ
නැහැ.
නමුත් යම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ ගෞරවයෙන් ඇසුරු කලොත් ඔහුගේ
ජීවිතය සැපවත් වෙන්නට පටන් ගන්නවා. දුක ටිකෙන් ටික ගෙවෙන්නට පටන්
ගන්නවා. ටිකෙන් ටික ජීවිතයේ සුව පහසු පැත්ත විවෘත වෙනවා. ධර්මය විනය
ඉගෙන ගන්න විටත් සුවපහසුවක්ම යි ඔහුට ඇතිවෙන්නේ. භාවනා කරද්දීත්
සුවපහසුවක්ම යි ඔහුට ඇතිවෙන්නේ. සැප සොම්නස පී‍්‍රති ප්‍රමෝදය ලැබෙනවා.
ඒ වගේම තවත් යම් කෙනෙකුට ධර්මය ඉගෙන ගන්නට අවස්ථාව ලැබෙනවා. කෙටි
කලකින් ධර්මය බහුල වශයෙන් ඉගෙන ගන්නට අවස්ථාව ලැබෙනවා. එසේ ධර්මය ඉගෙන
ගැනීමත් එක්ක ඔහු ඔහු තුළ ආඩම්බරය මාන්නය ආදී දේවල් බහුල වෙනවානම්
ඔහුගේ ජීවිතය ටිකින් ටික සැපවත් වෙනවද? නැහැ. එයට හේතුව ආඩම්බරය මාන්නය
කියා කියන්නේ සැප ඇතිකරන දෙයක් නොවේ. සැප කෙළසන දෙයක්. ස්වාක්ඛාත වූ
ධර්මයක් ඉගෙන ගන්නට ලැබිලත් ඔහු තුළ ආඩම්බරය මාන්නය පෝෂණය වුණේ ඇයි?
ඔහු භාග්‍යවතුන් වහන්සේ ගෞරවයෙන් ඇසුරු කළේ නැති නිසා මනාකොට ඇසුරු කළේ
නැහැ. ඔහු ‘මම දන්නවා’ කියන අර හීන අදහස අතහැරියේ නැහැ. ඒක අතහරින්නේ
නැතිව අප ධර්මය කො තරම් ඉගෙන ගත්තත් අප තුළ වැඩෙන්නේ මම දන්නවා කියන
හීන දෙයම යි.
එය මෙන්න මේ වගේ දෙයක්. ඔන්න ගහක පිළිලයක් තිබෙනවා. ඒ පිළිලය තියෙද්දීම
අප ගසට පොහොර දානවා. එවිට වැඩෙන්නේ ගසද? පිළිලය ද? පිළිලය ම යි
වැඩෙන්නේ. අන්න ඒ වගේ තමා ‘මම දන්නවා’ , ‘මට අවබෝධ වුණා’, ‘මට තමා
තේරෙන කෙනා’ කියා මේ අදහස් තියාගෙන අප ධර්මය ඉගෙන ගන්නවා. මේ ධර්මය
කියා කියන්නේ හිත පිරිසුදු වෙලා වැඩිල දියුණුවීමට උදව්වන දෙයක්. සැප
විපාක ලබාදෙන දෙයක්. අර ගසට පොහොර වගේ නේද? ගසට පොහොර දාන්න දාන්න ගහ
ලස්සන වෙලා වැඩිල අත හොඳින් හැදිල වර්ණවත් වෙලා මල්ඵල හට ගන්නට ඕනෑ
නේද? නමුත් ඒ ගහේ පිළිලයක් තිබුනොත් අතුකොළට මොනව වෙයි ද? අතුකොළ
ටිකෙන් ටික දුර්වල වෙලා යනවා. නමුත් පිළිලය වේගයෙන් හැදෙනවා නේද? අන්න
ඒ දේ නේද සිදුවුණේ.
එසේනම් අප ළඟ තිබෙන්නට පුළුවන් පිළිලය හඳුනා ගන්න. නැතිනම් අප ධර්මය
ඉගෙන ගන්නට ඉගෙන ගන්නට වැඩෙන්නේ ම ‘මම දන්නවා’ මට වැටහුණා, ‘මට අවබෝධ
වුණා’ ‘මම තමා දන්න කෙනා’ කියන අදහසම යි.ඒවා වේගයෙන් වැඩිලා එනවා. එවිට
සමහර අයට හිතෙනවා ‘අනේ් මට බැහැ’ කියල. ඒකට මොකක්ද කියන්නේ? ඒකට කියනවා
හීන මානය කියා. සමහර අයට ‘අරය වගේ තමයි මාත්’ කියා හිතෙනවා. එයට
කියන්නේ මොකක් ද? එයට කියන්නේ මාන්නය කියලයි’ එසේනම් ‘මම දන්නවා’ කියන
තැන ඉන්න විට මාන්නයම තමා වැඩෙන්නේ.
ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ ගෞරවයෙන් ඇසුරු කරන්නට කැමැතිවෙන්න. ඒ ‘මම
දන්නවා’ කියන හීන අදහස අත්හරින්න. ‘මම ඉගෙන ගන්න කෙනෙක්’ කියන අදහසින්
ඒ ස්වාක්ඛාත වූ ධර්මය මනාකොට ඉගෙන ගන්න. එවිටයි සාර්ථක වෙන්න පටන්
ගන්නේ. ඔහුට තමා සීල විසුද්ධිය කරා යන්නට පුළුවන්කම ලැබෙන්නේ.
නයනා නිල්මිණි
සීල විසුද්ධිය 3 කොටස සීලය පිරිසුදු වීමට අවශ්‍ය ගුණධර්ම |