UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ප්‍රඥාලෝකය

ප්‍රඥාලෝකය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
යො ච වස්ස සතං ජීවෙ - දුප්පඤෙඤා අසමාහිතො
එකාහං ජීවිතං සෙය්‍යො - පඤ්ඤාවන්තස්ස ඣායිනො

කාරුණික පින්වතුනි,

තමන්ට මෙන්ම සමස්ත මිනිස් සමාජයටම වැඩදායී වන ලෙසට ජීවිතය හැඩ ගස්වා ගැනීම ඉතා වැදගත්. මේ මිනිස් ජීවිතය ඉතා දුර්ලභ වටිනා එකක්. ජීවිතයේ වටිනාකම හෝ නොවටිනාකම මතුවන්නේ ස්වකීය ජීවන රටාව අනුවයි. තම තමන් විසින් පුරුදු පුහුණු කරන ලද ජීවන ප්‍රතිපදාවට අනුකූලවයි.

මිනිස් සමාජයේ ජීවත් වන යම් පුද්ගලයෙකු වසර සියයක් ජීවත් වුවත් එම පුද්ගලයාගේ ජීවන පැවැත්ම තුළ පවතින්නේ නිසරු නොවටිනාදේ නම් ජීවිතය නිසරු නිෂ්ඵල දිවියක් බවට පත්වෙනවා. ඇතැම් අය සරුදේ නිසරු ලෙසත්, නිසරු දේ සරු ලෙසත් සැළකීම නිසා මෙලොව පරලොව දෙලොවට සරුඵල නොලබාම මිය යනවා. එනිසා බෞද්ධ අපගේ පරම යුතුකම වන්නේ සරුදම් හොඳින් තේරුම්ගෙන ජීවත්වීමයි.

ඇතැමුන් සාරවත් දේ ලෙස සළකන්නේ රන් රිදී මසු කහවනු මිළ මුදල් ආදියයි. තවත් අය උගත්කම. එමෙන්ම පදවි සම්මාන නිලතල, ආදිය සරු දේ ලෙස සළකන අයත් සිටිනවා. නමුත් තථාගතයන් වහන්සේ සිය ධර්මය තුළින් පැහැදිලි කෙළේ ධර්මානුකූල වටිනාකම් රාශියක්. එබඳු වටිනාකම් රැසක් ඇතුළත් ගාථාධර්මයක් මා මාතෘකා වශයෙන් තැබුවේ ගාථාවේ අදහස පැහැදිලි කිරීමට පෙර මෙහි පසුබිම පිළිබඳ අවධානය යොමු කිරීමට කැමැතියි.

බුදු රදුන් අබියස පැවිදි වූ කොණ්ඩඤ්ඤ නම් භික්‍ෂුවක් භාවනා වැඩීමට අවශ්‍ය කමටහන් ලබා වනගත වුණා.නොබෝ දිනකින්ම භාවනා වඩා මාර්ගපලාවබෝධයෙන් උතුම් රහත් බව ලබා ගත්තා. මේ බැව් බුදුරදුන්ට දන්වනු පිණිස ආපසු වඩින ගමනේ දී තරමක් රෑ බෝ වුණා. රාත්‍රිය උදා වූ නිසාත් විවේකය ඇවැසි නිසාත් අසල පිහිටි ගල් තලාවක සමාධි සුවයෙන් රැය පහන් කළා.

මේ අතර එක්තරා සොරු කණ්ඩායමක් ගමක් කොල්ල කා පැහැර ගත් බඩුද සහිතව මේ ගල් තලාවට පැමිණ රාත්‍රිය ගත කිරීමට තීරණය කළා. සොර දෙටුවා ප්‍රධාන පිරිස තමන් අත තිබූ බඩු තැන තැන තැන්පත් කළා. එක් සොරෙකුතම හිත මත තිබූ බඩු සියල්ල තැබුවේ මෙම මහ රහතන් වහන්සේගේ හිසමත. තවත් කිහිප දෙනෙකු උන්වහන්සේගේ ශ්‍රී ශරීරයට හේත්තු කර නින්දට ගියා. උදෑසනින් නැගිට ගමන සඳහා සූදානම් වූ සොර පිරිස මේ කොණ්ඩඤ්ඤ හිමියන් දැක යකෙකු යැයි බියපත්ව කෑ ගසමින් දුවන්න ගත්තා. ‘දුවන්න එපා’ මා යක්‍ෂයෙක් නොව භික්‍ෂුවක්, යැයි රහතන් වහන්සේ ප්‍රකාශ කළා. සොර නායකයා විමැසුම් ඇසින් මෙම භික්‍ෂූන් වහන්සේ හැඳින ‘ස්වාමීනි, අපට සමාවුව මැනව. රාත්‍රී කාලයේ ගල් කණුවක් යැයි සිතා මෙලෙස බඩු බාහිරාදිය තැබූ බවත් ප්‍රකාශ කළා.

මේ සිදුවීම මත ජීවිතය පිළිබඳ ඉමහත් කලකිරීමට පත් සොර නායකයා භික්‍ෂුවගේ අසිරිමත් ජීවන පැවැත්ම පිළිබඳ අතිශය සතුටට පත්ව පැවිද්ද අයැද සිටියා. සෙසු පිරිසද පැවිද්දට කැමැත්ත පළ කළා. කොණ්ඩඤ්ඤ රහතන් වහන්සේ මේ පිරිස පැවිදි කරවා පැවිද්දට අවශ්‍ය ශික්‍ෂණය ලබා දී බුදුරදුන් අභිමුවට මොවුන් කැඳවාගෙන ගියා. මේ අවස්ථාවෙහි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ගාථා රත්නයයි දහම් දෙසුමෙහි මාතෘකාව සඳහා පාදක වූයේ.

උක්ත ගාථා ප්‍රවෘත්තියෙන් ලැබෙන ආදර්ශය කෙබඳුදැයි විමසා බලන්න. කොණ්ඩඤ්ඤ රහතන් වහන්සේගේ ප්‍රඥාව හා සමාධිය නිසා දක්වන ලද ප්‍රාතිහාර්යය කෙතරම් විශිෂ්ටද? වැරැදි ජීවන ක්‍රමය අතැර සොරු කැළ පැවිදිවීමට ගත් තීරණය කෙතරම් වැදගත්ද? ධර්මානුකූලව මේ පිළිබඳ විමසා බැලීමේ දී සතර සෘද්ධිපාදයන් සොර නායකයා තුළ තිබූ බව පැහැදිලි වෙනවා. සෘද්ධිය යනු සාර්ථකත්වයයි. අර්ථවත් බවයි. යමක් සාර්ථක වීමට නම් ඡන්ද (කැමැත්ත) චිත්ත (අධිෂ්ඨානය) විරිය (උත්සාහය) විමංසා (අවශ්‍ය නුවණ, විමසුම) යන සතර සෘද්ධිපාදයන් වැඩිය යුතුයි. සංසාරික දෝෂ හෝ කර්ම දෝෂයන් නිසා දිගු සසර ගමනේ හුරුපුරුදු වූ මිච්ඡාජීවයන්ගෙන්, සමාජ විරෝධී ක්‍රියාවන්ගෙන් මිදීමට අවස්ථාව උදා වූ විට එයින් මිදීමට පසුබට නොවිය යුතුයි. ඒ සඳහා අවශ්‍ය අවකාශය අපට තිබෙනවා. එබඳු බොහෝ අය බුදුසසුනේ ආලෝකය ලබා නිවී සැනැහී සිටිනවා. අංගුලිමාල, අම්බපාලී වැනි අය ඊට උදාහරණයි.

‘යස්ස පාපං කතං කම්මං කුසලෙන පිථියති’ යමෙකු කලින් කරන ලද අකුසල කර්ම පසුව කරන කුසල කර්මයන්ගෙන් වැසී යයිද, එබඳු පුද්ගලයා සො ඉමං ලොකං පභාසෙති අබ්භා මුත්තොව චන්දිමා, කළු වළාකුලින් මිදුනු චන්ද්‍රයා මුළු ආකාශයම බබළන්නාක් මෙන් ආලෝකමත් වන බව දේශනා කළා. කළු පැහැති පසුබිමක සුදු පාටින් රවුමක් ඇන්දහොත් කෙතරම් අලංකාරව කැපී පෙනෙයිද? එපරිද්දෙන් එම චරිතය ද කැපී පෙනෙනවා.

පින්වතුනි,

කලකදි අපේ සංසාරික බුද්ධිය මෝරා ප්‍රඥාව උදාවෙන්න පටන්ගන්නවා. මේ අය අතර බාල තරුණ මහලු දුප්පත් පොහොසත් කුලවත් කුලහීන භේදයක් නෑ. සාසනික වාසනාව සැඟව සිට මතුවෙන්න ගන්නෙ කළයක් තුළ දැල්වෙන පහනක් වගෙයි. බාහිර ලෝකයාට පෙනෙන්නේ නෑ.

දැන් අපි ඉහත ගාථාවෙන් විස්තරවන ප්‍රඥාව හා ධ්‍යානය යනු කුමක්දැයි විමසා බලමු. ‘පඤ්ඤා නරානං රතනං’ යන්නෙන් මිනිසුන්ගේ රත්නය ප්‍රඥාව බව බුදුරදුන් දේශනා කොට වදාළා. මැණික් අතර දියමන්තිය ඉතා වටිනා මාණික්‍ය රත්නයක්. විනිවිද පෙනෙන ස්වභාවයක් එහි පවතිනවා. ‘නිබ්බේධිකා පඤ්ඤා’ ලොව පවතින සියලු දෙයෙහි අනිත්‍යතාවය දැකීමට උපකාර වන්නේ ප්‍රඥාවයි. නාම රූප ඇතිවීමේ වේගයටත් වඩා වැඩි වේගයකින් නැතිවීම දකින්නේ ප්‍රඥාවෙන්.

ධ්‍යාන යනු සිත සමාධිගත කිරීමයි. කාමච්ඡන්ද ව්‍යාපාද ආදී පඤ්ච නීවරණ ධර්ම වලින් චිත්ත සමාධිය නැති කරනවා. කාම සිතිවිලි වලින් ද්වේශ සිතුවිලිවලින් නිදිමත අලසකමින් කුකුස දෙගිඩියාව වැනි ගති වලින් නිතර සිත කැළැඹෙනවා. මේවායින් සිත මුදාගත යුතුයි. ඒ සඳහා කුමක්ද කළ යුත්තේ. කුසල් අරමුණක් සිතට ගෙන එම අරමුණෙහිම සිත බද්ධකොට මෙනෙහි කළ යුතුයි.එවිට සිතේ සමාධිය ඇති වෙනව. විසුද්ධිමාර්ගයේ සමාධිය හඳුන්වා ඇත්තේ ‘කො සමාධි කුසලචිත්තඒකග්ගතා සමාධි’ යනුවෙනි.

සමාධිගත සිතකින් ධ්‍යාන උදාවෙනව. නිවන් මගෙහි පියවර තුනකි. ඒ සීල සමාධි ප්‍රඥා ත්‍රි ශික්‍ෂා මාර්ගයයි.

අප සැම උපත ලබා සිටින්නේ බුද්ධොත්පාද කාලයකය. එනිසා අපේ පරම යුතුකම වන්නේ භාවනාව කෙරෙහි සිත යොමුකොට සමාධිය ලබා ධ්‍යාන වඩා ප්‍රඥාලෝකයෙන් නිර්වාණාවබෝධය ලැබීමය. සියලු සත්වයෝ නිවනින් සැනසේවා.

 

බක් පුර අටවක පෝය

බක් පුර අටවක පෝය අප්‍රේල් මස 07 වැනිදා සඳුදා පූර්ව භාග 00.56 ට ලබයි.
08 වැනිදා අඟහරුවාදා පූර්වභාග 03.13 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අප්‍රේල් 07 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 14 වැනිදා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 07

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 14

Second Quarterඅව අටවක

අප්‍රේල් 22

New Moonඅමාවක

අප්‍රේල් 28


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]