බක් පුර අටවක 2014 අප්‍රේල් 07 වන දා
බක් මහේ උදාව
බෞද්ධ ශිෂ්ටාචාරය පෝෂණය කිරීමෙහිලා සාරධර්ම ආරක්‍ෂා කිරීම
ප්‍රධාන තැනක් ගන්නා කරුණකි. ඒ අතර හෙළ සංස්කෘතිය වර්ධනයෙහිලා
ද මහෝපකාරි වනුයේ සාරධර්ම සුරැකීමය.
බක් මහේ උදාවත් සමඟ ශ්‍රී ලාංකේය ජනතාවගේ සිත් සතන් ප්‍රබෝධමත්
වන එක් කරුණක් වනුයේ අලුත් අවුරුදු සමයේ ඉටු වන යුතුකම් හා
චාරිත්‍ර නිසි අයුරින් ඉටුවීම මගිනි.
බෞද්ධ ජනතාව කවදත් සිය යුතුකම් හා වගකීම් මැනවින් ඉටු කරමින්
සිය දිවි පෙවෙත ගත කරනුයේ ආදර්ශවත්වය.
මවට, පියාට වැඩිහිටියනට ඤාතීන්ට සැලකීම සඳහා විශේෂ කාලයක් වෙන්
කර නොමැත. බෞද්ධයා සිය ජීවිත කාලය පුරාම ඉහත සඳහන් කළ ස්වකීය
ඤාති පරපුර වෙත යුතුකම් නොපිරිහෙළා ඉටුකිරීම මහඟු චාරිත්‍රයකි.
සද්චාරිත්‍රයකි.
සිය යුතුකම් ඉටු කිරීමට සිංහල අලුත් අවුරුදු උදාව වන තෙක් බලා
නොසිටින මෙරට බෞද්ධ ජනතාව කවදත් මව්පිය, වැඩිහිටියනට ස්වකීය
යුතුකම් ඉටු කරනුයේ එහි ඇති වටිනාකම මැනවින් තේරුම් ගෙන තිබෙන
හෙයිනි. යහපත් චාරිත්‍ර ඉටු කිරීමෙන් අපේ සංස්කෘතිය පෝෂණය වනු
නියතය.
මෙලොව දිවිගෙවන සියලු දෙනා මේ ගිමන් හරිනුයේ තාවකාලික නවාතැන්
පොළකට ගොඩ වී සිටින්නාක් මෙනි. ඒ ජීවිතයෙහි ඇති අස්ථිර
ස්වභාවයන් නොනවතින සංසාර ගමනත් නිසා ය.
ජීවන ගමන ඉතා අවිවේකීය. පෞද්ගලික කටයුතු කරගෙන යාමේදී ජීවිතයට
විවේකයක් නිදහසක් ඇත්තේම නැතැයි ඇතැම් විට කෙනෙකුට සිතිය
හැකිය. එහෙත් කිසිදු නිදහසක් විවේකයක් නොමැති විටක අත්‍යවශ්‍ය
කටයුත්තක් යෙදුනහොත් ඊට නිදහස, විවේකය, උදාකර ගැනීමට උත්සුක
වනුයේ ද තමා මය.
ස්වකීය මව, පියා ඇතුළු ඤාතිවරුන්ගෙන් ඈත්ව දුර බැහැරක දිවි
ගෙවන අයකුට වුවද ඉඩ ලද සුළු විවේකයකදී පවා සිය මව්පියන්ගේ
සුවදුක් විමසීමට උනන්දු වෙති.
බක් මහේ උදාවත් සමග එළඹෙන සිංහල අලුත් අවුරුද්දේදී තම ගම්බිම්
බලා ගොස් මව්පිය වැඩිහිටියන් වෙත ඉටු කළ යුතු යුතුකම් රැසකි.
දුර බැහැරක වෙසෙන දූ දරුවන් පමණක් නොව ළඟ පාත මෙන්ම එකම නිවසක
එකම පවුලක් ලෙස වෙසෙන මව්පිය දූ දරුවන් පවා අලුත් අවුරුදු
චාරිත්‍ර ඉටු කරමින් එළඹෙන අවුරුද්ද පුරා යුතුකම් හා වගකීම්
ඉටු කිරීමට අදිටනක් තබා ගැනීම කාලෝචිතය.
කවර සමාජයක වුවද යුතුකම් හා වගකීම් ඉටු කරන තාක් එම සමාජයේ
පැවැත්ම සුරක්‍ෂිත වෙයි. යුතුකම් හා වගකීම් පැහැර හරින විට
ඔවුනොවුන් අතර සුහදතාවය,අන්‍යෝන්‍ය සමගියද දුරස්වීයයි.
එසේ නම් සමාජයේ යහපත, යහමග පිණිස නිරන්තරයෙන් හේතු වනුයේ
යුතුකම් හා වගකීම් නිසි අයුරෙන් ඉටු කිරීමය.
මෙයට පස් වසරකට පෙර අලුත් අවුරුද්ද සැමරීමටවත් නිදහසක් නොතිබූ
රටක, සමාජයක නිදහසේ ගමන් බිමන් යාමට , නිදහසේ යුතුකම් හා
වගකීම් ඉටුකිරීමට යහපත් කාලයක් උදාවී තිබේ. එය මේ රටේ සියලු
ජනතාවගේ වාසනාවකි. සෞභාග්‍යයේ උදාවකි.
තම තමන්ගේ ශක්ති පමණින් සිංහල අලුත් අවුරුදු සමයේ අපේ සමාජයේ
පෙර පැවැති අලුත් අවුරුදු චාරිත්‍ර නිසි අයුරින් ඉටුකිරීමේ
සද්චාරිත්‍රයෙහි බියෙන් සැකයෙන් තොරව සතුටෙන් සෙනෙහසින් ඒකරාශි
වී භුක්ති විදිය හැකි සමයකි.
අවුරුදු සමයේ උදාවන පුණ්‍ය කාලය විහාරස්ථානයට ගොස් තෙරුවන්
පුදා තෙරුවන්හි ආශිර්වාදය ලබා ගැනීමෙන් අලුත් අවුරුද්දේ යහපත්
ජීවිතයක් ගත කිරීමට මේ අවුරුද්දේදී ද අදිටනක් තබා ගත හැකිය.
මෙරට බෞද්ධ ජනතාව පරපුරෙන් පරපුරට ආරක්‍ෂා කර ගෙන එනු ලබන එවන්
මහඟු චාරිත්‍ර නිසි අයුරෙන් ඉටු කිරීම මගින් හැදෙන වැඩෙන
පශ්චිම ජනතාවටද එය මහත් ආදර්ශයක් සපයනු ලැබේ. |