UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ආධ්‍යාත්මය සනහාලන අමා දිය දහරකි තොලුවිල බුද්ධ ප්‍රතිමා වහන්සේ

ආධ්‍යාත්මය සනහාලන අමා දිය දහරකි තොලුවිල බුද්ධ ප්‍රතිමා වහන්සේ

සම්බුදුරජාණන් වහන්සේ සකල ක්ලේශයන්ම සන් සිඳුවා නිර්වාණය සාක්ෂාත් කරගත් උත්තම මහා පුරුෂයකු වූ නිසා එබඳු රුවක් ප්‍රතිනිර්මාණය කිරීම අතිශයින් ම දුෂ්කර කටයුත්තක් විය.

මේ පිළිබඳව ශාස්ත්‍රීය විවරණයක් ඉදිරිපත් කරන ෂේකල් මෙසේ පවසයි.

“බුදුන් වහන්සේගේ පරමෝත්කෘෂ්ඨ ස්වභාවය හැඟීම පිණිස ආකෘතියක් නිර්මාණය කිරීමට සිදු වන්නේ නම් එය දර්ශනයෙන් සිත් ගන්නා සුළු අනත්තයක් දක්වාම ආධ්‍යාත්මික තත්වය හෙළිදරව් කෙරෙන ලෝකාන්තයේ සීමාව තෙක් පරම ශ්‍රේෂ්ඨ භාවය පිළිබිඹු කරන්නක් විය යුතු ය. එය ආකෘති විරහිත විෂය සීමාව ඉක්මවා පැවතිය යුතුය.”

එමෙන්ම ලාංකික බුද්ධ ප්‍රතිමා කලා නිර්මාණයේ ඓතිහාසික තත්වය විමසීමේ දී එහි ප්‍රබල නිර්මාණාත්මක කුසලතාවයක් ප්‍රකට කළ බව ද පිළිගත යුතුව තිබේ.

එදා අපේ කලාකරු මුතුන්මිත්තන් දෑතේ සවිය, ආධ්‍යාත්මික සුපෝසතභාවය සහ මානසික සංයමය සහ ඒකාග්‍රතාවයන් ගල් කටුවට සහ මිටියට භාරදෙමින් පෑ මහා ප්‍රතිහාර්ය ඇත්තෙන්ම විස්මය දනවන සුළු ය.

දුරාතීතයේ දී සිදු වූයේ බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව ලබා ගන්නා ලද සර්වඥ ධාතූ®න් නිධන් කොට සාදන ලද චෛත්‍ය සහ බුද්ධත්වය වෙනුවෙන් සෙවණ සැලසූ බෝධීන් වහන්සේ පූජනීයත්වයට පත් කරලමින් බුදුන් වහන්සේ වෙනුවෙන් ඒවාට පූජෝපහාර සහ වන්දනා මාන කිරීමය.

ආචාර්ය කුමාරස්වාමී සඳහන් කරන පරිදි ක්‍රි. ව. පළමු වැනි ශත වර්ෂය ආරම්භයේ හෝ මධ්‍ය භාගයේ පමණ දඹදිව ගාන්ධාරයේ මෙන්ම මථුරාවෙහි ද බුද්ධ ප්‍රතිමා නෙළීම සිදු වූවා විය හැකිය. පූෂේ කළ පර්යේෂණ තුළින් ඔහු දක්වන්නේ ‘ගාන්ධාර’ ප්‍රතිමා නෙළීම කෙරෙහි ගී‍්‍රක සම්ප්‍රදාය බොහෝ සෙයින් බල පෑ බව ය. අමරාවතියෙන් හමු වූ ප්‍රතිමා ගන්ධාර ශෛලියේ බලපෑම් සහිත මථුරා ශිල්ප ක්‍රමයට සමාන කමක් දැක්වීය.

එසේ ක්‍රමයෙන් මෙය ගුප්ත යුගයට ගමන් කරන විට බුද්ධ ප්‍රතිමා නෙළීම එහි උපරිම තත්ත්වයට වර්ධනය විය. මෙය මථුරා - ගන්ධාර – අමරාවතී ආදී සියලු ශෛලීන්ගේ සුසංයෝගයක් බවට පත් විය. මෙසේ යුගයෙන් යුගය පැමිණ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයන්ගේ ආධ්‍යාත්මය නියෝජනය කළ අංග පසෙකින් තැබූවද භෞතිකව ඉදිරිපත් කළ හැකි ලක්‍ෂණ මතුකරමින් බුද්ධ ප්‍රතිමාව නෙළීම විකාශනය විය.

ලංකාවේ බුදු පිළිමය ඉතිහාසය ඉන්දියානු කාල සීමාවට වඩා ඈතට දිවයන බව විද්වතුන්ගේ අදහස බව ලක්දිව සුපතල බුදු පිළිමය නම් ග්‍රන්ථයේ ආචාර්ය මාලිංග අමරසිංහ පවසයි.

බුදු පිළිමයේ විකාශනය පිළිබඳ සාරාංශ වශයෙන් සඳහන් කිරීමට අදහස් කළේ අද ඡායාරූපයේ දිස්වන තොලුවිල බුද්ධ ප්‍රතිමාව පිළිබඳ කෙටි සටහනක් තැබීමට අවශ්‍ය පසුබිම සකසා ගැනීම උදෙසා ය.

තොලුවිල බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය වන්නේ ක්‍රි.ව පස්වන සියවසේ දී පමණ බව කියැවෙයි.

මෙය ශිලාමය ප්‍රතිමාවකි. උස අඩි පහයි අඟල් 4ක් පමණ වන අතර දෙදන හරහා අඟල් 9 ක් ද උරහිස හරහා අඩි 3 යි අඟල් 5ක් ද වෙයි.

අනුරාධපුරයේ තොලුවිලින් මෙම ප්‍රතිමාව හමු වී තිබේ. ඒ තොලුවිල අද හඳුන්වන්නේ නිවත්තක චේතිය යන නාමයෙනි.

පිළිමය නෙළා ඇත්තේ ධ්‍යාන මුද්‍රාවෙන් සහ වීරාසනයෙනි. ධ්‍යාන මුද්‍රාවම සමාධි මුද්‍රාව වශයෙන් ද හඳුන්වනු ලබයි. වීරාසනයේ හෝ පද්මාසනයේ හිඳ උඩු අතට විවෘත වූ වම් අත්ල මත දකුණු අත්ල සිටීම ධ්‍යාන මුද්‍රාව නමින් හඳුන්වයි.

ධ්‍යාන මුද්‍රාව පිළිබඳ විග්‍රහයක යෙදෙන ආචාර්ය කඹුරුපිටියේ වනරතන නාහිමියෝ මෙසේ සඳහන් කරති.

“සමාධි ප්‍රතිමාවෙන් පිළිබිඹු විය යුත්තේ හුදෙක් චිත්ත ඒකාග්‍රතාවය පමණක් නොවේ ප්‍රඥා පාටවයෙන් ජනිත වූ ප්‍රමෝද්‍ය ලක්‍ෂණයන් තිබිය යුතු ය. එයින් අදහස් වන්නේ කෙලෙස් තොර ලොව්තුරා ගුණය යි.

පොදු වශයෙන් සංකේතවත් කරන්නේ බුද්ධත්වය යි. බුද්්ධත්වය යනු කරුණාව හා ප්‍රඥාව යන ගුණයන් හි අති උත්කෘෂ්ට අවස්්ථාවයි. බුද්ධත්වය සංකේතවත් කරන සමාධි හෙවත් ධ්‍යාන මුද්‍රාවෙන් නිමවන ලද බුද්ධ ප්‍රතිමාව තුළින් බුදුන් වහන්සේගේ අපරිමිත මහා කරුණාව මූර්තිමත් කෙරේ. ඒ සමඟම ඉතා ගැඹුරු වූත් සූක්‍ෂම වූත් ධ්‍යානයට සමවත් විලාශයෙන් උන් වහන්සේගේ පරම ගාම්භීර වූ ප්‍රඥා මහිමය ප්‍රකට කෙරේ.”

මේ විග්‍රහයට අනුගත වෙමින් යමින් තොලුවිල බුද්ධ ප්‍රතිමාව අබියස නවතින්න යැයි මම ඔබට ආරාධනා කරමි. ඒ සඳහා දැන් ඔබ අනුරාධපුරයට යා යුතු නොවේ. යා යුතු වන්නේ කොළඹ ජාතික කෞතුකාගාරයේ ආලින්දය වෙත ය.

කළු ගලින් නෙළන ලද ලංකාවේ ඓතිහාසික පිළිම අතර තොලුවිල බුද්ධ ප්‍රතිමාව විශිෂ්ට ලක්‍ෂණ පිළිබිඹු කරන ආනන්දනීය ප්‍රතිමාවක් වශයෙන් හඳුනාගත හැකි බව වියතුන්ගේ ද පිළිගැනීම යි. මෙය කළු ගලින් යැයි හැඳින් වුව ද තිරිවාණා පාෂාණ විශේෂයකි. ඒ නිසාම පිළිමය මදක් රෝස පැහැයට හුරු ය. ඒකාංශ පාරුපනයෙන් යුත් ප්‍රතිමාවේ චීවරය පෙන්නුම් කර ඇත්තේ සිහින් රේඛා ම¼ගිනි. ඒ නිසාම චීවරය ඇඟට ඇළුණු බවක් පෙන්වයි.

ඇත්තෙන්ම මෙම පිළිමය දෙස බලා සිටීමේ දී චීවරයේ සුවිශේෂී පෙනුමක් පෙන්නුම් නොකරයි. සිරුර මතු වී පෙනෙයි. සිරුරේ අංගයන් අනිසය සමමිතික බවක් පෙන්නුම් කරයි. අංග පරිමාවන් මනා සේ සකසා පිළිමය නිර්මාණය කර ඇති නිසා දෑස් ඇද බැඳ තැබීමට සමමිතිකතාවය සමත් වී තිබේ.

මේ සියලු අංගයන්ගෙන් මිදී දැන් නිවීහැනහිල්ලේ පිළිම වහන්සේගේ මුව කමල පමණක් වෙන්කර ගනිමින් ඒ දර්ශනය පමණක් හිතට ගෙන දෑස් ඒ දෙසට යොමු කර මුව කමල දෙස පමණක් බලා සිටින්න.

ඇත්තෙන්ම ලාංකේය ඓතිහාසික බුද්ධ ප්‍රතිමා පෙළෙහි අනභිභවනීය අතිශය මනෝරම්‍ය වූ ප්‍රතිමාවක් වශයෙන් තොලුවිල ප්‍රතිමාව හඳුන්වා දිය හැකිය. ඒ මුවකමලින් වෑහෙන – ක්ලේශයන් ප්‍රහීණ කිරීමෙන් පසු සිතේ ඇති ප්‍රබෝධය – උපේක්‍ෂා සහගත මන්දස්මිතිය – කාරුණික හෘදයාංගම බව ඔබ හිත වින්දනීය ආනන්දනීය ඉසව්වේ ඉම වෙතටම කැඳවාගෙන යනු නියත යි. ඒ තරමට වෙනත් සියලු පිළිම අභිභවන ආකර්ෂණීය පෙනුමැති මේ තොලුවිල බුද්ධ ප්‍රතිමාව මුවකමල් විකසිත සිය පතක් හා සමාන ය.

මෙවැනි ප්‍රතිමාවක් දෙස මොහොතක් නෙත් යොමා සිටිය ද බුද්්ධාලම්භන පී‍්‍රතියෙන් ඔදවත්ව නිරාමිස සුවයෙන් සුවපත්ව ආධ්‍යාත්මය නිවී සැනහෙනවා නියත ය! එය සිසිලස අමා පැන් දියෙන් සිරුර නැහැවී සිහිල් වෙනවා වැනි හැඟීමකි.

 

බක් පුර අටවක පෝය

බක් පුර අටවක පෝය අප්‍රේල් මස 07 වැනිදා සඳුදා පූර්ව භාග 00.56 ට ලබයි.
08 වැනිදා අඟහරුවාදා පූර්වභාග 03.13 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අප්‍රේල් 07 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 14 වැනිදා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 07

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 14

Second Quarterඅව අටවක

අප්‍රේල් 22

New Moonඅමාවක

අප්‍රේල් 28


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk