UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

සේරුවිල සරණකිත්ති නා හිමි

ඒ 2006 වර්ෂයේ මැයි මාසයේ දිනයකි. එදින කොළඹ සිට සේරුවිලට පැමිණෙන රියක තුළ සංඝයා වහන්සේ නමක් ද උසස් හමුදා නිලධාරියෙක් ද සිටියහ. සේරුවිල රජමහා විහාරයට කිලෝමීටර් කීපයක් නුදුරින් “ රිය ගමන් කරමින් තිබිය දී දකින්නට ලැබුණු දර්ශනයෙන් ඒ සංඝයා වහන්සේ විස්මයට පත් වූහ.

“මහ ඇළේ වතුර හිඳීලා. මේ වෙලාවෙ ඔය වගේ දෙයක් වෙන්න බැහැ. ගොයමට වතුර ඕන වෙලාව. මොකක් හරි කඩාකප්පල්කාරි වැඩක්...”

උන්වහන්සේගේ විස්මය වචන බවට පත්විය. රිය නතර කෙරිණි. රියේ හුන් හමුදා නිලධාරියා ඇළට ළංව බැලුවේය.

එහෙමයි හාමුදුරුවනේ. වතුර ඇත්තේම නැහැ”

“මහත්තයා, මේ ගැන හොයලා මට රෑට කියන්න”

රාත්‍රියේ සේරුවිල රජමහා විහාරයට ලැබුණ දුරකථන ඇමතුමෙන් කියැවුණේ මෙවැන්නකි

“හාමුදුරුවනේ. මේක කොටින්ගේ වැඩක්. කොටි මාවිල්ආරු අමුණේ දොරවල් වහලා..”

එවක යුද හමුදා මේජර්වරයකු වූ නන්දලාල් රණවිරුවාගෙන් ලද ඒ පණිවිඩය නිසා එදා රැය පුරාවට උන්වහන්සේ වෙත නින්ද පැමිණියේ නැත.

අක්කර තිස්දහසක පමණ ගොයම වපුරා නිමා වුණ මේ මොහොතේ ජලය නො ලැබීමෙන් ඒ ගොයම විනාශ වන බව උන්වහන්සේ සිහිපත් කළේ සංවේගයෙනි. සිංහල, දෙමළ, මුස්ලිම් ගොවීන් සහ ඔවුන්ගේ දුවා දරුවන් ඇතුළු පනස්දහසකට වැඩි පිරිසකගේ පිපාසයද කුසගින්නද නිවු මේ ජල පහර නවතාලූ ම්ලේච්ඡ ත්‍රස්තවාදය කෙසේ හෝ නිමා කළ යුතුම මොහොත මෙය බවත් උන්වහන්සේ ඒ රාත්‍රියේ දී කල්පනා කළහ.

පසුදින උදයේ මහ ඇළ අද්දර ගණ දෙවි කෝවිල අසලට එන්න යැයි දායකයන් කිහිප දෙනෙකුටම පණිවිඩ යැවූ උන්වහන්සේ උදෑසනින් ම පිබිද කටයුතු නිම කොට එහි වැඩියහ. හරියට ම උදෑසන අටට එහි හිඳගත් උන්වහන්සේ ‘මාවිල්ආරු සොරොව්ව විවර කරන්නට ත්‍රස්තයන්ට සිත් පහළ වන තුරු මම උපවාසයේ යෙදෙමි “ යි කියා උපවාසය ඇරඹූහ.

තිස් වසරක කාලයක් පුරා ඇවිළ ගිය යුද්ධයක් අවසාන කළ මානුෂීය මෙහෙයුමක හැරවුම් ලක්ෂය බවට පත් වූ ඒ උපවාසය අරඹමින් යුද්ධයෙන් අඳුරු වී ගිය ලාංකේය ජන ජීවිත ත්‍රස්ත ග්‍රහණයෙන් මුදා ගැනීමේ වීරෝදාර මෙහෙයුමේ සමාරම්භය සනිටුහන් කළ ඒ ශ්‍රේෂ්ඨ සංඝ පීතෘන් වහන්සේ නම් අද හැත්තෑ හතර වන ජන්ම දිනය සමරන නැගෙනහිර අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ අනුනායක ධුරන්දර, තමන්කඩුව, දෙපළාතේ ප්‍රධාන සංඝනායක, සේරුවිල මංගල රජමහා විහාරය, මඩකලපුව, මංගලාරාමය, ත්‍රිකුණාමලය ජයසුමනාරාමය, ලංකාපටුන සමුද්‍රගිරි රජමහා විහාරය, කල්අඩි පාෂාණ පබ්බත විහාර, වාන්ඇළ බෝධි මංගලාරාමය, වාන් ඇළ පන්සල, ගොඩැල්ල රජමහා විහාරය මුතුර් උතුරු ගිරි විහාරය, සීගිරිය, කිඹිස්ස උප්පුලාදේවි රජමහා විහාරය යන විහාරයන්හි විහාරාධිපති සේරුවිල සරණකිත්ති නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේය.

යුද්ධයේ කුරිරු පීඩාවන් විඳ දරා ගනිමින්, උතුරු නැගෙනහිර බෞද්ධ උරුමය සුරකින්නට ජීවිතය කැප කළ මේ යතිවරයාණන් වහන්සේ ජාති,ආගම් පසෙකලා මනුෂ්‍ය වර්ගයාගේ යහපත පිණිස කැප වූ උතුම් ශ්‍රී‍්‍ර සද්ධර්මය ද බුදු පහස ලද පුදබිම් ද සුරක්ෂිත කරගනිමින් ශාසන කාර්යභාරය ඉටු කරන්නා වූ ශ්‍රේෂ්ඨ සඟ රුවනක් ය.

එම්. ඒ පියදාස පියාණන්ගේත් ජේ. ලිසිනෝනා මෑණියන්ගේත් දරු සත්දෙනා අතර පස්වැන්නා වූ ජයසුමන උපන්නේ 1940 මාර්තු මස 26 දින ගම්පහ උඩුගම්පොළ දීය. 1948 මේ පවුල මුතුර් ප්‍රදේශයට සංක්‍රමණය වු අතර සේරුවිල රජමහා විහාරයේ ඇසුර ලබන්නට ජයසුමන දරුවා වාසනාවන්ත වූයේ මේ හරහාය.

කැලෑවෙන් වැසී ගිය පස් ගොඩක් බවට පත්ව තිබුණු සේරුවිල මංගල මහා සෑ රජාණන් සොයා ගොස්, මහ සෑ රජුන් ප්‍රතිසංස්කරණය කරවා තථාගත ලලාට ධාතුන් වහන්සේ වැඩ වෙසෙන ඒ සෑය යළි බැබළවූ දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර නා හිමිපාණන් වහන්සේ එවක සේරුවිල රජමහා විහාරයේ විහාරාධිපති ව වැඩ හුන්හ. ඒ ශ්‍රේෂ්ඨ සංඝ පීතෘන් වහන්සේගේ ශිෂ්‍යයෙකු වශයෙන් 1952 දී නොවැම්බර් 03 වන දා ජයසුමන දරුවා පැවිදි භූමියට පත් වූයේ සේරුවිල සරණකිත්ති යන නාමයෙනි. මාතලේ වනරතන හිමිපාණෝ උන්වහන්සේගේ උපධ්‍යායන් වහන්සේ වූහ.

කැලයෙන් වැසී තිබූ සේරුවිල මංගල මහ සෑයමෙන් ම සේරුවිල ප්‍රදේශයද යළි එළි පෙහෙළි කරමින් ජනාවාස ගොඩ නගන්නට මුල පිරූ ස්වකීය ගුරු දේවෝත්තම දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර නා හිමිපාණන් වහන්සේ කෙරෙහි සරණකිත්ති ස්වාමීන් වහන්සේගේ සිතේ තිබුණේ ඉමහත් භක්ත්‍යාදරයකි. පිරිවෙන් අධ්‍යාපනය ලබමින් සිටි උන්වහන්සේ සෑම නිවාඩුවකම සේරුවිලට පැමිණියේ එහි සිදුවන ශීඝ්‍ර සංවර්ධනය දැක ගනිමින් මහත් සතුටකිනි. මේ ගොවි ජනපද ව්‍යාපාරයට මුල් වූ සිය ගුරු හිමියන් ගැන අපමණ ගෞරවයෙන් යුතු වූ සරණකිත්ති ස්වාමින් වහන්සේ නිරන්තරයෙන් උන්වහන්සේගේ වචනය ගරු කළහ.

1960 දී දොඩන්දුව ශෛලබිම්බාරාමාසන්න උදකුක්ඛේප සීමා මාලකයේදි සරණකිත්ති හිමියන් උපසම්පදාව ලැබූහ. අග්ගමහා පණ්ඩිත දර්ශන විශාරද සාහිත්‍ය චක්‍රවර්ති පොල්වත්තේ ශ්‍රී‍්‍ර බුද්ධදත්ත නා හිමියෝ උන්වහන්සේගේ උපාධ්‍යයන් වහන්සේ වූ අතර දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර නා හිමිගේ කැපවීමෙන් අචාර්යපාදයෝ වූහ.

1961 දි ගුරුහිමියන් ගිලන් වීමත් සමඟම පිරිවෙන් අධ්‍යාපනයට සමුදුන් සරණකිත්ති හිමියෝ සේ්රුවිල රජමහා විහාරයට වැඩම කරවා ගුරු හිමියන්ගේ උපස්ථාන කටයුතු සිදුකිරීමත් උන්වහන්සේගේ අනුශාසනාවන් අනුව ඉදිරි සංවර්ධන කටයුතු පවත්වා ගැනීමත් ඇරඹූහ. දිඹුලාගල රජමහා විහාරාධිපතිව වැඩ විසූ කිතලගම සීලාලංකාර හිමියන්ගේ ඇසුර ද මෙකල සරණකිත්ති හිමියන්ට ලැබිණි. ජීවිතය දෙවැනි කරමින්, ධර්මය රැඳුන සිංහල දේශය සුරකින්නට කැපවීම පිණිස සරණකිත්ති හිමිපාණන් වහන්සේට ඒ ප්‍රතාපවත් සඟරුවනේ ඇසුර ද හේතු වන්නට ඇත.

1984 අගෝස්තු 12 වන දා දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර නා හිමි අවුරුදු 91 ක් ආයු වළඳා අපවත් වී වදාළ පසු සේරුවිල සරණකිත්ති හිමියන් සේරුවිල රජමහා විහාරයේ විහාරාධිපති බවට පත් වූහ.

වසර තිහක් පුරා ත්‍රස්තවාදී ග්‍රහණයේ පැවති කල් අඩි ප්‍රදේශය 2006 දී මාවල් ආරු සටනින් පසු රජයේ පාලනයට නතු වූ අතර කි‍්‍ර.ව. පළමුවැනි සියවසේ මහා දාඨික රජු මෙහි ඉදි කළ පාෂාණපබ්බත විහාරයේ බුද්ධ අණසක යළි පිහිටුවන්නට මැදිහත් වූයේ ද නා හිමිපාණන් වහන්සේය. 2009 දී එ බිම වූ කනටේනරයක් තුළ වස් වාසය කළ උන්වහන්සේ අඩි 120 ක් පමණ උස් වූ සන්නිවේදන කුලුනේ ඉහළට ම වැඩම කොට එහි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තැන්පත් කළහ. එසේම හමුදා සහය ඇතිව උන්වහන්සේ සේරුනුවර සිට සෝමාවතියට කෙටි මඟක් ද කපා සකස් කළහ.


ආචාර්ය අලුත්වැව සෝරත නා හිමි

කතරගම කිරිවෙහෙර චෛත්‍යය ලෝක බෞද්ධ ජනතාවගේ මුදුන් මල් කඩක් හා සමාන පරම පූජනීය ස්ථානයෙහි ආධිපත්‍යය දරණ ලද 2013 සැප්තැම්බර් මස 27 දින අපවත් වී වදාළ රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක ඌව විශ්වවිද්‍යාලයේ කුලපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන් ජාතික හා ශාසනික වශයෙන් කරන ලද සේවාව අතිමහත්ය.

අපවත් වන විට 70 වන වියේ පසු වූ නාහිමියන් වහන්සේ රුහුණේ අඟුණකොළපැලැස්ස අලුත්වැව ගමේ දොන් එළියස් දහනායක වෙල්මුලාදෑනි හා දෝන කරුණාවතී දිසානායක දම්පතීන්ට දාව 1943 අප්‍රේල් මස 05 දින ජන්ම ලාභය ලැබූහ. කුඩා කළ දොන් ඩේවිඩ් දහනායක නමින් ඔහු අලුත්වැව රජයේ මිශ්‍ර පාසලින් මූලික අධ්‍යාපනය ලැබූහ.

දොළොස්වන වියට පා තැබීමත් සමඟම අලුත්වැව මේධංකර පූජ්‍ය පරත්තේ ශ්‍රී ආනන්ද හා පොළොන්මාරුවේ ශ්‍රී රේවත යන නාහිමිපාණන් වහන්සේලාගේ ආචාර්යත්වයෙන් අලුත්වැව සෝරත නමින් පැවිදි බිමට පත් විය.

කොළඹ මරදානේ ශ්‍රී ලංකා විද්‍යාලය, කොළඹ මාළිගාකන්දේ විද්‍යෝදය මහ පිරිවෙනින් අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ වර්ෂ 1963 මැයි මස 31 දින මහනුවර මල්වතු මහා විහාරයීය සීමා මාලකයේ දී උපසම්පදාව ලැබූහ.

ශ්‍රී ලංකා විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය හැදෑරූ අලුත්වැව සෝරත නාහිමියෝ පාසැල් ගුරුවරයෙකු ලෙස 1976 නොවැම්බර් මස 01 දින තිස්සමහාරාම අධ්‍යාපන කොට්ඨාසයට අයත් බෙරගහපැලැස්ස විද්‍යාලයේ උප ගුරුවරයෙකු ලෙස පත්වීම ලැබීමෙන් පසු කතරගම මහා විද්‍යාලයට ස්ථාන මාරුවක් ලබාගෙන කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ වැඩ වාසය කරමින් නාහිමියන්ට ජාතික හා ආගමික සේවාවන් ආරම්භ කිරීමට හැකි විය.

පළමුව කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානය මූලික කරගෙන කතරගම බෞද්ධ සංගමය ආරම්භ කොට එහි සභාපතිවරයා වශයෙන් අලුත්වැව සෝරත නාහිමියන් පත් වූහ.

පළමුව ආරම්භ කළ ශාසනික සේවය කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ පෝදා සිල්ගන්නා උපාසක උපාසිකාවන්ට බුදු පිළිම බෙදාදීමය.

පළමු පියවර වශයෙන් උන්වහන්සේ විසින් බුදු පිළිම 100ක් කිරිවෙහෙර චෛත්‍ය මලුවේ දී බෙදාදෙන ලදී.

නාහිමියන් විසින් කතරගම අෂ්ඨඵල බෝධීන් වහන්සේ පිළිබඳව කුඩා පොතක් සකස් කරන ලදී. උන්වහන්සේගේ පළමු පොත එයයි. මෙම පොත නොමිලේ බෙදාදෙන ලදී.

87 ගම්උදාව කතරගම පැවැත්වීම සඳහා කටයුතු කරන අවස්ථාවේ අලුත්වැව සෝරත නාහිමියන්ට කතරගම මහා විද්‍යාලයේ විදුහල්පති ධුරයට පත්වීමට අවස්ථාව ලැබුණි.

මහා විද්‍යාලයක්ව තිබුණු කතරගම පාසල මධ්‍ය මහා විද්‍යාලයක්, ජනාධිපති ජාතික පාසලක් දක්වා උසස් තත්ත්වයට ගෙන ඒමට ගත් උත්සාහය සාර්ථක විය.

කිරි වෙහෙර රාජමහා විහාරාධිපතිව වැඩ විසූ පරත්තේ ශ්‍රී ආනන්ද නාහිමියන් අපවත්වීමෙන් පසුව විහාරාධිපති වශයෙන් අලුත්වැව සෝරත නාහිමියන් පත්වීමත් සමඟ කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ ස්වර්ණමය යුගය ආරම්භ විය.

නාහිමියන්ගේ ශාසනික සේවය අගය කළ ස්‍යාමෝපාලි මහා නිකායේ මහා නා හිමියන් ප්‍රධාන කාරක සංඝ සභාව විසින් රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක පදවියත් “උපාධ්‍යාය” පදවියත් පිරිනැමුනේ විශිෂ්ට මෙහෙවර තවදුරටත් අගය කරමින් ඌව විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයෙන් ද නාහිමියෝ පුදනු ලැබූහ.

මොණරාගල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලය, කිරිවෙහෙර විහාරස්ථ ශ්‍රී ආනන්ද රේවත දහම් පාසල, කිරි වෙහෙර වැඩිහිටි සේවා සංගමය, විහාරස්ථ දායක ප්‍රතිග්‍රාහක සමිතිය, ලේක් හවුස් ළඳරු පාසල, විහාරස්ථ මහාසේන සිල් සමිතිය ඇතුළු සමිති සංවිධාන රාශියක අනුශාසක පදවි දරමින් කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ අතීත ශ්‍රී විභූතිය යළි ඉස්මතු වන අයුරින් සංවර්ධනය කිරීමට නාහිමියෝ අපරිමිත උත්සාහයක යෙදී සිටියහ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමු කර කතරගම නාගහ වීදිය ප්‍රදේශයේ ජීවත්වන ජනතාව වෙනුවෙන් නව පාලමක් ඉදිකර දීමත් නාගහ වීදියේ ගම්මානයේ පොල් අතු සෙවිලි කළ කුඩා නිවාස වෙනුවට ස්ථීර නිවාස 200ක් පමණ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ හා දානපතියන්ගේ ආධාර උපකාර ඇතිව ඉදිකර එම ගම්මානවල ජනතාවගේ ආර්ථිකය නගාලීම සඳහා ගම්මානය මැදින් ජලය ගලා යන ඇළක් ද ලබාදෙන ලදී. මෙම ගම්මානයේ ජීවත්වන ජනතාවගේ ක්‍රීඩා කෞශල්‍යය දියුණු කර ගැනීම සඳහා රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඌව පළාත් සභා ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ අවධානය යොමුකර ක්‍රීඩා මණ්ඩපයක් සහිත විශාල ක්‍රීඩා පිටියක් ලබා ගැනීමට ද හැකි විය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පූර්ණ අනුග්‍රහය ලැබීම නිසා ඓතිහාසික කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ ඇතුළු ප්‍රදේශයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ භාරකාරත්වයෙන් නිදහස් කරගැනීමට හැකි විය.

දානශාලා ධර්මශාලා සීමා මන්දිර ධාතු මන්දිර ආගන්තුක මහා සංඝරත්නය වෙනුවෙන් සංඝාවාස වන්දනාකාර පින්වතුන් උදෙසා නවීන මුළුතැන්ගෙවල් විදුලිය ආලෝක පද්ධතිය ආරාම සංකීර්ණයක් ලෙසට නවීකරණය කරන්නට හැකි විය.

අපවත්වී වදාළ ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ 71 වන ජන්ම දිනය යෙදී ඇති අපි‍්‍රයල් මස 05 දින පින්කම් හා ප්‍රජා සත්කාරක රැසක් සිදුකර නාහිමියන්ට පිං අනුමෝදන් කරවීමට කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ නව විහාරාමාධිපති ශාස්ත්‍රවේදී කොබවක දම්මින්ද නාහිමියන්ගේ ආනුශාසනාව පරිදි විහාරස්ථ දායක සභාව කටයුතු සංවිධානය කර ඇත.

දේශීය හා බටහිර වෛද්‍ය සායන, ලේ දන්දීම, දුප්පත් පවුලක් වෙනුවෙන් නිවසක් සාදා බාරදීම පාසැල් දරුවන් 500කට පොත් ලබාදීම ශතාධික මහා සංඝරත්නය වෙනුවෙන් අටපිරිකර සමග මහා දානය පිරිනැමීම හා මහා බත් දන්සැලක්ද පැවැත්වේ.

 

බක් පුර අටවක පෝය

බක් පුර අටවක පෝය අප්‍රේල් මස 07 වැනිදා සඳුදා පූර්ව භාග 00.56 ට ලබයි.
08 වැනිදා අඟහරුවාදා පූර්වභාග 03.13 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අප්‍රේල් 07 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 14 වැනිදා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 07

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 14

Second Quarterඅව අටවක

අප්‍රේල් 22

New Moonඅමාවක

අප්‍රේල් 28


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]