UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වහල් බව මුදවන පින පෙන්වන සමනබැද්ද විහාරය

පෞරාණික විහාර සංකීර්ණයන් ගොඩනැගුණේ ස්වභාවධර්මයේ චමත්කාරය ඉසිලූ ස්වභාවිකව පිහිටි කඳුමේඛලා ආශ්‍රයේය. මිහින්තලය ,සිතුල්පව්ව,වෙස්සගිරිය, හත්ථිකුච්චි, රිටිගල, කුඩුම්බිගල, රජගල ආදී වූ ඓතිහාසික පුදබිම් මේ ආශ්‍රයෙන් ගොඩනැගෙයි.

ගම්පහ දිස්ත්‍රික්කයට අයත් දොම්පේ මැතිවරණ කොට්ඨාසයේ පිහිටි සමනබැද්ද විහාරස්ථානය වෙත හංවැල්ලේ සිට පැමිණෙන්නේ නම් ඉතිහාසය පිළිබඳව ගවේෂණය කරන්නකුට තවමත් අභියෝගයක්ව පවතින එමෙන්ම සඟවාගෙන ඇති ඓතිහාසික සන්සිද්ධීන් ගෙන හැර පෑමට පෙළඹී සිටින සමනබැද්ද විහාරයට ගොඩවිය හැකිය. මෙය ඇත්තේ කොළඹ අගනගරයට නුදුරු හංවැල්ලේය.

ඉතිහාසගත උරුමයේ ප්‍රබල සංකේතයක් වශයෙන් විහාරස්ථානය හඳුනාගත හැකිවේ. ඒ අනුව විමසන කල ශ්‍රී ලාංකේය බිමේ හංවැල්ල පාලමෙන් එගොඩ වී වම්පසට දිවෙන පාරේ කි.මී. 2 ක් පමණ මල්වාන දෙසට ගමන් කිරීමෙන් විහාරස්ථානය වෙත පිවිසිය හැකිය.

කොළඹ දිස්ත්‍රික්කය මායිම් කරන කැලණි ගං ඉවුරට ආසන්නව පිහිටි කඳු ගැටයක් මත එය ගොඩනංවා තිබේ.

කඳු ගැටය මධ්‍යයේ ගිරි ගුහා කීපයක් දැක ගැනීමට ලැබෙයි. මුදුනත ඇත්තේ පැතිරුණු ගල් තලාවකි. ගිරග මත සිට දකින දර්ශනය නෙත් සිත් පිනවන සුළුය.

ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කයේ දර්ශන පෙළක් මෙතනදී හොඳින් දැක ගැනීමට හැකි වෙයි. එසේම අනෙක් පසින් රත්නපුර – කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් ක්‍ෂිතිජ රේඛාවට ලංවී විහිදී පැතිරුණු කඳුපන්තීන්ගේ අයස්කාන්ත සොඳුරු දසුන නෙතට රසඳුනකි.

තදාසන්න නාගරික පරිසරයකට අත වනන දුරකින් පිහිටියද පුදබිම ආශ්‍රයෙන් ගොඩනැගෙන නිසල සොඳුරු පසුබිම කලබල වූ සිතකට සැනසීම උදාකර දෙනු ලබයි. විහාරයේ ඉතිහාස කතාව වසර දහස් ගණනක අතීතයට උරුමකම් කියන බව පුරාවිද්‍යාත්මක සාධක විමසීමෙන් නිශ්චිත කර ගත හැකිය. කටාරම් සහිත ලෙන් ශිලා ලේඛන මැටි බඳුන් කැබලි මෙන්ම පිහිටි ගලෙහි නෙළු පියගැටපෙළ මේ සඳහා සාක්‍ෂි දරනු ඇත.

මෙහි වර්තමාන විහාර මන්දිරය සකසා තිබෙන්නේද කටාරම් සහිත ලෙනක් තුළය. බොහෝ විට කටාරම් ලකුණු ඇත්තේ ක්‍රි.පූර්ව යුගයේදීය.

මෙහි ක්‍රි.පූර්ව යුගයට අයත් බ්‍රාහ්මි අක්‍ෂර සහිත ලෙන් ලපියක් කටාරම් ලකුණට පහළින් නෙලා ඇති බව පැවසෙයි.

සමනබැද්ද යන නාමය සෑදුනේ කුමන හේතුවක් සාධකයක් පාදක කරගෙන දැයි නිශ්චිතවම කිව නොහැකිය.එහෙත් නම සෑදුණු අයුරු කියාපෑමට ජනප්‍රවාද කතාවක් ගොඩ නැගී තිබෙයි.

දුරාතීතයේදි මෙය වනයෙන් වැසී ගිය පෙදෙසක් බවත් මිහින්තලයේ සෑගිරියේ සිට පැමිණි භික්‍ෂූන් වහන්සේ දොළොස්නමක් වන්දනාවේ යන ගමන් මෙහි ගල්ලෙනක නැවතී සිටි බවත් කියැවෙයි.ශ්‍රමණයන් විසූ බැද්ද ‘සමනබැද්ද’ නමින් ව්‍යවහාරයට පත්වූ බව ජනප්‍රවාදගත කතාවයි. ගලමත ඇති චෛත්‍යයද විහාරස්ථානයට ලබා දෙන්නේ සුන්දර දර්ශනයකි.

මේ සියල්ල අබිබවමින් සමනබැද්ද විහාරස්ථානයේ ඓතිහාසිකත්වයට වග කියන ඉහළ ගල්තලාව මත පිහිටි සෙල් ලිපිය ප්‍රාමාණික වියතුන් පවා තර්ක විතර්ක හරහා පිල් බෙදවීමට තරම් සමත් කළ විශේෂ ලිපියක් බවට පත්වී තිබීම සමනබැද්ද විහාරයට විශේෂත්වයක් තිළිණ කර තිබෙයි.

මෙම ශිලාලේඛනය දකින්නට ලැබෙන්නේ විහාර ගෘහය දාගැබ සහ බෝධින් වහන්සේ පසු කරමින් පියගැටපෙළ නැග ගිය පසු හමුවන ඉහැත්තෑවෙහි හමුවන මුදුන් ගල්තලාව මතදීය. මෙම ශිලාලේඛනය නිරාවරිතව පවතී

ඉතිහාසය පිළිබඳ විශේෂ පාඩමක් කියාදෙන මෙම සුවිශේෂී සෙල් ලිපිය ඉතිහාසඥයන්ට අභියෝග කරන්නේ හැකි නිශ්චිත පිළිතුරක් සපයන ලෙසය.

දැන් එම අක්ෂර කීපයක් සහිත සෙල්ලිපිය කියවා බලමු.

කළදඩහි ගනය 
විදවි වහරළ

මෙහි අර්ථය වන්නේ කලදඩ නම් ස්ථාන යේ (වැසි) ගන (නමැත්තා විසින් වහරල මුදන ලද්දේය යන්නය. ලිපියේ දිග සෙ.මී. 90 ක් පමණ වන අතර අක්‍ෂරයක ප්‍රමාණය දළ වශයෙන් සෙ.මී. 07 කි. සෙල් ලිපියේ අක්ෂරයන්හි ලක්ෂණ අනුව මෙය ක්‍රි.ව. 5 –7 සියවසට අයත් බව කියැවෙයි. ඒ අනුව අදින් වසර 15000 කට පමණ පෙර කාලයකදී මෙම ගලේ කෙටූ අකුරු අපට දැක ගැනීමට ලැබෙයි. අප සාමාන්‍ය ව්‍යවහාරයේදි ගලේකෙටූ අකුරු යැයි පවසන්නේ කිසිදා නොමැකෙන සන්සිද්ධියක් සිහිපත් කිරීමටය.

එහෙත් මෙහි ගලේකෙටූ අකුරුද සියල්ල නිත්‍ය නොවන ධර්මතාවයට යමින් පවතියි.

උගතුන්ගේ විනිශ්චයට අනුව මෙය හඳුන්වන්නේ ‘වහරල’ සම්ප්‍රදායට අයත් ලිපියක් ලෙසය. ‘වහරල’ යන්නේ අරුත දාස බවින් මිදීම හෝ අනෙකු මුදා හැරිය බව සෙල්ලිපිය කියවා අදහසක් ඉදිරිපත් කරන මහාචාර්ය සෙනරත් පරණවිතානයෝ පවසති.

එහෙත් මැදඋයන්ගොඩ විමලකිත්ති හිමියන් ගේ කියවීමට අනුව විහාර සලාකය පිහිටුවීම හෝ විහාර සලාකය පවත්වාගෙන යාම වැනි අදහසක් ඉදිරිපත් කරයි. මහාචාර්ය සී.ජේ. විජේරත්න මහතාගේ මතය නම් වහරල යනු දර හෝ දැව වන අතර ‘විදවි‘ යන්නෙන් කැප්පවීම යන අදහස ඉදිරිපත් කරයි. 2005 ජාතික පුරාවිද්‍යා සමරු කලාපය වෙනුවෙන් සැකසුණු පුරාතන ශාස්ත්‍රිය ලිපි සංග්‍රහයට ලිපියක් ලියන හබරකඩ වජිර හිමියන් සඳහන් කරන්නේ ‘කිසියම් පැලැන්තියක් විශේෂ පරමාර්ථයකින් මෙම ලිපි පවත්වාගෙන ගිය බවය. මෙම පැලැන්තිය යම් පමණ යටහත් පහත් බවක් හැඟවූ පිරිසක් බව පෙනීයන බව ‘ උන්වහන්සේ පවසති.

ක්‍රි.ව. 1 වැනි සියවසින් පසුව රජකම් කළ රජවරු ආරාම උදෙසා වැව් අමුණු කුඹුරු ගම්බිම් භික්‍ෂු ආරාම වෙනුවෙන් පරිත්‍යාග කරන්නට පෙළඹුණහ. මේවායෙන් ලැබෙන ආදායම රජයට නොගෙන ඍජුවම විහාරස්ථානයට ලැබෙන්නට සැලැස්වූ අතර මෙම ආදායම නිපදවන්නට ශ්‍රමය වැය කළ ගම්වැසියන් විහාරස්ථානය වෙනුවෙන් එසේ අනිවාර්යයෙන් ආදායම ඉපැදවීමට බැඳී සිටි අතර එම බැඳී සිටීම ‘වහරල’ හෙවත් ‘වහල්’ යන්නෙන් යොදනු ලැබූ බවක් ද කියැවෙයි. මෙම වහල් භාවය යනු තාඩන පීඩනයන්ට යටත්ව බලකිරීමකින් කෙරෙන කාර්යයක් නොව එය නිදහස් ලෙස දිවි ගෙවමින් විහාරස්ථානයේ සේවය වෙනුවෙන් කැපවීමකි.

මෙයින් හැඟෙන්නේ කිසියම් ජනකොටසක් ස්වේච්ඡාවෙන් එහෙත් අනිවාර්යයෙන් විහාරස්ථානයේ පැවැත්ම වෙනුවෙන් කළ කැපකිරීමක කතාවයි.

වහරල යන්න විවිධ දෘෂ්ඨී කෝණයන්ට හසුව විවිධ අර්ථ නිරූපණය කළ ද අද ස්වේච්ඡාවෙන් විහාරය වෙනුවෙන් කැපවී ආදායම් ලබාදෙන දායකයන් නොමැත.

එදා සමාජයේ එවැනි පිරිසක් මහා පින්කමක් වෙනුවෙන් දායක වූවාද විය හැකිය. වහරල සිඳවීම යන කාර්ය විශාල කුසලයක් අත්පත් වන පින්කමක් ලෙසද හඳුන්වනු ලැබෙයි. පින්කමේ තරම කෙසේද යත් මෙයින් ජනිත වන පුණ්‍ය බල මහිමය සියලු සත්වයන්ට අනුමෝදන් කරවීම හා මතු බුදුබව ලැබීමට හේතු පාදක වන බව ඇතැම් සෙල් ලිපි මගින් අනාවරණය වෙයි.

මෙසේ නොයෙකුත් මත හා ගැටෙන ‘ වහරල’ නම් සෙල් ලිපි විශේෂය විවිධ අදහස් ඵල කළද, ඇතැම් තැනක සඳහන් වන රහතන් වහන්සේ පවා වැඩ සිටි බව කියැවෙන මෙවන් තැනක මෙවන් විශේෂ සෙල්ලිපියක් සුරැකීම ශ්‍රමය දහදිය වැගිරවූ මිනිසුන්ට කරන උපහාරයක්ම වනු ඇත.

 

මැදින් අව අටවක පෝය

මැදින් අව අටවක පෝය මාර්තු මස 23 වැනිදා ඉරිදා අපරභාග 8.10 ට ලබයි.
24 වැනිදා සඳුදා අපරභාග 6.13 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 24 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
මාර්තු 30 වැනිදා
ඉරිදා ය
.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 24

New Moonඅමාවක

මාර්තු 30

First Quarterපුර අටවක

අප්‍රේල් 07

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 14


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk