රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 26
තිගැස්මෙන්, කම්පනයෙන් තොර
මනසක්
ජනක වෙත්තසිංහ
රේරුකානේ
චන්දවිමල මහා නා හිමියන් තිගැස්මක්, කම්පනයක් හෝ දුක්ඛදායක අවස්ථාවක,
කඳුළු සැලීමක් හෝ ඒ පිළිබඳව ශෝක වීමක් නොවුණු බව
කල්‍යාණධම්ම හිමියෝ තම මතකය අවදිකරමින් කියා සිටිති. යම් කෙනකුගේ ජීවිත
ගමනේදී එළඹෙන විවිධ සිද්ධීන්ට අනුකූලව කම්පාවීම, ශෝකවීම් වැනි
අවස්ථාවන් ඇතිවීම ස්වභාවිකය. එය පුහුදුන් පුද්ගල චර්යාවන් හා බැඳී
පවතින සාමාන්‍ය පොදු ධර්මතාවයකි.
එහෙත් චන්දවිමල මහා නා හිමියන් තුළ පිහිටියා වූ මේ සුවිශේෂ ලක්‍ෂණයන්
විමසා බැලීමේදී හැඟී යන්නේ එය සාමාන්‍ය පුද්ගල චර්යාවන් අබිබවා ගිය
දියුණු මානසික තත්ත්වයක දුර්ලභ ඵලයක් බවය.
කෙනෙකුට ජීවිතයේ දැඩි ව්‍යසනයකදී හෝ හැඬීම් ශෝකවීම් වැනි තත්ත්වයකින්
වැළකී සිටීම අපහසු වුවද ඇතැමෙකුගේ තද සිතකට එය සමහර විටක දරා ගැනීමේ
ශක්තිය මත එවන් අවස්ථාවකට මුහුණ දිය හැකි බව යම් යම් පුද්ගල චරිත දෙස
විමසිලිමත් වීමේදී අපට දැක ගත හැකිය. එහෙත් ඒ බොහෝ අය එම දරා ගැනීම ඇති
කර ගන්නේ ළයේ පවතින තෙත්ගුණයක් නොමැති බැවිනි. නැතිනම් සංවේදි හිතක්
නොමැති සිතේ පවතින දැඩි බව නිසාය.
එහෙත් මානුෂීය ගුණයෙන් පිරිපුන් වූ සංවේදී කාරුණික වූ මෛත්‍රී සහගත වූ
සොඳුරු පිවිතුරු සිතක් ඇති මානවකයෙක් තුළ මෙවැනි ගුණයන් පිහිටන්නේ නම්
ඔහු මනැස රිසිසේ පදම්කරගත් අයෙකි. ජීවිතයේ සත්‍ය යථාර්ථය යම් තරමකට හෝ
පසක් කරගත් පුද්ගලයෙකි.
තම ජීවිතය සම්බුදු දහමේ පෝෂණයෙන් වර්ධනය කරගත් ආත්මීය බන්ධනයන්ගෙන්
වියුක්ත වූ ඇලීම් ගැලීම් ගැටීම් තුළින් ඈත් වූ ලාභාපේක්‍ෂාවන්ගෙන් තොර
වූ චන්දවිමල මා හිමියන් වැනි උදාර භික්‍ෂූන් වහන්සේ කෙනකු තුළ පිහිටන
අටලෝ දහමින් කම්පානොවන මෙවැනි තාදී ගුණය මතින් ගම්‍ය වන්නේ චිත්ත
සන්තානය තුළ පැවතියා වූ ප්‍රභල තත්ත්වයකි. දියුණුවට පත් සිතක ස්වභාවයේ
ලක්‍ෂණයකි.
ඉහත සඳහන් කළ ආකාරයට ඉතා තීව්‍ර අවස්ථාවකදී වුව හඬා වැලපී මෙන් තොරව
කෙනෙකුට ඇතැම් විට සිටිය හැකිවුවද තිගැස්ම කම්පනය වැනි චෛතසික
ස්වභාවයක් ජීවිතයේ මොනයම් හෝ මොහොතකදී පැන නොනැගීවියැයි සිතීමට අපහසු
ය. මෙයට කදිම උදාහරණයක් ගෙන හැර පෑ හැකිය. එයද කල්‍යාණ ධම්ම හිමියන්ට
මතක සිද්ධියකි.
නායක හාමුදුරුවන් බොල්ගොඩ පන්සලේ ඉන්නකාලේ ඇදේ සැතපිලා අවදියෙන් සිටින
වෙලාවක වහලයේ සිට විශාල ගැරඬියකු නායක හාමුදුරුවන්ගේ පපුව උඩට වැටුණා.
උඩ සිට වැටුණු අමාරුවට ඌ ටික වෙලාවක් පපුව උඩම සිටියා. මේ මොහොතේ නායක
හාමුදුරුවෝ කිසිම තිගැස්මකින් කලබලයකින් තොරව හිටි ඉරියව්වේම සිටියා.
ටික වේලාවක් පපුව මත සිටි ගැරඬියා හෙමින් හෙමින් ඇදී ගියා .
මෙම සිදුවීමේ ඇති විශේෂය වන්නේ එවන් අවස්ථාවක වෙනත් කෙනකු හැසිරෙන
ආකාරය හා නායක හාමුදුරුවන් හැසිරුණු ආකාරයෙ ඇති වෙනසය. විශාල ගැරඬියකු
බව අප දැන ගන්නේ වැටුණු සර්පයා, හඳුනා ගැනීමෙන් පසුවය. නමුත් අනතුර
සිදුවන සැනින් ඌ විෂඝෝර නයකු යැයි සිතෙන්නට පුළුවන. (එසේ සිතෙන්නේ නයා
හා ගැරඩියාගේ සිරුර ක්‍ෂණික හඳුනා ගැනීමට අපහසු බැවිනි) ඒ නිසා මෙම
සිදුවීම මරණ බිය ඉතා හොඳින් දැනෙන අවස්ථාවකි. මෙවැනි සිද්ධියකදී
‘තිගැස්මකින්’ තොරව සිටීම නම් කෙනෙකුට ඉතාම අපහසු ය.
චන්දවිමල මහා නා හිමියන්ගේ සිත කියවිය හැකි තවත් සිද්ධියක් කල්‍යාණ
ධම්ම හිමියෝ මෙසේ මෙනෙහි කරති.
නායක හාමුදුරුවන්ගේ ප්‍රධාන ශිෂ්‍යයෙකු වු ගොඩිගමුවේ සෝරත හිමියන්
නොසිතූ මොහොතක අපවත් වූයේ ය.ඒ හෘදයාබාධයක් හේතුවෙනි. දෙතුන් දෙනකු
ගිහින් උන්වහන්සේ ඔසවාගෙන පැමිණි අවස්ථාවේ නායක හාමුදුරුවන් කිසිම
කම්පනයකින් තොරව පැවසුවේ ‘වැඩේ කෙරිල වගෙයි’ කියාය. මෙය ඒ මොහොතේ
බලාපොරොත්තුනොවු හදිසි මරණයකි. ඒ නිසා ආරංචියට පොලීසියෙන්ද පැමිණියේය.
මෙම වික්‍ෂිප්ත අවස්ථාවේදි නායක හිමියන් හැසිරුණේ ඉතා සන්සුන්වය. මහා
නා හිමියන් පිළිබඳව මෙසේ මතකය අවධි කළ ශාස්ත්‍රවේදි හේන්ගොඩ
කල්‍යාණධම්ම හිමියන් නායක හාමුදුරුවන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය රත්නයකි.
විහාරස්ථානයේ සියලු කාර්යයන් නොපිරි හෙළා සිදු කළේද උන්වහන්සේය.
දහම්පොත් මුද්‍රණය කරමින් එහි වගකීම් සියල්ල දරමින් විහාරස්ථාන යේ
සියලු කටයුතු සංවිධානය කළේද කළ්‍යාණධම්ම හිමියන්ය. උන්වහන්සේ 1996
අපේ‍්‍රල් 11 වන දින අපවත් වීම දරාගත නොහැකි පාඩුවකි. තම ජ්‍යෙෂ්ඨ
ශිෂ්‍යයාගේ අපවත්වීම මහා නා හිමියන්ට දැනුම් දුන් අවස්ථාවේදී උන්වහන්සේ
කිසිදු කම්පාවකින් තොරව පැවසුවේ ‘අපි ඉන්දැද්දි ගෝලයෝ ‘ යනව කියාය.
එසේම බොල්ගොඩ බොධිරුක්ඛාරාමාධිපතිව සිට අපවත් වී වදාළ කල්එළියේ සුමංගල
මා හිමි ද රේරුකානේ මහා නා හිමියන්ගේ ගෝලයෙකි.
එම අපවත් වීම මහා නාහිමියන් දැනගත් මොහොතේ උන්වහන්සේ පැවසුවේ ‘ආ ඕක
පුදුමයක්යැ මෙච්චර දුබල වෙච්ච මම මැරෙන්නේ නැති එකනෙ පුදුමේ “ කියාය.
එහෙත් උන්වහන්සේ තුළ එතැනදීද කම්පාවක් ඇති නොවීය.
පියකු ජීවමානව සිටිද්දී යහපත් ලෙස රටට වැඩදායි ලෙස හදා වඩා ගත් දරුවන්
මියැදෙන්නේ නම් එය මොනතරම් කම්පනයක් ඇති කරවන සුළු දැයි අපට සිතා
ගැනීමට පුළුවන. එහෙත් තමන්ගේ දරුවන් වැනි වූ ගෝලයන් තිදෙනෙකුම
උන්වහන්සේට ප්‍රථමයෙන් අපවත් වුවද මේ එක අවස්ථාවකවත් මහා නා හිමියන්
කම්පාවූයේ හෝ ශෝක වූවේ හෝ නැත. මහා නා හිමියන්ගේ හිත හඳුනන කවුරුත්
දන්නේ නැත. උන්වහන්සේ දැඩි සිත් ඇත්තකු නොවන බවය. එසේ නම් මෙසේ කම්පා
නොවීමේ ශෝකවීමේ ස්වභාවය විශේෂත්වයකි. තමාගේම කෙනකු මිය යාමේදී එයින් වන
පාඩුව හුදෙකලාව අසරණවීම ආදි තත්වයන් නිසා අපි කම්පාවෙමු. වැළපෙන්නෙමු.
ශෝකවෙන්නෙමු. එහෙත් ඉපැදෙන කා හට වුවත් මිය යෑම ලෝක ස්වභාවයයි. මෙම
නිශ්චිත තත්වය යතාර්ථවාදීව පසක් කරගත් තැනැත්තාට තමා සමීපයේ සිටි හෝ
දුරක සිටි හෝ තැනැත්තාගේ මරණය දැනෙන්නේ එක ම විදියටය. එයින් මද කුදු හෝ
නොසැලෙන කම්පාවෙන් ශෝක නොවන තැනැත්තා නිසි ජීවිතාවබෝධ ලද්දෙකි. අනියත
වූ සියල්ල නැසෙනසුළු බව යථාවබෝධයෙන් පසක්කර ගෙන සිටි නා හිමියන්
නොසැලීම අකම්පිත වීමේ මේ විශිෂ්ට යති චරිතය ප්‍රගුණ කළාවූ සුවිශේෂ
ගුණයකි.
දුප්පත් නිවසක බණට දනට වඩින්නේ නම් මහා නාහිමියන් අනුශාසනාදිය සිදු
කරන්නේද ඉතා උනන්දුවෙනි. ආපදාවකට හසුවූ සතකු කොහේ හෝ සිටිනවා දුටුවොත්
සතාව පන්සලට රැගෙනවිත් සාත්තු සප්පායම් කිරීමට තරම් මහා නා හිමියන්ගේ
සිත කාරුණික විය. නිතර විහාරස්ථානය හා සම්බන්ධ වී සිටි සාදයියා,
සංකුපණ්ඩිත, ගණ්ඨාරතිස්ස,ධර්මපාල වැනි මානසික ව්‍යාධියෙන් පෙලුණු
අසරණයන්ට මහා නා හිමියන් සැලකුවේ කාරුණික හදවතෙනි.
ඔවුන් කරන විකාර වැඩමෙන් කියන ඇතැම් කතා නා හිමියන් සාවධානව අසා සිටි
අතර ඒ සියල්ල දෙස බැලුවේ උපේක්‍ෂා සහගතවය. සාමාන්‍ය මිනිසුන් පවා
තැකීමක් නොකරන ප්‍රතික්ෂේප කරන මෙවැනි මිනිසුන් සමඟද සුහද සිතින් ඇසුරු
කිරීම මේ මහා සුවිශේෂි මහා නා හිමියන්ගේ ගුණය ප්‍රසන්නය.
සාදයියා නිතර පවසන්නේ මෙම ලෝකේ මැව්වේ ඔහු බවය. නායක හාමුදුරුවන් දවසක්
දානය වළඳන වේලාවෙ සාදයියා ද අසල විය. දානයට කටුවල්ලන්ද තිබුණි. ඒ
වෙලාවෙහි මහා නා හිමියන් සාදයියා ගෙන් ඇසුවේ සාදයියේ ඔබ ලෝකය මැවුවා
නම් කටුවල්ලන්ට මෙතරම් කටු තැබුවේ ඇයි ද කියාය. සාදයියා එවිට පැවසුවේ
‘ඔතරම් කටු නොතිබ්බා නම් මේ රසය ගැනීමට බැරි බව ය.
තවත් එවැනිම කෙනෙකි ‘ගණ්ඨාරතිස්ස’ ඔහු දවසක් මහා නා හිමියන්ට හොඳටම බැණ
වදිමින් ලිපියක් එවා තිබුණි. නායක හාමුදුරුවන් කළේ එම ලිපිය වීසිකර
දැමීම නොවේ. එයට ස්තුති කර පිළිතුරු ලිපියක් යැවීය. ඉන් පසුව මේ ගණ්ඨාර
තිස්ස මහා නා හිමියන් සමඟ ඉතා කුළුපග විය. සිතා බලන්න. ලෝකය පුරා
කීර්ති කදම්භය විහිදුවාලූ මෙවන් බහුශ්‍රැතයකු ගණ්ඨාරතිස්ස වැනි මිනිසකු
කෙරෙහි දැක්වූ කාරුණිකභාවය තවත් සිහි මද ගතියෙන් පෙළුණු තැනැත්තෙකි
ධර්මපාල. දවසක් රාත්‍රියේ ඔහු මහා නා හිමියන් වැඩ සිටි තැන ජනේලය ළඟට
පැමිණ කතා කළේය. ඔහු පැවසුවේ නායක හාමුදුරුවන්ට එහා පන්සලේ මෝල්ගහ මං
මෙහාට අරගෙන ආවා. මේ පන්සලේ මෝල්ගහ ඒ පන්සලට ගිහින් තියන්නද? ‘ කියාය.
මෙතනදී නායක හාමුදුරුවන් කලබල නොවී මෙසේ පැවසීය. ධර්මපාල ඕකම ගිහිල්ල ඒ
පන්සලේ තියන්න. මේ මිනිසාගේ මනසට සරිලන ලෙස උන්වහන්සේ ක්‍රියා කළ ආකාරය
දෙස බලන්න. මෙවැනි දෙයින්ද පෙනීයන්නේ මහා නාහිමියන් කිසිවකු කොන්කර
නොදමමින් සුහදත්වයෙන් ඔවුන් පිළිගනිමින් සමාජයෙන් පැත්තකට විසිකර දැමූ
මිනිසුන්ටද කාරුණිකව සැලකු බවයි. ඔවුන්ගේ මානසික ස්වභාවයට උචිත ලෙස
මෙවන් මිනිසුන්ගේ සිත් කැලඹවීමෙන් තොරව සැනසෙන විධියට උපක්‍රමශීලිව
කටයුතු කළ බවයි.
මා මේ අවශේෂී පුද්ගල චරිත මේ අසහාය චරිතය ද එකට ගෙන කතා කළේ මේ මහා නා
හිමියන්ගේ සුවිශේෂි චරිතයේ අසාමාන්‍ය වු ගුණ කදම්භය කුදු මහත් මිනිස්
සිත් තුළට විහිදුවාලූ ගුණය පසක් කර දීමටය. හරියට එය හිරු රැස් තියෙන
අඳුරු අහුමුළු ද එළිය කරනවා වැනි මහත් ගුණයකි. බොහෝ අය නොතකා හරින
සමාජය ප්‍රතික්ෂේප කළ මෙවන් අවශේෂි මිනිසුන් දෙසද සංවේදීව කාරුණිකව
මෙන්ම අවධානයෙන් බලන මේ අපිරිමිත කාරුණික මෛත්‍රී සහගත සිත කම්පනය හෝ
තිගැස්මෙන් ශෝකයෙන් නොපෙලුණේ දියුණුකළ මනසක විශිෂ්ටතා ගුණයක බලමහිමය
නිසාම නොවන්නේ ද?
තවත් කොටසක් මාර්තු 30 වන දා පත්‍රයේ පළ වේ
රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 25 මහා නා හිමියන් පින්කම්
කළේ නිහඬවය |