UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිල්වතුන්ට දෙවියෝ ද ආසිරි පතති

නමොතස්ස භගවතො අරහතො
සම්මා සම්බුද්ධස්ස

යස්මිං පදෙසෙ කප්පෙති – මාසං පණ්ඩිත ජාතියො
සීලවන්තෙත්ථ භොජෙත්වා - සංයතෙ බ්‍රහ්මචාරියො
යා තිත්ථ දෙවතා ආසුං- තාසං දක්ඛිණ මාදිසෙ
තා පූජිතා පූජයන්ති මානිතා මානයන්ති නං
තතො නං අනුකම්පන්ති මාතා පුත්තං ව ඔරසං

කාරුණික පින්වතුනි

අප තිලෝගුරු අමා මෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ මහා පරිනිර්වාණ සූත්‍රයෙහි දෙවියන් පිළිබඳව දක්වා ඇත්තේ ඉහත අයුරිනි. යම් පෙදෙසක නුවණැති මනුෂ්‍යයකු වාසය කරයිද එම පුද්ගලයා, සංයමය ඇති සිල්වත් උතුමන් බොජුනෙන් පුදා ඒ පෙදෙසෙහි වසන දෙවියන්ට එහි පින් අනුමෝදන් කරවන්නේ නම් එසේ පුදනු ලැබූ ඒ දේවතාවෝ ඒ පින් අනුමෝදන් කළ දායකයාට තමාද ආරක්‍ෂාව සැලසීමෙන් පිහිට වෙති. කලින් කල බලි කර්ම කරමින් බුහුමන් කෙරෙනු ලැබෙන දේවතාවෝ, එම සිල්වත් දස කුසලයෙහි හැසිරෙන පුද්ගලයාට දේවාශිර්වාදය ලබාදෙති. එසේම මවක තම දරුවාට අනුකම්පා කරන ආකාරයෙන් එම පුද්ගලයාට අනුකම්පා දක්වන බව ඉහත ගාථාවෙන් අරුත් ගැන්වෙයි.

දෙවියන් පිළිබඳව අප බුදුපියාණන් වහන්සේ ඉහත පරිදි දේශනා කොට වදාළේ වුවද වර්තමානයේ බොහෝ දෙනකු තුළ දෙවියන් පිළිබඳව ඇත්තේ මනඞකල්පිත දර්ශනයකි. මෙයට බොහෝ සෙයින් හේතුකාරකය වී ඇත්තේ බෞද්ධ දේවත්වය හා හින්දු දේවත්වය පිළිබඳව ඇති අනවබෝධය විය යුතුය. බෞද්ධයන් වන අපි දෙවියන් යදින්නෝ නොවෙමු. නමුත් බෞද්ධයන්ට දෙවියන්ගේ පිහිට නැතැයි සඳහන් කිරීමට කිසිවකුටත් නොහැකිය. ඔබ සිල්වත් බෞද්ධයකු නම් ඔබට දෙවියන්ගේ ආශිර්වාදය නිබඳව නොඅඩුව ලැබෙන්නේය. යම් පුද්ගලයකු දුස්සීලව සිට සිය කර්මය හේතුවෙන් දුකට පත් වූ කල්හි යාතිකා කිරීමෙන් පිහිටක් ලැබේයයි සිතීම පවා හාස්‍යයට කරුණකි. යම් පුද්ගලයකු මුළු හදවතින්ම බුදුන් සරණ යන්නේද උතුම් වූ ශ්‍රී සද්ධර්මය සරණ යන්නේ ද උතුම් වූ ආර්ය ශ්‍රාවක සංඝරත්නය සරණ යන්නේ ද දස කුසලයෙහි හැසිරෙන්නේ ද එම පුද්ගලයා ලොව නික්ලේශි උතුමන් වූ බුදුහිමියන්ට ආමිසමය, ප්‍රතිපත්තිමය පූජාවන් සිදුකරයි. එම පූජාවන් සිදු කිරීමෙන් අත්වන කුසලය ස්ථානාධිගෘහිත වූ දෙවි දේවතාවුන් හට අනුමෝදන් කරවූ පසු එම දෙවියෝ ,පුණ්‍යදක්‍ෂිණාවෙන් දෙවියන් පුදන්නා වූ එම සිල්වත් බෞද්ධයා හට අනුකම්පා කරති. ඒ ආකාරයෙන් අනුකම්පාව ලබන්නා වූ පුද්ගලයා ජීවිත කාලය පුරාම යහපත දකින්නේ යැයි බුදුහිමියන් වදාළේ ‘දේවතානුකම්පිතො පොසො සදා භද්‍රාණි පස්සති’ යනුවෙනි.

එබැවින් ඔබ බෞද්ධයකු නම් පරම්පරාවෙන් පැමිණෙන නාමික බෞද්ධයකු ද නොවී මුළු හදවතින්ම බුදුහිමියන් සරණ ගිය නියම බෞද්ධයකු නම් ඔබට මනුෂ්‍යයෝ පි‍්‍රය වෙති, දෙවියන්ටද පි‍්‍රය වෙයි. එවිට දෙවියන් ඔබට ආරක්‍ෂාව සලසා දෙනු ඇත. තවද දෙවියන්ට පි‍්‍රය වූ ඔබ වෙතට අමනුෂ්‍යයන්ට ළඟා වීමට නොහැකි වීමෙන් අමනුෂ්‍ය උපද්‍රවවලින් ද ආරක්‍ෂා වේ. එහෙත් ඇතැම් මිසදිටු ගත් අය විශ්වාසයේ එල්බගෙන අදහන ආකාරයෙන් දෙවියන්ගේ පිළිසරණ පිහිට ලැබෙනවා යයි ඔබ විශ්වාස කරනවා නම් ඔබ නියම බෞද්ධයකු නොවේ.දෙවියන් උදෙසා සත්ව බිලි පූජා ආදිය පවත්වමින්, දෙවියන් සතුටු කරනවා යැයි කියමින් අහිංසක සතුන්ගේ ජීවිත තම සැපත පතා බිලි දෙනවා නම් එම පූජාවන් සිදුකරනු ලබන පුද්ගලයාට දේව පිහිට ලැබේ නම් ඒ කවර දෙවි කෙනෙකුගෙන්ද යන්න බෞද්ධයන්ගේ සිතට නැඟෙන පැනයකි.දේව භවයක උපතක් ලබනුයේ යහපත් මනුෂ්‍ය ජීවිත ගත කරමින් අසරණයන්ට උදව් උපකාර කරමින් සිටි අයයි. ඔවුන්ගේ පූර්වභවයේ අවසාන චුති සිත යහපත් වුවහොත් එම පුද්ගලයා දෙවියකු ලෙස දිව්‍ය ලෝකයෙහි ඕපපාතිකව උපත ලබයි. සැබෑ ලෙසම දෙවියන් යනු පිනට කුසලයට බොහෝ ලෙස කැමැති පිරිසකි. එබැවින් පින්වත් ඔබ මේ පිළිබඳව සිතිය යුතුමය. දෙවියන්ට පුද පූජාවන් යැයි කියමින් අහිංසක සත්වයකුගේ ජීවිතය උදුරා ගෙන දෙවියන්ට පූජා පවත්වනවා නම් ඔබ ඒ පවත්වන්නේ දේව පූජාවක් නොව, එය පේ‍්‍රතයන් යක්‍ෂයන් ආදි අමනුෂ්‍යයන් උදෙසාම කරනු ලබන්නකි. නොදැනුවත් බව නිසා හෝ යම් අයුරකින් මෙවැනි මිත්‍යා විශ්වාස පසුපස ගොස් අතරමං වී ඇති නම් ඉන් ඉවත් වී තම ජීවිතය සුඛිත මුදිත කර ගැනීම සඳහා යොමු වීම මෙලොවත් පරලොවත් සැප පිණිසම හේතු වන්නකි.

මිනිසුන් දෙන බලි පූජා පිළිගන්නා දෙවියන් කවුරුන්දැයි මහානාම සූත්‍ර අටුවාවෙහි විස්තර කෙරේ. බලිපුද පිළිගන්නා දෙවියෝ යනු කුල පරපුරින් ආ ආරක්‍ෂක දේවතාවෝය. ඔවුනට කරන පුද සත්කාර නම් කැඳ බත් ආදි අග්‍ර භෝජනයෙන් ඔවුන් පිදීම යැයි දක්වා ඇත්තේ මෙලෙසිනි. ‘බලි පටිග්ගාහිකා දෙවතා ති කුලප්පවෙණියා ආගතා ආරක්ඛක දේවතා, සක්කරොතීනි තා දෙවතා අග්ග යාගු හත්තාදිනි සක්කරොති.’ එබැවින් සත්ව බිලි පූජා පවත්වමින් දෙවියන් පිදීම සුදුසු ද යන්න පින්වත් ඔබම සිතා බැලිය යුතුය.මේ බව ඔබට තවදුරටත් තහවුරු කර ගැනීමට සංයුක්ත සඟියේ ගන්ධබ්බ සංයුක්තයෙහි සඳහන් ‘සන්නි භිකඛවෙ මූලගන්ධෙ අධිවත්ථා දෙවා, සන්ති භික්ඛවෙ සාරගන්ධෙ අධිවත්ථා දෙවා, සන්ති භික්ඛවෙ තච ගන්ධෙඅධී වත්ථා දෙවා, සන්ති භික්ඛවෙ ඓග්ගුන්ධෙ අධිවත්ථා දෙවා, සන්ති භික්ඛවෙ පපටිකාගන්ධ අධිවත්ථාදෙවා, සන්ති භික්ඛවෙ පත්තගන්ධෙ ඵල ගන්ධෙ අධිවත්ථා දෙවා” යනුවෙන් දක්වා ඇති මෙහි අර්ථය විමසා බලමු. මුල්වල, ඵලයෙහි රුක්පතුරුවල ,කොළවල, මල්වල සුවෙඳහි ආධාරය ඇතිව ජීවත්වන දෙවියෝ සිටිති. එම දෙවියන් අතුරින් මුල්වල සුවෙඳහි ඇලුණූ දෙවියන්ට හිඟුරු පියලි ආදි සුවඳැති මුල් ද අල ද පූජා වශයෙන් පිදිය යුතුය. ගස්වල හරයෙහි සුවඳ ඇසුරෙන් ජීවත්වන දෙවියෝ සඳුන් දේවදාර ආදි අරටුයෙන් පිදිය යුත්තෝය. ගස් වල එලයන් ඇසුරෙන් වසන දෙවියො සුවඳැති ගස්වල එලයෙන් පිදිය යුත්තෝය. පොතු සුවඳට රිසි දෙවියෝ කුරුඳු පොතු ආදියෙන් ද පත්‍ර සුගන්ධයට රිසි දෙවියෝ ඊතණ ආදි සුවඳ පත්‍රයෙන්ද මල් සුවඳෙහි රිසි දෙවියෝ පිච්චමල් ආදි මලින් ද ඵල ගන්ධයෙහි ඇලුණු දෙවියෝ අඹ දඹ ආදි ඵලයන්ගෙන් ද රස ගන්ධයෙහි රිසි දෙවියෝ කැඳ බත් කැවිලි ආදියෙන්ද පිදිය යුත්තෝය. ඉහත පරිදි ඔවුන් රිසි ආහාර පානාදිය සුවඳ දීමෙන් පිදිය යුතු බව දක්වා ඇති අතර ඒ දේවතාවන්ට අග්‍ර‍්‍ර කැඳ බත් ආදියෙන් සත්කාර කෙරේ නම් මෙලොව වැඩි දියුණුවක්ම බලාපොරොත්තු විය හැකිය. ඒ බව ‘තා දෙවතා අග්ගයාගු භත්තාදිහි සක්කරොති, වුද්ධියෙව පටිකංඛා’ යනුවෙන් සඳහන් කර ඇත. ඔබ බෞද්ධයකු නම් බුද්ධ දේශනාවට පටහැනිව කවර කලෙකවත් ක්‍රියා නොකරනු ඇත. එබැවින් සත්ව හිංසනයෙන් දෙවියන් පිදීමක් පිළිබඳ බුද්ධ දේශනාවට අනුව කොතනකවත් සඳහන් නොවන බව ඔබට පැහැදිලි විය යුතුය.

දෙවියන් පිළිබඳ වැරැදි මතවාද ගෙනහැර දක්වන්නට උත්සාහ දරන ඇතැම් පුද්ගලයන් හුවා දැක්වීමට යත්න දරනුයේ බුදුදහම හා දෙවියන් අතර කිසිදු සම්බන්ධතාවයක් නැතැයි යන්නයි. නමුත් පින්වත් ඔබ මේ පිළිබඳ අවබෝධයෙන් සිතා බැලිය යුතුමය. අප තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ, මහාමායා දේවිය කුස තුළ පිළිසිඳ ගැනීමට පෙර තුසිත දිව්‍ය ලෝකයේ මාතාංගී නම් දිව්‍ය පුත්‍රයා ලෙස වැඩ සිටියදි බෝධි සත්වයන් වහන්සේ ගේ පාරමි ධර්ම සම්පූර්ණ වී ඇති බව දුටු තුසිත දෙව් ලොව වැසි දෙවියෝ බෝධි සත්ව දෙවියන්ට මනු ලොව ගොස් උපත ලබා උතුම් වූ බුද්ධ රාජ්‍ය ලබාගන්නා ලෙස ආරාධනා කළහ.ඉන් පසුව මහාමායා දේවියගෙ කුස පිළිසිඳගත් බෝධි සත්වයන් වහන්සේටත් බෝසත් මවටත්, බෝසත් දරුවා මෙලොව එළිය දකිනා තුරු සතරවරම් දෙවි රජවරු දසමාසයක් පුරාවට ආරක්‍ෂාව සැලසූහ. උතුම් වූ බුද්ධ රාජ්‍යයට පත් වූ පසුත් දෙවි මිනිසුන්ගේ හිත සුව පිණිස ධර්මය දේශනා කිරීමට ආරාධනා කළේද දෙවියන්මය.

බුද්ධත්වයට පත්වී මංගල ධර්ම දේශනාව පැවැත්වූ අවස්ථාවේ මනුෂ්‍ය ලොව පස් දෙනකු වුවද එය ශ්‍රවණය කළේ දිව්‍යලෝකවල සිටි දෙවි දේවතාවුන් බ්‍රහ්ම ලෝක වල සිටි බ්‍රහ්මයන් විශාල සංඛ්‍යාවක් උතුම් වූ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට ඒ අවස්ථාවට පැමිණ සිටියහ. ඒ බව දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවෙන් මනාව පිළිබිඹුවේ. බුද්ධ චරිතය හා දෙවියන් අතර ඇති සම්බන්ධය මේ අයුරින් පසක් වෙද්දි දිව්‍යලෝක නැතැයිද දෙවියන් නැතැයිද යමකු පවසනවා නම් ඔහු බෞද්ධයකු නොවේ. එබැවින් එබඳු අයට හසු නොවී, ලද උතුම් මනුෂ්‍ය ජීවිතය මිත්‍යාවන්ට යට වීමට ඉඩ නොදීමේ වගකීම රැඳී ඇත්තේ ඔබ අතමය.

බහුවෙ සරණං යන්ති - පබ්බතානි වනානී ච
ආරාම රුක්ඛ චෙතියානි - මනුස්සා භය තජ්ජිතා
නෙතං ඛො සරණං ඛෙමං - නෙතං සරණ මුත්තමං
නෙතං සරණ මා ගම්ම - සබ්බ දුක්ඛා පමුච්ඡති

ඉහත ධම්මපද ගාථාවන්හි අරුත් මෙසේයි. ‘ජාති, ජරා, ව්‍යාධි මරණ ආදි සංසාර දුකෙන් වෙළී සිටින මිනිසුන් ආරාම වෘක්‍ෂ චෛත්‍යාදියට අරක් ගත් දෙවියන් සරණ යයි. නමුත් ඒ කිසිවක් හැම ලෙසින්ම සම්පූර්ණ වූ පිහිටක් නොවන අතර සංසාර දුක් සයුරෙන් මිදීමට එබඳු සරණකින් නොහැකි ය.’ සසර දුකින් මිදීම පිණිස උතුම් පිහිට, එකම පිහිට බුද්ධ, ධම්ම, සංඝ යන උතුම් තෙරුවන් සරණ යෑම බව අවිවාදයෙන් පිළිගත යුතු කරුණකි. නමුත් අසරණ පුද්ගලයකු යම් ඇති හැකි පුද්ගලයකුගෙන් යම් පිහිටක් ජීවත්වීම සඳහා පැතීම වරදකැයි එම ගාථාවෙන් අර්ථ නොගැන්වෙයි. එසේම තමාට ඇතිවන සුළු සුළු දුක් කරදරවලදී යම් යම් ප්‍රබල දෙවිවරුන්ගේ පිහිටක් නොලැබෙතැයිද යන අදහසක් එම ගාථාවන්හි නොදැක්වේ. එබැවින් ඔබ බෞද්ධයකු නම්, බෞද්ධයන් වන අපට දෙවියන්ගේ පිහිට නැතැයි සිතමින් වෙනත් ආගම් පසුපස දිවගොස් ඒ දෙවිවරුන්ගේ පිහිට යදින්නට යෑම නොවෙයි කළ යුත්තේ. සැබෑ ලෙසම ඔබ තුනුරුවන් සරණ ගිය පංචශීල ප්‍රතිපදාවේ පිහිටි බොදුනුවකු නම් ඔබට දේවාශිර්වාදය නොඅඩුවම ලැබෙන්නේය.

‘අවිඡරා සංඝාතමත්තම්පි චෙ භක්ඛවේ භික්ඛු දේවාතානුස්සං භාවෙති, අයං වුච්චති භික්ඛවේ භික්ඛු අරිත්තජ්ඣනො විහරති සත්ථුසාසන කරො” යනුවෙන් අප තිලෝගුරු සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළ (අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ දක්වා ඇති) ඉහත පාඨයේ අරුත මෙසේයි. “මහණෙනි, මහණ තෙම අසුරු සැණක් ගසන කලක්වත් දේවතානුස්සති භාවනාව ප්‍රගුණ කරයි නම්, එම තැනැත්තා නොසිස් වු ධ්‍යාන ඇත්තෙකි. ශාස්තෘන් වහන්සේගේ අවවාදය පිළිපදින්නෙකි’ සදෙව් ලෝ වැසියන් ඇත, එනම් චාතුර්මහාරාජික, තාවතිංස, යාම, තුසිත, නිම්මානරති, පරනිම්මිත වසවත්ති යන ලෝකවලටත් රූප බ්‍රහ්ම ලෝකවලටත් අයත් මාර්ගඵල ලාභී දෙවිවරුන් ඇත. එම දෙවිවරු මනුෂ්‍ය ලොව වාසය කළ කාලයේදි යම් ආකාරයක ශ්‍රද්ධාවකින්, සීලයකින්, සුතයකින්, චාගයකින්, ප්‍රඥාවකින් , වාසය කර මනුෂ්‍ය ලොවින් චුතව උපන්නාහු නම් තමා තුළින් ඒ ශ්‍රද්ධා දී ගුණ ධන ඇතැයි මෙලෙස දේවතාවන් සාක්‍ෂිස්ථානයෙහි තබා තමන්ගේ ශ්‍රද්ධාදි ගුණ වර්ධනය කර ගැනීමට කටයුතුකර ගනී.මෙසේ තමන් තුළද එම ගුණයන් වර්ධනය වූ කල ඒ ගුණයන් දැකීමෙන් සිත පහන් කෙරෙයි. ප්‍රමෝදය උපදවයි. ඉන් සිතෙහි ඇති ක්ලේශ ධර්ම සන්සිඳෙයි..

තව ද විශුද්ධි මාර්ගයේ දේවතානුස්සති නිද්දේසයෙහි දක්වා ඇති පරිදි ‘ඉමං ච පනදේවතානුස්සති මනුයුත්තො භික්ඛූ දෙවතානං පියොහොති මනාපො. භිය්‍යො සොමත්තාය සද්ධා දි වෙපුප්ලං අධිගච්ඡති, පීති - පාමොජ්ජ බහුලො විහරති උත්තරිං අප්පටිජඣන්තො පන සුගතිපරායණො හොති” යන්නෙහි අර්ථය මෙසේයි. ‘දේවතානුස්සතියෙහි යෙදුණූ පුද්ගලයා දෙවියන්ට පි‍්‍රයමනාප වෙයි. පී‍්‍රතිය හා සතුට බහුල කොට ඇතිව වාසය කරයි.මේ භාවනාවෙන් ලැබෙන උපචාර ධ්‍යානය පාදක කොට විපස්සනා වඩා මාර්ගඵල ලැබීමට සමත් නොවුණහොත් මරණින් මතු සුගතියක උපදී. එබැවින් දෙවියන් පිළිනොගන්නා යම් පෘථග්ජන පුද්ගලයකු සිටී නම් ඔහු නැවත වරක් මේ කරුණු පිළිබඳව සිතිය යුතුමය. ඉහත කරුණු සලකා බැලූ කල සදෙව් ලොව වැසි දෙවියන්ට ගරු බුහුමන් කරන පුද්ගලයාට එය මහත්ඵලදායි පින්කමක්ය යන්න වටහා ගැනීමට අපහසු නොවනු ඇත.

තවද පින්වතුනි, සිල්වත් මනුෂ්‍යයන්ට දේවාශිර්වාදය නොඅඩුවම ලැබෙන බව අප තිලෝගුරු සම්මා සම්බුදුපියාණන් වහන්සේ කෝටි ලක්‍ෂයක් සක්වළ ආඥා පිහිටුවමින් දේශනාකොට වදාළ ආටානාටිය සූත්‍රයෙන් ද මනාවට පිළිබිඹු වන්නේය. මේ ලෝකයේ සතර දිශාවන් පාලනය කරන්නාවූ සතරවරම් දෙවිරජවරුන් පිළිබඳව ඔබ කරුණු අසා ඇත. උතුරු දිශාව පාලනය කරනුයේ වෛශ්‍රවණ දෙවියන් වන අතර, බටහිර දිශාව පාලනය කරනුයේ විරූපාක්ෂ දෙවියන් ය. දකුණූ දිශාව පාලනය කරනුයේ විරුල්හ දෙවියන් වේ. නැඟෙනහිර දිශාව පාලනය කරනුයේ ධෘතරාශ්ට්‍ර දෙවියන්ය. ඉන් වෛශ්‍රවණ දෙවියන් දිනක් බුදුරදුන් ඉදිරියට පැමිණ, ආටානාටිය නම් වූ ආරක්‍ෂිත දේශනාව පෙන්වා දෙනු ලබන්නේ දුස්සීල මිනිසුන්ගේ ආරක්‍ෂාවට නොවන බව මතු කරයි. ‘උග්ගණ්හාතු භන්තෙ භගවා ආටානාටියං රක්ඛං භික්ඛුනං, භික්ඛූනීනං, උපාසකානං, උපාසිකානං ගුත්තියා රක්ඛාය අවිහිංසාය ඵාසුවිහාරායා’ මෙහි අර්ථය වනුයේ ධර්මයේ හැසිරෙන භික්‍ෂු , භික්‍ෂුණීන්, උපාසක, උපාසිකා යන තුනුරුවන් සරණ ගිය සීලාදි ගුණධර්මයන් දියුණු කරන සිව්වනක් ශ්‍රාවකයන්ගේ රැකවරණය පිණිසයි, ආරක්‍ෂාව පිණිසයි, සිව්වනක් ශ්‍රාවකයන් හට අමනුෂ්‍යයන්ගෙන් පීඩාවක් ඇති නොවනු පිණිසයි, සිව්වනක් ශ්‍රාවකයන්ගේ පහසු විහරණය පිණිසයි යනුවෙනි. එබැවින් පින්වත් ඔබ ඒ ගැන සිතා බැලිය යුතුය. ආටානාටිය සූත්‍ර දේශනාව දෙස බැලීමේදී පෙනී යන කරුණු නම් සතරවරම් දෙවි රජවරුන්ගේ උදව් උපකාර ලැබෙනුයේ මුළු හදවතින්ම බුදුරජාණන් වහන්සේ සරණගිය, ශ්‍රී සද්ධර්මය සරණ ගිය,ආර්ය මහා සංඝරත්නය සරණ ගිය සීලාදි ගුණ ධර්මයන් ආරක්‍ෂා කරමින් ධර්මානුකූල ජීවිත ගත කරන සිව්වනක් ශ්‍රාවකයන්ට බවය. තවද මෙත්තානිසංස සූත්‍රයේ දැක්වෙන, පරිදි, මෙත්‍රී භාවනාව වඩන ශ්‍රාවකයකුට ලැබෙන අනිශංස එකොළහෙන් ‘දේවතාරක්ඛන්ති’ යනු දෙවියන් ඔහුව ආරක්‍ෂා කරයි යනුයි. එබැවින් පින්වත් ඔබ මේ කරුණු පිළිබඳ සිතා බලා හැකි තරම් සිල්වත් ජීවිත ගතකර මෙලොවත් පරලොවත් යහපත සඳහා කටයුතු සිදුකර ගත යුතුය.

තවද බොහෝම පිරිසකට පවතින ගැටලුවකි, මිනිසුන් පූජා කරන කෑම බීම දෙවියන් වළඳනවාද යන්න. ඒ පිළිබඳ විවිධ පිරිස් විවිධ මතිමතාන්තර පවසන යුගයක බුද්ධ දේශනාවට අනුවම ඒ සඳහා පිළිතුරක් ලබාගත යුතුය. ජාතක අටුවාවේ කුණ්ඩපූව ජාතකයෙහි ‘න භික්ඛවෙ ඉදානෙව මයා අජිගුච්ඡන්තෙන තස්ස කුණ්ඩපුවො පරිභුත්තො පුබ්බෙපි රුක්ඛ දෙවතාය හුත්වා පරිභුත්තො යෙණ’ යනුවෙන් පෙර කලෙක අප බුදු හිමියන් රුක් දෙවියකුව සිටි කලෙක කුඩපු වළඳන ලද බව ඉහත අයුරින් භික්‍ෂූන්ට දේශනා කළ බව සඳහන් වේ. එහි අර්ථය වනුයේ “මහණෙනි, දැන් පමණක් පිළිකුල් නොකොට ඔහු දුන් කුඩපු මා විසින් වළඳන ලදැයි” යනුය. දේවතාවන්ට පිදෙන ආහාර ඒ දෙවියෝ වළඳත් යන්නෙන්, පුදන බත්කොමු පිඬු ආදියෙහි ඕජාවම ඔවුන් උරාගන්නා බව “ඔදන කුම්මාසාදි වත්ථුකාය ඔජාය එතං අධිවචනං’ යනුවෙන් අටුවා හි දැක්විණ.

මෙසේ මෙලොව ආරක්‍ෂාව පතා දෙවියන් පිදීම වරදක් නොවේ. එය බුද්ධ දේශනාවට පටහැනි ද නොවේ. මෙලොව ආරක්‍ෂාව පතා එවැන්නක් සිදු කිරීම දුප්පත් පුද්ගලයකු යම් කිසි ආධාර උපකාර බලාපොරොත්තුව ධනවත් අයකු ඇසුරු කිරීමක් වැනිය. නමුත් මෙලොව පරලොව ආරක්‍ෂාවට, සංසාර දුකින් මිදීමට ඇති එකම පිහිට තෙරුවන් සරණ යෑම බව තරයේම සිතට ගත යුතු කරුණකි. තවද ඔබ මේ පිළිබඳව ද දැනගත යුතුමය. ගිහියාගේ නිත්‍ය ශීලය වන පංච ශීලය වත් අවම වශයෙන් සුරැකීමට නොහැකි පුද්ගලයකු පූජා වට්ටි සිය දහස් ගණනින් දෙවියන්ට පිදුව ද එම පුද්ගලයාට දෙවියන්ගෙන් ආශිර්වාදය නොලැබෙන්නේය. සක්ක සංයුක්තයෙහි දක්වා ඇත්තේ පංචශීල ආරක්‍ෂා කර ගනිමින් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි පිහිටා කටයුතු කරන පුද්ගලයාට දෙවියන් ද නමස්කාර කරන බවය. ප්‍රතිපත්තියක් නැති පුද්ගලයකුට, යැදීමෙන් පිහිටක් ලැබේදැයි ඔබම නුවණින් විමසා කල්පනා කළ යුතුය. එබැවින් ඔබ පංචශීලය ප්‍රතිපදාව සුරකිමින් පින් දහම් කොට ඔබ රැස්කර ගන්නා කුසල් දෙවියන්ට හා මළගිය ඥාතීන්ට අනුමෝදන් කරවන්න.

තෙරුවන් සරණයි!

 

නවම් අව අටවක පෝය

නවම් අව අටවක පෝය පෙබරවාරි මස 22වැනි දා සෙනසුරාදා පූර්වභාග 11.15 ට ලබයි.
23 වැනි දා ඉරිදා පූර්වභාග 10.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම පෙබරවාරි මස 22වැනි දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 28 වැනි දා සිකුරාදා ය
.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 22

New Moonඅමාවක

පෙබරවාරි 28

First Quarterපුර අටවක

මාර්තු 08

Full Moonපසෙලාස්වක

මාර්තු 16


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]