UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිත් නිවන තෝතැන්න මාලිගාතැන්න

ඔබව මා අද කැඳවාගෙන යන්නේ තවත් අතිශය සුන්දර වු කඳු මෙව්ලක් මතටය. එය හිස් අවකාශයක් නොවේමය. ස්වභාව සුන්දරත්වයෙන් අනූන වු ඒ සුන්දරත්වයට ඓතිහාසික වටිනාකමක් එක්කළ ඒ ඓතිහාසික වටිනාකමට පූජනීයත්වයක් එක්කළ ඒ පූජනීයත්වය නිසාම බෞද්ධ ජනතාවට වන්දනාමාන කිරීමට අවැසි පවිත්‍ර වූ බිමක් ලෙස සැකසුනු පුදබිමක් නොහොත් ආරණ්‍ය සේනාසනයක් වෙතය. යක්කල රදාවාන පාරේ අඹගස්පිටියේ සැතපුම් තුනේ කණුව අසලින් වැටී ඇති මඟ දිගේ තවත් කි.මී. 2.4 පමණ පැමිණ මේ පුද බිම වෙතට පැමිණිය හැකිය.

බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ මල්වතු හිරිපිටිය පස්ගම්මන යොන්ගම්මුල්ල අඹගස්පිටිය සහ කඳුමුල්ල යන ග්‍රාමයනට මැදිව පුරාණ ඌරුවල මාවත ආසන්නයේ මූදු මට්ටමේ සිට අඩි අටසියයක් පමණ උස් වූ මෙම පර්වත භූමිය අදත් වහරන්නේ මාළිගාතැන්න යන ප්‍රකට නාමයෙනි.

අක්කර සිය ගණනක් පුරා විහිදෙන කඳු මේඛලාවක් මත ගොඩ නැගී ඇති මාළිගාතැන්න වෙතට නැගීමට පාදමේ සිට කැපූ ගලින් සැදි පිය ගැට පෙළ නැග යා යුතුවෙයි. පඩි පෙළ නැඟ වහල්කඩින් ඇතුල්වී උඩමළුව වෙතට ගමන් කළ හැකිවේ. එතැනින් ඉහලට ගමන් ගන්නා ඔබට දෙගල්දොරුව නම් ස්ථානයට පිවිසිය හැකිය. විශාල ගල්කුළු දෙකින් මැදිවූ ස්ථානයට මෙසේ දෙගල්දොරුව වශයෙන් නම් තබා තිබෙයි. මේ මැදිවූ ඉතා අසීරු පටු නැග්මට කුරුබිලි මාවත ආකාශ ගව්ව යැයි කියනු ලැබේ.

ඒ අසීරු ආකාශ ගව්ව වෙහෙසින් තරණය කර මුදුන් තලය වෙත පැමිණිය හැකිය.

උස් කඳුමුදුනේ සිට දස අතට විහිදෙන නෙතට නැගෙනහින් සොඳුරු සමනල කඳුවැටියද බස්නාහිරින් මීගමු වෙරළ තීරය මෙන්ම දකුණු අතින් ගාලු මුවදොරද ඒ අතර හිස් අවකාශය හරිත පැහැයෙන් වර්ණවත් කළ පොල්රුප්පාවල මෙන්ම කෙත් වතු සසිරිබර සිරියාවක සුන්දරත්වය සිත් වසඟ කරවන දර්ශනීය පසුබිමක් උත්පාදනය කර තිබෙයි. මනස සුවපත් කරවන සුළු මේ සුන්දර අසිරියට අනුගතව සැබෑ වූ චිත්ත විවේකය උදෙසාම මෙම ස්ථානයේ අද මාළිගාතැන්න විවේක සේනාසනය ගොඩනංවා තිබෙයි.

කඳු මෙවුලෙහි මුදුන්මළුවෙහි ඇති කුඩා චෛත්‍යය ද සමීපයේ වූ දිය පොකුණද පසෙකින් වන බෝධින් වහන්සේද නිසල නිමල උඩමළුව පූජනීයත්වය පමුණුවා මෙතෙක් සුන්දරත්වයෙන් ඇලීම් බැඳීම් ඇති කරගත් සිත සිල් සමාදන් කරවන සුළුය.

හනි හනිකට ඔබව මුදුන්මළුව වෙත රැගෙන ආවේ එහි ඇති අතිශය සුන්දරත්වය වින්දනය උදෙසාය. එහෙත් මේ කඳු මේඛලාව පුරා පැතිරී ඇති ඓතිහාසික ශාසනික වටිනාකම්වල අපේ උරුමයේ සාධනීය ලක්‍ෂණ දකින්නට ඒ දෙසට ඔබ ව කැඳවා ගෙන යන්නෙමි.

පහත මළුවේ ලෙන් කීපයකි. මෙවායේ කටාරම් ලකුණු දකින්නට පුළුවන. පල්ලේමාලයේ උළුවස්සක් සහිත පැරණි දේවාලයක ශේෂයන්ද මෙහිදී දකින්නට ලැබේ. කටාරම් කෙටූ ගලකට සම්බන්ධ ගල් උළුවස්සක්ද එහි බිත්ති මත සිතුවම් කර ඇති දේවරූප සහ මල් වැල් රටාද මෙහි ඉපැරැණි බව සනාථ කරවයි.

එසේම නිධන් ගල යැයි සම්මත චතුරාශ්‍රාකාර කොටු හැඩැති කුටීර විසිපහකින් සමන්විත පියනක් සහිත යන්ත්‍ර ගලෙහි ඉතිහාසය ගවේෂණය කරන්නකුට විශාල සාක්‍ෂියක් සපයාදී තිබෙයි. තවත් පැරැණි නටබුන් රාශියක් මෙන්ම භාවනා යෝගීන් භාවිතා කළ උපකරණ රාශියක්ද උමං මාර්ගයක්ද කිසිවකුගේ පහසට නතු නොවු ගණ අඳුර රජයන ගුහා කීපයක්ද මෙහි ඓතිහාසික රහස් සඟවාගෙන සිටින සෙයකි.

මෙම ස්ථානය කෝට්ටේ යුගයේදී රහස් බලකොටුවක් වශයෙන් පැවැති බව ද කියැවෙයි.

ක්‍රි.පූ. 103 දී වළගම්බා රජතුමා සොළි ආක්‍රමණයන්ගෙන් මිදී පලා විත් ලක්බිමේ නොයෙකුත් ආරක්‍ෂක ස්ථානයන්හි සැඟවී සිටි බව අපගේ වංශ කතාවල කියැවේ. එසේ වළගම්බා රජතුමා සැඟවී සිටි ස්ථානයක් වශයෙන් මෙම මාළිගාවිල ද ජනප්‍රවාදයට එක්වී තිබේ. මෙහි ඇති කුඩා ගල්ගෙයක් රජතුමාගේ ආරක්‍ෂිත වාසකුටියක් වූ බව ඇතැමෙක් විශ්වාස කරති. කාලිංග මාඝ විසින් ක්‍රි.ව. 1215 දී පමණ කළ කුරිරු ත්‍රස්ත ආක්‍රමණය නිසා බුද්ධ ශාසනයට මහත් විනාශයක් සිදු විය. එකල වැඩ විසූ ශ්‍රී වාචිස්සර සංඝ රාජයාණන් වහන්සේ දන්තධාතුන් වහන්සේද පාත්‍රා ධාතුන් වහන්සේද රැගෙනවිත් ආරක්‍ෂිතව වඩා හිඳුවා පුද පූජා පැවැත්වූයේ මෙම ස්ථානයේදී බව කියැවෙන තවත් ජනප්‍රවාදයකි.

එසේම කෝට්ටේ යුගයේදී ශ්‍රී දළදා වහන්සේ භාරව සිටි හිරිපිටියේ නිලමේතුමා දළදා වහන්සේගේ ආරක්‍ෂාව වෙනුවෙන් මහත් කැපවීමෙන් කටයුතු කළ වීරවරයෙකි. පෘතුගීසි ආක්‍රමණිකයන්ගෙන් කෝට්ටේ වැනසෙන සමයේ නිලමේතුමාට සිහිනෙන් විත් කෙනෙක් මෙසේ පැවසීය.

’කෝට්ටේ කලාලේ - දත මැදගන් රාළේ” එහි මතුපිට අරුත විවිධ දෘෂ්ටි කෝණයන්ගෙන් විග්‍රහ කළ හැකිය. නමුත් ඒ පැදි දෙපදය ව්‍යාංගයෙන් පවසන සැබෑ අරුත නම් කෝට්ටේට කළ ආලය පසෙක තබා දන්ත ධාතුන් වහන්සේ රට මැදට ආරක්‍ෂාව පතා රැගෙන යන ලෙසය. හිරිපිටියේ නිලමේතුමා දන්තධාතුන් වහන්සේ සුරැකිව රැගෙන ගියේ මායාදුන්නේ රජතුමාගේ අනුග්‍රහයෙන් දෙල්ගමු රජ මහා විහාරය වෙතය. ඒ යන ගමනේදී එක් සුරක්‍ෂිත කඳු මෙව්ලක මාලිගාවක් තනා දන්ත ධාතුන් වහන්සේ තාවකාලිකව එහි තැන්පත් කළ බව ජනප්‍රවාද කතාවකි. ඒ එක්තරා කඳු මේඛලාව මාලිගාතැන්න ලෙස ප්‍රකටය. මුදුන් මළුවේ බෝධින් වහන්සේ රෝපණය කළ ස්ථානයේ ඒ මාලිගය තනා තිබූ බවද කියැවෙයි. මෙසේ කඳුමෙව්ලක මුදුන් තලයේ තැන්නක වූ නිසා එතැන් පටන් එය මාලිගාතැන්න වශයෙන් නම් වූවා යැයි සිතිය හැකිය.

මේ ජනප්‍රවාදයන් ද්විත්වය සත්‍යයක් වූයේ නම් දන්තධාතුන් වහන්සේගේ පූජනීය වූ පහස දෙවරක් වින්දනය කිරීමේ අති මහත් වූ භාග්‍ය මේ කඳු මේඛලාව ලද විශිෂ්ට වරප්‍රසාදයකි. මෙම ස්ථානය පුරාතනයේ රහතන් වහන්සේලාගේ පහසින් පිවිතුරු වූ බිමක් වූ බවද කියැවෙයි. පුරාතනයේ මෙය හඳුන්වා ඇත්තේ උයම්බඩකන්ද නොහොත් වටගලකන්ද නොහොත් කෙහෙල්වේරුගල යන නම් වලිනි. පල්ලේ මාලේ ඇති විහාර මන්දිරය ‘විහාර මාළිගාව’ වශයෙන් හඳුන්වනු ලබයි. සත්තකින්ම ස්වභාව ධර්මය විසින් සාදන ලද මෙයට මාළිගාවක් යැයි කීම කිසිසේත්ම අසාධාරණ නොවේ.

මෙය දැවැන්ත ගල්ලෙනකි. පුරාණයේ රාජකීය රැස්වීම් ශාලාවක් වශයෙන් භාවිතා කළ බව කියන මෙහි එක් පසෙක බුදු මැදුරු සඳහා ද අනෙක් පාර්ශ්වයේ ධර්ම ශාලාව වෙනුවෙන්ද සැකසී තිබෙයි. මෙ විහාර මන්දිරය නෙත් සිත් විශ්මයට පත්කරවන, ආකර්ෂණයට පත්කරවන, සසල කරවන සුළු නිමැවුමක්ම ය.

මෙහි ඇති ලෙන්හි කටාරම් ලකුණු සහ පුරාවිද්‍යා සාධක පිරික්සීමේදි මෙය කි.පූර්ව යුගය දක්වා දිවෙන ඉතිහාසයකට හිමිකම් කියතැයි සිතිය හැකිය. සුවිශේෂි ගවේෂණයකින් එහි සත්‍ය තවත් තහවුරු කර ගැනීමේ ඉඩ හසර තවමත් විවෘතව පවතියි.

වර්තමාන ආරණ්‍ය සේනාසනය ඊට අදාළ සියලු අංගයන්ගෙන් පොහොසත් වී තිබේ. දානශාලා, ආවාස කුටි, උපස්ථාන ශාලාව , භාවනාශාලා, සම්මුඛ ශාලා, සක්මන් මළු පුස්තකාල ආදියෙන්ද තුන්බෝධියෙන්ද සමන්විත මෙය වර්තමාන ආරණ්‍ය සේනාසනයක් බවට පුනර්ජීවය ලබන්නේ 1935 වසරේදී මෙහි වස් සමාදන්වීමට පැමිණි කුකුල්නාපේ ශි‍්‍ර දේවරක්‍ෂිත ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ගේ කැපවීම නිසාය.

ස්වභාව ධර්මයේ අසිරි සිරියෙන් පිරිපුන් විශ්මය, සුන්දරත්වය, අපූර්වත්වයෙන් අනූන මාළිගාතැන්න නම් වූ මේ පින්බිම තුළ දී ඔබට දැනෙන ආශ්වාදය වින්දනය චිත්ත ප්‍රසාදය විසින් අවසන ඉතිරි කරනා අධ්‍යාත්මික සුවය මොනතරම් දැයි අත්දකින්නට මාලිගාතැන්න පිවිතුරු සොඳුරු මේ භුමිය වෙතට පැමිණෙන ලෙස ඔබට ආරාධනා කර සිටිමි!

 

 

නවම් අව අටවක පෝය

නවම් අව අටවක පෝය පෙබරවාරි මස 22වැනි දා සෙනසුරාදා පූර්වභාග 11.15 ට ලබයි.
23 වැනි දා ඉරිදා පූර්වභාග 10.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම පෙබරවාරි මස 22වැනි දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 28 වැනි දා සිකුරාදා ය
.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 22

New Moonඅමාවක

පෙබරවාරි 28

First Quarterපුර අටවක

මාර්තු 08

Full Moonපසෙලාස්වක

මාර්තු 16


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk