රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 22
චන්දවිමල හිමියන්ට
මහාචාර්ය පදවියක්
ජනක වෙත්තසිංහ
බොහෝ ඇත්තන් බැබළෙන්නේ තනතුරු, නම්බුනාම, පට්ටම්, නිලතල වල රශ්නයෙනි. ඒ
සියල්ල පාමුල ගිලිහී වැටෙන විට ඒ ඇත්තන් බහුතරයක් තටු සිඳුණු පක්‍ෂීන්
හා සමාන ය.
බුරුමයේ ශ්වේජින් නිකාය බිහිවූයේ එවකට රටේ පැවැති ආගමික, ශාසනික,
පිරිහීමට නිශ්චිත පිළිතුරක් වශයෙන් යුගයක අවශ්‍යතාවයේ මහා හිදැසක්
පිරවීමට ය. එහි නිර්මාතෘ ‘ජාගර’ නම් සංඝ පීතෘවරයාණන් මහා නායක පදවියෙන්
පිදුම් ලැබුවේ නිල වශයෙන් ලැබුණු තානාත්රයක් නිසා නොව ජාගර හිමියන්
ශාසනය වෙනුවෙන් පිවිතුරු අරමුණෙන් කළ කාර්යභාරය නිසා රට වැසියන්ගේ හද
පත්ලේ මහා නායක පදවිය නිතැතින් ලියැවුණු නිසා ය.
රාජ අනුග්‍රහයෙන් තනතුරක් නො ලැබුණ ද එවන් තනතුරක් දස දහස් ගණනක්
මිනිසුන්ගේ හද පත්ලෙන් ප්‍රදානය කෙරෙන්නේ නම් එවන් ගරු බහුමානයක
වටිනාකම මිල කළ නොහැක. එවන් තනතුරක් අමිල ය, පිවිතුරු ය. ඒ නිසාම
බුරුමයේ ශ්වේජින් නිකාය ද ජාගර හිමියන් ලද නිල නොලත් මහානායක පදවිය ද
උත්තරීතර ය. ආචාර්ය, මහාචාර්ය, මහා නායක පදවි බැබළෙන්නේ එම නිල පදක්කම්
නිරායාසයෙන් පැළඳවෙන උතුම් මිනිසුන් මෙන්ම එවන් සංඝ පීතෘවරුන් දියත
ආලෝකවත් කරනා දිනකර මෙන් විහිදුවන ප්‍රභාශ්වරය නිසා ය. ඝන කළුවර අගාදයට
ඇද වැටුණු වුන්ගේ හිස් මත මේ තානාන්තර තැබූව ද ඒවායේ දීප්තිය දැක
ගැනීමට අවැසි ආලෝක කිරණයක් ඇතුල්වීමට මෙවන් කළුවර කුටිවල කිසිදු
කවුළුවක් නොමැත.
රේරුකානේ චන්දවිමල හිමියන්ට ශ්වේජින් නිකායේ මහා නායක පදවිය ප්‍රදානය
කිරීම එම තානාන්තරය ලද ගෞරවයකි. පරමාදර්ශී චරිතයක් නිසා තනතුර
බැබළෙන්නේ නිරුත්සාහයෙනි. එවිට එම තනතුර උත්තරීතර වෙයි. අප මහා නා
හිමියන්ට බහුතරයක් තනතුරු ගරු නාමයන් ලැබුණේ උන්වහන්සේ විසින් ලියා
ඵලකළ ධර්ම ග්‍රන්ථයන්හි ඵලදායීතාවයේ විශිෂ්ටත්වයට ගෞරවයක් වශයෙනි. තවත්
කෙනෙකුට කළ නොහැකි තරම් වූ මෙවන් අති මහත් වූ ව්‍යායාමය වෙනුවෙන් ගෞරව
බුහුමන් පිදීම අතිශය සාධාරණ ය.
උන්වහන්සේ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ ආරම්භක මහාචාර්යවරුන් අතරට
ආරාධනා ලැබ වැටුප් නොගෙන සේවය කළ සේක. සාහිත්‍ය චක්‍රවර්තී සම්මාන
උපාධිය ප්‍රදානය කළේ ද විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙනි. ප්‍රාචීන
භාෂෝපකාර සමාගමේ පණ්ඩිත උපාධිය ද අනුරාධපුර බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨයේ
ප්‍රවචන විශාරද සම්මානය ද අමරපුර මහා සංඝ සභාවේ අමරපුර මහා මහෝපාධ්‍යාය
ශාසන ශෝභන ගරු නාමය ද විද්‍යාලංකාර (පිරිවෙන) සභාවේ ශ්‍රී සද්ධර්ම
ශිරෝමණී ගෞරවනාමය ද පිවිතුරු සංඝ පීතෘවරයකු වෙනුවෙන් පිදූ පූජාවන් සේ
අගය කළ යුතු වෙමු. අප එසේ අගය කළ ද චන්දවිමල මහා නා හිමියන්ට ඒවා
කඩදාසි කැබැල්ලකට පමණක් සීමා වූ ඒවා ය.
මේ ගෞරව උපාධි පදවි තානාන්තර ලැබීම පිළිබඳව රේරුකානේ මහා නා හිමියන් ඵල
කරන්නේ මෙවන් අදහසකි. “ඉස්කෝලේ දෙවන පන්තියට ගිය මට මොන පදවියක්වත්
උපාධියක්වත් ලැබේවි කියලා කවුද හිතුවේ.” නමුත් ඉතින් ඔය ලැබී තියෙන්නේ
මං ඉතින් අර බුරුම රටේ දී ලබා ගත් ඉගෙනීම අනුව ත්‍රිපිටක ධර්මය
පිළිබඳවත් පාලි භාෂාව පිළිබඳවත් තරමක දැනුමක් ලබා ගත්තා. ලංකාවට ආවට
පස්සේ එක එක්කෙනාගේ ඉල්ලීම අනුව පොත් කීපයක් ලීවා. ඉන් පස්සේ තමයි ඔය
පදවි ලැබෙන්නට පටන් ගත්තේ. ඉස්සර වෙලාම මට ප්‍රාචීන භාෂෝපකාර සමාගමෙන්
සම්මාන පණ්ඩිත උපාධියක් ලැබුණා. ඊළඟට විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ
අභිධර්මය පිළිබඳ මහාචාර්ය පදවිය ලැබුණා. ඇත්තවශයෙන්ම මං ඒක භාර ගත්තේ
කැමැත්තකින් නොවෙයි. සතියකට එක දවසක් හරි වඩින්න කියලා මට ආරාධනාවක්
ලැබුණා. අපේ යක්කඩුවේ නායක ස්ථවිරයන් වහන්සේගෙන්. ඒ නිසයි මං ඒක භාර
ගත්තේ. ඉගෙන ගත්ත දෙයක් කාට හරි හොඳට උගන්වන්න ලැබෙනව නම් එක සතුටක්.
මං විශ්වවිද්‍යාලයේ ඉගැන්වීමෙන් කිසිම වැටුපක් බලාපොරොත්තු වුණෙත් නෑ.
මට ලැබිච්ච මුදලින් කොටසක් විද්‍යාලංකාරේ දියුණුව සඳහාම පරිත්‍යාග
කළා.”
“1963 වසරේ මට විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් සාහිත්‍ය චක්‍ර වර්තී
උපාධිය ලැබුණා. 1976 වසරේ දී ශ්‍රී ලංකා ශ්වේජින් නිකායේ මහා නායක
පදවියත් මට ලැබුණා. 1995 දී අමරපුර මහා සංඝ සභාව එක් වීමෙන් පසු ‘අමරපු
මහා මහෝපාධ්‍යාය ශාසන ශෝභන’ යන නම සහ අනුරාධපුර බුද්ධ ශ්‍රාවක ධර්ම
පීඨයෙන් ප්‍රවචන විශාරද යන නමත් මට ලැබුණා. මේ පදවි – උපාධි පිරිනමන්නට
ඇත්තේ මගෙනුත් මේ රටට ජාතියට සම්මා සම්බුද්ධ ශාසනයට යම්කිසි සේවයක්
සිදුවී ඇති නිසා වෙන්න පුළුවන්.”
චන්දවිමල නා හිමියන් ලද තවත් සම්මානයක් පිළිබඳව උන් වහන්සේ ඵල කළේ
මෙවන් අදහසකි.
“ ‘ප්‍රවචන විශාරද’ කියන ගෞරව නාමය පිරිනමන්නට සම්මත කරලා ලිපියක් එවා
තිබුණා. මං ඉතින් ඒ ගැන හොඳ ලිපියක් ලියා යැව්වා. ඒ ලිපිය අවසානයේ ජාතක
පාලියේ නාම සිද්ධි ජාතකයේ එන ගාථාව තුත් ලියා යැව්වා, මතක යි.
ඒ ජාතක කතාවේ තියෙන්නේ ‘පාපක’ නම් මානවකයා තමන්ගේ නම හොඳ නැති බව කියා
දිසාපාමොක් ආචාරීන්ගෙන් හොඳ නමක් ඉල්ලා සිටීමයි. දිසාමොක් ආචාර්යවරයා
මේ ගෝලයාට ජනපදයේ ඇවි ද හොඳ නමක් සොයා ගෙන එන ලෙස කීවා. එවිට ‘ජීවක’
නම් තැනැත්තා මැරී ඇති බවත් ධනපාලී නම් ඇත්තී දුප්පත් වී ඇති බවත්
පන්ථක (මාර්ගය දන්නා තැනැත්තා) නම් ඇත්තා මං මුලාවී ඇති බවත් දැන ආපසු
ඇවිත් නමෙන් ඇති වැඩක් නෑ. තියෙන නමම හොඳයි කියා දිසාපාමොක් ආචාරීන්ට
කීවා. දිසාපාමොක් ආචාරීන් ඔහුගේ ඒ සිදුවීම ගළපා මේ ගාථාව කිව්වා.
ජීවකංච මතං දිසාවා
ඔපපාලිඤ්ච දුග්ගතිං
පන්ථකඤච වනෙ මූළහං
පාපකො පුතරාගතොති
ඔන්න ඔය ගාථාව ඒ ලියුමේ ලියලා යැව්වා. ඒ අය මොනවා හිතුවද දන්නේ නෑ.”
තවත් එවැනිම හාස්‍ය උත්පාදනය පිළිබඳව ප්‍රබන්ධ කළ කතාවක් උන්වහන්සේ
මෙනෙහි කළේ මෙසේ ය.
“එක්තරා පන්සලක ලොකු හාමුදුරුවෝ ළිඳක වැටිලා තියෙනවා. මේ හාමුදුරුවන්ගේ
නම හුගක් දිග එකක්. (එසේ නම දික් වී ඇත්තේ පදවි තානාන්තර නමේ මුලට යෙදී
තිබුණ නිසය) පන්සලේ ඇබිත්තයා දුවගෙන දුවගෙන ගිහිල්ලා ගමේ දායකයන්ට මෙම
සිදුවීම කියන්නට සූදානම් වෙලා ළිෙඳ් වැටුණ හාමුදුරුවන්ගේ නම
කියාගෙන යන කොට නම දිග වැඩි නිසා අමතක වෙනවා. ආයිමත් මුල පටන් නම
කියන්න පටන් ගන්නවා. ඉතින් අන්තිමට ඇබිත්තයාට හාමුදුරුවන්ගේ නම කියන්නට
බැරිව හාමුදුරුවන් ළිඳෙන් ගොඩ ගන්න නොහැකි වෙලා තියෙනවා. අනවශ්‍ය පදවි
තානාන්තර ලැබුණු විට ඒවායේ බර දරා ගැනීමට නොහැකි වූ නිසා ඒ
හාමුදුරුවන්ට සිදු වූයේ දියේ ගිලී මිය යාමට ය.
මේ කතාවලින් පෙනී යන්නේ මෙවන් අනවශ්‍ය පුහු ආටෝපයන් හිස් දේවල් බවය.
පරිපූර්ණ වූ ජීවිතයකට, පරමාදර්ශී චරිතයකට කිසිදු නම්බු නාමයක් අවශ්‍ය
නොවේ. කුදු මහත් මිනිසුන්ගේ ගෞරව බහුමානයට පාත්‍ර වන්නේ එම තැනැත්තා
සතු උසස් ගුණ කදම්භයක බලයේ ශක්තියෙනි. ආධ්‍යාත්මික පෝෂණයේ සුවඳිනි.
එවන් වූ මිනිසුන් කිසිදා නොමියන මිනිසුන් ය. චන්දවිමල මා හිමියන්
සම්මානයට පාත්‍ර වී ඇත්තේ හුදී ජන හද පහන් කළ නිසා ය.
එවන් සම්මානයට ගරු බහුමානයට පාත්‍ර වන මිනිසුන් අල්ප ය. ඒ නිසාම එවන්
මනුෂ්‍යත්වයට මිලක් නියම කළ නොහැකි ය. මිලක් ගැසීමට නොහැකි මැණික් ගලක්
මෙන් චන්ද විමල මහා නා හිමි නාමය යහපත් මිනිසාගේ හද පතුලේ රැඳී ඇත්තේ
පූජනීයත්වයෙනි.
තවත් කොටසක් පෙබරවාරි 28 වන දා පත්‍රයේ පළවේ |