UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් දැනුම

ප්‍රශ්නය :- පෙළ දහමට අනුව අකුසල් විරමණය (වැළකීම) පමණක්ම සදාචාරයේ ප්‍රජනනයට එක් හේතුවක් නොවේ. ගුණ ධර්ම පද්ධතීන් ඒ සඳහා වර්ධනය කර ගත යුතුය. බ්‍රහ්ම විහාර හා සතර සංග්‍රහ වස්තූන් යන සංකල්ප දෙක මෙයින් ප්‍රධාන වෙයි. පැහැදිලි කරන්න.

පිළිතුර :- ‘චත්තාරෝ මේ බ්‍රහ්ම විහාරා’ නමින් හැඳින්වෙන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා, යන සතර බ්‍රහ්ම විහාරයන් ශාස්තෘන් වහන්සේ සහ ශ්‍රාවකයන් වහන්සේලාද ප්‍රගුණ කළහ. මේ සතර ධර්මයන් බ්‍රහ්ම විහාර යනුවෙන් නම් කරන ලද්දේ මහා බ්‍රහ්මයා විසින්ද ඒවා පුරුදු පුහුණු කරන ලදැයි සලකන නිසාය. එහි විහාර යන්න නිරතුරුව සිතෙහි පවත්නා හෙයින් (පැවතිය යුතුය) යන අරුතින් යෙදී ඇත. අපක්ෂපාතීව අගතියෙන් තොරව තෝරා ගැනීමක් නැතිව පූර්ණ නිගමනයන්ගේ බලපෑම් රහිතව සතර බඹ විහරණ වැඩේ. මේ සර්වතෝභද්‍ර ගුණධර්මයන් පුරුදු පුහුණු කරන්නා දේශය,ජාතිය, ආගම, පංතිය, කුලය,ගෝත්‍රය අනුව භේද සලකා ක්‍රියා කරන්නේ නොවේ. පෞද්ගලික පෞරුෂ වර්ධනය සඳහා මෙහි ඇති වැදගත්කම ඉමහත් ය. මෙම සද් ගුණයන් දියුණු කිරීමෙන් පමණක් වුවද කෙනෙකුට පරමාර්ථ අවබෝධය කරා බොහෝ දුරට ළඟා වීමට ඉඩ ඇත්තේ මෙම සද් ගුණයන් තුළ මෝක්ෂමය වූ හෙවත් නිර්වාණමය ලක්ෂණයන් බොහෝමයක් දක්නට ඇති හෙයිනි. එම විද්වත් මතයට අනුව සත්වයන් කෙරෙහි සම්‍යක් ප්‍රතිපත්ති හෙවත් නිවැරැදි පරමාදර්ශී වූ පිළිවෙත මේ යැයි යන අරුතින් මෙම සත් ගුණයන් පරම උත්තම ගුණ ධර්ම නිසා බ්‍රහ්ම විහාර යනුවෙන් ගැනේ. සමාජයේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවන් නිසා උද්ගතවන සියලු අවස්ථාවන්ට විසඳුම් මේ මානසික ගති නිතර ඉදිරිපත් කරයි.ප්‍රතිවිරුද්ධතාවන් ඉදිරිපත් කරන සමාජ ගැටුම්වලදී සමඟිය ඇති කරන ජීවිත සටනෙහි දී ඇතිවන තුවාල සුව කරන සමාජ බාධකයන් නැති කරන සුහද හිත මිතුරුකම් ගොඩනගන මේ සදාචාර ගුණධර්ම ආත්මාර්ථකාමීභාවයට ප්‍රතිපක්ෂ වූ සහෝදරත්වය උද්ගත කරවන ඒවාය. බෞද්ධ වුවත් නැතත් මිනිස් සමාජය ශිෂ්ට සම්පන්න සංවිධානයක් ලෙසින් පැවැත්මට නම් මේ සතර ධර්මයන් මිනිස් සිත් සතන් තුළ ක්‍රියාකාරි විය යුතුය.මේ ධර්මයන් යම් තරමකට මිනිස් සිතෙහි බලපැවැත්වෙයි ද එපමණට සමාජය පි‍්‍රයමනාප තැනක් වෙයි. එසේම එම දහම මිනිස් සිත තුළින් ගිලිහෙන පමණට සමාජය දරදඬු ජීවත් වීමට අපහසු තැනක් බවට පත් වෙයි.

ප්‍රශ්නය :- මනුෂ්‍යත්වය (මිනිස් ආත්ම භාවය) අතිශයින්ම දුර්ලභ බව ‘කිච්ඡෝ මනුස්ස පටිලාභෝ’ යනුවෙන් බුදු දහම අවධාරණය කරයි. සසර පැවැත්ම තුළින් මතුවන අනෙක් උත්තම අර්ථය මිනිසා සෙසු ජීවීන් අතර ලබා ඇති විශිෂ්ට ස්ථානයි. මිනිසත් බවින් අගාධයට යොමු වන්නේ ඇයි ද? යන්න විමසීමක් කරන්න.

පිළිතුරු :- මහ මුහුදෙහි වැටුන එක් සිදුරක් ඇති විය දණ්ඩක් එම සිදුරෙහි සියවසරකට වරක් උඩ එන කණ කැස්බෑවෙකු එළිය බලන්නට අවස්ථාවක් ලබන්නේ ද මිනිසත් බව ලැබීම ඊටත් වඩා අපහසු දුර්ලභ කරුණකැයි සං.නි.ජිග්ගල සූත්‍රයෙන් කියවේ. එවන් දුර්ලභ අවස්ථාවක් ලැබිය හැක්කේ මිනිසාට පමණි. මනුෂ්‍ය බුද්ධියට විසඳා ගත නොහැකි ගැටලුවක් ඇත්තේ නැත. මනුෂ්‍ය බුද්ධිය සෑම ගැටලුවක්ම විසඳා ගැනීමේ හැකියාවටත් පොහොසත්ය. පූර්ණ පෞරුෂය විකසිත වන බුද්ධත්වය හෝ සක්විති රාජ්‍යත්වය වැනි විශිෂ්ටත්වයක් සිද්ධ කරගෙන විමුක්තිය සලසා ගත හැකි මිනිසාට වඩා උතුම් බුද්ධිමත් හැකියාවන්ගෙන් පොහොසත් වූ ජීවියෙකු සමස්ත ජීව පද්ධතිය තුළ ඇති බවත් බුදු දහම නොපිළිගනී. සත්ව ප්‍රජාව තුළ මිනිසාට විශිෂ්ට ස්ථානයක් හිමි කර දෙන බුදු දහම මිනිසාට කිසිසේත්ම අධිකාරි බලයක් නොපවරයි. ප්‍රනීත්‍ය සමුප්පාද ධර්මතාවට අනුව මිනිසා ද පැවතිය යුතුමයි. නාමරූප ප්‍රත්‍යයෙන් විඥානය ද විඥානය ප්‍රත්‍යයෙන් නාම රූප ද පවත්නේ නලකලාප සූත්‍රය පෙන්වා දෙන අයුරින් එකිනෙක නොවැටී කෙළින් එකට නැඟී සිටින බව දඬු දෙකක් මෙනි. ඉන් එකක් ඉවත් වුවහොත් අනෙකද වැටේ. මිනිසාට නැඟී සිටිය හැක්කේ හේතු ප්‍රත්‍ය රාශියකගේ එක්වීමෙනි. පතිරූප දේස වාසය මෙන්ම සත්පුරුෂ ආශ්‍රයන් මිනිස් දියුණුවට මූලික වේ. භෞතික පාරිසරික සාධක මෙන්ම සමාජ සාධකයද මිනිස් ප්‍රගතියෙහි ලා බලපානු ලැබේ. මිනිස් ඉච්ඡාවන් වගේම කුසගින්න දිරායාම සමෘද්ධිමත් සමාජයේ මිනිසාටද උරුමය. උත්තම ස්ථානය සිටි නිසාම මිනිසාගේ අනන්ත සක්‍යතා පිළිබඳ දැනීමක් ද මිනිසාට ඇත. ඒ නිසාම නිහතමානී හැසිරීම හා වගකීම පිළිබඳ හැඟීමක් ඔහු තුළ තිබිය යුතුය. මේ වගකීම විසින් සදාචාරාත්මක හැසිරීමක් සමාජය අපේක්‍ෂා කරයි. ඒ හොඳ හා නරක විමසා බලා ක්‍රියා කිරීමේ ශක්තිය ඔහු සතු හෙයිනි.

 

 

දුරුතු අව අටවක පෝය

දුරුතු අව අටවක පෝය ජනවාරි මස 23 වැනි දා සිකුරාදා අපරභාග 10.46 ට ලබයි.
24 වැනිදා සිකුරාදා අපරභාග 10.33 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 24 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
ජනවාරි 30 වැනි දා බ්‍රහස්පතින්දාය.

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 24

New Moonඅමාවක

ජනවාරි 30

First Quarterපුර අටවක

පෙබරවාරි 06

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 14


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]