මහා
පරිනිර්වාණය
කොළඔ 07,නාරද බෞද්ධ ධර්මායතනාධිකාරී
ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත
තලල්ලේ චන්දකිත්ති හිමි
මෙම ලිපියේ මුල් කොටස පසුගිය සතියේ පළවිය
භණ්ඩ ග්‍රාමයේ ටික කලක් වැඩ සිටි බුදුපියාණන් වහන්සේ එතැනින් හස්ති
ග්‍රාමයටත්, අනතුරුව අම්බ ග්‍රාමයටත් වැඩම කළා. මහා කාරුණිකයාණන්
වහන්සේ ජම්බු ග්‍රාමයටත්, එතැනින් භෝග නගරයටත් වැඩම කළේ ඉන් පසුව යි.
භෝග නගරවාසීන්ට සතර මහා උපදේශ දේශනා කළ බුදුපියාණෝ එතැනින් පාවා නුවරට
වැඩම කළා. පාවා නුවර වැසි චුන්ද කර්මාර පුත්‍රයාගේ අඹ උයනේ වාසය කළ
බුදුපියාණන් වහන්සේට දානයට ආරාධනා කළ චුන්ද, උන්වහන්සේ වෙනුවෙන් ම ඌරන්
ළඟින තැනින් හටගත් හතු වර්ගයකින් කරන ලද ආහාරයක් වන සූකර මද්දවය සහිත
දානය පූජා කළා. බුදුපියාණන් වහන්සේට පමණක් එම ආහාරය බෙදන ලෙස දැන් වූ
උන්වහන්සේ එහි ඉතිරි කොටස සතුන් නැති තැනක වල දමන්නට උපදෙස් දුන්නා.
දන් වළඳා අවසානයේ චුන්ද කර්මාර පුත්‍රයාට භුක්තානුමෝදනාව සිදුකළ
බුදුපියාණන් වහන්සේ ඔහුගේ නිවසින් පිටත් ව ආ පසු උන්වහන්සේට කලක සිට
පැවැති රෝගාබාධයක් වන ලෝහිතපක්ඛන්දිකා හෙවත් ලේ අතීසාරය උත්සන්න වුණා.
මාරාන්තික වේදනාවක් බුදු සිරුරට ඇතිවුණා. සිහිනුවණින් සියලු වේදනාවන්
ඉවසා දරාගෙන බුදුපියාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවනුත් සමඟින් පා ගමනින්ම
කුසිනාරා නුවර බලා පිටත්වුණා. අතරමඟ දී අවස්ථා කීපයක දී රෝගය උත්සන්න
වී ක්ලාන්තය ඇති වුණා.
කුසිනාරාව බලා ගමන් කරන බුදුපියාණන් වහන්සේට දැඩි පිපාසයක් දැනෙන්නට
වුණා. ගමන් විඩාවෙන් පීඩාවට පත්ව සිටි බුදුපියාණන් වහන්සේගේ බුදු
සිරුරට පිපාසය ද දැඩි වෙහෙසක් ගෙන දුන්නා. පිපාසය දරාගත නො හැකි තැන
අතරමඟ දී ආනන්ද හිමියන්ට කථා කොට ‘පිපාසයි ආනන්ද, පිපාසයි. තථාගතයන්
වහන්සේට ක්ලාන්තයි. ආනන්ද, ඉක්මණින් තථාගතයන් වහන්සේට විවේක ගැනීමට
අසුනක් පණවන්න’ යනුවෙන් පැවැසුවා. පැන වූ ආසනය මත වැඩ සිටි බුදුපියාණන්
වහන්සේ ‘ආනන්ද, ඉක්මනට දිය පොදක් ගෙන එන්න’ යැයි පැවැසුවා. පැන් ගෙන
එන්නට ඒ අසළ තිබූ ජල පහර ළඟට ගිය ආනන්ද හිමියන්ට දැක ගත හැකි වූයේ එයට
ටික මොහොතකට කලින් එහි දිය පහර හරහා ගමන් කළ ගැල් පන්සියයක් ඇද ගිය
ගවයින්ගේ අඩි පාරවල් නිසා කැලැතී මඩ වී තිබුණු දිය යි. “අනේ මනා ලෙස
පෙරා ඉතා පිරිසුදු ලෙසින් පැන් ලබා දුන් මගේ බුදුපියාණන් වහන්සේට මම
කොහොම ද මේ අපිරිසුදු ජලය පානය කිරීම සඳහා ගෙන යන්නේ” යනුවෙන් සිතා අනඳ
හිමියන් පැන් ගෙන යන්නේ නැතිව ආපසු බුදුපියාණන් වහන්සේ වෙතට ගියා. දිය
අපිරිසුදු බැවින් බීටම නොහැකි බැවින් තමන් දිය නො ගෙනා බව ආනන්ද
හිමියන් බුදුපියාණන් වහන්සේට පැවැසුවා. “ස්වාමිනි, කුකුත්ථා නදිය
තිබෙන්නේ මේ අසලම යි. මදක් ඉවසා සිටින්න. එම නදිය වෙත ගොස් පැන් සැනැහී
පැන් වළඳා සැනැහිය හැකි යැයි” පැවැසුවා. නමුත් පිපාසයෙන් ක්ලාන්ත වී
සිටි බුදුපියාණන් වහන්සේගේ ඉල්ලීම වුණේ ‘ ආනන්ද, ඉක්මණින් පැන් ටිකක්
ගෙන එන්න’ යන්නයි.
ආනන්ද හාමුදුරුවන් බොහෝ වේදනාවට පත් ව අකැමැත්තෙන් නමුත් මඩ වතුර සහිත
දිය පහර වෙත ගොස් පැන් ටිකක් පෙරා ගන්නෙමි යි සිතා පාත්‍රය වතුර වෙත
ළංකරනවාත් සමඟින් ම එම දිය පහරෙහි තිබූ ජලය නිල් දිය දහරක් බවට පත් වී
පිරිසුදු ව බබළන්නට විය. බුදුපියාණන් වහන්සේගේ ආශ්චර්යමත් පුණ්‍ය බලය
ගැන වඩ වඩාත් පැහැදුණු ආනන්ද හිමියන් බුදුපියාණන් වහන්සේ වෙත මහත්
ගෞරවයෙන් එම දිය පහරින් පැන් පාත්‍රයක් ගෙනැවිත් පූජා කළා. එම දිය පානය
කර සිය ගත වූ වෙහෙස මහන්සිය අඩුකර ගත් බුදුපියාණන් වහන්සේ එහිම ටික
වේලාවක් වැඩ සිටියා.
ඒ අසලින් ගමන් කළ ආලාර කාලාමයන්ගේ ශ්‍රාවකයෙකු වූ කුක්කුස මල්ලයන්
පාවා නුවර බලා යද්දී බුදුපියාණන් වහන්සේ වැඩ සිටින ඉරියව්ව දැක පැහැදී
කථා බස් කොට තමන් සතුරන් පැහැති වස්ත්‍ර යුගලයක් බුදුපියාණන් වහන්සේට
පූජා කළා. බුදුපියාණන් වහන්සේ ඉන් එකක් තමන් වහන්සේ විසින් පිළිගෙන
අනෙක ආනන්ද හිමියන්ට පූජා කරන ලෙස පැවැසුවා. කුක්කුස එසේ කළා. ඔහු
එතැනින් ඉවත්ව ගිය පසු ආනන්ද හාමුදුරුවෝ තමන්ට ලැබුණ සළුවත්
බුදුපියාණන්ට පූජාකොට එම රන්වන් සළු දෙකෙන් බුදුපියාණන් වහන්සේගේ
රන්වන් සිරුර සැරසුවා. එම සළු දෙක පෙරවීමෙන් පසු බුදු සිරුර ගිනි අඟුරු
පැහැති රන්වන් පැහැයකින් බැබළෙන්නට වුණා.
එය දුටු ආනන්ද හාමුදුරුවෝ අනේ ස්වාමිනි, මම කවදාවත් දැකලා නැහැ බුදු
සිරුර මේ ලෙසින් රන්වන් පැහැයෙන් බබළනවා. මෙයනම් හරිම ආශ්චර්යයක්
යනුවෙන් පැවැසුවා. එවිට උන්වහන්සේ වදාළේ එලෙසින් බුදු සිරුර මහබෝසතුන්
සම්මා සම්බුද්ධත්වයට පත්වන විට දී සහ මහා පරිනිර්වාණයට පත්වන දිනයේදී
රන්වන් පැහැයෙන් බබළ යි. එසේම අද රාත්‍රියෙහි දී තථාගතයන් වහන්සේ මහා
පරිනිර්වාණයට පත්වෙන බවද උන්වහන්සේ ආනන්ද හිමියන්ට වදාළා.
මහා කාරුණිකයන් වහන්සේ ආනන්ද හිමියන් සමගින් එම ස්ථානයෙහි ටික වේලාවක්
විවේක සුවයෙන් රැඳී සිට කුකුත්ථා නදිය වෙත වැඩම කළා. නදියට බැස පැන්
සැනැහුණු උන්වහන්සේ නදියෙන් ගොඩට වඩිනාවත් සමඟින් තදබල ක්ලාන්ත
ගතියකින් පෙළෙන්නට වුණා. ඉක්මණින් ඒ අසල පනවන ලද අසුනක වැඩහුන් මහා
කාරුණිකයාණන් වහන්සේ ආනන්ද හිමියන්ට කථා කොට පැවැසුවේ ආනන්ද, තථාගතයන්
වහන්සේ යම් දානයක් වළඳා සම්මා සම්බුද්ධත්වයට පත් වූයේද, යම් දානයක්
වළදා මහා පරිනිර්වාණයට පත්වූයේද, එම දන් දෙකම සමාන විපාක ආනිසංස ඇති
දාන බවට චුන්ද කර්මාර පුත්‍රයාට පවසන්න යනුවෙනි. බුදුපියාණන් වහන්සේ
පිරිනිවන් පෑවේ මා විසින් දෙන ලද ආහාර අපත්‍යවීම නිසා යැයි සිතා
චුන්දකර්මාර පුත්‍රයා කම්පාවට පත්වේවි යැයි සිතා ඔහු එම තත්ත්වයෙන්
මුදවා ගනු පිණිසයි මහාකාරුණික බුදුපියාණන් වහන්සේ එලෙසින් කටයුතු කළේ.
අනුන්ගේ සිත් රිදවන්නට කැමැති නො වුණ උන්වහන්සේ පිරිනිවන් පාන අවසන්
මොහොතේ පවා මහාකාරුණාවෙන් ලෝක සත්ත්වයාට පිහිට වූ ආකාරය හරිම
අසිරිමත්.
ඉන්පසු උන්වහන්සේ අනඳ හිමියන් සමඟින් හිරණ්‍යවතී නදියෙන්ද එතෙර ව
කුසිනාරානුවර මල්ල රජදරුවන්ගේ උපවර්තන නම් සල් උයන වෙතට වැඩම කළා.
එහිදී ආනන්ද හිමියන් විසින් උන්වහන්සේගේ උපදෙස් පරිදි සල්ගස් දෙකක්
අතර උතුර දෙසට හිස ළා පණවන ලද සයනය මත දකුණු ඇලයට සිංහ සෙය්‍යාවෙන්
සයනය කරනවාත් සමඟින් ම එම සල් ගස් වල අකලට පිපි මල් සුවඳ විහිදුවමින්
අමාමෑණි බුදුපියාණන් වහන්සේ පුදන ආකාරයෙන් බිමට ඇද හැළෙන්නට වුණා. දස
දහසක් ලෝක ධාතුවලින් පැමිණි කෝටි ගණන් දේව බ්‍රහ්ම සමූහයා අහසෙහි සිට
මදාරා පරසතු මල් ඉසිමින් බුදුපියාණන් වහන්සේ පිදුවා. මේ අසිරිමත් ආමිස
පූජාවෙන් පිරිනිවන් මඤ්චකයේ සිට දැකගත් බුදුපියාණන් වහන්සේ භික්ෂු,
භික්ෂුණි උපාසක, උපාසිකා යන සිව්වරණක් පිරිස තමන් දේශනා කරන ලද ධර්ම
මාර්ගයෙහි හැසිරෙන්නේ නම් එය තමන් වහන්සේට කරන නියම ගෞරවය හා උපහාරය වන
බව වදාළා.
මේ ශෝකජනක මොහොතෙහි උපවාන නම් ස්වාමින් වහන්සේ විඩාබර ව වැඩි සිටි
තමන්ගේ ගාස්තෘන් වහන්සේට පවන් සළමින් සිටියා. බුදුපියාණන් වහන්සේ
උපවාන තෙරුන්ට වදාළේ එතැනින් ඉවත් වන ලෙසයි. එම ක්‍රියාවෙන් විමතියට
පත් ආනන්ද හිමියන් ඒ ගැන විමසද්දී බුදුුපියාණන් වහන්සේ වදාළේ තමන්
වහන්සේගේ මහාපරිනිර්වාණය දැක බලා ගැනීමට පැමිණි දස දහසක් ලෝක ධාතුවල
දෙවියන්ට උපවාන තෙරුන්ගේ සෘද්ධි බලය හේතුවෙන් තමන් වහන්සේ නො පෙනෙන
බැවින් දෙවියන් කම්පා වී සිටින නිසා එසේ කළ බවයි.
ඉන්පසු උන්වහන්සේගේ මහා පරිනිර්වාණය දැකබලා ගැනීමට පැමිණි කෝටි ගණන්
කෙලෙස් සහිත දේව බ්‍රහ්ම සමූහයා භාග්‍යවතුන් වහන්සේ ඉතා ඉක්මණින්
පිරිනිවන් පානවා. මේ ලෝකට පහළ වූ අසහාය දහම් ඇස අතුරුදහන් වෙනවා
යනුවෙන් පවසමින් හඬා වැළපෙන්නට වුණා.
පිරිනිවන් මඤ්චකයේ වැඩ සිටි අප මහා කාරුණික බුදුපියාණන් වහන්සේ දුර්ලභ
මිනිසත් බවක් ලබා ගත් අප විසින් මේ ජීවිතයේ දී සිදුකර ගත යුතු ම වටිනා
පින්කමක් මේ මොහොතෙහි දී සිහිපත් කර දුන්නා. දැහැමි කුල පුත්‍රයන්
විසින් දැක පහන් සංවේගය ඇතිකර ගෙන බොහෝ පින් රැස් කර ගත හැකි ස්ථාන
හතරක් උන්වහන්සේ මෙහිදී හඳුන්වා දුන්නා. මහබෝසත් උපත සිදුවුණු
ලුම්බිණිය, බුදු බව ලැබූ බුද්ධගයාව, පළමු දම් දෙසුම සිදුකළ බරණැස
ඉසිපතනාරාමය හා මහා පරිනිර්වාණය සිදු වූ කුසිනාරා නුවර උපවර්තන සල් උයන
ඒ ස්ථාන හතර යි. මෙම ස්ථාන හතර දැක බලා වන්දනා කොට තිබෙන කෙනෙක් මරණ
මොහොතේ එය සිහිකර ගෙන මරණයට පත් වුවහොත් ඒ තැනැත්තා ඒකාන්තයෙන්
සුගතිගාමි වන බව වදාළා.
ඉන්පසු බුදුපියාණන් වහන්සේ පරිනිර්වාණ මඤ්චනයේ ම වැඩ හිඳ කාන්තාවන්
සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේලා කටයුතු කළයුතු ආකාරයත්, බුදු සිරුරක්
ආදාහනය කරන ආකාරයත්, ශාරීරික ධාතුන් වහන්සේලා තැන්පත් කොට චෛත්‍යය සාදා
පිදීමට සුදුසු ථූපාර්හ පුද්ගලයන් ගැනත් පෙන්වා වදාළා.
ඉතිරි කොටස ජනවාරි 30 පුවත්පතේ
සටහන: නයනා නිල්මිණි |