විශ්වයේ සම්භවය හා පරිණාමය විස්තාරිත
අග්ගඤ්ඤ සූත්‍රය
කො/ශ්‍රී ධර්මරක්ෂිත ත්‍රිපිටක ධර්මායතන
පිරිවෙනේ ආචාර්ය
බම්බලපිටිය මෙත්තාරාම වාසී
සිටිනාමළුවේ පඤ්ඤාවංස හිමි
බුදුරජාණන් වහන්සේ අග්ගඤ්ඤ සූත්‍රය දේශනා කරන්නේ මිගාරමාතුපාසාද නම්
වූ පූර්වාරාමයෙහි වැඩ වෙසෙන සමයෙකය. (දීඝ නිකායේ පාථික වග්ගයේ සිව්වැනි
සූත්‍ර දේශනාවයි.) වාසෙට්ඨ භාරද්වාජ යන බමුණු කුලයෙහි පැවිදි පඬිවරුන්
දෙදෙනා නිමිති කරගෙන මෙම සූත්‍රය දේශනාකොට ඇත. බුදුරජාණන් වහන්සේ සවස්
යාමයෙහි ඵල සමවතින් නැඟී සිටියේ, එළිමහනෙහි සක්මන් කරමින් වැඩ සිටි
සේක. උන්වහන්සේ අනුව වාසෙට්ඨ භාරද්වාජ භික්‍ෂු දෙනම ද සක්මන් කළහ.
එකල්හි බුදුරජාණන් වහන්සේ වාසෙට්ඨ භාරද්වාජ භික්‍ෂු දෙනමගෙන් මෙසේ
ප්‍රශ්න කරති.
“තෙපි වූ කලි බ්‍රාහ්මණ ජාතික වූ බ්‍රාහ්මණයන් අතුරෙහි කුලසම්පන්න වූ
බ්‍රාහ්මණයන් හැර ගිහිගෙයින් නික්ම සසුන් වන්නෝ වෙහු. තොපට බ්‍රාහ්මණයෝ
ආක්‍රොශ නො කරත් ද? පරිභව නො කරත් ද? “
එවිට වාශිෂ්ඨ භාරද්වාජ භික්‍ෂු දෙනම ප්‍රකාශ කොට සිටින්නේ අපරිපූර්ණ
නොවු පරිපූර්ණ වූ තමනට හුරු පුරුදු වචනයෙන් ආක්‍රෝශ පරිභව කරන බවත් ය.
“ස්වාමීනි, බමුණෝ මෙසේ ප්‍රකාශ කරත්, බ්‍රාහ්මණ වංශයම ශ්‍රේෂ්ඨය. ශුක්ල
වර්ණය ශුද්ධවේ. අනික් වරණයෝ එසේ නොවෙති. බ්‍රාහ්මණයෝම බඹහුගේ මුවින්
බිහි වූ, බඹුහුගෙන් උපන්, බඹහු විසින් මවන ලද බඹහුගේ ඖරස පුත්‍රයෝය.
මෙවැනි ශ්‍රේෂ්ඨ වර්ණයක් අතහැර ඔබලා හීණ වර්ණයකට ගියහ” යනුවෙන් ඔවුහු
ප්‍රකාශ කරති.
“තෙ තුම්හෙ සෙට්ඨං වණ්ණං හිත්වා - හීනමත්ථු වණ්ණං අජ්ඣුපගතා”
බුදුරජාණන් වහන්සේ දේශනාකොට සිටින්නේ, බමුණන් එසේ ප්‍රකාශ කරන්නේ පුරාණ
කථාව නොදන්නාකම නිසා බවයි.
“ තග්ඝ වො වාසෙට්ඨො බ්‍රාහ්මණා පොරාණං අසරන්තා එවමාහංසු”
“ වාශිෂ්ඨයෙනි, බ්‍රාහ්මණ ,ක්‍ෂත්‍රීය,වෛශ්‍යය , ශුද්‍ර යැයි කුල
හතරකි. මෙම කුල හතරේම පිරිස වැරැදි වැඩ කරති. ඒවා කෙසේද යත් ප්‍රාණඝාතය
සිදු කිරීම, නොදුන්දේ ගැනීම, කාමයෙහි වරදවා හැසිරීම, බොරු කීම,
පෙහෙසුන් තෙපලීම, පරොස් බස් කීම, සම්ඵප්‍රලාප කීම, අභිධ්‍යා බහුල වීම,
සහ ව්‍යාපාදයට පත්වීමයි.
තවද මෙසේ කුශල යැයි කියන ලද කුසල්ම වු, වරද රහිත වු , වරද රහිත යැයි
කියන ලද සෙවිය යුතු යැයි කියන ලද සේවනය වූ, ආර්යභාවට පත් වූ
බ්‍රාහ්මණ,ක්‍ෂත්‍රීය වෛශ්‍ය, ශුද්‍ර, වංශිකයෝ ද ඇත්තාහ. ඔවුහු
නුවණැත්තන් විසින් පසස්නා ලද යහපත් ධර්මයෙහි ඇතැමුන් පිහිටුවති.
මේ සතර වර්ණයෙන් ඇතැමෙක් රහත් ද, ක්‍ෂීණාශ්‍රවද බඹසර ඇත්තේද කොට නිමි
කටයුතු ඇත්තේ ද, පැමිණි ස්වාර්ථය රහත් බව ඇත්තේද, හැම ලෙසින් නැසූ භව
බන්ධන ඇත්තේද, මොනවට දැන මිදුණේද, හෙතෙම හැම දෙනා අතුරෙන් අග්‍රයැයි
කියනු ලැබේ. මක්නිසාද ? ඔහු අග්‍රවන්නේ ඒ අධර්මයෙන් නොව ධර්මයෙන්ය.”
“ධම්මෙනෙව නො අධම්මෙන ධම්මොහි වාසෙට්ඨො සෙට්ඨො ජනෙතස්මිං දිට්ඨෙ මෙව
ධම්මෙ අභිසම්පරායෙච”
වාශිෂ්ඨයෙනි, ධර්මයම මෙලොව පරලොව ද ශ්‍රේෂ්ඨය.
ඉන්පසු බුදුරජාණන් වහන්සේ මෙලොව පරලොව දෙලොවම ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මයම බව
තහවුරු කරදීම සඳහා තවත් කරුණු ගෙන හැර දක්වන සේක.
එනම් පසේනදී කොසොල් රජතුමාය, ශාක්‍ය වංශිකයෝ එතුමාට ගෞරව දක්වති.
බුහුමන් දක්වති. කළමනාසැලකිලි දක්වති. තවද එතුමා කෙරෙහි ආදරය දැක්වීම,
වැඳීම, දැක නැඟී සිටීම, ඇඳිලිබැඳීම, වත් දැක්වීමද කරති. එතුමා මේ
සියල්ල ශාක්‍යවංශිකයකු වූ මාහට ද දක්වයි. එතුමා එසේ සිදුකරන්නේ ‘ශ්‍රමණ
භවත් ගෞතමයන් බලවත්ය. මම බලවත් නොවේ”ආදි වශයෙන් සිතමින් නොවේ. එතුමා
එසේ සිදුකරන්නේ ධර්මයටමය.
“අථ ඛො තං ධම්මං යෙව සක්කරන්තො ධම්මං ගරුකරන්තො ධම්මං මානෙන්තො ධම්මං
පූජෙන්තෝ ධම්මං අපචායමානෝ...”
ධර්මයටම සත්කාර කරනුයේ, ධර්මයට ගෞරව කරනුයේ, ධර්මයට බුහුමන් කරනුයේ,
ධර්මයට පුදනුයේ, ධර්මයට යටත් පැවැතුම් දක්වනුයේ වෙයි.
තවද අග්ගඤ්ඤ සූත්‍රයෙහි, බ්‍රාහ්මණමතය ඛණ්ඩනය කරීම පිණිස බුදුරජාණන්
වහන්සේ මෙසේ දේශනා කරන සේක.
“වාශිෂ්ඨයෙනි, තෙපි වූ කලි නානා ජාතියට අයත්වන්නා වු නානා ගෝත්‍රයට
අයත්වන්නා වූ, නානා කුලයට අයත්වන්නා වූ ගිහිගෙයින් නික්ම ශාසනයෙහි
පැවිදි වූහ. තෙපි කවුරුදැයි විචාළ කල්හි මෙසේ පිළිතුරු දිය යුතුය”
“සමණා සක්‍යපුත්තියම්හාති පටිජානාථ”
අපි ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ පුත්‍රයෝ වෙමු. උන්වහන්සේ කෙරෙහි පවත්නාවූ
මුල්බැසගත් ශ්‍රද්ධාව දෙවියකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහ්මයකුට හෝ ලොවේ
කිසිම පුද්ගලයකුට නොසෙල්විය හැකිය. මක්නිසාද? උන්වහන්සේ ධර්මකාය,
බ්‍රහ්මකාය, ධර්මභූත , බ්‍රහ්මභූ®ත ආදී නාමයන්ගෙන් හඳුන්වන නිසාය.
ඉන්පසුව බුදුරජාණන් වහන්සේ ලෝකාරම්භ හා ලෝක විනාශ කථාව දේශනා කිරීමට
අවශ්‍ය මූලාශ්‍ර මෙසේ ඉදිරිපත් කරති.
“වාශිෂ්ඨයෙනි, කිසියම් කාලයක මේ ලෝකය විනාශයට පත්වේ. එසේ විනාශ වන විට
සත්වයෝ ආභස්සර බ්‍රහ්මලෝකයේ උපදිති. ඔවුහු එහි උපදින්නේ ධ්‍යානචිත්ත
බලයෙනි. පී‍්‍රතිය ආහාරකොට, තම සිරුරේ ආලෝකයෙන් ආලෝකය ලබාගෙන අහසින්
ගමන් කරමින්, සිත්කළු වස්ත්‍රාභරණ හැඳ පෙරවාගෙන බොහෝ කාලයක් ජීවත්වෙති.
දිගු කලක්, ඇවෑමෙන් ලෝකය ආරම්භ වේ. ආභස්සර බ්‍රහ්මලෝකයෙන් බමුණන් අවුත්
මිනිස් ලොව උපදියි .“
1.රසපඨවිපාතුභාවො
ආභස්සර බ්‍රහ්මලෝකයෙන් පැමිණි බමුණන්, මිනිස් වෙසින් මනුලොව පහළ වූවාට
පසුව රස පොළොව ලෝකයේ පහළ විය. රස පොළොවෙහි ස්වභාව මෙසේය.
“වාශිෂ්ඨයෙනි, ඉක්බිති යම්සේ නිවෙන්නා වු හුණූ කිරි මත්තෙහි යොදයක්වේද
එසේ වර්ණ සම්පන්නය. ගන්ධ සම්පන්නය.”
තවද ලෝකයේ විවෘත වූ සමයෙහි සියලුම සක්වළ එකම දිය කඳක් බවත් ඒ සියලුම
දිය කඳ මත්තෙහි රස පොළොව ප්‍රචාරය වී තිබුණූ බවත් සූත්‍රයෙහි සඳහන් වේ.
මේ වන විට සඳ හිරු දෙදෙනා, නැකත් තරු, රෑ දාවල්, මාස පක්‍ෂයෝ,ඍතු
සංවත්සරයෝ, ස්ත්‍රී පුරුෂ පහළ නොවූහ.
එක්තරා ලෝලි ස්වභාව ඇති පුද්ගලයකු හට රස පොළොවට තෘෂ්ණාව ඇතිවිය. රස
පොළොවට ඇඟිල්ල දමා දිව මත තැබුවේ, ආශාව ඇති විය. ලෝකයේ වෙනස්වීම් එමඟින්
ආරම්භ වු බව අග්ගඤ්ඤ සූත්‍රයෙහි විස්තර වේ.
ඉන්පසුව ඒ ආකාරයටම අනිකුත් සියලුම සත්හු රස පොළොව ඇඟිල්ලෙන් ඇන අනුභව
කරන්නට වූහ. සියලුම දෙනාට තෘෂ්ණාව ඇතිවිය. පී‍්‍රතිය ආහාර කොට ජීවත් වූ
මොවුන්ගේ ස්වයං ප්‍රභාස්වරය අතුරුදන් විය. ක්‍රම ක්‍රමයෙන් රස පොළොව
කොටස් කොට ගෙන අනුභව කරන්නට වූහ. ඔවුන්ගේ ස්වයං ප්‍රභාස්වරය අතුරුදන්
වූ කල්හි,
“ චන්ද්‍රිමසූරියා පාතුරහෙසුං, චන්දිමසූරියෙසු පාතුභුතෙසු නක්ඛත්තානි
තාරකරූපානි පාතුරහෙසුං. රත්තින්දිවා පඤ්ඤයිංසු. මාස්ධමාසෙසු
පඤ්ඤයමානෙසු උතුසංවච්ඡරා පඤ්ඤයිංසු.”
පී‍්‍රතිය වෙනුවට රස පොළොව අනුභව කිරීමත් , එය කොටස්කර, ගැනීම නිසාත්
ස්වයං ප්‍රභාස්වරය අතුරුදන් වීමෙන් පසුව හිරු සඳු, නැකත් තරූ, රාත්‍රී
දවල්, මාස, ඍතු ආදිය ලෝකයේ පහළ විය.
ක්‍රම ක්‍රමයෙන් රස පොළොව අනුභව කිරීම නිසා ඔවුන්ගේ සිරුරු රළු බවට
පත්විය. නොපැහැපත් විය. ඔවුන් අතුරෙන් ඇතැමෙක් පැහැපත් වූ අතර ඇතැමෙක්
අවලස්සන වූහ. මෙසේ සත්වයන්ගේ සිතෙහි මානය හෙවත් මානාති මානය ඇතිවීම
හේතුවෙන් රස පොළොව අතුරුදන් විය.
“තේසං වණ්ණාතිමානපච්චයා මානාතිමානජාතිකානං රස පඨවී අන්තරාධායී”
රස පොළොව අතුරුදන් වීමෙන් අනතුරුව ඔවුහු එක්රැස් වූහ. එක්රැස්ව ‘අහෝ
පෘථිවි රසය, අහෝ පෘථිවි රසය, යැයි පුන පුනා කීහ..අදද මිනිස්සු මනාප
රසයක් ලැබ අතුරුදන් වූ කල්හි අහෝ රසය,අහෝ රසයැයි මෙසේ කියත්. ඒ පැරැණි
ලෝකෝත්පත්ති කථාව අනුව යෑම බවත් එහි අරුත ඔවුන් නොදන්නා බවත් දේශනා කළ
සේක.
“තදෙව පොරානං අග්ගඤ්ඤං අක්ඛරං අනුසරන්ති නෙත්වස්ස අත්‍ථං අජානන්ති”
2.භූමිපප්පටකපාතුභාවො
රස පොළොව අතුරුදන් වීමෙන් අනතුරුව භූමිපප්පටකය (බිම් පප්පඩම්) පහළ
විය. යම්සේ නාහතු පහළ වන්නේද ඒ ආකාරයෙන් මෙය පහළ වේ. තවද මෙය පැහැපත්ය.
සුවඳවත්ය. රසවත්ය.
”සෙය්‍යථාපි නාම ඛුද්දමධු අනෙළකං එවමස්සාදො අහොසි”
භුමිපප්පටකය පිළවුන් නැති මීවදයක් වැනිය. පිරිසුදු මීවදයක යම් රසයක්
ඇද්ද මෙය ඒ රසයෙන් යුක්තය.
ඉන්පසුව සත්හු භූමිපප්පටකය වළඳන්නට වූහ. මෙසේ භූමිපප්පටකය ආහාරයට ගත්
සත්වයන්ගේ ශරීරය, ක්‍රම ක්‍රමයෙන් රළු විය. පැහැය අඩු විය. ඔවුනට මෙබඳු
සිතුවිලි පහළ විය. මොහු මට වඩා ලස්සනය. මම මොහුට වඩා ලස්සනය ආදි
වශයෙනි. එම සිතුවිලි නිසාවෙන් භූමිපප්පටකය ද අතුරුදන් විය.
“තෙසං වණ්ණාතිමානපච්චයා මානාතිමානජාතිකානං භූමිපප්පටකො අන්තරධායි”
3.බදාලතාපාතුභාවො
භූමිපප්පටකය අතුරුදන් වු කල්හි බදාලතාව පහළ විය. විල්පලා යම් සේද
බදාලතාවද එබඳුය. මෙය රසවත්ය. පැහැපත්ය. සුවඳවත්ය. පිරිසුදු මීවදයක්
මෙන් රසවත්ය. සත්වයෝ බදාලතාව අනුභව කරන්නට වූහ. ඉතා දිගු කලක් බදාලතාව
අනුභව කිරීම නිසා ඔවුන්ගේ ශරීරය ඉතා රළු තත්ත්වයට පත්විය. මානාතිමානය
නිසා බදාලතාවද අතුරුදන් විය.
“තෙසං වණ්ණාතිමානපච්චයා මානාතිමානජාතිකානං බදාලතා අන්තරාධායි”
ඉන්පසුව ඔවුහු රැස්වූහ. “පෙර අපිට මෙසේ තිබුණි. දැන් අපිට නැත” යනුවෙන්
සිහිපත් කළහ. අද ද සත්වයෝ පුරාණ කතාව මෙබඳු අවස්ථාවක සිහිපත් කරති.
“අහු වත නො, අහායි වත නො’ති . තදෙව පොරාණං අග්ගඤ්ඤං අක්ඛරං අනුසරන්ති,
නෙත්වවස්ස අත්‍ථං අජානන්ති”.
ඉතිරි කොටස ජනවාරි 30 වනදා පළවේ |