තෙල්ලඹුර ශ්‍රී පුෂ්පාරාම විහාරාධිපති
උඩුමලගල ශ්‍රී ආදිච්චංස පරිවේනාධිපති
ශාස්ත්‍රපති පලල්ලේ සරණජෝති හිමි
නමො තස්ස භගවතො අරහතො
සම්මා සම්බුද්ධස්ස
අලං තෙ වක්කලි කිං තෙ
ඉමිනා පූතිකායෙන පස්සෙන
සො ධම්මං පස්සති, සො මං පස්සති
සො පටිච්ච සමුප්පාදං පස්සති
සො ධම්මං පස්සති
කාරුණික පින්වත්නි,
මේ ප්‍රකාශය අපට ඉතාමත් වැදගත් ය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණවලින් හා
අසූවක් වූ කුඩා ලක්ෂණවලින් හෙබි බුදුරජාණන් වහන්සේගේ රූපකාය දෙස බලා
උන්වහන්සේ අපට හඳුනාගත නොහැකිය. බුදුන් වහන්සේගේ රූපකාය දෙස බලා
උන්වහන්සේ කවුදැයි හඳුනාගැනීමට නොහැකි වූ අවස්ථා බොහෝ ඇත. උන්වහන්සේ
ඉහත ප්‍රකාශයෙන් තහවුරු කරන්නේත් එයයි. බුදුරජාණන් වහන්සේ කවුද,
උන්වහන්සේගේ බුද්ධත්වය කුමක්ද කියා දැන ගැනීමට කිසිවකු අදහස් කරන්නේ
නම්, බුදුරජාණන් වහන්සේම දේශනා කළ පරිදි ධර්මය කුමක්දැයි දැකිය යුතුය.
“සො ධම්මං පස්සති සො මං පස්සති” යන්නෙන් කියැවෙන්නේ “යමකු ධර්මය
දකින්නේ නම් හෙතෙම මා දකින්නේය” කියායි.
මෙහිදී අප පළමුවෙන්ම, බුදුරජාණන් වහන්සේ වැඩ සිටි අවධියේ සිදු වූ,
වක්කලී හාමුදුරුවන් සම්බන්ධ සිද්ධිය වෙත යොමු විය යුතුයි. බුදුරජාණන්
වහන්සේ සැබැවින්ම ඓශ්චර්යමත් රූප ශෝභාවකින් සමන්විත වූ සේක. ඒ රූප
ශෝභාවට වශී වූ වක්කලී හාමුදුරුවෝ දවස මුළුල්ලේම උන්වහන්සේ දෙස බලමින්
සිටීමට කාලය යෙදවූහ. මෙය දුටු බුදුරජාණන් වහන්සේ ඉහත ප්‍රකාශය සිදු කළ
සේක.
එම ප්‍රකාශයේම ධර්මය කුමක් දැයි කියා නම් කිරීමක්ද වෙයි. “සො
පටිච්චසමුප්පාදං පස්සති සො ධම්මං පස්සති” මේ අනුව, පටිච්චසමුප්පාදය
දැකීම ධර්මය දැකීම බව පැහැදිලි වෙයි. උපතිස්ස පරිබ්‍රාජකයා අස්සජි
මහරහතන් වහන්සේ මුණගැසුණූ අවස්ථාවේ “ඔබ වහන්සේගේ ශාස්තෘවරයා කවුරුන්ද?
උන්වහන්සේ දේශනා කරන්නේ කුමක්දැ”යි විමසූ විට දෙසු ගාථාව මෙසේයි.
යෙ ධම්මා හේතුප්පභවා
තෙසංහෙතුං තථාගථො ආහ
තෙසං ච යො නිරොධො
එවං වාදි මහා සමණො
යම් ධර්මයක් හේතු නිසා හට ගනීද ඒ හේතු ගැන තථාගතයන් වහන්සේ දේශනා කරන
සේක. ඒ හේතු නිරෝධය ගැන දේශනා කරන සේක. මේ අනුව, ධර්මය යනු පටිච්ච
සමුප්පාදය බව පැහැදිලිය.
මෙහිදී, අප ධර්මය වඳින ගාථාවේ සඳහන් ධර්මයේ ගුණ ගැන අවධානය යොමු කිරීම
වැදගත්වේ. ධර්මයේ ගුණ ලෙස පළමුවෙන් දැක්වෙන්නේ ‘ස්වාක්ඛාත’ ගුණයයි.
එනම් බුදුරජාණන් වහන්සේ විසින් කිසිදු අඩුවක් හිදැසක් නැතිව, සර්ව
සම්පූර්ණ ලෙස ශ්‍රී සද්ධර්මය මැනැවින් දේශනා කරනු ලැබී ඇති බවයි. ඊළඟ
ගුණය ‘සන්දිට්ඨිකො’ යන්නයි. එවෙලේම, ඇස් පණාපිටම , එම ධර්මයේ ප්‍රතිඵල
ලැබෙන බවයි. එසේ නැතිව හෙට එනම් අනාගතයේදී නැතිනම් පරලොවදී විපාක ලැබෙන
තෙක් බලා සිටීමට අවශ්‍ය නැති බවයි. තුන්වැනි ගුණය නම් ‘අකාලිකෝ’
යන්නයි. මෙහි වචනයේ තේරුම් කාලයට අයත් නැත යනුවෙන්ද ගත හැකිය. ධර්මය
දැකීමත් සමඟම එහි ප්‍රතිඵල ලැබෙන බව මේ ගුණය ලෙස සමහරු සලකති.
අතීතයටත්, වර්තමානයටත් අනාගතයටත් එකසේ අදාළයි යන අදහසද මෙහි වේ. සිව්වන
ගුණය ලෙස දැක්වෙන්නේ ‘එහිපස්සිකෝ’ යන්නයි.ඇවිත් බැලිය යුතුයි, බැලිය
හැකියි, පැමිණ බැලීමට විවෘතයි යන අදහස එහි ඇත.
පස්වන ගුණය ලෙස දැක්වෙන්නේ ‘ඕපනයිකො ‘ යන්නයි. එහි අදහස, තමා වෙත
පමුණුවා ගත යුතුය යන්නයි. පස්වන ගුණය ‘පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහි’
යනුවෙනි. මෙහි තේරුම නුවණැත්තන් ප්‍රත්‍යක්ෂයෙන් දත යුතුයි යන්නයි. මේ
අනුව, ධර්මයට අප ගරු සත්කාර කළ යුත්තේ කෙසේද යන්න මනාව පැහැදිලි වේ.එහි
කියැවෙන්නේ බුදුරජාණන් වහන්සේ මැනැවින් දේශනා කළ ධර්මය වෙත පැමිණ එය
තමා වෙතට පමුණුවාගෙන ප්‍රත්‍යක්‍ෂයෙන් අවබෝධ කළ යුතුයි කියායි. එය
අනාගතයට කල් දැමීමට අවශ්‍ය නොවේ. මේ අවබෝධ කළ යුතු ධර්මය යනු පටිච්ච
සමුප්පාදයම බව පැහැදිලිවේ.
මෙම පටිච්චසමුප්පාදය දීර්ඝ ලෙස කථා කිරීමට පෙර මෙයින් කියැවෙන ධර්මතාව
කුමක් දැයි මඳක් විමසා බැලිය යුතුයි, “වයධම්මා සංඛාරා උප්පාද වය
ධම්මිනො” මෙහි දැක්වෙන ‘සංඛාර’ යනු හේතු නිසා හට ගන්නා සියලුදේය. ඒවාට
අපි සංඛත ධර්ම කියාද කියන්නෙමු.මේ සංඛත ධර්මයන්ගේ පවතින ධර්මතාව වනුයේ
‘උප්පාද –වය’ ලක්ෂණයයි.
ධම්ම පදයේ මාර්ග වග්ගයේ එන මේ ගාථා තුනෙන් කියැවෙන්නේ ධර්මයේ ලක්ෂණ
තුනකි.
සබ්බේ සංඛාරා අනිච්චාති
යදා පඤ්ඤාය පස්සති
අථ නිබ්බින්දති දුක්ඛෙ
එසමග්ගො විසුද්ධියා
සබ්බේ සංඛාරා දුක්ඛාති
යදා පඤ්ඤාය පස්සති
අථ නිබ්බින්දති දුක්ඛෙ
එසමග්ගො විසුද්ධියා
සබ්බේ ධම්මා අනත්තාති
යදා පඤ්ඤාය පස්සති
අථ නිබ්බින්දති දුක්ඛෙ
එසමග්ගො විසුද්ධියා
මෙයට අපි ත්‍රිලක්ෂණය කියාත් කියන්නෙමු. මේ ත්‍රිලක්ෂණය නුවණින් දැකීමට
නම් පටිච්ච සමුප්පාදය තේරුම් ගැනීම අවශ්‍යමයි. පටිච්චසමුප්පාදයෙන්
කෙරෙන්නේ මෙම ත්‍රිලක්ෂණය විග්‍රහ කිරීමයි, විවරණය කිරීමයි,පැහැදිලි
කිරීමයි, ප්‍රකට කිරීමයි. එසේ නම්, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී‍්‍ර
මුඛයෙන් ම වදාළ ධර්මය යනු ‘පටිච්ච සමුප්පාදයයි ‘ යන්න සිත්හි දරාගෙන එම
ධර්මය තේරුම් ගැනීමට උත්සාහ කළ යුතුයි.
ඒ සමඟම එම ගාථා තුනේ සඳහන් වන ලෙස, ත්‍රිලක්ෂණය නුවණින් දැකීමෙන් දුක
ගැන කලකිරෙතැයි (අථනිබ්බින්දති දුක්ඛෙ) යන්නට ද අපේ අවධානය යොමු විය
යුතුයි.මෙහි දුක්ඛ යන්නෙන් සඳහන් වන්නේත් චතුරාර්ය සත්‍යයේ පළමු සත්‍යය
වන දුක්ඛාර්ය සත්‍යම බව මැනැවින් පැහැදිලි වේ.
මෙහිදී අපි දුක්ඛාර්ය සත්‍යය විස්තර කර ඇති ආකාරය වෙත යොමු වීම වටී.
“ජාතිපි දුක්ඛා, ජරාපි, දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛො, මරණංපි දුක්ඛං,
අප්පියෙහි සම්පයොගො දුක්ඛො, පියෙහි විප්පයොගො දුක්ඛො , යං පිච්ඡං න
ලභතිතම්පි දුක්ඛං සංඛීත්තේන පඤ්චුපාදනක්ඛන්ධයා දුක්ඛා”
මෙහි කියැවෙන ජාති, ජරා, ව්‍යාධි, මරණ සාමාන්‍ය දැක්මෙන්ම අනිත්‍යතාවේ
ප්‍රකට ලක්ෂණද වෙයි. අපි‍්‍රය සම්ප්‍රයෝගය හා පි‍්‍රයයන්ගෙන් වෙන්වීම
සාමාන්‍ය දුකක්ය. කැමැති දෙය නොලැබීම, කැමැති දේ සිදු නොවීම නිසා ඇතිවන
දුක් ජරා , ව්‍යාධි මරණ ආදියටත් සාධාරණ වූ පුළුල් පරාසයක විහිදුණු,
අනවබෝධ බව ප්‍රකට කරන්නකි. මෙහි අවසානයට ඇති “සංඛිත්තෙන
පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා “ යන්න ඉතා වැදගත් වෙයි. පඤ්චස්කන්ධය පිළිබඳ
උපාදානය දුක බව මෙහි කියැවේ. මෙසේ සලකා බලන විට දුක ලෙස දුක්ඛාර්ය
සත්‍යයේදී අදහස් කරන්නේ කුමක්දැයි පැහැදිලි වෙයි. මෙම දුක අප ඇසුරුකොට
අප වටකොට පවතින්නකි. මේ සියලු දුක්ඛ උපාදානය මුල්කොට පවතී.
මේ දුක් හටගන්නා අයුරු’ද්වාදසාංග පටිච්චසමුප්පාදයේ ‘ මැනැවින් දැක්වේ.
මෙහිදී පටිච්චසමුප්පාදය යනු කුමක්දැයි පළමුව සාකච්ඡා කළ යුතුය. ධර්මය
යනු පටිච්ච සමුප්පාදයම බව බුදුරජාණන් වහන්සේම වදාරා ඇති නිසා මෙය ඉතා
වැදගත්වේ.
අස්මිං සති ඉදං හොති
ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති
අස්මිං අසති ඉදං න හොති
ඉමස්ස නිරොධා ඉදං නිරුක්‍ධති
මෙය ඇති කල්හි මෙය ඇත. මෙය ඉපදීමෙන් මෙය උපදී. මෙහි හේතු බලපාන ආකාර
දෙකක් දැක්වේ. මෙය ඇති කල්හි මෙය ඇත යන්නෙන් අදහස් කරන්නේ සාපේක්ෂක
අර්ථයයි. පොල් ගෙඩියකින් පොල් ගසක් හටගැනීමට පොල් ගෙඩියට අමතරව
හිරුඑළිය, වාතය, තෙතමනය , පස හා පසෙන් උරාගන්නා පෝෂක සාපේක්ෂක හේතු ලෙස
සැලකිය හැකිය. මෙසේ සලකා බලන විට පොල්ගස නමැති ඵලය හටගන්නේ හේතු
සමූහයක් එකතු වීමෙනි. එම එක් හේතුවක් නොමැති වුවහොත් එම ඵලය නැතිවිය
හැකිය.
හෙතුං පටිච්ච සම්භූතං
හෙතු භංගා නිරුජ්ක්‍ධති
යනුවෙන් දැක්වෙන්නේ මෙයයි. මෙම හේතු ඵලවාදයේ ඇති වැදගත් කාරණා
කිහිපයක්ම මෙහිදී මතුවේ.
හේතු අතර ප්‍රධාන හේතුවක් නැත.හේතුව තුළ ඵලය නැත. එක හේතුවක් නිසා නොව
හේතු සමූහයක් නිසා ඵලය ජනිත වේ. මේ අනුව, ද්වාදසාංග පටිච්චසමුප්පාදයේ,
දුක හටගන්නා අයුරු විමසා බැලීම සුදුසුය. එහි අග සිට බැලීම වඩාත්
සුදුසුය. ‘ජාති පච්චයා ජරා මරණං සෝක පරිදේව දුක්ඛ දෝමනස්සා සම්භවන්ති”
මෙහි කියැවෙන්නේ ඉපදීම නිසා ජරා, මරණ, සෝක, පරිදේව , දුක් දෝමනස්ස
සියල්ල හටගන්නා බවයි. ඊළඟට මේ ඉපදීමට බලපාන හේතු සලකා බලමු. “භව පච්චයා
ජාති” ලෙස එය දැක්වේ. මෙහි ‘ජාති’ හෙවත් ඉපදීමට මුල්වන පිළිසිඳ ගැනීමට
බලපාන හේතු භවයයි. ‘මහතණ්හාසංඛය’ සූත්‍රයේ දැක්වේ.
මාතා ච උතුනී හොති
මාතා පිතා සන්නිපතිතා හොන්ති
ගන්ධබ්බෝච පච්චුපට්ඨීතො හොති
අථ ගබ්භස්සා වක්ඛන්ති
මව ඍතුවී සිටීම, මව්පිය සමාගමය, ගන්ධබ්බයකුගේ පැමිණීම යන කාරණා
කිහිපයක් නිසා මව්කුස පිළිසිඳ ගැනීම සිදුවේ. පිළිසිඳ ගත් පසුත් ඉපදීම
දක්වාත් මවගේ සෞඛ්‍ය තත්ත්වය, පෝෂණය, දේශගුණ විපර්යාස ආදියත් බලපායි.
මෙහි ‘භව පච්චයා’ ලෙස දැක්වෙන හේතුව ද එසේමය. කර්ම විපාක දීමට සුදුසු
ලෙස සකස් වීම භව ලෙස දැක්වේ. ‘උපාදාන පච්චයා භවො’ භවය සඳහා බලපාන්නේ
උපාදානයයි. උපාදානය යනු දැඩි ලෙස අල්වා ගැනීමයි. එසේ දැඩි ලෙස අල්වා
ගැනීමට හේතු වන්නේ තණ්හාවයි. තණ්හාව ඇති සෑම විටකම එතැන අවිද්‍යාව ද
ඇත.මෙම අවිද්‍යාව, උපාදාන, භව, ජාති ආදී සියලු හේතු සමඟ ද බැඳී පවතී.
මෙම තණ්හාවට, ළං කර ගැනීමට, අයත් කර ගැනීමට ඇති කැමැත්ත මෙන්ම ඈත්
කිරීමට,ඉවත් කිරීමට ඇති කැමැත්ත, ද ඇතුළත් වේ.
මේ තණ්හාව ඇති වන්නේ වින්දන නිසාය. “වේදනා පච්චයා තණ්හා” වින්දන ඇති
වන්නේ ස්පර්ශය නිසාය. “ඵස්ස පච්චයා වේදනා”මේ ස්පර්ශය ලෙස ගන්නේ ෂඩ්
ඉන්ද්‍රියයන් හා අරමුණු එක්වීමයි. එවිට ස්පර්ශයට හේතුව වන්නේ
සළායතනයයි. සළායතනයන්ට හේතු වන්නේ නාමරූපයි. නාමරූප වලට හේතුව වන්නේ
විඤ්ඤාණයයි. විඤ්ඤාණයට හේතුව වන්නේ සංස්කාරයයි. සංස්කාරවලට හේතුව වන්නේ
අවිද්‍යාවයි.
මෙම හේතු ඵල සමූහය සම්මතයක් ලෙස ගෙන බැලීමේදී මෙසේ කිව හැකියි.අතීතයේදී
අපි අවිද්‍යාවත්, තෘෂ්ණාවත් නිසා සංස්කාර රැස් කළෙමු.මෙම සංස්කාර නිසා
එම භවය අවසන් කරන විට නැවත භවයක පිළිසඳ ගැනීම වෙයි.
එනම් “ඡුද්ධො අපෙත විඤ්ඤාණො, නිරත්ථංව කලිංගරා” පහවූ විඤ්ඤාණය ඇති
ශරීරය දර කැබැල්ලක් මෙනි. මරණය සිදුවන අවස්ථාවේ අවසන් සිත ‘චුති
චිත්තය’ ලෙස හැඳින්වේ. චුති චිත්තයට අරමුණ වන්නේ කම්ම,කම්ම නිමිති හෝ
ගති නිමිති යන තුනෙන් එකකි. එනම් ඔහු කර ඇති කර්මවල ප්‍රබලතාව අනුව ඊළඟ
භවය සකස්වීමට ඉදිරිපත්වන කර්මයම හෝ කර්මය කිරීමට උදව් වූ නිමිත්තක් හෝ
කර්මානුරූපව උපදින ඊළඟ භවයේ ලකුණු යන නිමිති තුනෙන් එකක් චුති සිතට
අරමුණ වේ.
චුත සිත අනුව ඊළඟ භවයේ ප්‍රතිසන්ධි සිත හටගනී. එය මහා තණ්හා සංඛය
සූත්‍රයේදී වදාළ පරිදි, අනෙකුත් හේතුන්ද සම්පූර්ණ වීමෙනි.
පඤ්චස්කන්ධයෙන් එකක් වන විඤ්ඤාණය තනිව නොපවතී. චුති සිතත් සමඟ එම භවයට
අදාළ චිත්ත පරම්පරාව අවසන්වෙයි. හෙවත් සංස්කාර අරමුණු කරගත් චුති සිතේ
ඵලය වන්නේ පටිසන්ධි විඤ්ඤාණයයි. එය එක් වන්නේ මව්කුස පිළිසිඳගත් නව
කලලය හෙවත් රූපස්කන්ධය සමගයි. ‘විඤ්ඤාණ පච්චයා නාම රූපං ‘ ලෙස
දැක්වෙන්නේ මේ තත්ත්වයයි. මෙම නාමරූපයන්ගෙන් ඒ ෂඩ්ඉන්ද්‍රියයන් හටගනී.
ෂඩින්ද්‍රියයන් නම් ඇස, කන, නාසය, දිව, ශරීරය හා මනැසයි. මේවාට ගෝචරවන
අරමුණු නම් රූප, ශබ්ද, ගන්ධ ,රස, ස්පර්ශ හා ධර්මයි. මෙම ඉන්ද්‍රියයන්
හා අරමුණ එකට ගත්විට සළායතන ලෙස දැක්වේ. මෙම සළායතන නිසා ස්පර්ශය
සිදුවේ. ස්පර්ශය නිසා වින්දන හටගනී. වින්දන නිසා සුඛවේදනා, දුක්ඛ
වේදනා,අදුක්ඛම සුඛවේදනා යයි කොටස් තුනකි. සුඛ වේදනා ළංකර ගැනීමටත්
දුක්වේදනා ඈත් කිරීමටත් පෙළැඹීම තණ්හාවයි. ඇස පිනවන රූපත් කන පිනවන
ශබ්දත්, නාසය පිනවන සුවඳත් දිව පිනවන රසයත්, ශරීරය පිනවන ස්පර්ශයත්
ළංකර ගැනීමටත් අපි‍්‍රය දේ ඉවත් කිරීමටත් ඇතිවන හැඟීම තෘෂ්ණාව ලෙස
හැඳින්වේ. රූපාදී අරමුණු පඤ්චකාමය ලෙසත් හැඳින්වේ. මේවායේ ලක්ෂණ ‘ඉට්ඨා
කන්තා මනාපා විරූපා, කාවුස සංහිතා රජනයා “ ලෙස දැක්වෙයි. මේ ලක්ෂණ නිසා
මේවාට කෙරෙන ආශාව, බැඳීම තෘෂ්ණාවයි. මෙහිදී විශේෂයෙන් මතක තබාගත
යුත්තක් නම් මෙම ආශාවන් ඇති වන්නේ මෝහය හෙවත් අවිද්‍යාවත් මේ සමඟම
පවතින නිසයි. කාමයන්ගේ ආස්වාද පැත්ත පමණක් නොබලා ආදීනවද නිස්සරණයද
දකින්නේ නම් එම තෘෂ්ණාව හට නොගනී. මෙම අවිද්‍යාවත් තෘෂ්ණාවත් උපාදානයත්
යනු සංස්කාරයන්මය. එම සංස්කාර නිසා නැවත භවයත්, ඒ නිසා ඉපදීමත්, ඉපදීම
නිසා ජරා මරණ සෝක පරිදේව දුක්ඛදෝමනස්සයනුත් හටගනී.
මේ අනුව, නැවත නැවත ඉපදී සසර දුකට පත්වන්නේ තණ්හා උපාදාන හේතුවෙන්
රැස්වන සංස්කාර නිසාය. දුක්ඛ සත්‍යය හෙවත් කාමයන් පිළිබඳ යථාවබෝධයෙන්
එනම් ත්‍රිලක්ෂණය අවබෝධ කර ගැනීමෙන් අවිද්‍යාව දුරුව තෘෂ්ණාව නැසීමෙන්
දුක නැතිකර නිර්වාණය අවබෝධ කළ හැකිය. චතුරාර්ය සත්‍ය දැකීම හෝ පටිච්ච
සමුප්පාදය දැකීම හෝ ත්‍රිලක්‍ෂණය දැකීම යන කවර ආකාරයෙන් කීවත් ඒ සෑම
දෙයින්ම අදහස් කරන්නේ ධර්මය දැකීමයි.
ඔබ සැමට තෙරුවන් සරණයි!
|