පිරිනිවුණි ඒ
නිකෙලෙස්
රහත් හිමිවරු
26
සුභූත
මහරහතන් වහන්සේ
පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපු නිර්මාතෘ
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
මල කොතරම් ලස්සන වුණත් කොයි තරම්
පැහැපත් වුණත් සුවඳක් නැතිනම් වැඩක් නැහැ. සුභාෂිත දහම් පද කොයිතරම්
කථා කළත්
අනුගමනය
කිරීමක් නැතිනම් වැඩක් නැහැ.
සංසාර ගමන යනු අතිශයින්ම බිහිසුණු වූවකි. දෙව් මිනිස් සුගති ජීවිතත්,
නිරය තිරිසන් ලෝකය ,පේ‍්‍රත ලෝකය, අසුර නිකාය ආදී දුගති ජීවිතත් අතර
ඉපදෙමින් මැරෙමින් යන මේ සසර ගමන බුදුරජාණන් වහ්නසේ උපමා කොට වදාළේ
අතිබිහිසුණු වේගවත් සැඩ පහරකට යි. සැඩ පහරට වැටී එතෙර වනු නො හැකිව
පහළට ම ගසාගෙන යන්නා සේ සසරේ සැරිසරන සත්ත්වයෝ බොහෝ දෙනෙක් දුක කරාම
යළි යළිත් ගමන් කරති. ඉන් එතෙර වන්නේ අතළොස්සකි. මේ මිනිසුන් අතරින්
යමෙක් සසර සැඩ පහරින් එතෙර වෙත් ද ඒ ඉතා අල්ප පිරිසකි. අවශේෂ සියලුම
සත්ව ප්‍රජාව යළි යළිත් සැඩ පහරට අනුව ම ගමන් කරති.
මේ සංසාර ඕඝයෙන් පළමුවෙන්ම එතෙර වූයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ය.
ඒ සම්බුදුරජාණන් වහන්සේලාගේ නුවණින් පෙන්වා වදාළ සසරින් එතෙර කරවන
ශ්‍රී සද්ධර්මයට අනුවම දිවි ගෙවූ ප්‍රඥාවන්තයින්ට ද ඝෝර වූ සසරින් එතෙර
වීමේ භාග්‍යය උදාවිය. ඒ උතුම් මහරහතන් වහන්සේලා ය. ගෞතම බුදු සසුන තුළ
සසර දුක් සංසිඳුවාගෙන අමා නිවනට පත් වූ “සුභූත” නම් උතුම් මහරහතන්
වහන්සේ ගැන අද අපි සිත පහදවා ගනිමු.
මේ මහා භද්‍ර කල්පයේ ආයුෂ අවුරුදු විසි දහසක් වූ මිනිසුන් ජීවත් වූ
යුගයක් විය. එකල කාශ්‍යප අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී
වදාළ සේක. සුභූත තෙරුන් එකල බරණැස් නුවර මහත් වූ ධන සම්පත් ඇති බමුණු
පවුලක උපත ලැබුවා. තරුණ වියේදී මේ කුමාරයාට කාශ්‍යප බුදුරජාණන්
වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කිරීමට වාසනාවක් උදා වුණා. ‘යමෙක් දන් පැන්
පූජා කරයිද ඔහු මහත් භෝග සම්පත් ලබන්නෙක් වේ. යමෙක් සිල් සුරකී ද ඔහු
සුගතියේ උපදින්නෙක් වේ. යමෙක් භාවනාවෙන් සිත දමනය කරයි ද ඔහු සියලු
කෙලෙස් සංසිඳුවාගෙන පිරිනිවන් පාන්නෙක් වේ’ යනාදි වශයෙන් බුදුරජාණන්
වහන්සේ වදාළ ඒ මිහිරි ධර්මයට මේ කුමාරයාගේ සිත බොහෝ සෙයින් පැහැදුණා.
එතැන් පටන් ඔහු තෙරුවන් සරණ ගිය සීලවන්ත උපාසකයෙක් බවට පත්වුණා.
මාසයකට අට වතාවක් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටිය පිරිසුදු
කිරීමේ දුර්ලභ අවස්ථාව මේ තරුණයාට උදාවුණා. මහත් වූ සතුටින් සුවඳ වර්ග
හතරක් මිශ්‍ර කොට සාදා ගත් සුවඳ පැනින් ඔහු ගන්ධ කුටිය දෝවනය කළා. බොහෝ
කාලයක් නො වෙනස් වන සතුටකින් ඔහු මේ බුද්ධෝපස්ථානය ඉටුකළා. දිනක්
කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මේ අයුරින් ඔහුගේ පින වර්ණනා කළා. ‘යමෙක් මේ
ගඳකිළියේ බිම නොයෙක් වාරයක් සුවඳ පැනින් දෝවනය කළේද, එහි විපාක වශයෙන්
උපනුපන් සෑම ආත්මයකම මොහුගේ ශරීරය සුවඳවත් වන්නේ ය. අවසන් ආත්ම භාවයේ
ගුණ සුවඳින් මුහුකුරා ගොස් ආශ්‍රව දුරුකොට පිරිනිවන් පාන්නේය’ ඉන් වඩ
වඩාත් සතුටට පත් වූ මේ තරුණයා තවත් බොහෝ පින් රැස්කොට මරණින් මතු දෙව්
ලොව උපත ලැබුවා.
මේ මහා භද්‍ර කල්පයේ ම මිනිසුන්ගේ ආයුෂ අවුරුදු එකසිය විස්ස දක්වා
පිරිහී ගිය යුගයේ යළිත් අපගේ ශාස්තෘ වූ ගෞතම සම්මා සම්බුදුරජාණන්
වහන්සේ ලොව පහළ වී වදාළා. දෙව් ලොවින් චුත වී හෙතෙමේ මගධයේ බ්‍රාහ්මණ
පවුලක බැමිණියකගේ කුසේ පිළිසිඳ ගත්තා. පිළිසිඳ ගත් මොහොතේ පටන් මව්
බැමිණියගේ සිරුර සම්පූර්ණයෙන්ම සුවඳවත් වුණා. යම් දිනෙක මව් කුසින්
බිහි වූයේද එදින මුළු නුවරම සුවඳ පැතිරී ගියා. ඔහු නිසා මුළු නිවසම
නිරන්තරයෙන් සුවඳවත් වුණා. සුභූත නම් වූ මොහු තරුණ වියට එළඹෙත්ම කාම
සම්පත් අත්හැර දමා තිර්ථකයන් කරා ගියා.
එකල භාග්‍යවතුන් වහන්සේ හමුවට සේල නම් තවුසෙක් පැමිණුනා. දෙසිත් මහා
පුරිස ලකුණින් සෝභමාන වූ බුදුරජාණන් වහන්සේව දුටු පමණින් පැහැදී දහම්
කතාවෙන් පසු තම තුන්සියයක් වූ ගෝල පිරිසද සමඟින් ‘සේල තවුසා’ බුදු
සසුනේ පැවිදි වුණා. සත් දිනකින් ඒ තුන්සියයක් පිරිස අරහත්වයට පත් වුණා.
මේ අසිරිය දුටු සුභූත තරුණයා තීර්ථකයන් අත්හැර බුදුරජාණන් වහන්සේ
සමීපයේ උතුම් පැවිදි බව ලැබුවා. ඉතාමත් සුළු කලකින් භාග්‍යවතුන්
වහන්සේගේ අවවාදයට අනුවම ජීවිතය ගත කොට සුභූ®ත ස්වාමින්වහන්සේ උතුම්
අර්ත්වයට පත් වී වදාළා. මහා පුණ්‍යවන්ත උන්වහන්සේ අරහත්වයට පත්වන
මොහොතේදී ද ඒ මුළු නුවරම සුවඳ පැතිරී ගියා. දෙවිවරු අහසින් සුවඳ මල්
පූජා කළා. සුවඳවත් මල් වරුසා ඇද හැලුණා.
සසර නම් වූ ඝෝර කතර තුළ කලාතුරකින් මුණ ගැසෙන ක්ෂේම භූ®මියක් බඳු වූ
අමා මහ නිවනට පත් වූ සුභූත මහරහතන් වහන්සේ මේ ගාථාවන් ප්‍රකාශ කොට
වදාළා.
අයෝගේ යුඤ්ජමන්තානං
පුරිසෝ කිච්ච මිච්ඡතෝ
චරඤ්චෙ නාධිගච්ඡෙය්‍ය
තම්මේ දුබ්භග ලක්ඛණං
එයා කැමැති වන්නේ යහපතයි. නමුත් තමා යොදවා තිබෙන්නේ වැරදි පාරක. ඒ
වැරදි මගේ කොයි තරම් හැසිරුණත් යහපතක් උදාකර ගන්න බැහැ. ඒක තමයි
අවාසනාවේ සලකුණ.
අබ්බූළ්හං අඝතං විජිතං
ඒකං චේ ඔස්සජෙය්‍ය කලීව සියා
සබ්බානිපි චේ ඔස්සජෙය්‍ය අන්ධෝව සියා
සමවිසමස්ස අදස්සනතෝ
කෙලෙස් නැති කරන්නේ නැතිව, ඒ සඳහා තිබෙන එකම ධර්මය වන ‘අප්‍රමාදය’
අතහැරියොත් ඒක මහා අවාසනාවක්. සියලු කුසල් දහම් අත හැරියොත් එයාට යහපත
අයහපත දකින්න බැහැ. එයා අන්ධයෙක්.
යංහි කයිරා තංහි වදේ
යං න කයිරා න තං වදේ
අකරොන්තං භාසමානානං
පරිජානන්ති පණ්ඩිතා
යමක් කරනවා නම් කිව යුත්තේ එයයි. නො කරන දේවල් කිව යුතු නැත. නො කරන දේ
කිය කියා සිටින කෙනාට බුද්ධිමතුන් ගරහනවා.
යථාපි රුචිරං පුප්ඵං
වණ්ණවන්තං අගන්ධකං
ඒවා සුභාසිතා වාචා
අඵලා හෝති අකුබ්බතෝ
මල කොතරම් ලස්සන වුණත් කොයි තරම් පැහැපත් වුණත් සුවඳක් නැතිනම් වැඩක්
නැහැ. සුභාෂිත දහම් පද කොයිතරම් කථා කළත් අනුගමනය කිරීමක් නැතිනම්
වැඩක් නැහැ.
යථාපි රුචිරං පුප්ඵං
වණ්ණවන්තං සගන්ධකං
ඒවා සුභාසිතා වාචා
සඵලා හෝති සකුබ්බතෝ
ලස්සන පැහැපත් මල වටින්නේ සුවඳ තිබුණොත් විතරයි. ඒ වගේම සුභාෂිත දහම්
පද වටින්නේ අනුගමනය කරන විට පමණයි.
සැබැවින්ම සුභාෂිත වූ දහම් පද යමෙක් අනුගමනය කරනවා නම් ඔහුට ධර්මය
තුළින් බුදුරජාණන් වහන්සේ දකිමින් බුදුරජාණන් වහන්සේට සමීප වී වාසය
කිරීමට පුළුවනි. නමුත් ධර්මයේ නො හැසිරී කිසිදා බුදුරජාණන් වහන්සේ නමක්
දැක ගත නො හැකිය. ඒ බව ධර්මස්වාමි වූ බුදුරජාණන් වහන්සේ සංඝාටිකණ්ණ නම්
සූත්‍ර දේශනාවේ පෙන්වා වදාළ සේක. ‘පින්වත් මහණෙනි භික්ෂුවක් ඉන්නවා ඔහු
මගේ සිවුරේ කොණ අල්ලාගෙන මගේ පියවර අනුව පියවර තබින් පසුපසින් පසු
පසින් එනවා. ඒත් ඔහු දැඩි ලෝභි කෙනෙක් නම්, පංචකාමයන් පිළිබඳව දැඩිව
ඇළුනු කෙනෙක් නම්, විපරිත වෙච්ච සිතක් ඇති කෙනෙක් නම්, දූෂිත වෙච්ච
අදහස් ඇති කෙනෙක් නම් සිහිමුලා නම්, මනා වූ ප්‍රඥාව නැතිනම්, එකග
සිතක් නැති අයෙක් නම්, බිරාන්ත වූ සිතක් ඇතිනම්, ඉන්ද්‍රිය සංවරය නැති
කෙනෙක් නම් ඒ නිසාම ඔහු ඉන්නේ මට වඩා ගොඩාක් දුරින්. මමත් ඉන්නේ ඔහුට
ගොඩාක් දුරින්. ඒකට හේතුව මොකක් ද? පින්වත් මහණෙනි, ඒ භික්ෂුව ධර්මය
දකින්නේ නැහැ. ධර්මය නො දකින නිසා මා දකින්නෙත් නැහැ.
පින්වත් මහණෙනි, භික්ෂුවක් ඉන්නවා. ඔහු ඉන්නේ මට වඩා යොදුන් සියයක්
දුරින්. ඔහු ලෝභය නැති, පංචකාමය පිළිබඳව දැඩි ආශා නැති කෙනෙක්. නොයෙක්
විපරිත සිතක් තිබෙන කෙනෙකුත් නොවෙයි. දූෂිත වූ අදහස් ඇති කෙනෙකුත්
නොවෙයි. ඉතා හොඳින් සිහියේ පිහිටලයි ඉන්නේ. හොඳ ප්‍රඥාවකිනුයි ඉන්නේ.
සමාධිමත් සිතකුත් තිබෙනවා. එකඟ වූ සිතකුත් තිබෙනවා. ඉන්ද්‍රියනුත්
සංවරයි. පින්වත් මහණෙනි, ඒ නිසාම ඔහු ඉන්නේ මගේ ළඟින්ම යි. මමත් ඉන්නේ
ඔහුගේ ළඟින්ම යි. ඒකට හේතුව කුමක් ද? පින්වත් මහණෙනි, ඒ භික්ෂුව ධර්මය
දකිනවා. ධර්මය දකින නිසා මාව දකිනවා.
ඒත් මේ ධර්මය හොඳට අවබෝධ කරගත් ධර්මය දන්න ඤාණවන්ත අය ඉන්නවා.
තණ්හාවෙන් තොර වූ ඔවුන් සංසිඳෙන්නේ හරියට හුළං හමන්නේ නැති තැනක තියෙන
නිසල විලක් වගෙයි.
ඒ රහත් භික්ෂුව නිකෙලෙස් අය අතර නිකෙලෙස් කෙනෙක්. නිවුණු අය අතර නිවුණු
කෙනෙක්. ගිජු නොවු අය අතර ගිජු නොවු කෙනෙක්. බුදුරජුන් සමීපයේ ම මොහු
සිටින හැටි බලන්න.
ඒ උතුම් මහ රහතන් වහන්සේලා සෙයින් අපටද සුභාෂිත වූ මිහිරි ශ්‍රී
සද්ධර්මය අප්‍රමාදීව අනුගමනය කළොත් බුදුරජාණන් වහන්සේගේත් උදාර
සත්පුරුෂයින්ගේත් ප්‍රශංසාවට ලක්වන වාසනාවන්ත ජීවිත උපදවා ගන්නට හැකි
වේවි.
සටහන: නයනා නිල්මිණි
පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු 25 රාජදත්ත මහරහතන් වහන්සේ |