කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති , රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන
සංඝ නායකව වැඩ විසූ, උපාධ්‍යාය, ආචාර්ය
අලුත්වැව සෝරත නා හිමියන්ගේ තෙමස් ගුණ සමරුව නිමිත්තෙනි. 2006.04.13 වනදා බුදුසරණ පත්‍රයේ පළවූ
මෙමලිපිය උන්වහන්සේට උපහාර පිණිස නැවත පළ කරන ලදී.
බුදු දහම අනුව,
ලෝකෝත්තර තත්ත්වයට පත්වීම සංසාර විමුක්තියයි. ඒ සඳහා පින් තියෙන්නෙ
ඕනෑ.
පින් තියෙන්නට නම්
පින් කරන්නට ඕනෑ. ගාථාවේ “පුඤ්ඤකරා” යන පදයෙන් කියන්නේ පින් කිරීමයි.
පින් කියන්නේ
යහපත් ක්‍රියාවන්ටයි. පින් කියන වචනයට
අටුවාවෙහි දෙන
නිර්වචනය,
“ චිත්තං පුනාතීති පුඤ්ඤං “ යනුයි. එහි තේරුම ‘පින්’ කියන්නේ සිතෙහි
ඇති වන සතුටයි.
නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
“යෙ ගහට්ඨා පුඤ්ඤකරා
සීල වන්තා උපාසකා
ධම්මේන දාරං පෝසෙන්ති
තං නමස්සාමි මාතලී”
පින්වත්නි ,
බුදු දහම අනුව ජීවිතය හැඩ ගස්වා ගෙන ලෞකික, ලෝකෝත්තර සුව ළඟා කර ගන්නට
උත්සාහ කරන බෞද්ධ පින්වතුන්ට මෙන්ම සැපවත් ජීවිතයක් ගත කරන්නට කැමැති
ඕනෑම සත් පුරුෂයකුට බුදු දහමෙන් ලබා ගත හැකි ශාන්තිය ඉතා විශාලය. ලෞකික
ජීවිත ගත කරන පෘථග්ජන හැම කෙනකුම සැප විඳින්නට කැමැතියි. බුදු දහමෙන්
ඉදිරිපත් වන්නේ ඒ සඳහා අනුගමනය කළ හැකි අර්ථවත් සාර්ථක දර්ශනයකි.
වර්තමාන සමාජයේ බණ දන්නා , බණ අසනා පින්වතුන් බහුල වුවත්, ඒ බණ අනුව
කටයුතු කරන අය විරල විය හැකියි. සමාජයේ ප්‍රශ්න වැඩි වෙලා,ජීවිතය දුකක්
කරගෙන බොහෝ දෙනා පසුතැවිලි වන්නේ ඒ නිසයි. නිතර බණ අහන එක ඉතාම හොඳ
දෙයක්. ඒත් එසේ අසන ධර්මයෙන් ප්‍රයෝජන ලබා ගන්නට නම් ඒ ධර්මය සිතේ ධාරණය
කරගෙන ඒ ධර්මය අනුව ජීවිතය සකස් කර ගත යුතුයි. “ සුනාථ ධාරේථ චරාථ
ධම්මෙ” යන බුදු වදනින් පෙන්වා දී ඇත්තේත් එයයි. එ නිසා තුණුරුවන්
කෙරෙහි ශ්‍රද්ධාභක්තිය උපදවා ගෙන ධර්මය අසා ඉන් ප්‍රයෝජන ලබා ගැනීමට
සිතට ගැනීම හොඳයි.
අද ධර්ම දේශනය සඳහා මාතෘකාව වශයෙන් අප තෝරාගත්තේ සංයුක්ත නිකායේ සක්ක
සංයුක්තයේ “ සක්ක නමස්සන සූත්‍ර” දේශනාවේ එන ගාථාවක්.බුදුරජාණන් වහන්සේ
භික්ෂු සංඝයා අමතා කළ දේශනයක් වන මෙහි විස්තර වන්නේ, දෙදෙව් ලොවට
අධිපති ශක්‍රදේවේන්ද්‍රයාත්, ඔහුගේ රියැදුරා වූ “මාතලී” දිව්‍ය
පුත්‍රයාත් අතර ඇති වූ සංවාදයක්. ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, ආදි මනුෂ්‍යයන්
හා සතරවරම් දෙවිවරුන් ඇතුළු සමස්ත දේව ප්‍රජාව නිරන්තරයෙන්ම ශක්‍ර
දේවේන්ද්‍රයාට නමස්කාර කරන බව පවසන, “මාතලී” එවන් වූ ශක්‍රයාගෙන්
වැඳුම් ලබන්නෝ කවරහු දැයි මාතලී “ශක්‍රයාගෙන් විමසා සිටියි. එහිදී
“ශක්‍රයා” දෙන පිළිතුරු ඉහත අප සඳහන් කළ ගාථාවයි. එහි තේරුම, “මාතලිය,
පින් කරන, ශීලවන්ත වු දැහැමි අඹුදරුවන් පෝෂණය කරන ගෘහපතියන්ට
(ගිහියන්ට) මම නමස්කාර කරමි” යනුයි.
ශක්‍රයාගේ මෙම පිළිතුර බොහෝම ගැඹුරින් සිතන්නට අප පොළඹවන්නක් බව
පළමුවෙන්ම තේරුම්ගත යුතුයි. ඈත අතීතයේ සිටම දෙවියන්ට වැඳුම් පිදුම්
කිරීමේ පුරුද්දක් ජනතාව තුළ තියෙනවා.
අපෙන් වැඳුම් ගන්න දෙවිවරුන් ශක්‍රයාට වැඳුම් පිදුම් කරන බවයි. “මාතලී”
කියන්නෙ ඊළඟට ඒ ශක්‍රයාම කියන්නේ. තමන් දැහැමි, සිල්වත් ගිහියන්ටත් වඳින
බවයි. ශක්‍රයාගෙන් වැඳුම්පිදුම් ලබන්නට හැකියාව ලබා ගත හැකි මනුෂ්‍යයා
දෙවියන්ට වැඳුම් පිදුම් කරන්නේ ඇයි? අප තුළ දැහැමි බව, සිල්වත්කම අඩු
නිසා නේද කියල කිව්වොත් ඒක වැරදි නෑ. එහෙම නම් අප සිතට ගත යුත්තේ
විශ්වයේ ජීවත්වන උතුම්ම සත්ත්ව කොට්ඨාසය වන අප ඒ උතුම්කම රැක ගැනීමටයි.
බුදු දහම අනුව,ලෝකෝත්තර තත්ත්වයට පත්වීම සංසාර විමුක්තියයි. ඒ සඳහා
පින් තියෙන්නෙ ඕනෑ. පින් තියෙන්නට නම් පින් කරන්නට ඕනෑ. ගාථාවේ
“පුඤ්ඤකරා” යන පදයෙන් කියන්නේ පින් කිරීමයි.
පින් කියන්නේ යහපත් ක්‍රියාවන්ටයි. පින් කියන වචනයට අටුවාවෙහි දෙන
නිර්වචනය, “ චිත්තං පුනාතීති පුඤ්ඤං “ යනුයි. එහි තේරුම ‘පින්’ කියන්නේ
සිතෙහි ඇති වන සතුටයි.
ඒක තව දුරටත් විමසා බැලුවොත්, කිසි යම් ක්‍රියාවකින් තුන් සිත පැහැදේ
නම්, සතුටට පත්වේ නම් එය සැබෑ පිනක් බව තේරුම් ගන්න ට පිළිවන්. තුන්
සිත කියන්නෙ යම් ක්‍රියාවක් කරන්නට පෙර, කරනවිට, සහ පසුව මෙනෙහි කරන
විට ඇති වන සිත් වලටයි.
පූර්ව චේතනා , මුඤ්චන චේතනා, අපර චේතනා යනුවෙන් බුදු දහමේ ඉගැන්වෙන්නේ
එයයි. අයහපත් ක්‍රියාවකින් කවදාවත් තුන් සිත සතුටු වෙන්නෙ නෑ. අයහපත්
ක්‍රියාවකින් කෙනෙකු සතුටක් ලැබිය හැකි වුවත්, එය තාවකාලිකය. එහෙත්
යහපත් ක්‍රියාවකින් ලබන සතුට මෙලොව පරලොව දෙකේම ලැබෙනව.
“ඉධ මෝදති- පෙච්ච මෝදති
කත පුඤ්ඤෝ උභයත්ථ මෝදති
පුඤ්ඤං මේ කතංති මෝදති
භියෝ මෝදති සුග්ගතිං ගතෝ”
යන ගාථාවෙන් පැවසෙන්නේ පින් කළ තැනැත්තා මේ ලෝකයෙහිත්, පරලොවෙදීත් යන
දෙකෙහිම සතුටුව සැප විඳින බවයි.
පින් කරන්නට ධනය ම වුවමනා නෑ. පුණ්‍ය චේතනාවයි වුවමනා කරන්නෙ. පිනක්
මහත්ඵල මහානිසංස වන්නේ පුණ්‍ය චේතනාව අනුව මිස වැය කරන මුදල හෝ ශ්‍රමය
නොවන බවයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියෙන්නෙ.
එහෙම බලනකොට අපට ඕනෑ තරම් පින් රැස් කරගන්නට පුළුවන්. සිත, කය, වචනය
සංවර කරගෙන, අලෝභ, අදෝෂ, අමෝහ යන කුසල සිතිවිලි මුල් කරගෙන කරන හැම
කාර්යයක්ම මහත්ඵල මහානිසංස පිනක්.
“ සීලවන්තා “ කියන්නෙ සිල් රැකීම, පන්සිල්, අටසිල්, දසසිල්, ආදි වශයෙන්
ගෘහස්ථ ශීලයේ ප්‍රභේද තියෙනව. අඩුම තරමින් හරියාකාර පන්සිල් රකිනවා නම්
එය උසස්ම ශිලවන්තකමක් ලැබීමට හේතු වන බව සිතා ගන්නට ඕනෑ. ඒක අමාරු
දෙයක් නෙමෙයි.
ශීලයෙන් සිත කය වචනය සංවරවෙනව. සංවරකම පෞද්ගලික ජීවිතයට වගේම සමාජ
ජීවිතයටත් හිතකරයි.
“ධම්මේන දාරං පෝසෙත්ති “ යන්නෙන් කියැවෙන්නේ දැහැමින් අඹුදරුවන් පෝෂණය
කිරීමයි. එය යහපත් පවුල් ජීවිතයකට මෙන්ම යහපත් සමාජයකටත් හොඳ
අත්තිවාරමක්. දැහැමෙන් අඹු දරුවන් පෝෂණය කළ යුතු ආකාරය සිඟාලෝවාද
සූත්‍රයෙන් මනාව පැහැදිලි කර දී ඇති බව මතක් කරන්නට කැමතියි. එක් එක්
පාර්ශ්වයකින් අනෙක් පාර්ශ්වයන්ට ඉටු විය යුතු යුතුකම් සහ වගකීම ඉතාම
ප්‍රායෝගික විදියට එම සූත්‍ර දේශනාවෙන් පෙන්වා දී තිබෙනවා පමණක්
නොවෙයි, ඉන් ලැබෙන යහපත් ප්‍රතිවිපාකත් පෙන්වා දී තිබෙනව.
මේ ආකාරයට තමන්ගේ ජීවිතය සකස් කරගත් ගිහියන්ට පවා ශක්‍රයා නමස්කාර කරන
බවයි.ඉහත ගාථාවෙන් කියැවෙන්නේ
ශක්‍රයාගෙන් වැඳුම් ලැබුණත් නැතත් එබඳු දිවියකට නැඹුරුවීම දෙලොව ජය
ගන්නටත් එමගින් සසර දුකින් මිදී අමා මහ නිවන් සුව ළඟා කර ගන්නටත්
හේතුවන බව සිතට ගැනීම හොඳයි. ධර්ම ශ්‍රවණයේ ප්‍රතිඵල ලැබෙන්නේ එය
ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතයට සම්බන්ධ කර ගැනීමෙනුයි. එබැවින් මේ උතුම්
පොහෝ දිනයේදී මේ අගනා දහම් සිතිවිලි සිතට ගෙන දිවිමඟ සරුකර ගෙන සසර
දුකින් මිදෙන්නට උත්සාහ ගන්න.
සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා |