උඳුවප් අමාවක 2013 දෙසැම්බර් 25 වන දා
දිවිමඟ
අනාදිමත් කාලයක් මුළුල්ලෙහි සත්වයා සංසාර ගමනේ සැරිසරයි. ඒ සසර
ගමනේ ස්වභාවය නිසාය. වාසනාවට මෙන් කලාතුරකින් දුර්ලභව ලබා
ගන්නා මිනිසත් භවය වාසනාවන්ත කර ගැනීමට මනුෂ්‍යයා උත්සාහ කරනු
ලැබේ.
සිතීමේ හා විමසීමේ ශක්තිය ඇති මනුෂ්‍යයා බුද්ධිමත්ව කල්පනා
කිරීමෙන් ස්වකීය ජීවිතය ම¼ගින් මෙලොව ජීවිතය සාර්ථක කර ගැනීමට
පෙළඹෙයි. බෞද්ධයා තම මෙලොව ජීවිතය පමණක් නොව පරලොව ජීවිතය ද
වාසනාවන්ත කර ගැනීමට උනන්දු වෙයි.
බෞද්ධයා බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් සරණ ගිය අයෙකි. මෙම
තුනුරුවන හැර අගනා යමක් ඔහුට තවත් නැත. පුද්ගලයාගේ ලෞකික
ජීවිතයේ සාර්ථකත්වය ලෙස සම්මත දෑ බොහෝ ඇතත් ඒ සියල්ලට වඩා
මෙලොව සහ පරලොව යන දෙලොව දියුණුවටම බෞද්ධයාගේ පිහිටවනුයේ උතුම්
තුනුරුවනමය.
නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මෙ සරණං වරං.... මට ලොව්තුරා
බුදුරජාණන් වහන්සේගේ පිහිටයි. පිළිසරණයි. උන්වහන්සේගේ ධර්ම
රත්නයෙහි පිහිටයි. පිළිසරණයි. එමෙන්ම සඟරුවනෙහි පිහිටයි.
පිළිසරණයි යනුවෙන් දුක සැප දෙකෙහිදීම තෙරුවන් සිහිපත් කරනුයේ
බෞද්ධයාය.
සැබැවින්ම තෙරුවන් සරණ ගිය සැදැහැවත් බෞද්ධයා තම ජීවිතය මෙන්
තෙරුවන් කෙරෙහි ගෞරවය දක්වනු ලැබේ. එසේ වන බෞද්ධයා බුද්ධිමත්ව
කටයුතු කිරීම නිසා තිසරණ සරණ හැර අන් සරණක් අපේක්‍ෂා නොකෙරේ.
තම දිවි පරදුවට තබා හෝ බුදුරජාණන් වහන්සේ හැර වෙනත්
ශාස්තෘවරයකු නොපතයි.
විහාරස්ථානය, විහාර මන්දිරය දාගැබ බෝමළුව ආදී සෑම බෞද්ධ පූජනීය
ස්ථානයකදීම බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ වෙසෙතියි කල්පනා
කරමින් සන්සුන්ව මෙන්ම සංවරව හැසිරෙයි.
එසේ සංයම වූ සිත වෙනත් බාහිර දේ පිළිබඳ නොසිතයි.
හෙළ බොදු සංස්කෘතියට අනුව සිදු කැරෙන කවර තරාතිරමක ආගමික
කටයුත්තකට වුවද ශ්‍රද්ධාවෙන් මෙන්ම ගෞරවයෙන් ඊට දායකත්වය,
අනුග්‍රහය දක්වයි. එමෙන්ම සහාය වෙයි. තම යුතුකම ඊට නිසි ලෙස
ඉටුකරයි.
මේ අයුරින් කටයුතු කරන බෞද්ධයා අදැහැමි ජීවිකාවෙන් වෙන් වෙයි.
නිති පන්සිල් සුරකියි. ඉඩ ලැබෙන අයුරෙන් පින් දහම්හි නිරත වී
ගුණ දහම් පෝෂණය කර ගනු ලැබේ. පොහෝ දා පෙහෙවස් සමාදන් වෙයි.
පන්සල වෙත යොමු වෙයි. ඒ නිසා ම තෙරුවන් විෂයෙහි පවත්වනු ලබන
පුද පෙරහරට එක්වෙයි.
සුදෝ සුදුවතින් සැරසී තෙල්මල් සුවඳ රැගෙන ආගමික කටයුතුවලට
එක්වෙයි. කවර අයෙක් කරන බෞද්ධ ආගමික කටයුත්තක් වුවද එය දැක බලා
හෝ සතුටුවීමටවත් පෙළඹෙයි.
බුද්ධිමත් බෞද්ධයා තමා මෙන්ම තම දූ දරුවන් ප්‍රධාන සෙසු නෑ
හිතවතුන් ද ඒකරාශී කර ගනිමින් බොහෝ සේ ආගමික කටයුතුවලට
එක්වෙයි.
දවස දෙවේලෙහි තෙරුවන් වන්දනා කරමින් තම ආධ්‍යාත්මික ජීවිතය
සුවපත් කර ගත් පමණින් බෞද්ධයාට තමා ගැන සිතා නිරතුරුව සතුටු
විය හැකි වෙයි.
එසේ නොකොට ගෙවා දමන ජීවිතය තමා අසතුටට, අසහනයට පත් කරවයි.
ජීවිතය අස්ථිර වුවත් භව ගමනේ සුවපත් භාවයට ස්ථිර යමක් ජීවිතයට
ළඟා කර ගත හැකි බව බුද්ධිමත්ව කල්පනා කළ යුතු වෙයි.
කාලය වේගයෙන් ගෙවී යයි. ගෙවී ගිය කාලය ජීවිතයක කවරදාකවත් යළි
උදාකර ගත හැකි ද නොවේ. එබැවින් මිනිසත් භවයෙහි ඇති වටිනාකම
තේරුම් ගෙන ජීවිත ගමන සාර්ථක කර ගැනීමට බුද්ධිමත්ව කටයුතු කළ
යුතු ය.
තමා පසු පස එන සෙවණැල්ලමෙන් යන යන තැන සුගතිගාමී වීමට අවශ්‍ය
වනුයේ කය, සිත, වචනය පවිත්‍රව තබා ගැනීමෙන් සිදු කර ගන්නා
කුසල් පමණි.
|