UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සතා සිව්පාවුන්ටත් සිත්සේ සැරිසැරිය හැකි සොඳුරු සිරිය සපිරි ගල්ලෙන රජ මහ වෙහෙර

පස්යොදුන් කෝරළයේ – කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල මැතිවරණ බල ප්‍රදේශයේ මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වරකාගොඩ ග්‍රාමයේ පිහිටි ගල්ලෙන රජමහා විහාරස්ථානය සිසිලස දනවන සොඳුරු ඉසව්වක පිහිටි රමණීය වූ ද අපූර්වත්වයෙන් යුතු වූද රජ මහා විහාරස්ථානයකි.

හොරණ නෑබඩ හරහා මතුගම (මාර්ග අංක 498) බස් මාර්ගයේ වරකාගොඩට පැමිණ මෙම විහාරස්ථානයට ළඟා විය හැකි අතර විහාරස්ථානයට හොරණ සිට කි.මී. 17 ක් පමණ ඇත. මෙහි ඉතිහාසය පිරික්සීමේදී දුරාතීතය දක්වා දිවෙන ගමන් මගේ රජකමට සුදුසු වූ රාජ කුමාරවරුන්ගේ අනුග්‍රහයෙන් මෙම විහාරස්ථානය ඉදිවූ බව කියැවෙයි.

ලාංකේය වංශකතාවේ රජවරුන් සම්බන්ධ වූ පුරාවෘත්තයන් රැසක් හා රාජකීයයන්ගේ ඉතා සමීප සම්බන්ධතාවයක් පුරාණ පස්යොදුන් රට වටා ගොඩ නැගෙයි.

පස්යොදුන් රට වශයෙන් එදා හැඳින්වූ ප්‍රදේශය මතුගම, අගලවත්ත, බුලත්සිංහල වැනි ග්‍රාමයන් ඇතුළත් වනසේ උතුරින් කළු ගඟටත් දකුණින් බෙන්තර ගඟටත් මැදිව පිහිටි නිල් දිය ගලනා සොඳුරු ගං දියෙන් පෝෂණය ලද දාහයට ඉඩ නොලද සිසිලසින් සුවදායක වූ නිදහස, ගැලවීම සොයා පැමිණෙන්නන්ට අභය භූමියක් වන් වූ රමණීය ඉසව්වකි. සොලී ආක්‍රමණයන් නිසා අනුරාධපුර රාජධානිය බිඳ වැටෙන විට සිංහලයන් ක්‍රමයෙන් තෙත් කලාපීය නිරිත දිගට සංක්‍රමණයවූ බව ඉතිහාසයේ සඳහන් වෙයි.

එදා අනුරාධපුර ආශි‍්‍රත ප්‍රදේශ ජනාකීර්ණ නගර බවට පත් වූ විට පස්යොදුන් බිම් ගන කැලෑවෙන් හා වගුරු බිම් වලින් ගහණව පැවතුණි.

පොළොන්නරුව යුගයේ ඓතිහාසික ලේඛනයන්හි සටහන්ව ඇත්තේ “පංචයෝජන රට්ඨ” හා ‘පංචයෝජන වග්ග’ වශයෙනි.

පෙරදා සිහසුන වෙනුවෙන් බල අරගලයෙහි යෙදුන රාජකීයයන් පැරදී ආරක්‍ෂාව පතා පලා ආ එක් ප්‍රදේශයක් මෙය බව ඉතිහාසය පිරික්සීමේදී පෙනී යයි. ලාංකේය බිම වර්ණවත් කළ අභිමානවත් රජවරයකු වූ මහා විජයබා රජුගේ විමුක්ති අරගලයට ද මෙම පස්යොදුන් රට සම්බන්ධ වීම ඓතිහාසික සන්සිද්ධියකි. එතුමාගේ සේනා බල මුළු තරකර ගැනීම උදෙසා පස්යොදුන් රට රණවිරු තරුණයන් සම්බන්ධ වූ බව කියැවෙයි.

මහා විජයබාහු රජතුමාගෙන් පසුව ඔහුගේ බෑණනුවන් වන මානාභරණ, කිත්සිරිමේඝ සහ ශ්‍රී‍්‍රවල්ලභ යන කුමාරවරුන් තිදෙනා පොළොන්නරුවේ වික්‍රමබාහු රජු හා සටන්වැදී පරාජයට පත්වී පස්යොදුන් රට බලකොටුව වෙත පසුබැස ආරක්‍ෂා වූ බව සඳහන් වෙයි. සැඟව ආරක්‍ෂා වන අතර නොසන්සුන් සිතට සැනසුම වෙනුවෙන් ඒ අවට විහාරස්ථාන ගොඩ නැගීම රජදරුවන් බහුතරයකගේ සිරිත විය. ඒ අනුව මෙම ගල්ලෙන රජ මහා විහාරය ඉදිවූ බව කියැවෙයි.

බලකොටුව, ඉදිවූ ග්‍රාමය වරකාගොඩ විය හැකි බව ඇතැම් විද්වතුන්ගේ මතයයි. වරකාගොඩ ආසන්නයේ, ගනේගොඩ පැරැණි විහාර මන්දිරයක නටබුන් දක්නට ලැබෙන අතර එය පුරා විද්‍යා ස්මාරකයකි. එමෙන්ම ගල්ලෙන රජ මහා විහාරයේ ඇති කටාරම් කොටන ලද ගල්ලෙනක් තුළ වන අසිරිමත් විහාර මන්දිරයට ස්වභාව ධර්මයේ අදෘෂ්‍යමාන ගෘහ නිර්මාණ ශිල්පියාගේ අපූර්වතම නිර්මාණයකි. මෙහි කටාරම් ලකුණු මතින් හැඟී යන්නේ පුරාණ කාලයේ මෙතැන භික්‍ෂූන් වහන්සේලාගේ ආවාස ගෘහයක්ව පැවැති බව අනුමාන කළ හැකි බව ය. ඉහලන ලද කුඩයක් යටිකුරු කර තැබුවා සේ වූ ඉතා දුර්ලභ පිහිටීමක් මත මුදුනින් ප්‍රමාණයෙන් මහත්ව කෙමෙන් සිහින් වන ස්වරූපයකට හැඩ ගැසුණු ගල්ලෙන කොටස් කීපයකට හෑරී ගොස් තිබේ. එහි පැරැණි බුදු මැදුර නව බුද්ධ මන්දිරය මෙන්ම පස්ගම් දේවාලය ආදී වශයෙන් කොටස් කීපයකට බෙදී තිබේ. පැරැණි විහාර මන්දිරයෙහි සැතපෙන පිළිමයක්, සමාධි පිළිමයක් සහ හිටි පිළිමයක් දක්නට ලැබෙයි. සැතපෙන පිළිමය දෙපා අසල බිත්තියේ බුදුන් වහන්සේ හා වාද කර පරාජය වූ රාහු අසුරයාගේ සිතුවමකි. මුදුනෙහි අසූ මහා ශ්‍රාවකයන්ගේ සිතුවම් පෙළක් සහ ඉදිරිපස බිත්තියේ විෂ්ණු, සමන්, විශ්ව කර්ම දෙවිවරුන්ගේ සිතුවම් දක්නට ලැබේ. මේවා පැරැණි ලක්‍ෂණ මතු කරවයි.

නව විහාරය ඉතා දිගට විහිදී වම් පසට ද හැරී ගිය දුර්ලභ පිහිටීමක් සහිත ලෙනකි. සූවිසි විවරණය, බුදු සිරිතෙහි ප්‍රතිමා පෙළ අසිරිමත් පෙරහරක් පරිද්දෙන් සිත් අමන්දානන්දයට පත් කරවන ලෙස නිර්මාණය කර ඇත. මෙම ලෙන් විහාරය පුරාවිද්‍යා ස්මාරකයක් බවට පත් කර තිබෙයි. 1946 දී පමණ වැඩ නිමවා ඇති නව විහාරයේ නිර්මාණ ශිල්පියා කීර්තිමත් මූර්ති සිතුවම් ශිල්පියකු වූ එම්. සාර්ලිස් මාස්ටර් ය. මෙම විහාර මන්දිරය බොදු කලාගාරයක් බඳුය. විහාරය පසෙකින් චෛත්‍යය ද බෝ වෘක්ෂය ද නිමවා තිබෙයි.

වටව ඇති නිල්ලෙන් පිරි වන වියන මැද ස්වභාවික පරිසරය විචිත්‍රවත් කරනා මෙම ලෙන් විහාරයේ පිහිටීම ආන්දය – චමත්කාරය අපූර්වත්වය දිගේ අපව රැගෙන යන්නේ නිදහස ද සුරැකුණු ඉසව්වක් වෙතට ය.

එක් ඉමකින් උස් තලයක් වෙත දිවෙන වන ගහණය පාමුල පිහිටි දිය පොකුණ වෙහෙර බිම සොඳුරු බව වන අරණක සංහිඳියාව ද රමණීයත්වය ද ඇද බැඳ තබා ගැනීමට සමත්වෙයි. යාන වාහන දිවෙන තාර පාරෙන් මිදී විනාඩියකදී දෙකකදී පියකරු වනයක තනිවෙන්නට ලැබෙන අපූරු අද්දැකීමක් වින්දනයට අවැසි මේ සොඳුරු පරිසරයේ චමත්කාරය හරිත වියන් පත් යටින් සිහින් මන්ද මාරුතයේ සිසිලස දිගේ අපව රැගෙන යන්නේ සොඳුරු ඉසව්වක් වෙතය.

කට්ටි කැඩී විකිණී යන්නට ගිය ඉඩමක ආර්ථික බෝගයක්ව පැවැති රබර් ගස් පෙළ ගැලවී ගිය ද සොබා සොඳුරු බව වඩවන මිනිස් සිතට, කයට සුවයක්, සැනසීමක්, සුවපත්වීමක්ම රැගෙන එන තිප්පිලි, බාඳුරා, ප්‍රාණජීව, කඩුපහර, සුළු නයි, කිරි අඟුන, තෙල්අගුන, උල්වරුණිය, විෂ්ණු ක්‍රාන්තිය මෙන්ම හිමාලයේ නොඉඳුල් වනයේ වැවෙන රුක්අගුන ඇතුළු ඖෂධ වර්ග 450 ක් පමණ මේ බිමේ වගා කර තිබේ.

එසේම පරිසරයේ සාමාජිකත්වය දරමින් මිනිසාගෙන් ප්‍රති උපකාර නොලබාම ඔහුට ජීවිතය ලබාදෙන හොර, දියනා, බටු නා, කර, මී, ගම්මාලු, මා වේවැල්, බටදොඹ, කහට වැනි තුරු ලතාවන් අතර සැරිසරන සිතක මායිම් බිඳ දමන නිදහස අතර මේ අභය භූමියෙහි සතා සිවුපාවුන් මෙන්ම නයි, පොළඟුන් – පිඹුරන් මෙන්ම නොයෙකුත් සර්පයන්ටද මරණ භය නිවාරණය කළ බිමකි. අවට ගම් දනව් වලින් රැගෙන එන විවිධ සර්පයන් මේ බිමේදී මුදා හැරෙන්නේ වත්මන් විහාරාධිපති රාජකීය පණ්ඩිත පෝරුවේදණ්ඩේ සුමන හිමියන් එයට කිසිදු විරුද්ධත්වයක් නොදක්වන නිසාය. උන්වහන්සේ ස්වභාවධර්මය සමඟ පෑහී ජීවත්වීමට කැමති පරිසර හිතකාමී භික්‍ෂූන් වහන්සේ නමකි. උන්වහන්සේ සතා සිවුපාවන්ට මෙන්ම ගහට කොළට දක්වන්නේ මහත් වූ සෙනෙහසකි.

රෝගාතුර වන කුරුල්ලන් - සතුන් රැගෙන විත් සුවපත් කර වනයට මුදා හැරෙන්නේ මේ මහත් වූ කරුණාව නිසාමය.

මෙහි අක්කර 5 ක් පමණ ඖෂධ සඳහා වෙන්කර තිබෙයි. දේශීය දුර්ලභ ශාක වර්ග සංරක්‍ෂණයට භූමිය නිදහස් කර තිබේ. මුළු බිම අක්කර 55 ක් පමණ වන අතර මෙම භූමියේ විහාරස්ථානයේ සංහිඳියාව මැදිකර ගනිමින් සමස්ත බිමම ස්වභාවික රක්‍ෂිත වනයටම පරිත්‍යාග කර තිබේ. මහඟු මෙහෙයකට උපහාර වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (උව්ච්ර්‍ථ) අනුග්‍රහයද මෙම ව්‍යාපෘතියට ලැබී ඇත.

දිය සිඳුණු මුඩු බිමක මූසලකම මැකෙන විට ගහකොළ මල් ඵල දරා සිරියාවෙන් හිනැහෙන විට ගහෙන් ගහට පියඹා යන කුරුල්ලන් මලින් මලට පාවී යන සමනලුන් නිල් ජලයේ පීනා සැනසෙන නොයෙකුත් මත්ස්‍යයන් කඳු මුදුනේ තෝතැන්නේ දුව පැන ඇවිදින හාවුන් කොළ දිවියන්, ඉත්තෑවන්, මීමින්නන් ආදී සත්තු මේ අභය භූමියේ සිත්සේ සැරසරති.

මේ අසිරිමත් ගල්ලෙන් රජ මහා විහාර භූමිය සතා සිවුපාවුන්ට ජීවිතයට දානය දෙන අභය භූමියකි. මිනිසාගේ අධ්‍යාත්මයට සැනසීම සුවය රැගෙන එන පින්බිමකි.

 

උදුවප් අව අටවක පෝය

උදුවප් අව අටවක පෝය දෙසැම්බර් මස 25 වැනිදා බදාදා පූර්වභාග 06.47 ට ලබයි.
26 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 07.37 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් මස 25 වැනිදා බදාදා ය.

මීළඟ පෝය
ජනවාරි 01 වැනිදා
බදාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 25

New Moonඅමාවක

ජනවාරි 01

First Quarterපුර අටවක

ජනවාරි 08

Full Moonපසෙලාස්වක

ජනවාරි 15


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk