අම්පිටියේ ශ්‍රී රාහුල ලොකු හාමුදුරුවෝ
මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ
භික්ෂු අධ්‍යයනාංශයේ ප්‍රධානාචාර්ය හා
තරුණ සීල සමාදානයේ අනුශාසක
ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි
දන් දීමට අතිශය පි‍්‍රයකළ රාහුල ලොකු හාමුදුරුවෝ ඕනෑම දෙයක් දන් දීමට
කිසි විටෙක මැලි නොවූහ. මෙය අප උන්වහන්සේගේ දිවිය තුළ දුටු වෙසෙසි
ගුණයකි. පිඬුසිඟා යෑමට පි‍්‍රයකළ උන්වහන්සේ පුරා වසර 57 ක් එම කටයුත්තේ
යෙදුනු බව සිහිපත් කරන්නේ ඉමහත් පී‍්‍රතියෙනි. එසේ ම සිය ශිෂ්‍යයන් ද ඒ
සඳහා නිරතුරු උනන්දු කැරවූහ. භාවනා කිරීමට ලොකු හාමුදුරුවන් වහන්සේ
බලවත් රුචිකමක් දැක් වූ අතර ඒ සඳහා වරින් වර වනගත වූහ
බුදු දහම අවුරුදු පන් දහසක් කල් මුළුල්ලේ නොකඩ කොට පවත්වාගෙන යාමට
බුදුරජාණන් වහන්සේ විසින් බිහිකළ අනුගාමික පිරිස් අතුරින් බෞද්ධ
භික්‍ෂුවට හිමි වන්නේ වෙසෙසි තැනකි. උන්වහන්සේලාගෙන් මානව වර්ගයාට අමිල
සේවාවක් සිදුවිය යුතු ය.
ඒ අනුව භික්‍ෂුවට හිමි වී ඇති බලය හා වගකීම රැක ගැනීමටත් මානව වර්ගයාට
යහපත සලසාදීමටත් පළමුව තම අරමුණ හා යුතුකම වටහා ගත යුතු ය. භික්‍ෂුවකගේ
මූලික අරමුණ විය යුත්තේ සියලු කෙලෙසුන් නසා පරම සත්‍යය එනම් නිවන අවබෝධ
කැර ගැනීමයි. ඉන් අනතුරුව තමන්ට හැකි හැම අවස්ථාවකදී ම පරාර්ථචර්යාවෙහි
යෙදීමයි.
එකී පරාර්ථචර්යාව සඳහා කරුණාවත්, සත්‍යාවබෝධය සඳහා ප්‍රඥාවත් තිබිය
යුතුම ය. ප්‍රඥාවෙන් හා කරුණාවෙන් යුතු වූ භික්‍ෂුව මහණකම කුමක්දැයි
වටහාගෙන පළමුවෙන් මානව වර්ගයාගේ දියුණුව ගැන කටයුතු කරමින් දෙවනුව
තමාගේ දියුණුව සලසා ගැනීමට උත්සුක වී ඇත්නම් ඔහුට තමන්ගේ ගත වූ දිවිය
ගැන මෙනෙහි කොට නිරාමිෂ වූ පී‍්‍රතියක් ලැබිය හැකි ය. සියවන වියට පා
තබන මහරගම සිරි වජිරඤාණ ධර්මායතනාධිපති අතිපූජ්‍ය අම්පිටියේ ශ්‍රී
රාහුල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ද මෙකී නිරාමිෂ පී‍්‍රතිය වින්ද
උතුමෙකි.
1914 දෙසැම්බර් මස 24 වන දින මහනුවර අම්පිටියේ දී සයිමන් රාජපක්‍ෂ
දම්පතීන්ට දාව උපන් මේ සුපින්වත් කුමරුට දෙමාපියෝ ධර්මදාස රාජපක්‍ෂ යන
නම තැබූහ. කුඩා කල පටන් සිය නමට සරිලන ඇවතුම් පැවතුම් වලින් යුතු වූ මේ
කුමරු සිය ගමෙහි වූ දළුක්ගොල්ල රජමහා විහාරය ඇසුරු කරමින් බණ දහම්
උගෙනීමට යොමු විය. එහි ප්‍රතිඵලයක් ලෙස වයස අවුරුදු දොළහේ (12) සිට
මාංසාහාරයෙන් වෙන් වූ හේ ටික කලක් යනවිට සිකුරාදා දින තම රාත්‍රි ආහාර
වේල ද දුගියකුට දන් දී නිරාහාරව සිටීමට තරම් කාරුණික විය. මෙසේ කල්
ගෙවෙද් දී භද්‍ර යෞවනයේ පත් ධර්මදාස තුළ පැවිදිවීමේ ආශාව දැඩි ලෙස
ලියලමින් පැවතුණි. මේ අතරතුර අතිපූජ්‍ය පැළෑණේ සිරි වජිරඤාණ මහානායක
මාහිමියන් වහන්සේ විසින් ගුවන් විදුලියෙන් කරන ලද විචිත්‍ර දම් දෙසුම්
ඇසීම නිසාත්, පුවත්පත්වල පළවන උන්වහන්සේගේ ලිපි සඟරා ආදිය කියවීම
නිසාත් උන්වහන්සේ කෙරෙහි බලවත් ප්‍රසාදයක් ඇති වී තිබුණි. අනතුරුව කෙසේ
හෝ උන්වහන්සේ සමීපයෙහි පැවිදිවීමට ඉටාගත් ධර්මදාස තරුණයා වයස 21 දී
එනම් 1936 මැයි මස 06 වන දින අම්පිටියේ රාහුල නමින් උතුම් පැවිදි බව
ලබා එම වසරේ ම උපසම්පදාව ද ලදහ. සිය ආචාර්යයන් වහන්සේ ම ධර්මාචාර්යයන්
වහන්සේ කැර ගනිමින් විනය හා දහම මැනවින් දිවියට යා කැර ගත් රාහුල
හාමුදුරුවෝ ගුරුවරයා කෙරෙහි වූ අසීමිත ගෞරවයෙන් යුතුව ගුරු සිත සනහමින්
ඇප උපස්ථාන කරමින් කල් යැවූහ.
1955 සැප්තැම්බර් මස 21 වන දින පැළෑණේ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
අපවත් වූ අතර, අසීමිත ගුරු බැතිය නිසා ම උන්වහන්සේගේ බලාපොරොත්තුවක් වූ
සසුනට වැඩැති හොඳ ගෝල පිරිසක් තැනීමට ගුරුපූජාවක් ලෙස සිය පැවිදි සහෝදර
අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍රයන්
වහන්සේ මුල් කැර ගෙන මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය ආරම්භ කරමින් රාහුල
හාමුදුරුවෝ සසුන් මෙහෙවරට බටහ. උන්වහන්සේගේ ඒ ප්‍රයත්නය කොතරම් සාර්ථක
වී ද යත් දස දහස් ගණන් බොදුනුවන්ගේ දහම් පිපාසාව සිඳලන පින් බිමක් බවට
ධර්මායතනය පත්විය. එපමණක් නොව මහනුවර ප්‍රිමිරෝස් වජිරාරාමය, බෝවලවත්ත
ආරණ්‍ය සේනාසනය, අඹකොටේ වජිරාරාමය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය විහාරය,
අනුරාධපුර කටුපොතකන්ද ආරණ්‍ය සේනාසනාදී විහාරස්ථාන රැසක් ඇරැඹීමට ද උන්
වහන්සේ පුරෝගාමීව කටයුතු කළහ.
‘අඤ්ඤාහි ලාභූපනිසා අඤ්ඤා නිබ්බාණගාමිනී’ ලාභ ඉපදවීමේ මඟ අනිකක, නිවන්
මඟ අනිකක යන බුදු වදන මැනැවින් වටහා ගත් අපේ ලොකු හාමුදුරුවෝ කිසි
විටෙකත් තම දක්‍ෂතා හැකියා ලාභ සත්කාර කීර්ති ප්‍රසංසා නම්බු නාම උදෙසා
භාවිත නොකළහ. හෙළ බස මෙන් ම ඉංගී‍්‍රසි බස පිළිබඳව ද චතුර කථිකත්වයක්
තිබූ අම්පිටියේ ලොකු හාමුදුරුවෝ විදෙස් ධර්මදූත සේවාවට පවා යොමු නොවූයේ
ය. එය තම මහණකමට පළිබෝධයක් යැයි සැළකූ හෙයිනි.
දන් දීමට අතිශය පි‍්‍රයකළ රාහුල ලොකු හාමුදුරුවෝ ඕනෑම දෙයක් දන් දීමට
කිසි විටෙක මැලි නොවූහ. මෙය අප උන්වහන්සේගේ දිවිය තුළ දුටු වෙසෙසි
ගුණයකි. පිඬුසිඟා යෑමට පි‍්‍රයකළ උන්වහන්සේ පුරා වසර 57 ක් එම කටයුත්තේ
යෙදුනු බව සිහිපත් කරන්නේ ඉමහත් පී‍්‍රතියෙනි. එසේ ම සිය ශිෂ්‍යයන් ද ඒ
සඳහා නිරතුරු උනන්දු කැරවූහ. භාවනා කිරීමට ලොකු හාමුදුරුවන් වහන්සේ
බලවත් රුචිකමක් දැක් වූ අතර ඒ සඳහා වරින් වර වනගත වූහ. ගෝලයන් තැනීමෙහි
ලා අවවාද මෙන් ම ආදර්ශය ද එකසේ වැදගත් බව සැලකූ රාහුල ලොකු හාමුදුරුවෝ
අවවාද අනුශාසනා කරනා අයුරින් ම ආදර්ශවත් වීමට ද නිරතුරුව ම වග බලා
ගත්හ. අල්පේච්ඡ දිවියට පි‍්‍රය කළ උන්වහන්සේ කොතරම් දෑ ලැබුණත් නැති
නාස්ති නොකොට අරපරෙස්සමෙන් පරිහරණය කළහ.
ජරාවට පත්වීමත්, ලෙඩවීමත් යන කරුණු ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ යන හැම
දෙනා විසින් ම නිති සිහිකටයුතු බව බුදුරජාණෝ අපට වදාළහ. ජරාවට පත්වන
කල්හි අපේ ඇස්, කන්, නාසාදී ඉඳුරන් හා අත පය ආදී අවයවයෝ දුර්වල වෙති.
මෙකී ධර්මතාවයන් හමුවේ දී යමෙක් දුකට ශෝකයට පත් වන්නේ නම් සැබැවින් ම
ඔහුට ඇත්තේ නොදියුණු මානසිකත්වයකි.
යමෙක් මෙකී දුර්වලතා හමුවේ නොසැලී ඒවාට මුහුණ දෙන්නේ නම් සැබැවින් ම
ඔහුට ඇත්තේ භාවිත සිතකි. සිය වසකට පා තබා ඇති අම්පිටියේ ලොකු
හාමුදුරුවෝ කායිකව මෙකී දුර්වලතාවයන්ට පත්ව ඇත ද, උන් වහන්සේගේ වත
නෙළුමක් මෙන් පියකරු ය.
පෙර පින් ඇතිව උපන් අපේ ලොකු හාමුදුරුවෝ තම අත්‍යවශ්‍ය අවශ්‍යතාවයන්වත්
කරගත නොහැකිව කායික දුර්වලතාවයෙන් වැඩ සිටිය ද සියලු කටයුතු ඉතා උසස්
අයුරින් සිදු වන්නේ උන්වහන්සේගේ පුරාකෘත පින්බල මහිමය නිසාම වන්නට ඇත.
එහිලා ඒ සඳහා ම කැප වෙමින් ඉතා හොඳින් කිසිදු ලාභ අපේක්‍ෂාවක් නැතිව
පිරිසුදු සිතින් ගුරු බැතියෙන් උන්වහන්සේ රැක බලා ගනිමින් කටයුතු කරන
මැණික්බෝවේ දීපාලෝක ස්වාමීන් වහන්සේ ද කර ගනුයේ මහත් පින්කමෙකි.
සිය වන වසට පා තබන අපේ ලොකු හාමුදුරුවන් වහන්සේ රැක බලා ගනිමින් කටයුතු
කරන දීපාලෝක ස්වාමීන් වහන්සේට සියලු ම සහෝදර ස්වාමීන් වහන්සේලාගේ
කෘතඥතාවය මේ මොහොතේ පළ කරනු කැමැත්තෙමි. කෙනෙකු තුළ පවතින ප්‍රකටව
පෙනෙන ගුණය වැනීම බුදුරජාණන් වහන්සේ විසින් ද අගය කොට දක්වා වදාළ
යුතුකමෙකි.
අපේ ලොකු හාමුදුරුවන් වහන්සේට නිදුක් නීරෝගි සුව හා දිගාසිරි පැතීමටත්,
අපගේ ජ්‍යෙෂ්ඨ පැවිදි සහෝදර ගංගොඩවිල සෝම ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත්
වී වසර 10 පිරීම නිමිත්තෙන් පින් පැමිණවීමටත් දෙසැම්බර් මස 25 වන දින
ශතාධික දානයක් හා සවස 3.00 ට ගල්කිස්ස ධර්මපාලාරාමාධිපති අග්ගමහාපණ්ඩිත
කොටුගොඩ ධම්මාවාස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මූලිකත්වයෙන්
බම්බලපිටිය වජිරාරාමාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත තිරිකුණාමලේ
ආනන්ද අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු භික්‍ෂූන් වහන්සේලාගේ
සහභාගීත්වයෙන් ගැබිනි මාතාවන් 100 දෙනෙකුට අවශ්‍ය භාණ්ඩ කට්ටල
පිරිනැමීමටත් කටයුතු යොදා ඇත. මේ සියලු කුසල් බෙලෙන් අපේ ලොකු
හාමුදුරුවන් වහන්සේට දිගාසී සම්පත් සැලසේවා! |