සැබෑ ධනය සහ බලය
අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ
උප කුලපති මහාචාර්ය
තුඹුල්ලේ සීලක්ඛන්ධ නා හිමි
බුදුරජාණන් වහන්සේ සංඛිත්ත ධන සූත්‍රය දේශනා කර තිබෙන්නේ සැවැත්නුවර
ජේතවනාරාමයෙහිදී භික්‍ෂූන් වහන්සේ අමතායි. මෙසේ භික්‍ෂූන් වහන්සේ උදෙසා
දේශනා කළත්, සත්ව ප්‍රජාව වෙත මහත් කරුණාවෙනුයි අපේ බුදුරජාණන් වහන්සේ
හැම දේශනාවක්ම සිදු කර තිබෙන්නේ.
අංගුත්තර නිකායට අයත් මෙම සූත්‍රය හා සමීප වන තවත් සූත්‍රයක්
බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනු ලැබුවා.එය නම් කර ඇත්තේ සංඛිත්ත
ධන සුත්ත නමිනි. එය ද මේ ආකාරයෙන්ම භික්‍ෂූන් වහන්සේ අරමුණු කොට දේශනා
කර ඇත. සංඛිත්ත සත්ත බල සූත්‍රය අනුව බල සතක් තිබෙනවා. එයම ධන හතක් බවට
ද පත්වෙනවා. එම ධනය හා බලය නැති ජීවිතය හිස් මෙන්ම දිළිඳු වුවක් බවද
බුදුරජාණන් වහන්සේ මෙම සූත්‍ර දෙකේදීම අවධාරණය කොට දක්වා ඇත. එසේනම් එම
ධනය හා බලය නැති ජීවිතය වැඩක් නැති බවයි උන්වහන්සේගේ දේශනාව වන්නේ.
මේ අනුව මේ ධනය කුමක්ද? මේ බලය කුමක්ද? සද්ධා, වීරිය, හිරි, ඔත්තප්ප,
සති, සමාධි පඤ්ඤා යනු ඒ ධනයයි. බල හතයි. එසේ නම් උපන් මිනිසා මේ ධන හා
බල හතෙන් සමන්විත වූ විටයි ඔහු ධනවතෙක් හා බලවතෙක් වන්නේ, එහෙත් සමාජ
සම්මතය වන්නේ ලෞකික වශයෙන් අප විසින් රැස් කර ගනු ලබන ධනයම බලය වන
ආකාරයක්.
සද්ධාව
සද්ධාව කියන්නේ කුමක්ද? එය අපේ සිතේ ජනිත වන සිතිවිල්ලකි. අභිධර්මයේ
එයට කියන තවත් නමකි. චෛතසිකයක් යන්න. එවැනි චෛතසික 52 ක් පිළිබඳ
අභිධර්මයෙහි විස්තර වෙනවා. මෙයට තවත් ආකාරයකින් සරලව කියනවා නම් සිතේම
ඇති වන ගතියක් කියලත් කියන්නට පුළුවනි. මෙය පැහැදිලි කරනවා නම්
බුද්ධාදි රත්නත්‍රය පිළිබඳව අපේ සිතේ ඇති පැහැදීමයි. මෙය තම තමන්ටම යම්
පමණකට තේරුම් ගන්නට පුළුවන්.තමන්ගේ සිතට එවැනි ශ්‍රද්ධාවක් නැතිනම්
පැහැදීමක් ඇති වෙනවාද යන්න මෙහි ලක්‍ෂණ දෙකක් ගැන බණපොතේ සඳහන්
වෙනවා.එයට කියනවා සම්පසාදන සද්ධා හා සම්පක්ඛන්ධන සද්ධා කියලා. ජලයේ
ස්වභාවය නොයෙක් අපද්‍රව්‍ය එකතුව පැවැතීමයි. සමහර විට එය බොරපාට වතුරක්
වෙනවා. එහි අපද්‍රව්‍ය වැඩිවන තරමට එවිට අපට එවැනි ජලයක් ඇති පොකුණක,
ළිඳක වතුර දෙස බලන විට එහි පතුල පෙනෙන්නේ නැහැ. උදකප්‍රසාදක කියන
මැණික් ගල එවැනි ජලය තිබෙන පොකුණකට හෝ ළිඳකට දැමූ විට එහි ඇති ජලය
පැහැදිලි වෙලා පතුල දක්වා බලන්නට පුළුවනි. පතුලේ ඇති දේවලුත් පේනවා.
හිරු මුදුන් වෙලාවට තරමක් පැහැදිලි ළිඳක වුවත් පතුලේ ඇති දේ අපට පේනවා.
අද එවැනි රසායනික ද්‍රව්‍ය ජලයට දැමූ විටත් ජලය පැහැදිලි වෙනවා. ඒ වගේම
තමා මේ සම්පසාදන සද්ධාව ඇති අයට සිතට නැගි නැගී එන සිත කිලිටි කරන
කෙලෙස් තාවකාලිකව යටපත් කර බුද්ධාදී අරමුණු කෙරෙහි සිතෙහි ප්‍රසන්න
බවක් ඇති කර ගන්නට හැකියාවක් තිබෙනවා. එමෙන්ම මෙවැනි ජලාසයක, දිය පහරක,
ඇළක, දොළක මිනිසාට හානි කරන භයානක කිඹුලන් වැනි සතුන්ගෙන් ගහන වන
අවස්ථාවක ඒ දියෙහි, ඇළෙහි, දොළෙහි බැස මෙතෙර සිට එතෙරට යන පිරිස් භයට
පත් වී එතර වීමට නොහැකි අවස්ථාවක ශක්තිමත් නිර්භීත පුරුෂයෙක් අවි ආයුධ
අතැතිව එම ජලයට බැස එම බියකරු සතුන් තලා, පෙලා මරා විනාශ කොට මිනිසුන්
එයින් එතෙර වීමට ඉඩ සලසන ආකාරයෙන් සම්පක්ඛන්ධන ශ්‍රද්ධාව ඇති තැනැත්තා
සිතට නැගි නැගී එන කෙලෙස් විනාශ කරමින් ලාමක සිතිවිලිවලට නැගී එන්නට ඉඩ
නොදී සිතේ අලෝභ, අදෝස, හා අමෝහ කුසල සිතිවිලි ඇති කරනවා. පරිත්‍යාගයට
යොමුවෙනවා. කරුණාව, දයාව, මෛත්‍රිය හැම විටම ඇති කරගන්නවා. මුළා
සිතිවිලි නැතිව හැම විටම පින හා පව මැන බලමින් ජීවිතය ගොඩ නඟා ගන්නවා.
සිතට ලොකු සවියක් ශක්තියක්, බලයක් දැනෙනවා. ඒ පුද්ගලයා බුදුරජාණන්
වහන්සේගේ බෝධිය හෙවත් චතුරාර්ය සත්‍ය පිළිබඳව දැඩි විශ්වාසයක් ඇති කර
ගන්නවා. එය තෙරුවන් කෙරෙහිම එක්වරම ඇති වෙනවා.
සීලය
සීලයත්, ධනයත්, පොහොසත් වීමට එයත් අවශ්‍යයි. ශීලය කියන්නේ කුමකට ද?
ඇත්තටම හොඳට හැදිච්චකම, හික්මුණ කම කියන්නේත් මෙයටමයි. තමන්ට ඒ
හැදිච්චකම තියෙනවාද කියන එක හරියටම දන්නේ තමාම යි. යම් අයෙක් හොඳ
සිල්පද පහ රකිනවා නම් ඔහු හැදිච්ච අයෙක්මයි. සතුන් මැරීමෙන් වැළකෙනවා
කියන්නේ සමස්ත සත්ව ප්‍රජාවටම මෙත් වඩනවා යන්නයි. ඔහු නිසා කිසිවෙකුට
තම ජීවිතය පිළිබඳ චකිතයක්, බියක් ඇති වන්නේ නැහැ. හොරකමින් වළකිනවා
කියන්නේ එවැනි පුද්ගලයා තමන්ගේ වගේම අනුන්ගේත් දේපළත්, පොදු දේපළත්
ආරක්‍ෂා කරන්නෙක් කියන අදහස ඇති වෙනවා. ඔහුගෙනුත් තවත් අයෙකුට අවැඩක්
නැහැ. බියක් නැහැ. කාමමිත්‍යාචාරයෙන් ඉවත්වීම තුළින් සමාජය ශිෂ්ට වෙනවා
වගේම ඉන්ද්‍රියයන් පිනවීමෙන් බැහැර වීමත් මෙයින් අදහස් වන නිසා මිනිසා
අසීමිත අවශ්‍යතා ඇති කර නොගෙන සැහැල්ලු, චාම් ජීවිතයට යොමු වෙනවා.
බොරුවෙන්, මුසාවෙන් ඈත් වීම තුළ ඔවුනොවුන් විශ්වාස වන්තව සමාජයේ ජීවත්
වෙනවා. මතින් තොර වෙනවා යනු සිහිබුද්ධියෙන් අතුරු අනතුරු නැතිව හැම
කෙනෙක්. නිරෝගී ජීවිත ද ගෙවමින් දැහැමින් සිහියෙන් යුතුව ජීවත් වෙනවා
කියන එකයි. මෙම ශීලයම තවත් ඉදිරි පියවරට යමින් ගිහි ජනතාව අටසිල්,
දසසිල් ආරක්‍ෂා කරමින් පැවිද්දෝ උපසම්පදා සිල් දක්වා ඉහළට යමින් දුක්
සහිත සසරින් මිදීමට අවශ්‍ය මංපෙත් විවර කර ගන්නවා. මෙවැනි ජීවිත ගත කරන
ගිහි උදවිය උසස් ආත්ම භාවයක් ඇති කරගත්තෝ වෙනවා. හැබෑ මනුස්සයෝ කියන්නේ
ඒ අයටයි. මෙවැනි සමාජගත ජීවිත ආරක්‍ෂා වීමත් දේපළ ආරක්‍ෂා වීමත් නිසා
අන්‍යෝන්‍ය විශ්වාසය ගොඩ නැගී පි‍්‍රයමනාප වී සමඟියෙන් සැකෙන් බියෙන්
තොර ජීවිත ගත කිරීම විශාල ධනයක් වගේම බලයක් ද වෙනවා.
හිරි හා ඔත්තප්ප
හිරි කියා කියන්නේ ලජ්ජාවට, කුමක් පිළිබඳව ඇති ලජ්ජාවටද? පවට ඇති
ලජ්ජාවයි. වරදක්, අනර්ථයක් කිරීමට ඇති ලජ්ජාවයි. අප විසින් කයින් කරන
වැරැදිවලින් වෙන්වීමයි. මුලින් ශීලයේ දී පෙන්වා දුන් ආකාරයට
සත්වහිංසනයට, හොරකමට, වැරැදි කාමසේවනයට ඇති පිළිකුල් හෙවත් ලජ්ජාව,
එවගේම වචනයෙන් සිදුවන බොරුකීම, කේලාම් කීම, රළු පරුෂ වචන කීම හා
හිස්වචන කිමෙනුත් අප වළකින්නේ මේ හිරි හෙවත් ලජ්ජාව නිසයි. මේ අතර
සිතින් සිදුවන අභිධ්‍යාව හෙවත් විෂම ලෝභය, ද්වේෂ සහගත ව්‍යාපාදය හා
වැරැදි දැක්ම හෙවත් මිථ්‍යාදෘෂ්ටිය ඇති කර ගන්නේත් මෙම හිරිය නොමැති වූ
විටයි. මෙහි තවත් අංගයක් වන ඔත්තප්පය යන්නෙන් අදහස් කරන්නේ මුලින් එකී
කය, වචන, සිත යන තුන් දොරින් සිදුවිය හැකි ලාමක ක්‍රියාවන් කිරීමට ඇති
බියයි.
මේ අනුව බලන විට එකවරම පෙනී යන කරුණ නම් හිරි කියන මේ සිතිවිලි ස්වභාවය
මිනිසාගේ අභ්‍යන්තරයට හෙවත් චිත්ත සන්තානය තුළින්ම ඉදිරිපත් වන්නකි.
එහෙත් බය යන්න ඇති වන්නේ බාහිර සමාජයෙන්, ලෝකයෙන්, තමන් එකී දුශ්චරිතවල
යෙදීමට පෙළඹීමෙන් ඇති විය හැකි තර්ජන, ගර්ජන, සිරදඬුවම් වැන්න මෙනෙහි
කිරීමෙන්, අපායගාමීව දුක් විඳින්නට සිදු වේය යන බිය ඔත්තප්පය වේ.
මේ තත්ත්වය නිසා පුද්ගලයා බොහෝ විට තමන්ගෙන් සිදුවිය හැකි වරදට බියක්
ඇතිකර ගැනීම මෙම ඔත්තප්ප යන්නෙන් අදහස් වෙනවා මේ ඔත්තප්පය
ලොකාධිපතෙය්‍ය ලෙසත් හිරි යන්න අත්තාධිපතෙය්‍ය ලෙසත් ධර්මයෙහි
උගන්වනවා. මෙම හිරි ඔතප් දෙකම ධනයකි. බලයකි.
සුතය
සුත කියා කියන්නේ අසා දැනගත්තා කියන අර්ථයයි. ඈත අතීතයේ අප බොහෝ දේ
ඉගෙන ගත්තේ අසා දැනගෙන මතක තියාගෙනයි. සමහර විට බොහෝ දේ මතකයෙන් ඈත් වන
නිසා වනපොත් හෙවත් කටපාඩම් කරනවා. අපේ බුදුදහම කියා අප හඳුන්වන
ත්‍රිපිටකය පවා අපේ පැරැණි මහතෙරවරුන් දීර්ඝ කාලයක් තුළ රැකගෙන ආරක්‍ෂා
කොට පවත්වාගෙන ආවේ මෙම අසා දැනගෙන වනපොත් කිරීමෙන් හෙවත් මතකයේ
ක්‍රමානුකූලව රඳවා ගැනීමෙනුයි. මේ ශ්‍රැතය හෙවත් අසා දැන ගන්නේ වඩාත්
ප්‍රතිඵලදායක දෙයක්. එය මුල, මැද, අග නිවැරැදි වුවත්, මෙහි මුල නම්
හික්මීමයි. හෙවත් ශීලයයි. මැද නම් ගමන්ගත යුතු, නිවැරැදි මාර්ගයයි. අග
නම් මෙවැනි ක්‍රියාවක අවසානය නිවන ඉලක්ක වූවක්. එයින් අදහස් කරන්නේ මේ
අසා දැනගන්නා දේත්, අසා දැනගැනීමට යමෙකු හෙවත් කල්‍යාණ මිත්‍රයෙකු
විසින් කියන දේත් ඔය කියන මුල, මැද, අග යහපත් වූ මෙලොවටත් පරලොවටත් වැඩ
දායක වූවක්මයි. ඒ සියලු කියමන් හෙවත් දෙසුම අරුත් බරයි. බුදුරජාණන්
වහන්සේ විසින් දේශනා කරන ලද දහම් මගට ඇතුළත් වූවක්. වැඩකට නැති
නිෂ්ප්‍රයෝජන කිසිවක් එහි නැත. ඒ අංග සම්පූර්ණ දේශනා කෙලෙස් සිඳ දැමූ
බුද්ධාදි උතුමන් සිතු වචනමයි. හැබෑ ශ්‍රැත ධනය රැස් කරගත් උතුමෝ
උන්වහන්සේලාමයි. උන්වහන්සේලා හැබෑ දැනඋගත් උතුමන් වහන්සේලායි. එය එහෙම
වුණත් දැනුත් අපට කලාතුරකින් නමුත් දැන උගත්කම් ඇති ඇතැම් කල්‍යාණ
අදහස් ඇති පුහුදුන් අය හමුවෙනවා. පණ්ඩිතයන්ගේ ඇසුර වැඩදායක බව
බුදුරජාණන් වහන්සේ අපට මංගල සූත්‍රයේ දී දේශනා කර තිබෙනවා. ඉතින් මේ
විදියට ශ්‍රැතය ධනයක් බලයක් වෙනවා. ඒ වගේම එහි අනිත් පැත්ත කිසිම වැඩකට
නැති කතා කියමින් කාලය විනාශ කරන උදවිය. අප ඒ අයගෙන් බේරෙන්නත් උත්සාහ
කරන්න ඕන.
චාග
චාග යන්නෙහි අදහස පරිත්‍යාගයයි. මෙම සූත්‍රයට අනුව චාගයට විරුද්ධ පැත්ත
මල මසුරු ගතියයි. පරිත්‍යාගය කියන්නේ මේ මල මසුරු ගතිය ඉවත දැමීමයි.
හරිම දුෂ්කරම කාර්යය එයයි. අවි ආයුධයක්, යම් දිලිසෙන ලෝහයක් මල කෑමට
පටන්ගත්තොත් එය දිරන්නට පටන් ගන්නවා. ඒ නිසා මල නොබැඳෙන්න නොයෙක් ආලේප
ගානවා. ඒ වගේම තමා අපේ සිතේ මල ඇති වෙනවා. ඒ මල තමා කෙලෙස් කියලා
කියන්නේ. ඒ මල නිසා සිත දුබල වෙනවා. සිතේ මල බැඳුන විට ලෝභ, දෝස, මෝහ
වැඩිදියුණු වී විවිධ ජීවන ගැටලු ඇති කරනවා. විශේෂයෙන් මසුරුකම මෝරනවා.
ඒ නිසාම මෙලොවත් පරලොවත් විනාශ වී මහත් අභාග්‍ය සම්පන්න ජීවිත ගත
කරනවා. එහෙත් ඊට විරුද්ධ වූ ත්‍යාගවන්තකම දියුණු කිරීමෙන් සමාජයට
පි‍්‍රයමනාප, කරුණාව, දයාව, කෘතගුණ සැලකීම වැනි මහා මිනිස් ගුණ සපිරි
මහාත්ම ජීවිත ගත කොට මෙලොවත් පරලොවත් සැනෙසනවා. සිතට ලොකු බලයක්, ධනයක්
එකතු වූ වා සේ ඔවුනට දැනෙනවා.
ප්‍රඥාව
බුදුදහමේ උගන්වන සැබෑ ධනය හෙවත් මූලික වන්නේ ප්‍රඥාවයි. මේ ප්‍රඥාව
ලබන්නට මුලින්ම ශීලය ආරක්‍ෂා කළ යුතු වෙනවා. එයට කියනවා සීල විසුද්ධිය
කියලා. සීල විසුද්ධිය ලැබූ තැනැත්තා ඊළඟට සිත පිරිසුදු කරගන්නවා. එය
සිදු වන්නේ සමථ භාවනාව වැඩීමෙන්. ඉන් අනතුරුව ලබා ගත යුතු වන්නේ
ප්‍රඥාවයි. මේ ප්‍රඥාව කියා කියන්නේ විදර්ශනා ප්‍රඥාවයි. එය නම් ජාති,
ජරා, ව්‍යාධි, මරණ, සොක, පරිදෙව, දුක්ඛ, දොමනස්ස සහගත බව සත්‍ය වශයෙන්ම
අවබෝධ කොට කෙටියෙන්ම මේ රූප, වේදනා, පඤ්ඤා, සංඛාර හා විඤ්ඤාණ යන මේ
පංචස්කන්ධය දුකක් යන මේ අවබෝධය හෙවත් වැටහීම ප්‍රඥාවයි. විදර්ශනාවයි. ඒ
දැක්ම නිවන හෙවත් මිදීමයි. අත්හැරීමයි. නිවීමයි. එය අවසාන වෙනස් නොවන
සැපයයි. එය මහා ධනයයි. ඒ හා සමාන ධනයක් හෝ බලයක් කවරෙකුටවත් ලැබිය
නොහැකියි.
|