භාග්‍යවතුන් වහන්ස
කල්පය
යනු කුමක්ද?
පොල්ගහවෛල මහමෙවුනා භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ
කිරිබත්ගොඩ ඤාණනන්ද හිමි
කල්පය කියන්නේ අතිදීර්ඝ කාල පරිච්ඡේදයකට කියන නමක්. දවසක් එක්තරා
භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණිලා විමසා සිටියා ‘ස්වාමිනි
කල්පය කියන්නේ කොයිතරම් දීර්ඝ කාලයක්ද? බුදුරජාණන් වහන්සේ වදාළා,
පින්වත් භික්ෂුව, කල්පය ඉතාමත් දිගයි. එය කෙතරම් කාලයක්ද, අවුරුදු සිය
ගණනක් ය අවුරුදු දහස් ගණනක්ය කියා ගණනින් කිව නො හැකියි.
‘භික්ෂුව, ඒක මේ වගේ දෙයක්. මහා ගල් පර්වතයක් තිබෙනවා. ඒ පර්වතය
යොදුනක් දිගයි. යොදුනක් (සැතපුම් හතක්) පළලයි. යොදුනක් උසයි. සිදුරු
නැති කුහර නැති ගල් පර්වතයක් . එක්තරා පුරුෂයෙක් අවුරුදු සියයකට වතාවක්
සිනිඳු සේලයකින් ඒ ගල් පර්වතය පිස දමනවා. පින්වත් භික්ෂුව, ඔය
ක්‍රමයෙන් ඒ මහා ගල්පර්වතය ගෙවිලා අවසන් වෙලා ගියත් කල්පය කියන්නේ
එතරම් ඉක්මණින් ගෙවී අවසන් වන දෙයක් නොවේ.
එසේනම් පැහැදිලියි කල්පය කියල කියන්නේ අපට හිතින් හිතාගන්නවත් බැරි
තරම් අති දීර්ඝ කාලයක්. බුදුරජාණන් වහන්සේ තවත් උපමාවක් සංයුක්ත නිකායේ
අනමතග්ග, සංයුක්තය කියන කොටසේ දී වදාළා, යොදුනක් දිග, යොදුනක් පළල,
යොදුනක් උස යකඩ පවුරකින් වට වූ නගරයක් තිබෙනවා. මේ නගරය සම්පූර්ණයෙන්ම
අබ ඇටවලින් පුරවලයි තිබෙන්නේ. එක්තරා පුරුෂයෙක් අවුරුදු සියයකට වතාවක්
එයින් එක එක අබ ඇටය බැගින් ඉවත් කරනවා. ඔය උපක්‍රමයෙන්ම ඒ අබ ඇට
සියල්ලම අවසන් වීම සඳහා යම් දීර්ඝ කාල පරිච්ඡේදයක් ගතවෙනවා ද? ඊටත් වඩා
අති දීර්ඝ කාලයක් කල්පය කියා කියන්නේ.
ඒ වගේම උන්වහන්සේ වදාලා ‘සියක් අවුරුදු ආයුෂ ඇති ශ්‍රාවකයෝ හතර දෙනක්
දිනපතා ගෙවුණ කාලය කල්ප ලක්ෂය බැගින් සිහි කරනවා. ඒ අවුරුදු සියය
ඇවෑමෙන් ඒ ශ්‍රාවකයන් හතර දෙනාම කළුරිය කරනවා. අවුරුදු සීයක් පුරාම
දිනපතා කල්ප ලක්ෂය බැගින් සිහිකරලත් ඒ ශ්‍රාවකයන්ට සසරේ ගෙවී ගිය කල්ප
ගණන සම්පූර්ණයෙන්ම සිහිකරල අවසන් කරන්න බැහැ.
බුදුරජාණන් වහන්සේටත්, උතුම් රහතන් වහන්සේලාටත් පුබ්බේ නිවාසානුස්සති
ඤාණය තුළින් සසරේ ගතකළ අතීත ජීවිත කල්ප සිය දහස් ගණනකින් ආපස්සට
සිහිකරලා බලන්න පුළුවන්කම තිබුණා. උන්වහන්සේගේ දේශනා වල සංවට්ට කල්ප,
විවට්ට කල්ප කියා වචන දෙකක් සඳහන් වෙනවා. සංවට්ට කල්පය කියන්නේ ලෝකය
විනාශ වීමට ගතවන කාලය යි. විවට්ට කල්පය කියන්නේ ලෝකය විනාශ වීමෙන් පසු
නැවත සකස්වීමට ගතවන කාලය යි. ලෝකය විනාශවන හැටි සත්තසුරියුග්ගමන
සූත්‍රයේදීත් ලෝකය නැවත සකස් වන හැටි අග්ගඤ්ඤ සූත්‍රයේදීත් බුදුරජාණන්
වහන්සේ මැනවින් පෙන්වා දී වදාළා.
චක්කවත්ති සීහනාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාළා අනාගතයේ දී
මිනිසුන්ගේ ආයුෂ අවුරුදු දහය දක්වා අඩුවුණාට පස්සේ මුව වැද්දෙකුට
මුවෙකු දැක්කාම විනාශ කිරීමේ අදහසක් ඇතිවෙන්නේ යම් සේද, ඒ වගේම මවට
දරුවන් කෙරෙහිත් දරුවන්ට පියා කෙරෙහිත්, සහෝදරයාට සහෝදරිය කෙරෙහිත්,
සහෝදරියට සහෝදරයන් කෙරෙහිත් වෛරී චිත්තය හටගත්නවා. ඔවුන්ගේ අත්වල
තියුණු ආයුධ පහළ වෙනවා. සත් දිනක් පුරා ඔවුන් එකිනෙකා කපා කොටාගෙන
මැරිලා යනවා. මහ පොළොව ලේ විලක් බවට පත්වෙනවා. අන්න ඒ දින හත
හඳුන්වන්නේ ‘සත්ථන්තර කල්පය’ නමින්. ඒ වගේම අප දන්නවා බුදුරජාණන්
වහන්සේ ස්ථාන දසයක දී වාර තුන බැගින් ආනන්ද ස්වාමින් වහන්සේට වදාළා
‘ආනන්දය, යම් කෙනෙක් ඡන්ද, චිත්ත, විරිය, වීමංසා කියන සතර සෘර්ධිපාද
බහුල වශයෙන් වඩල තියෙනවා නම් ඔහුට කල්පයක් හෝ ඊට වැඩියෙන් වුණත්
ජීවත්වෙන්න පුළුවන්. ආනන්දය, තථාගතයන් වහන්සේත් මේ සතර සෘර්ධිපාද බහුල
වශයෙන් වඩලයි තිබෙන්නේ. ඒ නිසා තථාගතයන් වහන්සේටත් කල්පයක් හෝ ඊට
වැඩියෙන් වුණත් වැඩ සිටින්න පුළුවන්’ කියලා. නමුත් ඒ සෑම අවස්ථාවකම
මාරයා විසින් ආනන්ද හිමියන්ගේ සිත වසාගෙන සිටි නිසා උන්වහන්සේට
බැරිවුණා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන්න ‘ස්වාමින් බොහෝ ජනයාට හිතසුව
පිණිස භාග්‍යවතුන් වහන්සේ කල්පයක් වැඩ සිටින සේක්වා. සුගතයන් වහන්ස,
කල්පයක් වැඩ සිටින සේක්වා’ කියලා. එතැනදී කල්පය කියා හඳුන්වන්නේ ආයු
කල්පය යි. ආයු කල්පය කියන්නේ ඒ ඒ යුග වලදී මිනිසුන්ට තිබෙන පරමායුෂ.
බුදුරජාණන් වහන්සේගේ කාලේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු සියක් එකසිය
විස්සක් වගේ ප්‍රමාණයක්.
ඒ වගේම රහතන් වහන්සේලා විසින් බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා
වන්දනා කිරීමට භාවිතා කළ ගාථාවල ‘බුද්ධෝ හවේ කප්පසතේහි දුල්ලානෝ’
යනුවෙන් සඳහන් වෙනවා. ඒ කියන්නේ කල්ප සියයක් ගතවුණත් බුදුවරුන්ගේ උපත
දුර්ලභයි කියන දෙයයි. කල්පයක් කියන්නේ කෙතරම් දීර්ඝ කාලයක්ද කියා අප
මුල දී සඳහන් කළා. එබඳු කල්ප සියයකටම බුදුරජාණන් වහන්සේලා හත් නමයි මේ
ලෝකයට පහළ වෙලා තිබෙන්නේ. මීට කල්ප අනූ එකකට කලින් විපස්සී බුදුරජාණන්
වහන්සේත් පහළ වුණා. ඉන්පස්සේ කල්ප හැටක් යනතෙක් බුදුවරු පහළ වුණේ
නැහැ. එබඳු කල්ප හඳුන්වන්නේ ‘බුද්ධ ශූ®න්‍ය කල්ප’ නමිනුයි. ඒ කල්ප හැට
ගෙවලා ගිහින් සිඛි, වෙස්සභූ® බුදුරජාණන් වහන්සේලා දෙනම (මීට කල්ප තිස්
එකකට පෙර) පහළ වුණා. නැවත කල්ප තිහක් බුද්ධෝත්පාදයක් සිදුවුණේ නැහැ. ඒ
කල්ප හත ගෙවිලා ගිහින් මේ මහා භද්‍ර කල්පය තුළ කකුසඳ, කෝණාගමන,
කාශ්‍යප, ගෞතම කියන බුදුරජාණන් වහන්සේලා සිවුනම ලෝකයේ පහළ වුණා.
බුදුරජාණන් වහන්සේ වදාළා ‘මහණෙනි, කල්පයක් මුළුල්ලේ ඉපදෙමින් මැරෙමින්
සසරේ සැරිසරන එක පුද්ගයෙකුගේ ඇටසැකිලි ගොඩ එක් රැස් කරන්නෙක් සිටියොත්
ඒ රැස් කරන ඇට ගොඩ විනාශ නොවී තිබුණොත් ඔය විදිහට ඒ මහා ඇටසැකිළිගොඩ මේ
වේපුල්ල පර්වතය තරම් විශාල වෙනවා කියලා. යම් කෙනෙකු අතින් මව්, පියා
මැරීම, රහතුන් ඝාතනය, සංඝ භේදය, දුෂ්ඨ සිතින් බුදුන් වහන්සේගේ ලේ
සෙලවීම කියන මේ ආනන්තරිය පාප කර්මයක් සිදුවුණොත් ඔහුට ඒ ජීවිතය තුළ
කිසිදු මාර්ග ඵලයක් සාක්ෂාත් කරන්න බැහැ. හිසින් ගෙනා බරක් බිමින්
තබනවා වගේ් මැරුණු ගමන් නිරයේ ඉපදිලා කල්පයක් පුරා දුක් විඳින්න
සිදුවෙනවා.
ඇතැම් අය මනුස්ස ලෝකයේ දී නොයෙක් මිත්‍යා දෘෂ්ඨිවලට හසුවෙලා බරපතල
විදිහට පව් කර මරණින් මතු නිරයේ ඉපදී කල්ප ගණන් දුක් විඳිනවා. ඇතැම් අය
සම්මා දිට්ඨියෙන් යුතුව නොයෙක් පින් කරලා භාවනා කරලා සමාධිය දියුණු
කරගෙන මරණින් මතු දෙව්ලොව බඹලොව ඉපදිලා කල්ප ගණන් සැප විඳිනවා. යම්කිසි
කෙනෙක් පළමුවෙනි ධ්‍යානය උපදවාගෙන ඒ ධ්‍යානයේ ම නො පිරිහී කළුරිය
කෙළොත් ඔහු බ්‍රහ්ම කායික දෙවියන් අතර උපදිනවා. බ්‍රහ්මකායික දෙවියන්ගේ
ආයුෂ කල්පය යි. යම් කෙනෙක් දෙවෙනි ධ්‍යානය උපදවාගෙන ඒ ධ්‍යානයන් නො
පිරිහි කළුරිය කළොත් ඔහු ආභස්සර දෙව්ලොව උපදිනවා. ආභස්සර දෙවියන්ගේ
ආයුෂ කල්ප දෙකයි. යම් කෙනෙක් තුන්වෙනි ධ්‍යානය උපදවාගෙන ඒ ධ්‍යානයෙන්
නො පිරිහි කළුරිය කළොත් ඔහු සුභකිණ්හ දෙව්ලොව උපදිනවා. සුභකිණ්හ
දෙවියන්ගේ ආයුෂ කල්ප හතරයි. කවුරුහරි කෙනෙක් හතරවෙනි ධ්‍යානය උපදවාගෙන
ඒ ධ්‍යානයෙන් නො පිරිහි කළුරිය කළොත් ඔහු වේහප්ඵල දෙවියන් අතර උපදිනවා.
වේහප්ඵල දෙවියන්ගේ ආයුෂ කල්ප පන්සියයි. බුදුරජාණන් වහන්සේ වදාළා
පෘථග්ජන අය ඒ ඒ ලෝකවල ආයුෂ අවසන් වුණාට පස්සේ ඒ ලෝක වලින් චුතවෙලා
නිරයේ උපදින්න පුළුවන්. තිරිසන් ලෝකයේ පේ‍්‍රත ලෝකයේ උපදින්නත්
පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් ඒ ඒ ලෝකවල ආයුෂ
ඇතිතාක් ඉඳල ඒ ලෝකවලදීම පිරිනිවන් පානවා කියා.
ඒ වගේම තථාගතයන් වහන්සේ වදාළා ‘පින්වත් මහණෙනි ආරම්භක කෙළවරක් දැකගත
නොහැකි මේ සසරේ ඔබ විසින් කල්ප ගණන් අනේක දුක් අනුභව කරල තිබෙනවා.
අතිදීර්ඝ කාලයක් මුළුල්ලේ ඔබ විසින් තියුණු දුක්විඳල තිබෙනවා. එම නිසා
පින්වත් මහණෙනි සියලු සංස්කාරයන් කෙරෙහි අවබෝධයෙන්ම කලකිරෙන්නමයි
වටින්නේ. නො ඇලෙන්නමයි වටින්නේ. නිදහස් වෙන්නමයි වටින්නේ.
පින්වත් මහණෙනි, කරුණු හතරක් අවබෝධ කර ගැනීමට නොහැකිවීම නිසා ඔබත්,
මමත් මේසා දීර්ඝ සසරේ සැරිසරමින් ආවා. ඒ ආර්ය සීලය, ආර්ය සමාධිය, ආර්ය
ප්‍රඥාව ආර්ය විමුක්තිය යන මේ සතරයි. මේ කරුණු හතර අවබෝධ කර ගැනීමෙන්
සාක්ෂාත් කිරීමෙන් භව තෘෂ්ණාව මුලින්ම ඉදිරිලා යනවා. භව රැහැන් සිඳිලා
යනවා. නැවත භවයක් හට ගන්නේ නැහැ. ඒ නිසා අපත් කල්ප ගණන් දුක් විඳිමින්
පැමිණි සසර ගමන නිමා කිරීමට බුදුරජාණන් වහන්සේ වදාළා ධර්මයම පිහිට
පිළිසරණ කර ගනිමු.
සටහන - නයනා නිල්මිණි |