සංවේදී දරුවා
ලොවට යහපතක්
වැල්ලම්පිටිය
පරමධර්මෝදය විහාරයේ,
මවුපිය සෙනෙහස පදනමේ අධ්‍යක්ෂක
විටියල කවිධජ හිමි
මව්පිය සෙනෙහසක මහිමය’ තුළින් ඔබට කියා දෙන්නේ ඔබ පිළිබඳව යි. ඔබගේ දූ
දරුවන්ගේ අනාගතය පිළිබඳ යි. නිවසක් තුළ රැකිය යුතු ගුණ ධර්ම පිළිබඳව
යි. නිවසේ ඇතිදැඩි වන දරුවායි මතු දවසක සමාජයේ හොඳ හෝ නරක පුරවැසියෙක්
වන්නේ. අප ඒ පිළිබඳව මෙසේ සාකච්ඡා කළා.
ස්වාමින් වහන්ස, අපගේ දරුවන්ට ප්‍රායෝගිකව බුදුදහම පුරුදු කරන්නේ
කෙසේද?
බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා දුකෙන් මිදෙන මඟ වදාළා. උන්වහන්සේ
අවබෝධ කරගත් ගැඹුරු දහම විවිධ අංශ ඔස්සේ අපට කියා දුන්නා. බුද්ධිමතුන්ට
කථා කරන මෙම දහම ප්‍රඥාවන්තයන්ටයි අයිති. උන්වහන්සේ දුකෙන් මිදෙන මඟ
කියාදෙන ගමන්ම දරුවෙකු මූලික අධ්‍යාපනය ලබන නිවසේ පරිසරය පිළිබඳවත්
විවිධ අවස්ථාවල දී කරුණු වදාළා.
අප දන්නවා නිවසක් තුළ දරුවන් බොහෝ විට අම්මා තාත්තාට අමතරව ආච්චි සීයා
හා තවත් වැඩිහිටියන් සමඟජීවත් වෙනවා. වැඩිහිටි අප නිරන්තරයෙන් යම් එක්
කාර්යයකට යොමු වෙනවානම් දරුවන්ද ස්වේච්ඡාවෙන්ම ඒ කාර්යයට පෙළෙඹෙනවා.
යම් නිවසක වැඩිහිටියන් රූපවාහිනියට වැඩි කැමැත්තක් දක්වනවා නම් ඒ නිවසේ
සිටින කුඩා දරුවා රූපවාහිනියට ඇබ්බැහි වෙනවා. නිවසක වැඩිහිටියන් ගීත
අහන්න, චිත්‍රපට බලන්න කැමැති නම් ඒ නිවසේ දරුවෝද ඒ දේට පි‍්‍රය කරනවා.
ඒ වගේම තමයි යම් නිවසක වැඩිහිටියන් තමන්ගේ ආගමට වැඩි තැනක් ලබා දෙනවාද
ඒ නිවසේ කුඩා දරුවෝද බුද්ධ වන්දනාවට, පිරිත් අහන්න, කියන්න
වැඩිහිටියන්ට ගරුබුහුමන් දක්වන, පි‍්‍රයශීලි දරුවන් බවට පත්වෙනවා.
අපගේ ලෝකය සීඝ්‍රයෙන් නවීකරණයට ලක්වෙලා. ගසාගෙන යන එක් වාණිජ රාමුවකට
කොටුවෙලා. නමුත් අපට පෙර වැඩිහිටි පරම්පරාව තමාගේ ආගම දහමට බොහෝ සේ
ලැදිවයි ජීවත් වුණේ. ඔවුන් නිරන්තරයෙන් බුදුන් වැඳීම පිරිත් කීම ආදි දේ
සිදුකළා. ඒ නිවසේ ආච්චි සීයා කුඩා මුණුබුරෝ මිනිබිරියෝ වටකරගෙන ලෝවැඩ
සඟරාව, සිදත් සඟරාව, සුභාෂිතය, සතර සතිපට්ඨානය ආදිය කියා දුන්නා. ඒ අය
වැඩි අධ්‍යාපනයක් ලබා නො තිබුණත් කටපාඩමින් මේ දේවල් දරාගෙන සිටියා. ඒ
නිවසේ දරුවන්ට ද කුඩා කාලයේ සිටම ඒ දේවල් පුරුදු පුහුණු වුණා. ටිකෙන්
ටික වැඩෙන දරුවාගේ මනසේ උතුම් බුදුගුණ ද වැඩුණා. ඒ නිසාම ඔවුන් පව්
පින් හොඳින් හඳුනාගෙනයි වැඩ කළේ. ඒ නිසාම වැඩිහිටි වන දරුවාට මහගෙදර
පි‍්‍රය උපදවන ස්ථානයක් වුණා. අම්මා තාත්තා වයසට ගියාද ඒ දරුවන්ට ඔවුන්
සම්පතක් වුණා.
දරුවන් සිටින පවුලක වැඩිහිටියන් අනිවාර්යෙන්ම දහමට නැඹුරු විය යුතුම
යි. දානමාන දෙන්න, පසළොස්වක පෝයට සිල් සමාදන් වෙන්න, ඉඩ ලැබෙන ආකාරයට
භාවනාවක යෙදෙන්න සෑම දිනකම රාත්‍රියේ හෝ බුද්ධ වන්දනාව කරන්න පිරිත්
කියන්න මේ දේවල් දිනචරියාවේ තිබිය යුතු වෙනවා. එසේ කරන දරුවන් ගේ දෑතට
මිලමුදල් වගේම හදවතට මනුස්සකමත් දීමට වැඩිහිටියන්ට පුළුවන් වෙනවා. එවිට
අනාගතයේ දී සංවේදී දරුවෙකු ඔබට මුණ ගැහේවි. අම්මගෙන් තාත්තගෙන්
ලබාගන්නා ආදර්ශ තමයි දරුවන්ට කාන්දු වෙන්නේ. බෞද්ධ ධර්මයත් සමඟ මිශ්‍ර
වූ සිංහල සංස්කෘතිය පමණයි පවුල තුළින් සංවේදී මිනිසුන් බිහිකරන්නේ.
“අපේ දරුවන් කීකරු නැහැ” බොහෝ මවුපියන්ගේ විලාපය මෙයයි. මෙයට හේතුවක්
කුමක් විය හැකිද?
මෙයට මූලිකවම වගකිව යුත්තේ මවුපියන්. දරුවා කුඩා කාලයේ සිටම වැඩි
කාලයක් හැදෙන්නේ වැඩෙන්නේ ක්‍රියා කරන්නේ මවුපියන්ගේ සෙවනේ. වර්තමානයේ
එක නිවසක හතර දෙනෙකු ඉන්නවානම් ඒ හතර දෙනා රාමු හතරකට කොටුවෙලා. තාත්තා
ව්‍යාපාර ලෝකයේ. අම්මා බොහෝ විට සමිති සමාගම්වල නිලතල සමඟ. ලොකු දරුවා
පරිඝණකයට කොටුවෙලා. අනෙක් දරුවා ජංගම දුරකතනයට කොටුවෙලා. නැතිනම්
රූපවාහිනියේ ඇබ්බිහි වෙලා. එහි යන කාටුන් වලට ගිජුවෙලා. මේ නිසා
මෙත්තාව, කරුණාව, මුදිතාව, පමණක් නොව අධ්‍යාපනය, ක්‍රීඩාව, සහයෝගයෙන්
ජීවත්වීම, අනෙකාගේ දුකට පිහිටවීම මේ සියලු දෙයින් දරුවා බැහැර වෙලා. මේ
වාණිජ ලෝකය අපව ගිලගෙන ඉවරයි. රාති‍්‍රයට නිවසට එකතුවන සාමාජිකයෝ මේ
ලෙස වෙන වෙනම කාමර තුළ තම තමන්ගේ ලෝකයන් තුළ ගෙවන ජීවිත නීරස යි. එක
පවුලේ වුවත් ඔවුන් දවසට වචන දෙක තුනක් හෝ කථා කිරීමට නොහැකි තරම්
කාර්යබහුලයි. මේ නිසා දරුවාගේ මානසික මට්ටම ඉක්මණින්ම බිඳී යනවා. ඔවුන්
දැඩි ආත්මාර්ථකාමින් බවට පත්වෙනවා. තමා ගැන පමණක් සිතීමට පුදුරුවෙනවා.
වැඩිහිටි වී සමාජයට යන්නේද එවැනි ආත්මාර්ථකාමි පුද්ගලයන්. එවිට සමාජයේද
ගැටුම් ඇතිවීම වළක්වන්නට බැහැ. නමුත් දරුවන් පිළිබඳ මවුපියන් අධීක්ෂණයක
සිටියානම් ඔවුන් නරක ආශ්‍රයට යොමුවන්නේ නැහැ. මුලදීම වැඩිහිටියන්ට එය
හඳුනාගන්න පුළුවන්. අද අපේ බොහෝ මවුපියන් දරුවන් සමග ලෙන්ගතු නැහැ.
දරුවන්ට පි‍්‍රය ස්ථානයක් නොවේ නිවස. ඒ නිසාම දරුවන් මුරණ්ඩුයි.
හිතුවක්කාරයි. දරුවාගේ රුචි අරුචිකම් තේරුම් ගන්නේ නැහැ. දරුවා නොමඟ
ගියාම අම්මා, තාත්තාට දොස් කියනවා තාත්තා, අම්මාට දොස් කියනවා. එවිට
ප්‍රමාද වැඩියි. වගකීමෙන් අප කටයුතු කළ යුත්තේ ඊට පෙරයි.
මානසික මට්ටම බිඳ වැටෙන දරුවාගේ ක්‍රියාවන් කෙබඳු ද ?
පෙරදී සඳහන් කළාක් මෙන්ම දරුවාගේ මානසික ආතතියට නිවසේ විවිධ ගැටළුකාරි
පීඩාකාරි හේතු බලපානවා. සමහර විට අපේ රටේ අධ්‍යාපන ක්‍රමයත් බලපානවා.
නිරවුල් නිදහස් මනසක් ඇති දරුවෙකු ගේ මූලික අඩිතාලම ඔහුගේ නිවසෙන්
ලැබෙන්නට ඕන. සීඝ්‍රයෙන් දුවන තරඟ රටාවට ගැති වෙන මවුපියන් නිසා
දරුවන්ගේ මානසික මට්ටම බිඳ වැටෙනවා. මවගේ හා පියාගේ ගැටුම් ද මෙයට
හේතුවක් වෙනවා. අම්ම හා තාත්තාගේ අදහස් වල නො ගැලපීමට වන්දි ගෙවන්නට
සිදුවෙලා තිබෙන්නේ දරුවන්ට යි. අම්මා කියන දේට තාත්තා කන් නො දෙනවා
වගේම, තාත්තා කියන දේට අම්මත් කීකරුබවක් දක්වන්නේ නැහැ. පෙර සිටිය අපේ
වැඩිහිටියන්ට පවුල් ජීවිතය තුළ විවිධ ගැටළු තිබුණා.
නමුත් මෙයින් මිදුන පවුල් අප දැක තිබෙනවා. විවිධ රාජකාරි සඳහා උදේට
නිවසින් පිටවන සාමාජිකයෝ රාත්‍රියේ දී නැවත මුණ ගැහෙනවා. ඔවුන් රාත්‍රි
කෑම මේසය, දවසේ සිදුවීම් කියන්න, කථාබහ කරන්න වෙන් කරනවා. අම්මා තාත්තා
දරුවන්ගේ එදිනෙදා සිදුවීම් අහනවා. ඔවදන් දෙනවා. තමාගේ නිවස පි‍්‍රය
උපදවන ස්ථානයක් කරන්නට මවුපියන් උත්සාහ කරනවා. එවිට දරුවාගේ මනස නිරෝගි
වෙනවා. පීඩාවක් ඇතිවන්නේ නැහැ.
මෙතැනදී කියන්න ඕන දිළිඳුකමත්, නූගත්කමත් නිසා බොහෝ නිවෙස්වල ගැටුම්
ඇතිවෙනවා. ඒ වගේම පියාගේ බේබදුකම විශාල ප්‍රශ්න ඇතිකරන ගැටළුවක් වෙලා
තිබෙනවා. තාත්තා හවසට බීගෙන ගෙදර ඇවිත් රණ්ඩු දබර කරනවා. තාත්තා ගෙදර
එනකොට දරුවන් ඉතාමත් බියට පත්වෙනවා. ගෙදර බඩු පොඩිකරයි, අම්මට ගහයි.
රණ්ඩු කරයි කියලා බයෙන් භීතියට පත්වෙලා ගුලිවෙනවා. ඒ දරුවන්ගේ මානසික
මට්ටම ඉතාමත් පහත් මට්ටමකයි තිබෙන්නේ. ඔවුන් සමාජයට ද්වේශ කරනවා. මව
පැත්තෙනුත් දරුවන්ගේ මනස පිරිහෙනවා. සමහර විට ඇතැම් අම්මලාට අද දවසේ
තිබෙන දෙයක් තමා අනියම් සබඳතා. මේ නිසාත් නිවසේ ගැටුම් ඇතිවෙනවා. ඒ
නිසාත් දරුවන් මානසික ආතතියට පත්වෙනවා.
දැන් ඔබට පෙනෙනවා නේද මේ සියලුම දේට වගකිව යුත්තේ ඔබ බව. දරුවා
මුරණ්ඩුනම්, හිතුවක්කාරම්, අකීකරුනම්, මානසික ආතතියෙන් පෙළෙනවානම්
වගකිව යුත්තේ සමාජය හෝ පාලකයන් නොවේ. අම්මා සහ තාත්තා. ඒ දෙදෙනා දරුවා
බිහි වූ දා සිටම සිතන්නට ඕන අපට දැන් දරුවෙක් ඉන්නවා. අපට වගකීමක්
තියෙනවා. අප දැන් වගකීමෙන් කටයුතු කරන්න ඕන.
දරුවා යහපත් ලෙස හදාගන්න නම් නිතරම සාරධර්ම, ගුණධර්ම අප ක්‍රියාවෙන්
කරන්නට ඕන. මවුපිය උපස්ථානය, නැතිබැරි අයට සැලකීම, සිල්ගුණදම් රැකීම,
දානමාන දීම මේ ආදී හැම දේම මුලින්ම කළයුතු වන්නේ මවුපියන්. ඒ දෙස
බලාගෙන ඉන්න දරුවා තමන්ගේ මනස ඒ දෙසට යොමු කරනවා. අම්මා, තාත්තාටත්,
තාත්තා, අම්මාටත් සෙනෙහස කරුණාව දැක්වීම තුළින් සංවේදී දරුවෙකු,
ගුණධර්ම පිරි දරුවෙකු, නිරෝගිමත් කායික මානසික සංවරයෙන් යුතු දරුවෙකු
සමාජයට දායාද කළ හැකියි.
- නයනා නිල්මිණි |