තනිකම සහ පාළුව
ආචාර්ය
මිරිස්සේ ධම්මික හිමි
සමහර අයකුට කිසිවකුත් නැති වනයක් මැද සිටියත් පාළුවක් හෝ තනිකමක්
නොදැනේ. තවත් අයකුට දහසක් පිරිස මැද සිටියත් මහත් වූ තනිකමක් හා
පාළුවක් දැනේ. මින් අදහස් වන්නේ තනිකම හෝ පාළුවට හේතුව පිරිසක් තමන්
සමඟ සිටීම හෝ නොසිටීම ම නොවන බවයි. එය සිත තුළ පවත්නා මනෝමය
ක්‍රියාවලියක ප්‍රතිඵලයකි.
බෞද්ධ දර්ශනයට අනුව මෙම මනෝමය ක්‍රියාවලිය කුමක් ද ? සිත නිරන්තරයෙන්
පංච ඉන්ද්‍රියයන් තුළින් බාහිර අරමුණු අල්ලා ගන්නා බව දනිමු. එම
අල්ලාගත් අරමුණු රස මිහිරි හා සුබ ලෙසින් සිත තුළ තැන්පත්ව ඇත්තේ නම්
ඒවායේ වෙනස්වීම් අන් අයකුට අයිතිවීම හෝ නැතිව යාම පිළිගන්නට මේ අභාවිත
සිත කැමැති නැත. සිතින් අරමුණු අල්ලාගෙන සිටින කාලය තුළ සිත ‘පිරී’
පවතින්නේ යැයි හෝ සතුටක් තිබෙන්නේ යැයි හෝ යනුවෙන් යමෙක් කියති.
මේ ලෝකයෙහි කිසිවක්ම නිත්‍ය හෝ ස්ථිරව නොපවත්නා බවත් ක්‍රමයෙන් වෙනස්
වෙමින් ගොස් නැතිවී විනාශ වී යන බවත් බෞද්ධ දර්ශනය කියා දෙයි. අල්ලාගත්
අරමුණුවල වෙනස්වීම සිත විසින් දකින්නට හෝ දැනගන්නට ආරම්භ කරනු ලැබූ
විට සිත කලබල වෙයි. එම වෙනස්වීම පිළිගන්නට අකැමැතිවීමත් නිසා සිත
අනාරක්ෂිත වෙයි. මෙම සාමාන්‍ය වචනවලින් සඳහන් කරන්නේ නම් සිතට පිහිටක්
ආරක්ෂාවක් හෝ බලාපොරොත්තුවක් නැතිව යාමකි. එවැනි අවස්ථාවක “ අනේ මට
පාළුයි” මට හරිම තනිකමක් දැනෙනවා යැයි යම් කෙනෙක් කියනු ඇත. එනම් ඔබ
කියන “තනිකම” “පාළුව“ සිතට දැනෙන්නේ පුද්ගලයන්ගේ වෙනස්වීමක් හෝ ඉවත්ව
නැතිව යන විටෙකදීය. ඔබ මෙලෙස කොතෙකුත් කියා තිබෙන්නට පුළුවන. “ගෙදර
කවුරුවත් නැහැ. මට මහා පාළුවක් දැනෙනවා. මට මගේ දරුවන් ළඟ නැතිව මහා
තනිකමක් වගේ. ඔබ මගේ ළඟ සිටිනවා නම් මට පාළුවක් නැහැ.” මෙලෙස කියන්නේ
සිතින් මගේ යැයි ප්‍රිය බවින් අල්ලාගෙන සිටින අයගේ නැතිව යාමක් හෝ
වෙනස් වීමක් පිළිබඳව නේද? එමෙන්ම තාවකාලිකව හෝ පුද්ගලයා නමැති අරමුණ
සිතින් අල්ලාගෙන සිටිනතාක් මට ඔබ නිසා පාළුවක් හෝ තනිකමක් නැතැයි කීවද
සිතින් අල්ලාගෙන සිටින ඔබ වෙනස්වී ගියහොත් පාළුවක් දැනෙන බව මෙයින්
හැඟවේ.
බෞද්ධ දර්ශනයට අනුව සිතින් ආලයෙන් බැඳගත් හෝ ප්‍රිය බවින් ළංව සිටින
අයගේ වෙනස්වීම දුරස්වීම හා නැතිවයාම නිසා හටගන්නා දුක්ඛ, දෝමනස්ස, විරහ
වේදනාවම පසුව තනිකම හා පාළුව යන වචනවලින් හඳුන්වයි. අල්ලා ගැනීම
(උපාදානය) නැති කරන තෙක් මේ පාළුව හා තනිකම අපට වඩාත් දැනේ.
මෙලොව ඉපදුණු අප සිතින් ඔවුනොවුන් අල්ලා නොගෙන සිටින්නේ කෙසේද? මම මගේ
ස්වාමියාට බිරියට දරුවන්ට දෙමව්පියන්ට සොයුරු සොයුරියන්ට ‘මගේ’ යැයි
ඇමැතීම නුසුදුසු වේද? ඔවුන්ට සිතින් ආදරය කළ නොහැකි ද? පෙර ලිපිවලදීත්
සඳහන් කළ අයුරින් “සම්මුතියට” අනුව මගේ යැයි කීමෙහි වරදක් නැත. ඔබ එය
කළ යුතුය. සාමාන්‍ය ලෝකයේ පැවැත්ම සැකසී ඇත්තේ එසේය. තමන් “පරමාර්ථය”
නම් සත්‍යය වූ ජීවිතයේ ලෝකයේත් සැබෑ ස්වභාවධර්මය අමතක නොකළ යුතුය. එනම්
සැබෑවටම තමන්ගේ කියා කිසිවක් නැත. සියල්ලම, සියල්ලෝම වෙනස් වෙති.
සැබෑවටම යමක් මගේ නම් එය වෙනස්විය නොහැකිය. මට වුවමනා විදියට පාලනය විය
යුතුය.
එය එසේ නොවන බව අපි දනිමු. එය සැබෑවටම මගේ නොවන නිසාය. මේ ලෝකස්වභාවය
තරමකින් හෝ දකින්නට සිතට පුරුදු කරනවිට තනිකම හා පාළුව මඟහැරී යන්නටත්
දුරුවෙන්නටත් පටන්ගන්නා බව ඔබටම දැනේ. ප්‍රිය වස්තූන්ගෙන් වෙන්වීම හා
ඈත්වීම නිසා ඇතිවන පීඩාකාරී මානසික සිතිවිල්ල හැමදාම හෝ නිරන්තරයෙන්
පවතී යැයි දිගින් දිගටම හැඟුණොත් එය මානසික ආතතියක් හෝ තදබල පීඩනයක්
බවට පත්විය හැකිය.
මේ නිසා සම්මුතියට අනුව මගේ යැයි අල්ලාගෙන ජීවත්වන මේ දිවි ගමනේ
අනිත්‍යතාව හෙවත් වෙනස්වීම බිඳීයාම ඉවත්ව යාම හා නැතිව යාම පිළිගන්නට
සිත පුරුදු කිරීම තනිකම හා පාළුව නැතිකර ගන්නට තිබෙන නිවැරැදිම
මාර්ගයයි.
තනිකම හා පාළුව නැති කරගන්නට යැයි ඔබ තව තවත් වස්තූන්වල සිත පිළිබඳව
අනවබෝධයෙන් යුතුව බැඳුණොත් ඔබට සිදුවන්නේ තනිකමක් පාළුවක් දීර්ඝ
කරගන්නට ය. සිතට අලුතින් යමක් අල්ලා ගැනීමක් එකතුවීමත් නිසා තාවකාලික
සහනයක් ලැබුණද ඒවාද වෙනස්වී නැතිව යනවිට ඔබේ සිතට සිදුවන්නේ කුමක් ද?
මේ නිසා සිතේ නො සන්සුන්කමක් වූ තනිකම හා පාළුවට මූලික වූ හේතුව නොසොයා
“පැලැස්තර” දැමීමෙන් සිදුවන්නේ රෝගය අසාධ්‍යවීම පමණකි. එනිසා තනිකම
පාළුව නැතිකර ගන්නට යැයි කියමින් මත්වතුරට මත් ද්‍රව්‍යවලට හෝ
දුම්පානයට ඇබ්බැහිවීම සුදුසු පිළියමක් නොවේ. එමෙන්ම නිසිසේ සිත හඳුනා
නොගෙන තව තවත් ප්‍රිය වස්තූන් කෙරේ බැඳීමද සාර්ථක පිළිතුරක් නොවනු ඇත.
ලෝභ, දෝස, මෝහ ආදී පීඩාකාරී සිතිවිලි යටපත් කිරීම, පාලනය කිරීම සහ
ප්‍රහාණය පිණිස ධර්ම මාර්ගයක් බුදුරජාණන් වහන්සේ විසින් මජ්ඣීම නිකායේ
විතක්ක සන්තාන සූත්‍රයේදී මෙසේ පෙන්වා දී තිබේ. තනිකම හා පාළුවට
හේතුවන, ලෝභය සහ රාගය ආදී සිතිවිලි පාලනයේදී මෙම ධර්මෝපදේශ මහත්සේ
උපකාරී වනු ඇත.
යම් භික්ෂුවක් අරමුණකට සිත යොමුකරන විට ඒ සිතට ලෝභ සහගත, දෝස සහගත, මෝහ
සහගත වූ සිතිවිලි උපදී නම්, ඔහු විසින් කුසල සහගත අරමුණකට සිත යොමු කළ
යුතුයි.
කුසලාරම්මණයක් මෙනෙහි කරන විට, ලෝභ, දෝස, මෝහ සහගත වූද, සිතිවිලි
පහවෙයි. සංසිෙඳයි, අකුසල් සිතිවිලි පහවූ විට, ඔහුගේ සිත සන්සුන් වෙයි,
නිසල වෙයි, එක් අරමුණක පිහිටයි, සමාධිගත වෙයි. වඩුවෙක් හෝ ඔහුගේ
අතවැසියා හෝ, සියුම් ඇණයකින් ලොකු ඇණයක් ගලවන්නාක් මෙන් භික්ෂුවක්
කුසලාරම්මණයක් මෙනෙහි කරන විට සිත සන්සුන් වෙයි, නිසල වෙයි, අරමුණක
පිහිටයි, සමාධිගත වෙයි.
කුසලාරම්මණයක් මෙනෙහි කරන විටත්, ඒ භික්ෂුවට ලෝභ, දෝස, මෝහ සහගත වූ
අකුසල සිතිවිලි ඇතිවේ නම්, ඔහු ඒ අකුසල් සිතිවිලිවල ආදීනව මෙසේ සලකා
බැලිය යුතුයි. “ මේ සිතිවිලි අකුසල්ය. වැරැදිය. දුක් විපාක ගෙන
දෙන්නේය.”
මෙසේ ඒ සිතිවිලිවල ආදීනව සලකා බලනවිට ඒ ලෝභ සහගත දෝස සහගත, මෝහ සහගත
අකුසල් සිතිවිලි පහවෙයි. සංසිදෙයි. අකුසල් සිතිවිලි පහවූ විට ඔහුගේ සිත
සන්සුන් වෙයි. නිසල වෙයි. එක අරමුණක පිහිටයි. සමාධිගත වෙයි.
සිරුර සැරැසීමට කැමැති තරුණ ස්ත්‍රියක් හෝ පුරුෂයකු හෝ, තම බෙල්ලේ
එල්ලන ලද නයි කුණක හෝ බලු කුණක් හෝ මිනිස් කුණක් හෝ දැක ලජ්ජාවට පත්වී
එය අතිශයින් පිළිකුල් කරමින් ඉවත් කරන්නේ යම්සේද, එමෙන්ම භික්ෂුව, එම
අකුසල සිතිවිලිවල ආදීනව මෙනෙහි කිරීමෙන් ඒවා ඉවත් කරයි. එවිට ඔහුගේ සිත
සන්සුන් වෙයි, නිසල වෙයි, එක් අරමුණක පිහිටයි, සමාධිගත වෙයි.
|