UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දුමින්දාගමනය සහ ශ්‍රී ලාංකික ජන සමාජය

දුමින්දාගමනය සහ ශ්‍රී ලාංකික ජන සමාජය

“බුදුන් වහන්සේ ප්‍රයෝජන විඳිනා ලද බෝධිය වනාහි ඒ සර්වඥයන් විද්‍යාමාන කල්හි දු චෛත්‍යයම වෙයි” යනුවෙන් සිංහල බෝධි වංශයෙහි දක්වා තිබේ. එහෙයින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වූ කලී, ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සමානව, සමස්ත බෞද්ධ ලෝකයා අතර අති පූජනීයත්වයට පත් වූ උතුම් වස්තුවකි.

වර්තමානයේ දඹදිව, බුද්ධගයාවේ වැඩ වසන්නේ බුදුරදුන් පිටදී වදාළ මුල් බෝධීන් වහන්සේ නොවේ. උන්වහන්සේගේ සිව්වැනි පරම්පරාවේ බෝධීන් වහන්සේ නමකි. එහෙත් අනුරාධපුරයේ වැඩවසන්නේ එම මුල් බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාවයි. එබැවින් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අති පූජනීයත්වය මෙන්ම ඓතිහාසික අගය ද අපමණය.

ශ්‍රී ලාංකික බෞද්ධයන්ට, අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අගය දෙයාකාර වේ. ඉන් පළමුවැන්න උන්වහන්සේගේ පූජනීයත්වය හා බැදේ. එය සමස්ත බෞද්ධ ලෝකයාටම පොදු වූවකි. දෙවැන්න බෝධීන් වහන්සේ හා සිංහල බෞද්ධ සංස්කෘතිය අතර ඇති අවියෝජනීය බැඳීමයි. එය අපටම අනන්‍ය වූවකි.

අප මෙම ලිපියෙන් උත්සාහ කරන්නේ එලෙස ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ සිංහල ජන සමාජය අතර සංස්කෘතික වශයෙන් ඇති වූ සහ සම්බන්ධය හැකි පමණ විග්‍රහ කිරීමට බව සැලකිය යුතු වේ.

ක්‍රි.පූ. 236, ශ්‍රී ලාංකික ඉතිහාසය යහමඟට යොමු කළ විශිෂ්ට ඓතිහාසික සිදුවීම් දෙකක් සිදු වූ වසරක් ලෙස ඉතිහාසයට එක් වී තිබේ. ඉන් පළමුවැන්න මහින්දාගමනයයි. එමඟින් බුදුදහම නිල වශයෙන් ශ්‍රී ලංකාවට ලැබිණ. එහි ප්‍රතිඵලයක් ලෙස මෙරට ජනතාව තුළ අතිවිශිෂ්ට චින්තන විප්ලවයක් සිදුවිය. දෙවැන්න දුමින්දාගමනය යි. එමඟින් දඹදිව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව ශ්‍රී ලංකාවට වැඩම කරවා අනුරාධපුර මහමෙවුනා උයනේ රෝපණය කෙරිණි. ඒ හා සමඟම මෙරට ජන සමාජයේ ආධ්‍යාත්මික තලයේ මෙන්ම විශේෂයෙන්ම භෞතික තලයේ ඉතා වැදගත් පරිවර්තන රාශියක් සිදුවිය.

මහාවිහාරයට අනුව ක්‍රි.පූ. හයවැනි සියවසේ සිදු වූ විජයාගමනය නම් වූ විශාලතම ආර්ය සංක්‍රමණය නිසා, මෙරට සිංහල ජනතාවගේ උපත සිදුවී තිබේ. ක්‍රි.පූ. හතරවැනි සියවසේ දී පණ්ඩුකාභය රජතුමා, මෙරට සිටි ස්වදේශික ජනතාව සහ මැනවින් මිශ්‍රවෙමින් සිංහල ජාතියේ වර්ධනය වඩාත් සවිමත් සහ ක්‍රමවත් කළේ ය. මේ කාලය වන විට මෙරට ප්‍රධාන වශයෙන් බ්‍රාහ්මණාගම ප්‍රධාන, ජෛන, යක්ෂ ඇදහිල්ල, වෘක්‍ෂ වන්දනය වැනි විවිධ මිථ්‍යා ආගම් රැසක් ප්‍රචලිතව තිබිණි. ප්‍රබල බ්‍රාහ්මණ දහමට අනුව, සමාජයෙහි පිරිමියා බලවත් වෙමින් පුරුෂාධිපත්‍යය පැතිරී තිබූ අතර, ස්ත්‍රිය චින්තනමය සහ භෞතික වශයෙන් බොහෝ සීමාවන් තුළ සිරකාරියකගේ තත්වයෙහි පසු විය. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආගමනය නිසා සිදු වූ ප්‍රථම සහ විශිෂ්ටතම සිදුවීම, එතෙක් පැවැති යටකී සියලු බැඳීම් පුපුරුවා හැර ශ්‍රී ලාංකික ස්ත්‍රිය නිදහස් වූත් පුරුෂයා හා සමාන හැකියාවලින් යුක්ත වූත් තැනැත්තියක් බවට පත් වීමයි.

බෝධිවංශය ඇතුළු වංශ කතාවලට අනුව, සංඝමිත්තා මහ රහතන් තෙරණින් වහන්සේ වහන්සේ බෝධි ශාඛාව මෙරටට වැඩමකරවන විට උන්වහන්සේ සමඟ උත්තරා, හේමා, පසදමාලා, අග්ගිමිත්තා, මල්ලා, මහාදේවි, පදුමා, සුමා ඇතුළු මෙහෙණින් වහන්සේලා එකොළොස් නමක් වැඩමකරවා තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස වෙනත් කිසිම ආගමක නොමැති ලෙස මෙරට ස්ත්‍රීන්ට පැවිදි දිවියට ඇතුළත්ව නිවන් මාර්ගයේ දොරටු විවෘත විය. එය බමුණු සමාජය තුළ ස්ත්‍රිය සිරකර තිබූ සිරගෙය සුණු විසුණු කර උත්තරීතර මානව නිදහස ඇයට ලබාදීමක් විය.එතෙක් පුරුෂාධිපත්‍ය රජ කළ සමාජය, එතැන් පටන් මාතෘ මූලික සමාජයක් බවට පත් විය. මෙය ලෝක ඉතිහාසයේම අමරණීය අවස්ථාවකි. භික්‍ෂුන් වහන්සේලා සේම රහත් භික්‍ෂුණීන් වහන්සේලා ද මේ දෙරණ මත බිහි වූයේ එබැවිනි. භෞතික වශයෙන් ගත් කල, අනුලා දේවී, ලීලාවතී ආදී රාජණියන් බිහිවූයේ එබැවිනි. බෝධි ආගමනය නිසා ශ්‍රී ලාංකිකයන් ලද ප්‍රථම විශිෂ්ට දායාද. එකී ස්ත්‍රී නිදහස විය. ථූපාරාමය සහ මිරිසවැටිය එවන් භික්‍ෂූණීන් වහන්සේලා වැඩ සිටි මෙහෙණිවර වේ.

ධර්මාශෝක මහා අධිරාජයා, බෝධීන් වහන්සේ සමඟ දහ අට කුලයක ජනතාව මෙරටට එවූ බව මහාවංශයේ සඳහන් වේ. පාලි බෝධිවංශ ගැටපදය ඔවුන් මෙසේ දක්වයි.

1. බලත්ථ කුලය - දොර රැකීම
2. උද්‍යානපාල කුලය – මල් වැවීම
3. කුලිංග කුලය – මල් සැපයීම
4. මාලාකාර කුලය – මල් ගෙතීම
5. කප්ප කුලය – ලද පස් මල් තැනීම
6. පෙසකර කුලය - රෙදි විවීම
7. සිබ්බකාර කුලය - රෙදි මැසීම
8. ඡත්ථකාර කුලය - සේසත් තැනීම
9. තුරච්ච කුලය - සේසත් මැසීම
10. ගන්ධකාර කුලය - සුවඳ තැනීම
11. කුම්භකාර කුලය – මැටි වැඩ කිරීම
12. සුද කුලය – බත් පිසීම
13. කම්මාර කුලය – යකඩ වැඩ කිරීම
14. ලෝහකාර කුලය - ලෝහ වැඩ කිරීම
15. සුවණ්ණකාර කුලය – රන් රිදී වැඩ කිරීම
16. වඩ්ඪකී කුලය – ලී වැඩ කිරීම
17. චිත්තකාර කුලය - සායම් වැඩ කිරීම
18. ආතොවජ්ජක කුලය - බෙර වැයීම

බෝධි ආගමනයට සය මසකට පෙර, මිහිඳු මහ රහතන් වහන්සේ මඟින්, මෙරටට බුදු දහම හඳුන්වා දී, මෙරට ජනතාව තුළ චින්තන විප්ලවයක් සිදු කළ ධර්මාශෝක මහ අධිරාජයා, බෝධීන් වහන්සේ තිළිණ කර එවීමෙන්, එකී චින්තන විප්ලවය ප්‍රායෝගික තලයකට නංවා ඇති බව මෙම කුල දහ අට විමසීමෙන් වටහා ගත හැකිය.

නව සමාජයක් විධිමත්ව හැඩ ගස්වමින්, නව සංස්කෘතියකට මුල පිරීමේ මූල බීජයන් මේ සිදුවීම තුළ ගැබ්ව පවතී. මෙරට ජනතාව ඉතා විධිමත්ව සහ ක්‍රමවත්ව නව කර්මාන්තවලට හුරු කරවීමක් මෙමඟින් ගම්‍ය වේ. ඉතා සියුම් ලෙස බලන විට ශිෂ්ට සම්පන්න සමාජයක අභ්‍යුදයට හේතුවන කර්මාන්ත මෙහි තිබෙන බව පෙනේ. එය වඩාත් අර්ථ ගැන්වෙන්නේ, මහා බෝධි රෝපණයෙන් හට ගත් අෂ්ට ඵලරුහ සහ දෙතිස් ඵලරුහ බෝධීන් වහන්සේලා ශ්‍රී ලංකා භූමියම ආවරණය වන ලෙස රෝපණය කර ඇති ආකාරය විමසීමෙනි. උතුරෙන් දඹකොළ පටුණේ ද දකුණින් කතරගම සහ චන්දන ග්‍රාමයේ ද නැඟෙනහිරින් සේරුවිල ද බටහිරෙන් මහා ජල්ලික කෙවුල්ගම (කළුතරද) ඇතුළු රට පුරා මේ බෝධීන් වහන්සේලා රෝපණය කළ බව සිංහල බෝධි වංශයේ සඳහන් වේ. එම බෝධීන් වහන්සේලාගේ ආවතේව සහ පූජා සඳහා යට කී දහඅට කුලයක ජනතාව උන්වහන්සේලාත් සමඟම රට පුරා පදිංචි වීම බලාපොරොත්තු විය යුත්තකි. එහි අනිවාර්ය ප්‍රතිඵලය එකී කර්මාන්ත සහ සිරිත් විරිත් ඔවුන් සමඟම රටපුරා ව්‍යාප්ත වී දේශීය ජනතාව තුළ මුල් බැස ගැනීමයි.

වර්තමානයේ පවා අප මහත් අභිමානයෙන් කතා කරන සිතුවම් කලාව එමඟින් අප ලද විශිෂ්ට දායාදයකි. රුවන්වැලි මහා දාගැබේ ධාතුගර්භයේ සිතුවම් සහ කලා කෘති පිළිබඳ මහාවංශය සහ ථූපවංශය මහත් අභිරුචියෙන් වර්ණනා කරයි.

ඒවා කොපමණ සත්‍යයට සමීප ද යන වග, මහියංගණේ සහ මිහින්තලේ ගිරිභණ්ඩ යන දාගැබ්වල ධාතු ගර්භවල කළ කැණීම් මඟින් මහාචාර්ය සෙනරත් පරණවිතානයෝ ලොවටම හෙළි කර සිටියහ.

අදටත් දැක ගත හැකි මිහින්තලේ බටහිර වාහල්කඩේ බිතුසිතුවම්, වෙස්සගිරියේ ලෙන් සිතුවම්, සීගිරිය සහ පොළොන්නරුවේ තිවංක පිළිමගෙයි බිතුසිතුවම් එහි අම පල වේ.

ලෝකයේ වෙනත් කවර රටකට හෝ නොමැති සිංහලයාටම අනන්‍ය වූ විශිෂ්ට වාස්තුවිද්‍යාත්මක නිර්මිතයක් වන බෝධිඝරය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ නිසා අප ලද අමිල දායාදයකි. බෝධීන් වහන්සේ මැදි කර ගනිමින් ඒ වටා ඉදි කළ ගෘහයක් වන බෝධිඝරයෙන්, බෝධිය පුදන උපාසක උපාසිකාවන්ට අපමණ ආරක්‍ෂාවක් සහ පහසුවක් සැලසිණි. එහි විශිෂ්ටත්වය කෙසේද යන්න, වර්තමානයේ පවා බොහෝ සුරැකිව පවතින ගල්ගමුව සමීපයේ නිල්ලක්ගම බෝධිඝරය විමසීමෙන් වටහා ගත හැකි ය. සුප්‍රකට අනුරාධපුර සමාධි පිළිමය, අභයගිරි විහාර සංකීර්ණයේ කපාර මුලයෙහි වූ බෝධිඝරයේ තැන්පත් කර තිබෙන්නකි. ජේතවනාරාමය, ථූපාරාමය, ලංකාරාමය, සේරුවිල මෙන්ම හත්ථිකුච්ඡිය ද එවැනි බෝධිඝරවල නටබුන් අදටත් දැක ගත හැකි ස්ථාන වේ.

ඉතා සියුම් වූ ද තාක්‍ෂණයෙන් සහ නිර්මාණාත්මක අතින් ද විශිෂ්ට වූ මැටි භාණ්ඩ නිර්මාණය ජය ශ්‍රී මහා බෝධි ආගමනය නිසා අප ලද තවත් විශිෂ්ට දායාදයකි. පුරාවිද්‍යාත්මක කැණීම් මඟින් මතු කර ගත්, තිසා වැවේ සිට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට දිය ගෙන ආ ජල මාර්ගය, රන්මසු උයනේ සහ සීගිරියේ ප්‍රමදවනයේ මැටි ජල මාර්ග, තන්තිරිමලේ, හත්ථිකුච්ඡිය යන ස්ථානවලින් හමු වී ඇති මැටි ගෘහ භාණ්ඩ සහ ‘සියුම් සැරැසිලි’ මේ සඳහා අගනා නිදර්ශන සපය යි.

ලෝකයේ වෘක්‍ෂයක් වෙනුවෙන් ලියැවුණු වංශකතා ඇත්තේ සිංහලයාට පමණකි. ඒ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිළිබඳ ලියැවුණු බෝධි වංශයයි. ජය ශ්‍රී මහා බෝධි ආගමනය මුලින්ම ලියැවී ඇත්තේ “සිංහල බෝධි වංශය” නම් කෘතියේ ය. එහෙත් අද එය අප්‍රකට බව විද්වත්හු පවසති. දැනට දැක ගත හැකි වනුයේ ‘පාලි බෝධි වංශයයි’ එය ‘දාඨානාග‘ නම් භික්‍ෂූන් වහන්සේ නමකගේ ආරාධනයෙන් ‘උපතිස්ස’ නම් තවත් භික්‍ෂූන් වහන්සේ නමක් විසින් රචනා කරන ලද්දකි. එහි එන ගාථාවකින් හෙළි වන්නේ පාලි බෝධිවංශය, ඊට පෙර තිබූ සිංහල බෝධි වංශය ගුරු කොට ගෙන තිබෙන බවයි.

පොළොන්නරු යුගයේ දී ලියැවී ඇති “ධර්ම ප්‍රදීපිකාව“ පාලි බෝධි වංශයේ එන වචන දෙසිය පනහකට කළ පරිකතාවක් ලෙස සැලකේ. දඹදෙණි යුගයට අයත් විල්ගම්මුල හිමියන්ගේ ‘සිංහල බෝධි වංශය’ පාලි බෝධි වංශයේ අනුවාදයක් ලෙස සැලකේ. දෙතිස් ඵලරුහ බෝධීන් වහන්සේලා පිහිටි තැන් මුල් වරට දැක ගත හැකි වනුයේ එම කෘතියේ දී ය. ආනන්ද බෝධි විස්තරය ඇතුළත්, හීනටිකුඹුරේ සුමංගල භික්‍ෂූන් වහන්සේ දහ අටවැනි සියවසේ දී රචනා කළ ‘සුළු බෝධි වංශය’ මුල් කෘතිවල පවා සඳහන් නොවුණු ඉතා වැදගත් විස්තර ඇතුළත් වූ ග්‍රන්ථයකි. ඉන් මෙපිට මහා බෝධි වංශ ග්‍රන්ථ පෑ විවරණය, මධුරාර්ථ ප්‍රකාශනී, ජිනබෝධාවලී, මහා බෝධි අලංකාරය, සිරිමා බෝ කවි, ලක් බෝ සැහැල්ල ඇතුළු කෘති විශාල ප්‍රමාණයක් ඊට අයත් වේ. මේ අනුව බලන විට බෝධි වංශ සාහිත්‍යය, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ නිසා අප ලද තවත් අගනා දායාදයකි.

අප මෙම කෙටි ලිපියෙන් විමර්ශනයට හසු කළේ ජය ශ්‍රී මහා බෝධි ආගමනයෙන් අප ලද, ස්ත්‍රී නිදහස, මැටි කර්මාන්තය සිතුවම් කලාව, බෝධිඝර සහ බෝධි සාහිත්‍ය යන ඉතා සීමිත දායාදයන් කිහිපයක් පිළිබඳ පමණකි. එහෙත් බෝධීන් වහන්සේ නිසා අප ලද අධ්‍යාත්මික සහ භෞතික දායාදයන් ඉතා විශාල ක්‍ෂේත්‍රයක විහිදා පවතී. බෝධි පූජාවක සිට බෝ කොළ පටියක්, කැටයමක් හෝ වඩිම්බු ලෑල්ලක් වැනි නිර්මාණයක් දක්වා එය විශාල වේ. මේවා පිළිබඳ නැවත ගැඹුරින් විමර්ශනය කර ජනතාවට වටහා දීම, ජනතාවගේ අධ්‍යාත්ම සංතුෂ්ටියට මෙන්ම භෞතික ජීවිතයේ සාර්ථකත්වයට මනා පිටිවහලක් වන බව අපගේ වැටහීමයි.

 

උදුවප් පුර පසළොස්වක පෝය

උදුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් 16 වැනිදා සඳුදා අපරභාග 12.53 ට ලබයි.
17 වැනිදා අගහරුවාදා අපරභාග 3.00 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 16 වැනිදා සඳුදාය.

මීළඟ පෝය
දෙසැම්බර් 25 වැනිදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 16

Second Quarterඅව අටවක

දෙසැම්බර් 25

New Moonඅමාවක

ජනවාරි 01

First Quarterපුර අටවක

ජනවාරි 08


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]