UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්බෝධි විහාරය මෙහෙයවීමෙන් බුද්ධ භූමියේ දී පින්කම්


ස්වර්ණ ජත්‍රය සහිත මූලගන්ධකුටි විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ

තමන් සතු ධනය පරිත්‍යාග කිරීම පහසු ක්‍රියාවක් නොවේ. ඊට හේතුව නම් ලෝභය නමැති අකුසල මූලය හදවත තුළ පැළපදියම් වී ඇති හෙයිනි. එහෙත් ලෝභය දුරලා පරිත්‍යාගශීලි සිතිවිලි පෙරට ඒමෙන් තමන් සතු ධනය පරිත්‍යාග කිරීමට බෞද්ධ ජනතාව පෙළඹී සිටිති. එසේ පිරිනමන ධනය අතර සම්බුදු සසුනේ චිරස්ථිතිය පතා පිරිනැමීම භව ගමන පුරා කුසල් දම් වඩන පාරමිතාවක් බඳුය.


නව ධර්ම මන්දිරය විවෘත කිරීමෙන් පසු අස්ගිරි මහා නා හිමියන් ප්‍රධාන පිරිස

සිය කාලය, ධනය , ශ්‍රමය වැය කරමින් මෙරට පින්වත් දානපති පරිත්‍යාගශීලීහු දඹදිව ගොස් විවිධ පරිත්‍යාග කරමින් මහාර්ඝනීය පින්කම්හි නිරත වෙති.

එබඳු දුර්ලභ ගණයේ පින්කම් දෙකක් ඉකුත් චීවර මාසයේ දී දඹදිව බුද්ධගයා ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේදී සහ බරණැස මූලගන්ධකුටි විහාරයේදී සිදු කැරිණි. එම පින්කම් මාලාව කොළඹ ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාරස්ථානය මගින් සංවිධානය කර තිබිණි.

1891 දී ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන් විසින් ස්ථාපනය කරන ලද බුද්ධගයා ශුද්ධ භූමියේ පිහිටි ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මෙවර කඨින පුණ්‍ය මහෝත්සවය කොළඹ සෙන්ට්‍රල් බෙයාරිංග්ස් සහ යන්ත්‍රෝපකරණ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුදත් තෙන්නකෝන් මහතා සහ සන්ධ්‍යා තෙන්නකෝන් මහත්මිය ඇතුළු දූ දරුවන්ගේ දායකත්වයෙන් සිදු කැරිණි.

එහිදී සිදු කැරුණු තවත් සුවිශේෂී පින්කමක් විය. එනම් බුද්ධගයා ශ්‍රී මහා බෝධි විහාර පරිශ්‍රය තුළ අනගාරික ධර්මපාලතුමන්ගේ ශ්‍රී නාමය අනුස්මරණය කරනු වස් සුදත් තෙන්නකෝන් මහතාගේ ධන පරිත්‍යාගයෙන් සාදා නිමකරන ලද සුවිශාල ධර්ම ශාලා මන්දිරයක් එදින සඟ සතු කර පූජා කිරීමය.


ධර්ම මන්දිරයේ ඉදිරිපස

දඹදිව ශුද්ධ භූමිය වන්දනා කිරීමට මෙම වසරේ පෙබරවාරි මාසයේදී එහි ගිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා විසින් එම ධර්ම මන්දිරයට මුල්ගල තබා ඇත.

එම බුද්ධගයා ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ පින්කම් මාලාව මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායන උඩුගම ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධරක්ඛිත මහා නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මල්වතු මහා විහාර පාර්ශවයේ අනුනායක ආචාර්ය නියංගොඩ විජිතසිරි අනු නාහිමි, මකුලෑවේ විමල නාහිමි, පහමුණේ ශ්‍රී‍්‍ර සුමංගල නාහිමි , ආචාර්ය අකුරැටියේ නන්ද නාහිමි, මාදුළුවාවේ සෝභිත හිමි, දරණාගම කුසලධම්ම හිමි , තලල්ලේ චන්දකිත්ති හිමි, පදලංගල ධම්මදේව හිමි ඇතුළු මෙරටින් වැඩම කළ පූජනීය මහ සඟරුවන සහ ඉන්දීය මහා බෝධි සියලු ශාඛා මධ්‍යස්ථානයන්හි මහ සඟරුවන ඇතුළු බුද්ධගයාවේ පිහිටි විවිධ රටවල විහාරස්ථානයන්හි මහසඟරුවන සහභාගි වූහ.


ඉදිකිරීම් සිදුකළ ඉන්දීය කොන්ත්‍රාත්කරු විසින් පරිත්‍යාගශීලී පවුල වෙත යතුර භාරදුන් අවස්ථාව

එම පින්කම් මාලාවට සමගාමීව බෞද්ධයා මාධ්‍ය ජාලය මෙහෙයවීමෙන් සංවිධානය කරන ලද වන්දනා චාරිකා මගින් යාත්‍රා සංචාරක ආයතනයේ සභාපති සුරනිමල සේනාරත්න මහතාගේ මෙහෙයවීමෙන් මිහින්ලංකා ගුවන් සේවය මගින් මෙරට සැදැහැවතුන් විශාල පිරිසක් බුද්ධගයාව සහ බරණැස බලා පැමිණ සිටියහ.

බරණැස මූලගන්ධකුටි විහාරයේ සිදු කළ කඨින චීවර පින්කමට අදාළ කඨින චීවරය ශ්‍රී සම්බෝධි විහාරස්ථදායක පවුලක් වන විශේෂඥ වෛද්‍ය කමානි මායාදුන්න මහත්මිය සහ රුක්ලන්ත මායාදුන්න මහතා විසින් වැඩම කරවන ලදහ.


දරණාගම කුසලධම්ම හිමියන් ඉසිපතනයේදී මල් පූජාව පවත්වමින්

එම මායාදුන්න පවුලේ සැදැහැති දායකත්වයෙන් මූලගන්ධකුටි විහාරස්ථ සාරානාත් බුද්ධ ප්‍රතිමා වහන්සේගේ සිරසට ඉහළින් ස්වර්ණ ඡත්‍රයක් සාදා පූජා කිරීමද සිදු කැරිණි. සුවඳ මල් පූජා, අසූහාර දහසේ පහන් පූජා ඇතුළු පින්කම් මාලාවක් එහිදී සිදු කැරිණි.

එම සියලු පින්කම් චාරිත්‍රානුකූල වත් පිළිවෙත් සිදු කරමින් ශ්‍රී‍්‍ර ලාංකේය සංස්කෘතිකාංගයන්ගෙන් සමන්විත අලංකාර පෙරහරද පවත්වමින් සිදු කළ ආකාරය දුටුවන් ප්‍රසාදයට පත් කළහ.

නව මූලගන්ධකුටි විහාරයේ පින්කම් මාලාව සඳහා අස්ගිරි පාර්ශවයේ මහානායක උඩුගම ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්‍ඛිත මහා නාහිමියන් ප්‍රධාන ගන්තුනේ අස්සජි මහා නාහිමි. මකුලෑවේ විමල නාහිමියන් ඇතුළු ශ්‍රී‍්‍ර ලංකාවෙන් වැඩම කරවන ලද මහ සඟරුවන සහභාගි වූහ.


විශේෂඥ වෛද්‍ය කමානි මායාදුන්න මහත්මිය සහ රුක්ලන්ත මායාදුන්න මහතා ඇතුළු පිරිස

බුද්ධගයා ශ්‍රී මහා බෝධි විහාරයේ පැවැති පින්කම් මාලාව භාරතයේ ප්‍රධාන සංඝනායක ඉන්දීය මහා බෝධි සමාගමේ මහා ලේකම් ආචාර්ය දොඩන්ගොඩ රේවත නාහිමියන්ගේ අනුශාසකත්වය සහ බරණැස නව මූලගන්ධකුටි විහාරයේදී පැවැති පින්කම් මාලාව විහාරාධිපති ඉන්දීය මහා බෝධි සමාගමේ නියෝජ්‍ය ලේඛකාධිකාරි පැලවත්තේ සීවලී නාහිමියන්ගේ අනුශාසකත්වය පරිදි සිදු කැරිණි.

එම සියලු කටයුතු සංවිධානය කොළඹ 07 ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාරාධිපති සහ “බෞද්ධයා” මාධ්‍ය ජාලයේ නිර්මාතෘ සහ සභාපති ,ශාස්ත්‍රපති දරණාගම කුසලධම්ම ස්වාමීන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වයෙන් සිදු කැරිණි.

අදාළ පින්කම් මාලාව “ බෞද්ධයා” මාධ්‍ය ජාලය මගින් සජීව විකාශය කිරීම එහි කළමණාකාර අධ්‍යක්‍ෂ මහේෂ යහම්පත් මහතාගේ මෙහෙයවීමෙන් “බෞද්ධයා” මාධ්‍ය ජාලයේ වැඩසටහන් අධ්‍යක්ෂ නීතිඥ ශෂික ජයතිලක මහතාගේ මූලිකත්වයෙන් සිදු කැරිණි.

බුද්ධගයා ශුද්ධ භූමියේදී හා බරණැස නව මූලගන්ධකුටි විහාරයේදී මෙරට පරිත්‍යාගශීලි පින්වත් පවුල් දෙකක් සතුටු කඳුළු සලමින් සිදු කළ එම ඓතිහාසික පින්කම් තවත් ශත වර්ෂ ගණනක් පුරා දඹදිව වන්දනාවේ යෙදෙන සැදැහැවතුන් හටද දැක බලා සතුටු විය හැකිවේ.

කෘතවේදි පුණ්‍යානුමෝදනය ශාස්ත්‍රපති දරණාගම කුසලධම්ම ස්වාමීන් වහන්සේ ප්‍රධාන “බෞද්ධයා” මාධ්‍ය ජාලය වෙත දඹදිව සංචාරයකින් පසු - සීසර් සුදුසිංහ

 

උදුවප් පුර පසළොස්වක පෝය

උදුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් 16 වැනිදා සඳුදා අපරභාග 12.53 ට ලබයි.
17 වැනිදා අගහරුවාදා අපරභාග 3.00 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 16 වැනිදා සඳුදාය.

මීළඟ පෝය
දෙසැම්බර් 25 වැනිදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 16

Second Quarterඅව අටවක

දෙසැම්බර් 25

New Moonඅමාවක

ජනවාරි 01

First Quarterපුර අටවක

ජනවාරි 08


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]