UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 13 චන්දවිමල මහා නා හිමි වැඩසිටියේ සමාජ භූමිකාවට වඩා ඉහළ තලයකය.

රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 13

චන්දවිමල මහා නා හිමි වැඩසිටියේ සමාජ භූමිකාවට වඩා ඉහළ තලයකය.

රේරුකානේ චන්දවිමල මහා නා හිමියන් තුළ විද්‍යාමාන වන සුවිශේෂී ගුණ කදම්භය සාමාන්‍ය පුද්ගලයකු තුළ වන පොදු චරිත ලක්‍ෂණයන් අභිභවන සුළු බව බහුතරයකගේ හැගීමයි. ඒ බව පෙරදීත් අපි සඳහන් කළෙමු. උන්වහන්සේ පරිණත වූහ. බහුශ්‍රැත වූ සේක. සුපේශල වූහ. පරමාදර්ශී වූහ. සද්ධර්මාවබෝධයෙන් අතිශය පොහොසත් වූ සේක.

විමුක්තිය සොයා වෙහෙසෙන බහුතරයක් භික්‍ෂූන් වහන්සේ සමාජයෙන් මිදී හුදෙකලා වෙති. තමාගේ විමුක්තිගාමී ගමන් මාර්ගයට සමාජගත වීමේ දී ඇතිවන යම් බලපෑම් මත අපමණ බාධාවන් පැමිණෙන බැවින් එවන් වූ භික්‍ෂූන් වහන්සේලා අරණ්‍යගත වෙති. රුක්‍ඛ මූල ගත වෙති. ශුන්‍යාගාර ගත වෙති.

එහෙත් රේරුකානේ මහා නාහිමියන්ගේ විශේෂත්වයක් විය. උන්වහන්සේ සද්ධර්මාවබෝධයෙන් අතිශය පොහොසත් වූ අතර උන්වහන්සේගේ ඒකායන ප්‍රාර්ථනය වූයේ මේ භවයේ දීම සංසාර ගමන නවතාලීමට ය.

මුල් අවදියේ දී පන්සලක වැඩ විසීමේ අදහසක් උන්වහන්සේ තුළ නොවීය. අරණ්‍යගත වී භාවනාවෙන් කල් ගෙවීම අපේක්‍ෂාව විය. එසේ සිතා අරණ්‍ය ගත වුව ද එහිදී ඇති වූ අසනීප තත්ත්වයන් නිසා වනයෙන් බැහැර වී ගම් තොටට පිවිසීමට සිදු විය. එහෙත් උන්වහන්සේ තම උතුම් අරමුණ වෙතින් බැහැර වීමට කිසිසේත්ම නොපෙළඹුණි. රේරුකානේ මා හිමියෝ ඒ පිළිබඳව මෙසේ පවසති.

“මුල් කාලයේ පන්සල්වල හිඳීමේ අදහසක් මට තිබුණේ නැහැ. ආරණ්‍යයකට වෙලා බණ භාවනාවෙන් කල් ගෙවන්නටයි සිතා සිටියේ. එහෙම අරණ්‍ය දෙක තුනකටත් මා ගියා. නමුත් මට ඇති වෙච්ච අසනීපකම් නිසා, ඒ අදහස අත් හැරලා පන්සලටම ආවා. ඉතින් එහෙම අදහස් වෙනස් වෙනවනේ. මුලසිටම මාගේ ආශාව වුණේ මේ උතුම් ධර්මය හොඳට දැන ඉගෙන ගන්න ඕනෑ කියන එක. මේ ධර්මය ලියලා කියලා ඒ පිළිබඳව දැනුමක් අනෙක් අයටත් ලබා දෙන්නට ඕනෑ කියන අදහසක් මට තිබුණේ නැහැ. ප්‍රථමයෙන් මා මේ ධර්මය දැන ඉගෙන එයින් ප්‍රතිඵලයක් ලබන්නට ඕනෑ කියන අදහසයි මට තිබුණේ. සසරින් එතෙරවීම සඳහා කටයුතු කිරීමයි මට උවමනා කළේ.”

(උපුටා ගැනීම, ඉත්තෑපාන ධම්මාලංකාර අනු නා හිමි විසින් ලියන ලද, රේරුකාන චන්දවිමල මහා නා හිමි පොතෙන්)

එහෙත් හුදෙකලාව අරණ්‍යගත වීම හෝ ශුන්‍යගාර ගතවීමෙන් බැහැර වූ මහා නා හිමියන්ට සිදු වූයේ ග්‍රාමවාසී භික්‍ෂූන් වහන්සේ නමක් වීමට ය. ඒ නිසාම සමාජය සමඟ නිතර ඇයි හොඳයි කම් කීමටත් ගනු දෙනු කිරීමටත් සිදු වූ නිසාම සමාජ යථාර්ථය හොඳින් ග්‍රහණය කර ගැනීමට අප මහා නා හිමියන්ට හැකි විය.

සමාජ ගත වී සිටිය ද උන්වහන්සේ වැඩ සිටියේ සමාජ භූමිකාවට වඩා ඉහළින් යැයි සිතේ. ග්‍රාමගත වීම නිසා මිනිසුන් සමඟ ජීවත් වෙමින් සමාජයේ ඇතිවන ප්‍රශ්න ගැටලු පිළිබඳ දැන කියා ගන්නටත් ඒ නිසාම සමාජමය අවුල් වියවුල් දෙස උපේක්‍ෂාවෙන් සිත යොමු කිරීමටත් උන්වහන්සේට හැකියාව ලැබුණි. ඒ ඔස්සේ මේ සමාජය බැඳ තබනා වැරදි මත හෙළි කිරීමට සහ නිවැරදි ගමන් මඟ තෝරා බේරා ගනිමින් ඒ දුර්මත දුරු කරලීම වෙනුවෙන් පෙනී සිටීමටත්, උන්වහන්සේට හැකියාව ලැබුණි.

ආගම ධර්මය පිළිබඳව නිසි කියැවීමෙකින් තොරව සම්ප්‍රදාය හා බැඳුණු ගතානුගතික ක්‍රියාකාරකම් මතයන් පිළිබඳව චන්දවිමල මහා නා හිමියන්ට තිබුණේ වෙනත් දැක්මකි. එසේම අරුත්සුන් බොහෝ දේ කරපින්නාගත්ත වුන් බහුල යුගයක විෂම සමාජ භූමිකාවක නිවැරදි වේදිකාව මත හිඳිමින් උන්වහන්සේ පල කළ අදහස් කීපයකට ඔබගේ අවධානය යොමු කිරීම මෙවන් යුගයක වඩාත් කාලෝචිත යැයි ද සිතෙයි. හොඳයි අපි එසේ නම් ඒ දෙසට දැන් හැරී බලමු. දැන් මේ කතා කරන්නේ මා නොව චන්දවිමල මා හිමියන් ය.

“මතු ඵල ලබනු සඳහා කරන හැම දෙයකින්ම උසස් ලෙස ඵල ලැබිය හැක්කේ ඒ ඒ දෙය ගැන මනා දැනුම ඇතිව කරන තැනැත්තාටය. “කරන කාර්යය පිළිබඳ හොඳ දැනුමක් නොමැතිව වැඩ කටයුතු කරන්නවුන්ගේ වියදම සහ මහන්සිය බොහෝ සෙයින් නිශ්ඵල වෙයි. එසේ කරන දෙයින් ඵලයක් ලැබෙතත් ලැබෙන්නේ වියදමට මහන්සියට නොසරිලන අල්ප ඵලයකි.”

වරදවා කරන ප්‍රතිකාරයකින් සමහර විට රෝගියා මිය යන්නාක් මෙන් නො දැන කරන වැඩ වලින් සමහර විට විනාශයක් ද සිදුවේ.

“බුද්ධාගම ඇදහීම වනාහී උසස් ලෞකික ලෝකෝත්තර ඵල ලබනු සඳහා කරන්නකි. ආගම ඇදහීමෙන් ලැබිය හැකි ඒ උසස් ඵල ආගම පිළිබඳව දැනුම නොමැතිව නොමනා ලෙස ආගම අදහන බෞද්ධයාට නොලැබී යන්නේ ය.” “ මෙකල බෞද්ධයන් බොහෝ දෙනෙකුම සෑහෙන පමණට ආගම ධර්මය ගැන නොදත්තවුන්ය. එබැවින් ඇතැම් බෞද්ධයෝ පින් කෙත් වූ රත්නත්‍රය ඇසුරු කිරීමෙන් ද නොයෙක් විට පව් සිදු කර ගනිති. සමහර විට පිනය යන අදහසින් පව් කරති.”

“පවය යන හැඟීමෙන් ඇතැම් පින්කම් නො කර හරිති. ඇතැම් බරපතළ පව්කම් ද ලඝු කොට සිතා කරති. බොහෝ වියදම් කොට බොහෝ වෙහෙසී දුබල පිනක් සිදුවන ලෙස දන් දෙති. නොමනා කොට සිල් රකිති. මහන්සිය නිෂ්ඵල වන හැටියට භාවනා කරති. මනාකොට ආගම නොදැනීම නිසා සමහර කරුණු වලදී සමහර විට පැවිද්දන් ද, නොමඟ යනු දක්නට ලැබේ.” (බෞද්ධයාගේ අත්පොත - සංඥාපනය) මෙම සරල කරුණු කීපයට වුව සිත් යොමු කිරීමෙන් හැඟී යන්නේ අද සමාජ විපර්යාසයන් දෙස බැලීමේ දී මෙම අදහස් එදාට වඩා අදට ගැලපෙන බවකි. උන්වහන්සේ දක්වන තවත් අදහස් කීපයකට ඔබගේ සිත් යොමු කරවමි.

“පහන් පූජාව සඳහා දැනට භාවිතා වන “ඝනසාරප්ප දිප්තේන” යනාදී ගාථාව කපුරු දල්වා පිදීම සඳහා කර ඇති ගාථාවකි. ඝනසාරප්ප යැයි කියන්නේ කපුරු වලටය. එබැවින් ඒ ගාථාව කියැවීම මට අපි‍්‍රයය.”

“දැනට මල් පූජාව සඳහා භාවිතා වන වණ්ණ ගන්ධ ගුණෝපේතං යනාදී ගාථාව ද මට අපි‍්‍රයය. පූජා කිරීමේ හොඳම ක්‍රමය යම්කිසි බුද්ධ ගුණයක් ඉදිරිපත් කරගෙන ඒ පූජාව කිරීමය. ඒ ගාථාවෙන් මල්වල ගුණ මිස බුදුගුණයක් නො කියැවේ. තවද ඒ ගාථාවෙහි ‘සන්තතිං’ යන වචනයෙන් තැනට ගැළපෙන්නක් සේ නොපෙනේ.

මල් පූජාවට භාවිතා කරන ‘පූජේමි බුද්ධං කුසුමේන නේන’ යනාදී ගාථාවෙන් ද යම් කිසි බුදුගුණයක් නොකියැවේ. එහි “පුප්පං මිලායාති යථා ඉදං මෙ” යනාදී ගාථාවේ අපරාර්ථයෙන් කියැවෙන්නේ තැනට අනුචිත කරුණකි.

“ආහාර පූජාව සඳහා භාවිතා කෙරෙන අධිවාසෙතු නො භන්තේ’ යනාදී ගයත් මට කීමට පි‍්‍රය නැති ගාථාවකි. එහි එකම භෝජනය පිළිගැනීම සඳහා ‘අධිවාසෙතු’ – පතිගණ්හාතු යන වචන දෙකක් යෙදී තිබීමත් පරිකප්පිතං යන වචනයෙන් මෙම ගාථාව පි‍්‍රය නැති වීමට හේතුවය. ‘පරිකප්පිතං’ යනු තැනට ගැළපෙන අර්ථයක් දීමට දුෂ්කර වචනයක් වන බැවින් ඇතැමුන් එය හැර අධිවාසෙතු නො භන්තෙ භෝජනං පරිකප්පියං යැයි ද ඇතැමුන් ‘අධිවාසෙතු නො භන්තෙ භොජනං උපනාමිතං’ යැයි ද කියනු ඇසේ. මේ ගාථාව පි‍්‍රය නොවේ. (පුණ්‍යෙීපදේශය - රේරුකානේ චන්දවිමල මහා ස්ථවිර පිටුව 8

අවශ්‍යතාවයට උචිත වූ ගාථාවන් පුණ්‍යොපදේශය සදහම් ග්‍රන්ථයේ නිර්දේශ කර ඇති නිසා එය කියවා බලත්වා!.

එසේම දෙවියන්ට පින් අනුමෝදන් කිරීමට අප නිබඳව භාවිතා කරන ගාථාවන් පිළිබඳව චන්දවිමල නා හිමියන් ඵල කරන මතය ද විමසා බලමු. දෙවියන්ට පින් දීමට දැනට භාවිතා කරන ‘එත්තාවතාච අම්හෙහි’ යනාදී ගාථාව දෙවියන්ට ආරාධනා කොට පිරිත් කියා ඒ පින දෙවියන්ට අනුමෝදන් කරවීම සඳහා රචිත ගාථාවකි. එහි එත්තාවතා යන වචනය යොදා තිබෙන්නේ එතෙක් පිරිත් කීම සඳහන් කිරීමට ය. මේ ගාථාව දක්නා ලැබෙන්නේ ද පිරිත් පොත්වලය. දානාදී පින්කම් කළ අවස්ථාවන්හිදී දෙවියන්ට පින් දීමට ඊට වඩා සුදුසු ගාථාවක් කළ හැකි බැවින්.

කතං අම්හෙහි මං පුඤ්ඤං
සබ්බ සම්පත්ති සාධකං
සබ්බෙ දෙවානුමෝදන්තු අම්හෙ රක්ඛන්තු සබ්බදා

යන ගාථාව පිළියෙල කෙරිණි. (පුණ්‍යෙපදේශය පිටුව 9 )

දැන් මියගිය ඥාතීන්ට පිං පැමිණවීමට කියන ‘ඉදං මො ඤාති නං හොතු සුඛිතා හොන්තු ඤාතයො’ යන ගාථාර්තය ද පින්දීම සඳහා විශේෂයෙන් රචනා කරන ලද්දක් නොව ‘තිරෝකුඩ්ඪ’ සූත්‍රයේ ගාථාවක කොටසකි. එයින් මිය ගිය ඥාතීන්ට පින්දීම කළ හැකි වුවද වඩා හොඳින් ඒ කටයුත්ත කළ හැකි වීමටත් අවිශේෂයෙන් මිය ගිය ඥාතීන්ට පින් දීමටත් මිය ගිය මා පිය පුත්‍ර කලත්‍රාදීන්ට විශේෂයෙන් පින්දිය හැකි වීමටත් ගාථා පෙළක් පිළියෙල කරන ලදී.

(පුණ්‍යෙීපදේශය පිටුව 9 – 10 )

පින උසස් පහත් වන්නේ අඩු වැඩි වන්නේ කරන තැනැත්තාගේ කිරීමේ හොඳ නොහොඳකම් අනුවය. තුනුරුවන් ගැන දැනුමක් නැතිව වැඳුම් පිදුම් කළ යුතු වස්තු ගැන වැඳුම් පිදුම් කළ යුතු ආකාරය ගැන ඒවායේ අනුසස් ගැන හරි දැනීමක් නැතිව ගතානුගතිකව වැඳුම් පිදුම් කරන්නවුන්ට එයින් උසස් පිනක් නොලැබිය හැකි ය. උසස් පිනක් ලැබිය හැකි වන්නේ ඒවා ගැන දැනුම ඇතිව ක්‍රමානුකූලව එය කරන තැනැත්තාටය. මේ අදහස් ස්වල්පය මා ගෙන හැර පෑවේ සම්ප්‍රදායට අභියෝග කරමින් උන්වහන්සේ දක්වන සද්ධර්මයට අනුකූල තාර්කික විග්‍රහය කෙරෙහි ඔබ අවධානය යොමු කිරීම උදෙසාය. නිසි ලෙස වන්දනාගාථාදිය ගැන දැන ගැනීමට රේරුකානේ චන්දවිමල මහා නාහිමියන් ලියූ පුණ්‍යෙීපදේශය පොත කියවන්න වඩාත් පුළුල් ලෙස කරුණු අවධාරණයෙන් නිසි අවබෝධයක් ලබා ගැනීමට හැකියාව පිණිස රේරුකානේ මා හිමියන් ලියූ පුණ්‍යොපදේශය ඇතුළු අනෙකුත් පොත් පෙළ ඉතා සංයමයෙන් පරිශීලනය කළ යුතු වෙයි.


රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 12 මහා යතිවර චරිතය තුළින් සාමාන්‍ය පුද්ගලයකු තුළ නොපිහිටන අසාමාන්‍ය ලක්‍ෂණ ප්‍රකට වේ.

 

 

උදුවප් පුර පසළොස්වක පෝය

උදුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් 16 වැනිදා සඳුදා අපරභාග 12.53 ට ලබයි.
17 වැනිදා අගහරුවාදා අපරභාග 3.00 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 16 වැනිදා සඳුදාය.

මීළඟ පෝය
දෙසැම්බර් 25 වැනිදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 16

Second Quarterඅව අටවක

දෙසැම්බර් 25

New Moonඅමාවක

ජනවාරි 01

First Quarterපුර අටවක

ජනවාරි 08


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]