UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිද්ධාර්ථ කුමාරෝප්පත්තිය හාඅසිරිමත් ලුම්බිනිය

ලෝකයට සෙත සැලසීම නිසා අසමසම වූ පුත් කුමාරයෙකු ලුම්බිනියෙන් උපත ලද බව පුරාණ බෞද්ධ ග්‍රන්ථයක් වන සුත්ත නිපාතයෙන් ද සඳහන් වේ.

ඒ දවස ලුම්බිනි උයන මල්පල බරින් බර වූ වෘක්‍ෂලතාවන්ගෙන් ශෝභා සම්පන්න වූයේ, අතිශයින්ම බැබළිනි. එහේ මෙහෙ පියාසර කරන තැන තැන රැව්පිළිරැව් දෙන ගිරා මොනර ආදී පක්‍ෂීන්ගේ හඬින්ද මල් රොන් වල රසය ලබමින් හැසිරෙන අනේක බඹර මී මැසි ගුමු ගුමු නදින් පෙදෙසම එක් නින්නාදවිණි. සුගන්ධ මන්දමාරුතයෙන් ලුම්බිනි වන උයනම සුගන්ධිත වූයේ ය.

සමීප මාර්ගයෙන් ගමන් කරන පෙරහරකි. එය දෙව්දහනුවරින් අනද පිරිස විසින් පිළිගැනුණි. මේ අතර මහාමායා දේවිය උයන් සිරි දැක එහි යන්නට කැමැත්ත පළ කළා ය. ඇය කැටුව පෙරහර ලුම්බිනියට පිවිසියේ ය. මහාමායා දේවිය රන්සිවි ගෙයින් බිමට බැස සිය නැගණියත් (මහා ප්‍රජාපතී දේවිය) ප්‍රමුඛ පිරිසද සේවක සේවිකාවන් ද හා මලින් සැදුණු මඟුල් සල් රුක දැක එහි ගියා ය. එහි සල් අත්තක් අල්ලා ගනු කැමැත්ති දකුණු අත දිගු කළා ය. සල් අත්ත නැමිණ. එය අග අල්ලා ගත්තාය.

එකෙනෙහිම කර්මජ වාතය සැලිණ. මහාමායා දේවිය තමාට ප්‍රසව අවස්ථාව පැමිණි බව ළඟ සිටියවුන්ට දැන් වූවා ය. ඔව්හු ඇමැතියනට සැල කළහ. සියල්ලෝම එක්ව වහාම යහනක් පනවා වටතිර ඇද සේවිකාවන් ළඟ නවත්වා තුටු තිරයෙන් පිටව ඈත් වැ රැකවලෙහි සිටියහ. මද වේලාවකින් සිදුහත් කුමාරයා මව් කුසින් බිහි විය. මේ මොහොතෙහි තිර වටා වර්ණවත් චක්‍රයක් කැරකැවෙන්නා සේ දර්ශනය විය.

දෙතිස් පෙරනිමිති පහළ විය. ක්‍ෂණයකින් මුළු ලෝ දහම සියලු දුක් කරදර නිවී ගිය බවෙක් මහා ශාන්තියෙන් පැවතිණ.

කුමරු මව්කුසින් බිහිවූ කෙනෙහි දෙවියෝ ලුම්බිනි උයනෙහි රැස්වූහ. ඔවුන් අතුරෙන් සතර දෙනෙක් මව්කුසින් බිහිවූ බෝසතාණන් රන් දැලින් පිළිගත්හ. ඔවුන් අතින් වරම් රජහුද ඔවුනතින් ඇමැතියෝ ද පිළිගත්හ. බෝසතාණන් වහන්සේ ඇමතියන් අතින් බිමට බැස පියුම්පිට වැඩ සත්වන පියවරෙහි සිටැ මම ලොවට අග්‍රවෙමි. ජ්‍යෙෂ්ඨ වෙමි. ශ්‍රේෂ්ඨවෙමි. මේ මාගේ, අන්තිම අත් බවය. මෙයට පසුව මට භවෝත්පත්තියක් නැතැයි වදාළහ.

මෙයට පසුව කිඹුල්වත් පුරයෙන් ද දෙව්දහ නුවරින් ද දෙපසින්ම එක්රැස්ව සිටි නෑදෑයෝ බෝසතානුත් මෑණියනුත් මහා පෙරහරකින් කිඹුල්වත් පුරයට වැඩම කරවූහ.

(ශාක්‍යමුනින්ද්‍ර, වදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය අතිපූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහා නායක හිමිපාණන් වහන්සේ පිටු. 13 – 14 , 1986 )

සිදුහත් කුමාරයා උපත ලද ලුම්බිනිය හෙවත් රුම්මින්දෙයි උයන මෙකල පිහිටා ඇත්තේ ඉන්දියාව සහ නේපාලය යන රටවල් දෙකේ දේශ සීමාවෙන් කිලෝමීටර් 10 ක් පමණ ඇතුළට වන්නට නේපාල දේශයේ ය. නේපාලයේ බටහිර නෙරායි ප්‍රදේශයෙහි පිහිටි ලුම්බිනි සල්වනය බුද්ධ කාලයට පෙර සිටම කපිලවස්තු සහ දෙව්දහපුර වාසීන්ගේ විනෝද උයනක් ලෙසින් පැවතුණි. ප්‍රමෝදවනය ලෙසින් බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන ලුම්බිනි සල් වනයෙහි සල් ගස්වලින් පිරී තිබුණි. මෙම උයන චිත්තාකර්ෂණීය වූ වනෝද්‍යා නයකි. තුරවි කෝකිල ගිරා මලිත්තන්ගේ නාදයෙන් යුක්ත වූ මෙම ලුම්බිනි වනෝද්‍යානය දෙව්ලොව ඉන්දු දෙවියාගේ චිත්‍රලතා උයනට සමාන කර ඇත.

සිදුහත් කුමරා උපන් දිනයේ සිට මෙම ලුම්බිනි පුදබිමට අසෝක අධිරාජයා (ක්‍රි.පූ. 273 – 232) පැමිණෙන තෙක්ම කෝටි සංඛ්‍යාත ජනතාවක් සැදැහැසිතින් වන්දනා කිරීමට පැමිණෙන්නට ඇත. එහෙත් එක්තරා සුවිශේෂ වූ පුද්ගලයෙක් මෙම පුදබිමට ක්‍රිස්තු පූර්ව 250 දී පැමිණි බව අද අපි දැනගන්නේ කෙසේද? සිදුහත් කුමාරයා ඒ පින් බිමෙහි උපන් බව පමණක් ද නොව ඒ පුද්ගලයා ඒ ස්ථානයට පැමිණි බව ද සඳහන් කරමින් මහා ශිලා ටැඹක ඒ සියලු විස්තර බ්‍රහ්මී අක්‍ෂරයෙන් ලියා තැබූ ඒ පුද්ගලයා එසේ මෙසේ කෙනෙකු නොව එතුමාගේ 20 වන රාජ වර්ෂයේ දී ලුම්බිනියට පැමිණි අසෝක මහා අධිරාජයාණන් ය. අසෝක මහා අධිරාජයාගේ එම ශිලා ටැඹ අදත් නිරුපද්‍රිතව පවතින නිසා එම ලුම්බිනි පුදබිම් පරිශ්‍රයේ සිදුහත් කුමරු උපන් බව ප්‍රකාශ කෙරෙන මහාර්ඝ ශිලා ලේඛනයක් බවට පත් වී ඇත.

(භාරත – ලංකා බෞද්ධ උරුමය - සිරිසමන් විජේතුංග පි. 67 – 68, 2006)

බුදුරජාණන් වහන්සේ හා සම්බන්ධ වූ පුදබිම් වැඳ පුදා ගැනීම සඳහා මෙන්ම අනාගත පරපුරට මෙම පුදබිම් හඳුනාදීමට මහෝපකාරී වූ මෙම ශිලා ලේඛනය පිහිටුවීමේ කතාව මෙසේ ය.

අසෝක රජතුමාගේ ආධ්‍යාත්මික උපදේශක හිමියන් වූ උප ගුප්ත හිමි විසින් සිදුහත් කුමරු උපන් පුද බිමට අසෝක රජතුමා සමඟම ගොස් ඒ පුදබිම අසෝක රජතුමාට පෙන්වා දුන් බවක් ‘දිව්‍යාමදානයෙහ’ි සඳහන් වී ඇත. අසෝක රජතුමා විසින් එහි ශිලා ස්තම්භයක් පිහිටුවන ලද බවද සාක්‍යමුනි බුදුරජාණන් වහන්සේ එහි උපන් බවද එම ශිලා ටැඹෙහි සටහන් කරන ලදී.

ඊට අවුරුදු දහසකට (1000) පමණ පසුව භාරත දේශයේ සංචාරය කුළ චීන භික්‍ෂූන් වහන්සේ නමක් වූ පාහියන් හිමියන් ක්‍රි.ව. පස්වන සියවසේ දී ලුම්බිනි පුදබිම වැඳපුදා ගැනීමට පැමිණ ඇත. මහාමායා දේවිය ස්නානය කළ ‘පුෂ්කරණී පොකුණ’ ද සිදුහත් කුමරු උපන් වෘක්‍ෂ සෙවණ ද උන්වහන්සේ දුටු බව පාහියන් හිමියෝ සඳහන් කරති.

ඊට පසුව ක්‍රිස්තු වර්ෂ 7 වන (හත්වන) සියවසේ දී තවත් චීන භික්‍ෂුන් වහන්සේ නමක් වූ හියුං ෂාං හිමියෝ ද ලුම්බිනි පුදබිම වැඳ පුදා ගැනීමට පැමිණියහ. එපමණක්ද නොවේ. පාහියන් හිමියන්ටත් වඩා ඉතා දීර්ඝ විස්තරයක් හියුං ෂාං හිමියෝ සිය වාර්තාවේ සඳහන් කළහ. උන්වහන්සේ ද ලුම්බිනි සල් උයනේ තිබූ ඉහත සඳහන් පොකුණ ද දැක ඇති අතර සිදුහත් කුමරු උපන් තැන පූජනීය වෘක්‍ෂරාජයා ද අසෝක රජතුමා විසින් හිඳුවන ලද ශිලා ලේඛනය සහිත ටැඹ ද දුටු බව එම වාර්තාවල හියුං ෂාං හිමියෝ සඳහන් කරති.

ඊට පසු ක්‍රි.12 – 13 සියවස්වලදී ටිබෙට් සහ මල්ල රජදරුවන් ලුම්බිනි පුදබිමට වන්දනාවේ ගිය බව අසෝක රජුගේම ශිලා ස්ථම්භ වල පසුව සටහන් කර තිබේ.

මුස්ලිම් ආක්‍රමණ නිසා මෙම පුදබිම පමණක් නොව බුද්ධගයා, සාරානාත්, කුෂිනගර් හා නාලන්දා මෙන්ම වික්‍රමශීලා ආදී පුරාණ විශ්වවිද්‍යාලයන් ද විනාශයට පත් විය. ඉන්පසුව දඹදිව පුදබිම් රැසක්ම මහා වනාන්තරයෙන් වැසී ගියේ ය.

මේ නිසා 2011 දී ලුම්බිනි පුදබිමෙහි පුරාවිද්‍යා කැණීම ආරම්භ කළ මහාචාර්ය රොබින් කොනිංහැම් විද්වතා ප්‍රමුඛ පුරාවිද්‍යාඥයන් විසින් අසෝක රජුගේ ලුම්බිනි ශිලා ලේඛනය තවත් චීන භික්‍ෂූන් වහන්සේලාගේ වාර්තා ද නිසිලෙස අධ්‍යයනය කළාට සැක නැත. චීන භාෂාවෙන් ලියන ලද එම චීන භික්‍ෂූන් වහන්සේලාගේ එම වාර්තා ඉචථභමඥත ඕඥචත 1884 විද්වතා විසින් Buddhise Records of the western world නමැති ග්‍රන්ථයෙහි ඉංගී‍්‍රසි බසින් ලියා ඇත.

මේ සියල්ලටම වඩා මෙම ලුම්බිනි පුදබිමෙහි සිද්ධාර්ථ කුමාරයා උපන් බව වසර 2250 කට ඉහත දී අසෝක රජතුමා විසින් පිහිටුවන ලද ශිලා ටැඹ පිහිටුවීම සඳහන් උපත සනිටුහන් කරන පුරාණතම අභිලේඛනය (Epigraphy) ලෙසින් පුරාවිද්‍යාඥයින් විසින් විවාද රහිතව පිළිගෙන ඇත. මේ නිසා මහාචාර්ය රොබින් කොනිංහැම් ප්‍රමුඛ පුරාවිද්‍යාඥයින්ට මෙම ශිලා ලේඛන බෙහෙවින්ම උපකාරී වූවාට සැක නැත. එපමණක් ද නොව කනකමුනි බුදුරජාණන් වහන්සේ කෝණාගම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පුද බිමෙහි ද අසෝක රජතුමා විසින් ශිලා ටැඹක් පිහිටුවා ඇත. නිග්ලිව ටැම්ලිපියෙහි කෝනාගල බුදුරජාණන් වහන්සේ සිහිපත් කිරීම සඳහා රජවීමෙන් විසිවන වර්ෂයේ දී දෙවනවරට පැමිණ ඒ දාගැබ විශාල කරවන ලද බව සඳහන් වේ. (Asoka D.R. Bhandarkar p 170 (1925) India )
 

අසෝක රජු පිහිටු වන ලද ලුම්බිනි ටැඹ නැවත සොයා ගන්නා ලද්දේ 1896 දී ඇටන් පුෂේ නම් ජර්මන් ජාතික පුරාවිද්‍යාඥයා විසිනි.

අසෝක රජතුමා විසින් ලුම්බිනි සල්වනයෙහි විසිවැනි රාජවර්ෂයේ දී පිහිටුවන ලද ශිලා ටැඹෙහි සඳහන් වන්නේ මෙසේ ය.

1. දෙවන පියෙන පියදසින ලජින
2. විසති වසාහිසිතෙන අතන අශාච මහියිතෙ
3. හිද බුධෙ ජාතෙ සක්‍ය මුණිනි.
4. සිලා විගඩ භිච කලාපිත සිලා ථභේච උසපාපිතෙ
5. හිත භගවං ජාතෙ තිලුංමිනිගාමෙ උබලිකෙකම් අටභාගියේච

සිංහල අදහස - අභිශේකයෙන් වසර විස්සේ දී දේවානම්පියදසිහු (රජු) සාක්‍යමුනි වූ බුදුරජාණන් වහන්සේ මෙහි උපන්හයි මෙම ස්ථානයට පැමිණ නමස්කාර කළහ. සෙල්මුවා පවුරක් කරවා ගල් ටැඹ ද පිහිටුවීය.

භාග්‍යවතුන් වහන්සේ මෙහි උපන් හෙයින් ලුම්බිනි ග්‍රාමය අය බද්දෙන් නිදහස් කොට ගෙවිය යුතු රාජ්‍ය භාගයද අටෙන් පංගුවට අඩු කරන ලදී.

(ධර්මාශෝක සුවිනිශ්චිත ජීවන චරිතය – ආචාර්ය ආනන්ද ගුරුගේ – පි. අංක 726 සහ පිටු අංක 680 Asoka the Righteous A – Defnitive Biography නමැති ග්‍රන්ථයේ සිංහල අනුවාදය – 2005

ක්‍රිස්තුවර්ෂ 5 වන සියවසේ දී සහ ක්‍රි.ව. 7 වන සියවසේ දී ඉන්දියාවේ (එකල ඉන්දියාව, පාකිස්ථානය හා නේපාලය යන රටවල් සම්බුද්විපය, භාරතය යන නම් වලින් හඳුන්වා ඇත. සංචාරයේ දී මෙම ලුම්බිනි පුදබිමට පැමිණ මායාදේවි විහාරයද එම ඒ අසල ඇති මායාදේවි පොකුණද පමණක් නොව.

මෙම සිදුහත් උපත සිදු වූ තැනැ වූ සල්ගස ද දුටු බව සඳහන් කිරීම ඉතා වැදගත් ය. මේ තොරතුරු ආශ්‍රයෙන් මෙම පුණ්‍යභූමියට 2011 වර්ෂයේ දී පැමිණි එංගලන්තයේ ඩුරාහාම් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රොබින් කොනිංහැම් ප්‍රමුඛ පුරාවිද්‍යාඥයින් 40 ක් පමණ වෙහෙස මහන්සි වී මෙම සිදුහත් කුමරු උපන් ස්ථානයේ සෙවණ දුන් සල්ගස පිහිටි බිම පර්යේෂණ කැණීමකට ලක් කර ඇත.

මහාචාර්ය රොබින් කොනිංහැම් පවසන අන්දමට මෙම සල්ගස වටා දැවමය ආවරණයක් ද පුරාණ කාලයේ දී තිබී ඇත. එහි දැව කොටස් පමණක් නොව මෙහි තිබූ වෘක්‍ෂයට අයත් පුරා වස්තු කැණීම් වලදී හමුවී ඇත. වහලයක් නොවූ විහාරයක් (මායාදේවි විහාරය) මේ වෘක්‍ෂය වටා සාදා ඇත. උදාහරණයක් ලෙසින් ලංකාවේ ඇති බෝධි වෘක්‍ෂයන්ට ද පුරාණ කාලයේ දී විහාර සාදා ඇත. ඒවා බෝධිඝර නමින් හැඳින්වේ.

එමෙන්ම මෙම සිදුහත් කුමාරයා උපත ලද පුදබිමෙහිද ඒ කාලයේ සිටම බෞද්ධ ජනතාව විසින් පුද පූජා පවත්වන ලදී. මහාචාර්ය කොනිංහැම් පවසන ඉතා වැදගත් කරුණක් මෙහිදී අවධානය කළයුතුව ඇත. එනම් මෙහි බිලි පූජා වැනි කිසිවක් සිදු කර නැති බවය. මෙය සැබැවින්ම සිදුහත් කුමාරයා උපන් ස්ථානය බවට කිසිදු සැකයක් නැත. එම කැණීම් වලින් හමු වූ දැව පුරාවිද්‍යාත්මකව කාබන් කාලයට අයත් වන බවට මහාචාර්ය රොබින් කොනිංහැම් මහතා විස්තර කරයි.

මෙය සැබවින්ම පුරාවිද්‍යාව සහ විද්‍යාව ද ජනප්‍රවාද සහ බුදු සමයේ බෞද්ධ සාහිත්‍යයද සමපාත වන අවස්ථාවක් ලෙසින් විද්වත්හු සලකති. මහාචාර්ය රොබින් කොනිංහැම් මේ පිළිබඳව පුවත්පත් සාකච්ඡාවකදී අවධාරණය කර ඇත.

ලොව පුරා බෞද්ධ ජනතාවට පමණක් නොව වෙනත් ආගම් ඇදහුවත් බුදුසමයට ගරු කරන විද්වතුන් පවා මෙම පුරාවිද්‍යාත්මක සොයාගැනීම බුදුසමයේ හා බුදුරජාණන් වහන්සේ ජීවමාන ලෙසින් වාසය කළ බව පමණක් නොව ඒ උපත සිදු වූ පුදබිම ද සොයා ගැනීම සැබවින්ම මේ සියවසේ පුරාවිද්‍යා ක්‍ෂේත්‍රයේ ඉතා විශිෂ්ටතම අවස්ථාවක් ලෙසින් ලෝක ඉතිහාසයෙහි රන් අකුරින් ලියැවෙනු ඇත.

1997 දී යුනෙස්කෝ (Unesco) සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙසට (World Heritage) ප්‍රකාශයට පත් කර ඇති මෙම ලුම්බිනි (රුම්මින්දෙයි) පුද බිම ලක්‍ෂ සංඛ්‍යාත සංචාරකයන්ගේ ද ආකර්ෂණයට භාජනය වනවාට සැක නැත.

මෙම පර්යේෂණ කැණීම එංගලන්තයේ ඩර්හැම් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රොබින් කොනිංහැම්, නේපාලයේ පුරාවිද්‍යාඥ කෝෂ ප්‍රසාදි ආචාර්යන් දෙදෙනාගේ සම අධ්‍යක්‍ෂකත්වයෙන් සිදු කර ඇත. ඒ සඳහා නැෂනල් ජෝග්‍රැෆි ආයතනය, යුනෙස්කෝ ආයතනය සහ නේපාල සහ ජපන් රජයේ ද අනුග්‍රහය ලැබී ඇත.

 

උදුවප් පුර පසළොස්වක පෝය

උදුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් 16 වැනිදා සඳුදා අපරභාග 12.53 ට ලබයි.
17 වැනිදා අගහරුවාදා අපරභාග 3.00 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 16 වැනිදා සඳුදාය.

මීළඟ පෝය
දෙසැම්බර් 25 වැනිදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 16

Second Quarterඅව අටවක

දෙසැම්බර් 25

New Moonඅමාවක

ජනවාරි 01

First Quarterපුර අටවක

ජනවාරි 08


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]