UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සංඝමිත්තාගමනයෙන් ඇරැඹි ලක්දිව භික්‍ෂුණී ශාසනය

සංඝමිත්තාගමනයෙන් ඇරැඹි ලක්දිව භික්‍ෂුණී ශාසනය

දසබලධාරි ශාන්තිනායක බුදුපියාණන් වහන්සේ විසින් දේශිත උතුම් ශ්‍රී සද්ධර්මය මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනයත් සමඟින් ලාංකිකයන්ට ලැබුණු අතර අරිට්ඨ ඇමැතියන්ගේ පැවිදි උපසම්පදාවත් සමඟින් ගොඩනැඟුණු ලාංකේය භික්‍ෂු සමාජය අතීතයේත්, වර්තමානයේත්, අනාගතයේදීත් දේශපාලන, ආර්ථික, සමාජීය සංස්කෘතික වශයෙන් මනා පෙරළියක් ඇති කරමින් නව සංස්කෘතික පෙළහරක් පාන්නට විය. ලාංකිකයන්ට අනන්‍ය වූ නව පිබිදීමක් ඇතිවන්නට විය.

ක්‍රි.පූ. සවැනි සියවසේ දී බුදුපියාණන් වහන්සේගේ මහාකාරුණික දෙනෙතට හසුව නිවන් දොර විවර කොට විමුක්තිය පසක් කරගත් පිරිසක් ලෙස කාන්තාවන් සුවිශේෂි විය. භාරතයේ මහා ප්‍රජාපතී ගෝතමී තෙරණියයේ පාරමි බලයෙන් සම්බුදු සසුනේ පැවිදි උපසම්පදාව ලැබ භික්‍ෂුණී සමාජයද බිහිකරමින් භවකතරින් එතෙරව නිර්වාණ ශාන්තිය ලබා ගත්තෝ ය. ඉන් සියවස් තුනකට පසුව එනම්, ක්‍රි.පූ. තෙවන සියවසේ දී ලාංකේය කාන්තාවට ඒ උත්තරීතර වූ අර්හත්ධජය දරාගැනීමේ සුවිශේෂී භාග්‍යය උදාවූයේ ධර්මාශෝක අධිරාජයාණන්ගේ ශ්‍රේෂ්ඨ දියණිය වූ සංඝමිත්තා රහත් තෙරණින් වහන්සේ ලංකාද්වීපයට වැඩම කිරීමත් සමඟිනි.

ලාංකේය ඓතිහාසික කතිකාවත තුළ ගිලිහී ගිය පිරිසක් ලෙස කාන්තාව සැලකිය හැකිවෙනවා සේම නොසිඳී ගලායන ඉතිහාසයක් ලක්දිව මෙහෙණ සසුන පිළිබඳව ලබාගැනීමේ සක්‍යතාවක් නොමැත. නමුදු ඇතැම් මූලාශ්‍ර භාවිතයෙන් සාමාන්‍ය තොරතුරු ප්‍රමාණයක් ලද හැකි වන අතර මහාවංසය, සමන්ත පාසාදිකාව රසවාහිනිය වැනි මූලාශ්‍ර සුවිශේෂි වේ. මහාවිහාරික භික්‍ෂූණින් විසින් රචිතයැයි අනුමානිත දීපවංශය භික්‍ෂුණින් වහන්සේලා පිළිබඳ යම්තාක් තොරතුරු ප්‍රමාණයක් ලබාදේ. ඒ අනුව ලක්දිව කාත්නාවන්ට පැවිදි උපසම්පදාව ලැබීමෙන් ඇරැඹි ලක්දිව භික්‍ෂුණී සමාජයේ ආරම්භය හා ව්‍යාප්තිය පිළිබඳව පිළිවිසීම වැදගත් වූ කාරණාවක් වනවාසේම භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිසෙන් සුසැදි නව ලාංකේය සමාජයක ආරම්භය සනිටුහන් වන්නේ කාන්තාවන් හට සසුන්ගතවීමේ අවස්ථාව උදාවීමත් සමඟිනි.

සංඝමිත්තා තෙරණියගේ ආගමනයෙන් අනුලා බිසව ඇතුළු කාන්තාවන් පන්සියයක් පැවිදි උපසම්පදාව ලැබ භික්‍ෂුණී සමාජය ආරම්භ කරන ලදී. තවද දහස් සංඛ්‍යාත කාන්තාවෝ සංඝමිත්තා තෙරණියගෙන් පැවිද්ද ලැබූහ. දේවානම්පියතිස්ස රජුගේ රාජ්‍යය අනුග්‍රහය ලැබීමත් සමඟින් භික්‍ෂුණීහු මැනවින් ධර්ම – විනය හදාරා එම ආරාමවලදී විනයපිටකය හා ධර්මය උගන්වා ඇත. එබැවින් ධර්මධර හා විනයධර භික්‍ෂුණීන් වහන්සේලා විශාල පිරිසක් ලංකාභූමිය පුරාවට බිහිව ඇති අතර දෙවනපෑතිස් රාජ්‍යසමයේ මනා පිබිදීමකින් යුක්තව කටයුතු කළ බවට මහාවංසය සාක්‍ෂි දරයි. නමුදු උත්තිය රාජ සමය වන විට ක්‍රමයෙන් රාජ්‍යය පිරිහීමත් සමඟ එතරම් පිබිදීමක් භික්‍ෂුණි සමාජය තුළ දක්නට නොලැබේ.

සම්බුද්ධ ශාසනයෙහි අභිවර්ධනීය සමය වූ දුටුගැමුණු රාජසමය සියවස් කිහිපයකින් පසුව එළඹෙන අතර භික්‍ෂු සමාජයේ මෙන්ම භික්‍ෂුණි සමාජයේ ද නව ප්‍රබෝධයක් ඇතිවිය. දුටුගැමුණු රාජ සමයේ මහිලා සමන්තා, ගිරිකාල, දාසි සහ කාලියන සුප්‍රකට භික්‍ෂුණින් තිස් නමක් රුහුණේ සිට අනුරාධපුරයට පැමිණ විනය ඉගැන් වූ බව දීපවංසයෙහි සඳහන් වේ. මෙහි මහිලා සහ සමන්තා කාවන්තිස්ස රජුගේ දියණියන් වූවාසේම දුටුගැමුණු රජුගේ සහෝදරියෝද වූහ. ගි රිකාලි නම් කාවන්තිස්ස රජුගේ පුරෝහිතගේ දියණියයි. එමෙන්ම දීපවංස සඳහනක් වන, ‘සමුද්ද නාවා දේවිව සීවලී රාජධිතරෝ’ යන ගාථාවට අනුව සමුද්දනාවා සහ සීවලී යන මෙහෙණිවරුන් දෙදෙනා ද රාජදියණියෝ වූහ. එසේම මිහින්තලේ සෙල්ලිපියක දැක්වෙන ‘ශවෙර ශමතිය’ කණගම තිස්ස රජුගේ දියණියකි. මෙලෙස රාජකුමාරිකාවෝ භික්‍ෂුණී ශාසනයට ඇතුළත්ව නිවන් මගෙහි ගමන් කිරීමට උත්සුක විය.

එමෙන්ම දුටුගැමුණු රජතුමා විසින් සම්බුද්ධ ශාසනයට පූජා කරන ලද මිරිසවැටි විහාර පූජා කිරීමේ උත්සවය සඳහා භික්‍ෂුණීන් වහන්සේලා පැමිණි බවත්, උන්වහන්සේලා සංඛ්‍යාව අනූදහසක් බව මහාවංශය සඳහන් කරයි. මෙවන් වූ ප්‍රමාණයක් මිරිසවැටි විහාර පින්බිමට වැඩම කළේ නම් කෙතරම් භික්‍ෂුණීන් වහන්සේලා සංඛ්‍යාවක් එවක ලක්දිව වාසය කරන්නට ඇතැයි අනුමාන කළ හැක. තවද දුටුගැමුණු රජුගේ රුවන්මැලි සෑ පූජා උත්සවයේ දී ද පියදස්සි නම් රහත් තෙරුන් වහන්සේගෙන් ධර්මය අසා තුදුස් දහසක් හෙවත් දහ හතර දහසක් භික්‍ෂුණීන් වහන්සේලා රහත්භාවය ලබා සසර කතරින් එතෙර වූ බව මහාවංසයෙහි සඳහන් වේ.

අට්ඨාරස සහස්සානි භික්‍ඛු භික්‍ඛුණියෝ පන
චුද්දසේව සහස්සානි අරහන්තේ පතිට්ඨහුං

මේ ආකාරයට මිරිසවැටි විහාර පූජාව සහ ස්වර්ණමාලි චෛත්‍යය පූජාව යන මෙම පූජා පින්කම් දෙකේ දී ඉතා විශාල භික්‍ෂුණීන් වහන්සේලා ප්‍රමාණයක් පැමිණි බව ඉහත කරුණු ඇසුරින් පැහැදිලි වේ. රජමාලිගයේ රජදේවිය, කුමාරිකාවන්, සේවිකාවන් ඇතුළු සාමාන්‍ය කාන්තාවෝ සසුනට ඇතුළුවී ඇත.

සද්ධාතිස්ස රජු විසින් කරන ලද මාතුවිහාරය තම මෑණියන් වූ විහාරමහාදේවිය උදෙසා කරන ලද මෙහෙණවරක් ලෙස සලකයි. සද්ධාතිස්ස රජුගේ වැඩිමහල් පුතු වූ ලජ්ජිතිස්ස රජු ද හාල් හා අන්‍ය වූ දෑ භික්‍ෂුණීන් විෂයෙහි පූජා කළ බව මහාවංසයෙහි සඳහන් වේ. මෙලෙස භික්‍ෂුණී සමාජය උදෙසා නොමද රාජ්‍යය අනුග්‍රහය ලැබී ඇත.

මහාදාඨක මහානාග රාජ්‍යය සමයේ දී (ක්‍රි.ව. 7 – 19 ) ගිරිභණ්ඩ පූජාව දැක ගැනීමට යන අතරමඟදී රහත්ඵලය ලැබූ භික්‍ෂුණීන් වහන්සේලා පිළිබඳව සිහළවත්ථුප්පකරණ නම් ප්‍රකරන ග්‍රන්ථයේ සඳහන් වන අතර සාරාණිය වත පිරූ භික්‍ෂුණීහු ද පැරැණි ලක්දිව වැඩ වාසය කොට ඇත.

වළගම්බා රාජසමය වූ කලි අභාග්‍ය සම්පන්න කාලපරිච්ඡේදයකි. දකුණු ඉන්දියා ආක්‍රමණ මෙන්ම දොළොස් වසරක් පුරා පැවැති බැමිණිතියා සාය නිසාවෙන් රට ආර්ථික, තත්ත්වයෙන් ඉතා පහළ මට්ටමට වැටිණි. ගම් දනව් දුර්භික්‍ෂයෙන් විනාශ වූ අතර මේ තත්ත්වය භික්‍ෂුණී සමාජය උදෙසාද බලපාන ලද කාරණයක් විය. මෙම අවාසනාවන්ත කාල පරිච්ඡේදය තුළ භික්‍ෂූන් වහන්සේලා මෙන්ම භික්‍ෂුණීන් වහන්සේලාද වනගතව දුක සේ වැඩ වාසය කොට ඇත. ඇතැම් භික්‍ෂුහු විදේශයට ගොස් ඇති අතර ඇතැම් භික්‍ෂූන් අපවත්වී ඇත. මෙකල වැඩවාසය කළ භික්‍ෂූණීන් පිළිබඳව ද සඳහන් කොට ඇත.

මෙකල නාගා නම් තෙරණින් වහන්සේ නමක් කාචරග්‍රාමයේ වැඩ වාසය කළා ය. එකල සාගතය නිසාවෙන් ගම්වැසියෝ ගම්දනව් හැර ගියෝ ය. කලකිරීමට පත්නොවී භාවනා කරන ලෙස නාගා තෙරණිය තම පිරිසට අවවාද කළ අතර නුග ගසට අධිගෘහිත දේවතාවන්ගෙන් ආහාර ලැබිණ. මෙකල පැවැති නියං සමය අවසන් වූ පසු විනය ඉගැන් වූ මහාසේනා, ජන්තා, සිවලා, නාගා, නාගමිත්තා, ධම්මගුප්තා දාසියා, සමුද්දා, සමන්තා, උපාලි, රේවතා, මාලා, ඛේමා, තිස්ස යන භික්‍ෂුණීන් පිළිබඳව දීපවංසයෙහි සඳහන් වේ.

එමෙන්ම වළගම්බා රජුගේ ආරාධනාවෙන් තවත් භික්‍ෂුණීන් පිරිසක් සමඟ ඉන්දියාවෙන් ලක්දිවට පැමිණ විනය ඉගැන්වීමේ යෙදුන සිවලා මහාරුහා නම් භික්‍ෂුණීන් දෙදෙනෙකු පිළිබඳව සාක්‍ෂි දරයි. එම භික්‍ෂුණීන් දෙදෙනාගෙන් උපසම්පදාව ලැබූ සමුද්දනාවා, දේවි, සිවලා, නාගමිත්තා, මහිලා හා තවත් භික්‍ෂුණින් වහන්සේලා පිළිබඳව දීපවංසය සඳහන් කරයි. සමුද්දනාවා, දේවි, සිවලා යන භික්‍ෂුණීහු වළගම්බා රජුගේම දියණියෝ වූහ.

වළගම්බා රජු දවස ශාසනික භේදයක් ඇති වූ අතර භික්‍ෂුන් වහන්සේලා නිකාය වශයෙන් විභේදනය වන්නට විය. ඒ තත්ත්වයට භික්‍ෂුණීන් වහන්සේලා කෙරෙහි ද බලපාන්නට ඇත. වලගම්බා රජු සතුරන් නිසා යළි රජ වූ විට භික්‍ෂුණීන්ට අනුග්‍රහ කොට ඇති අතර වළගම්බා රජුගෙන් පසුව මහාචූලිත මහාතිස්ස සමයේ මෙහෙණි සසුන දියුණුව පැවැත ඇත. එතුමා විසින් දොළොස් දහසක් භික්‍ෂූන්ට තුන් සිවුරු පූජා කළ බව මහාවංසයෙහි සඳහන් වේ. කූඨකණ්ණතිස්ස රජු දන්තගේහ නම් මෙහෙණවර කරවා භික්‍ෂුණී විෂයෙහි පූජා කොට ඇත. මහසෙන් රජු උතුරු අබාපොල නම් භික්‍ෂුණී ආරාම දෙකක් සාදා මහාවිහාරයට විරුද්ධ පාක්‍ෂික භික්‍ෂුණීන්ට පූජා කළ බව මහාවංශය සඳහන් කරයි.

මහානාම රජු දවස (ක්‍රි.ව. 412 – 434 ) ලංකාවේ දේවසරා නමැති භික්‍ෂුණිය පුමුඛ භික්‍ෂුණීන් පිරිසක් චීනයට ගිය බව චීන වාර්තාවල සඳහන් වේ. එම පිරිස විසින් චීන කාන්තාවන් පැවිදි කොට චීනයේ මෙහෙණි සස්නද, පිහිටුවා ඇත. මෙමඟින් පැහැදිලි වනුයේ ලක්දිව භික්‍ෂුණි සමාජය දියුණුව පැවැති බවය. ක්‍රි.ව. 526 දී පමණ පාඕ වාන් විසින් සම්පාදිත පී - වියු- නි – වු ආන් නමැති ග්‍රන්ථයේ මේ පිළිබඳව සඳහන් කොට ඇත.

මේ අවස්ථාවේ දී චීන ජාතික භික්‍ෂුණීන් තුන්සියයකට වැඩි ප්‍රමාණයක් ලක්දිව භික්‍ෂුණීන්ගෙන් උපසම්පදාව ලබා ඇත. චීන ග්‍රන්ථයේ මෙසේ සඳහන් වුවද මහාවංසයෙහි සඳහනක් නොමැත. ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා තිබ්බතයට ගිය භික්‍ෂූණීන් ද වූ අතර චන්ද්‍රමාලි නමැති භික්‍ෂුණිය එලෙස බුද්ධාගම පැතිරවීම සඳහා තිබ්බතයට ගිය තෙරණියකි. එසේම බෞද්ධ දූත ගමන් සඳහා භික්‍ෂුණි දඹදිවට ද වැඩම කොට ඇත. ඉන්දියාවේ නාගර්ජුන කොණ්ඩ නම් ස්ථානයෙන් සොයාගන්නා ලද ප්‍රාකෘත ලිපියක ශ්‍රී ලංකාවේ මහාවිහාරවාසී නිකායික භික්‍ෂු භික්‍ෂුණීන් එහි නැවතී සිටි බව සඳහන් වේ.

“තංබපංනි දීප පසාදකානං තෙරියානං” තම්බපණ්ණි දීපය එළිය කළ තෙරණිය ලෙස එහි සඳහන් වීමෙන් ලක්දිව තෙරණියක බව ගම්‍ය වේ

භික්‍ෂුණීන් වහන්සේලාගේ සංඛ්‍යාව වැඩිවත්ම අනුරාධපුරයේ ඒ ඒ ප්‍රදේශවල තවදුරටත් මෙහෙණවර ඉදිකිරීමට පාලකයන්ට සිදුව ඇත. නිකාය භේදයත් සමඟ භික්‍ෂුණීන් ද නිකාය බෙදීම නිසාද මෙසේ මෙහෙණවර සෑදීමට සිදුව ඇත. පළමුවන මුගලන් රජු (ක්‍රි.ව. 298 – 315 ) රාජිනි නම් මෙහෙණවරක් ඉදිකොට සාගලික භික්‍ෂුණීන්ට පූජා කොට ඇත. දෙවන අග්බෝ රාජ්‍යය සමයේ කලිඟු රට රජු හා බිසවද, ඇමැති ද ලංකාවට පැමිණ පැවිදි වූ බව චූලවංසය සඳහන් කරයි. අග්බෝ රජුගේ බිසවද කලිඟු බිසවට උවටැන් කොට ඇත. තෙවන දෙටුතිස් රජුගේ මෙහෙසිය රජුගේ ඉල්ලීම පරිදි ශාසනයෙහි පැවිදිව අභිධර්මය ඉගෙන, අභිධර්මය දේශනා කිරීමට ද සමර්ථ වූ මෙහෙයක විය. සිව්වන අග්බෝ රජුගේ මෙහෙසිය වූ ජෙට්ඨාදේවිය ජෙට්ඨාරාමය නම් මෙහෙණවරක් කරවා එම ආරාමයට පත්තපාසාණ පෙදෙසෙහි වූ ගම් දෙකක් ද, බුද්ධපොල නම් ගමද ආරාමයෙහි උපස්ථාන කටයුතු සහ වැඩපළ කිරීම සඳහා සේවිකාවන් සියයක් ද දී ඇත. මෙසේ සේවයක් සැපයීම සඳහා ඉතා විශාල භික්‍ෂුණීන් සංඛ්‍යාවක් වැඩවාසය කරන්නට ඇතැයි සිතිය හැක.

පළමුවන මහින්ද රජු මහින්දාරාමය කරවා එහි නඩත්තුව සඳහා නගරගල්ල සහ ආරාම මරියාදක නම් ගම්දෙක පූජා කොට ඇත. දෙවන මහින්ද රාජ සමයේ දී සීලාමේඝ මෙහෙණවර ඉදිකොට භික්‍ෂුණීන් විෂයෙහි පූජා කොට ඇත.

සිව්වන මහින්ද රාජසමයේ දී මහල්ලක නම් මෙහෙණවරක් ඉදිකොට පූජා කළ බව මහාවංසයෙහි සඳහන් ය. දහවන සියවස වන විට ඇතැම් භික්‍ෂුණී ආරාම ගරා වැටෙමින් පැවැති බවටත් සිව්වන මහින්ද රජු ඒවා ප්‍රතිසංස්කරණය කළ බවටත් සාධක ජේතවනාරාම සෙල්ලිපියෙන් පැහැදිලි වේ. මෙම සෙල්ලිපියෙහි ‘අසරණ මෙහෙණ ගණ මෙහෙණවර නවකම් කරා’ යනුවෙන් සඳහන් වීමෙන් දහවන සියවස අගභාගය වන විට භික්‍ෂුණී සංස්ථාවේ පැවැති ශ්‍රී විභූතිය ක්‍රමයෙන් පරිහානිය කරා ළඟා වූ බව විද්‍යමාන වේ.

ලක්දිව වැඩවාසය කළ භික්‍ෂුණීහු හුදෙක් ආත්ම විමුක්තිය ලැබීම උදෙසා පමණක් ක්‍රියා නොකොට විශාල සමාජ මෙහෙවරක් ද සිදුකොට ඇත. අනුරාධපුර යුගයේ අගභාගයේ භික්‍ෂුණී ආරාම යාබදව ආරෝග්‍යශාලා ද තිබූ බව පෙනේ. මැදිරිගිරියේ දහවන සියවසට අයත් ශිලා ලිපි දෙකකම භික්‍ෂුණී ආරාමවල පැවැති රෝහල් පිළිබඳ කියැවේ.

මහින්දාරාම නම් මෙහෙණවරට යාබදව වෙදහලක් වූ බව කුකුරුමහන් දමන ටැම්ලිපියෙහි සඳහන් වේ. මෙලෙස සියවස් දොළහක පමණ කාලයක් භික්‍ෂුණී සමාජය පැවැති බව සාහිත්‍ය හා පුරාවිද්‍යාත්මක සාධක මත නිගමනය කොට ඇත.

සංඝමිත්තා රහත් උත්තමාවියගේ මූලිකත්වයෙන් ඇරැඹී ලක්දිව භික්‍ෂුණී සමාජය තුළ වැඩුණු භික්‍ෂුණීහු ධර්මධර විනයධර විශාරදත්වයෙන් අගතැන්පත් වූ පිරිසක් වූහ. ශීල, සමාධි, ප්‍රඥා ශික්‍ෂාමාර්ගයන්ට පිළිපන්ව උතුම් රහත්බෝධියට පැමිණි නිවනින් සැනසුණු පිරිසක් විය.

නව සංස්කෘතික පෙළහරක් පාන්නට සමත් වූ සංඝමිත්තාවන්ගේ පැමිණීමෙන් ඇරැඹි භික්‍ෂුණී සමාජය නිසාවෙන් කාන්තාව විමුක්තිය උදා කර ගත්හ. බෞද්ධ දර්ශනයට අනුගත වූ පිරිසක් වර්ධනය විය.

ගිහිගෙයින් නික්ම සරල පැවතුම් ඇතිව කසාවත් දරමින් ශික්‍ෂාකාමී ජීවිතයක් උදෙසා කාන්තාවට භාග්‍යය උදාවූයේ සංඝමිත්තා රහත් තෙරණිය නිසාවෙනි.

අතීතයේ ලක්දිව කසාවත දැරුවේද, වත්මන් කාන්තාව කසාවතින් බබළන්නේ ද, අනාගතයේ දී කාන්තාව කසාවත් දරා සසුන්ගතවේද, සැවොම සංඝමිත්තා රහත් උත්තමාවිය දෝතින් පිදිය යුතු වන්නේ ය.

 

උදුවප් පුර පසළොස්වක පෝය

උදුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් 16 වැනිදා සඳුදා අපරභාග 12.53 ට ලබයි.
17 වැනිදා අගහරුවාදා අපරභාග 3.00 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 16 වැනිදා සඳුදාය.

මීළඟ පෝය
දෙසැම්බර් 25 වැනිදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 16

Second Quarterඅව අටවක

දෙසැම්බර් 25

New Moonඅමාවක

ජනවාරි 01

First Quarterපුර අටවක

ජනවාරි 08


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]