UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කපිලවස්තුපුර ශ්‍රී සර්වඥධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කෙරෙන කොටහේන දිපදුත්තමාරාම තායි රජමහා විහාරය

කපිලවස්තුපුර ශ්‍රී සර්වඥධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කෙරෙන කොටහේන දිපදුත්තමාරාම තායි රජමහා විහාරය

වස්කඩුවේ රාජගුරු ශ්‍රී සුභූති නාහිමිපාණන් වහන්සේට ඉන්දියාවේ කපිලවස්තුපුරයෙන් 1898 දී ලැබුණු ශ්‍රී සර්වඥධාතුන් වහන්සේලා වන්දනාමාන කිරීමේ පූජෝත්සවය සහ ප්‍රදර්ශනය දෙසැම්බර් මස 05, 06 සහ 07 යන තෙදින පස්වරු 2.00 සිට රාත්‍රී 11.00 දක්වා කොටහේන දීපදුත්තමාරාම තායි රාජමහා විහාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.


සධාතුක කරඬුව

විහාරාධිපති ශාස්ත්‍රපති වස්කඩුවේ මහින්දවංශ මහානාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි ජලසම්පාදන හා ජලාපවාහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලිලන්ත පෙරේරා මැතිතුමාගේ ආරාධනයෙන් මෙහි සමාරම්භක අවස්ථාව දෙසැම්බර් 05 වන දින පෙරවරු 11.00 ට ශ්‍රී ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ උතුමාණන්ගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට නියමිතව තිබිණි.

එදා බුදුන්වහන්සේ කුසිනාරානුවර මල්ලව රජ දරුවන්ට අයත් උපවත්තන නම් සල් උයනේ පිරිනිවන් පෑමෙන් අනතුරුව ආදාහනය කොට සත් දිනකට පසු ධාතු බෙදීම සිදුවිය. එකල රජ දරුවන්ගේ අතිශය ආදරයට හා ගෞරවයට පාත්‍රව සිටි ද්‍රෝණ බමුණාගෙන් ධාතු බෙදීමේ වගකීම ඉටු වූයේ අවශ්‍යතම රජ දරුවන් ඉදිරිපිටදී ය. බුදුන් වහන්සේට හිමිකම් කිව හැකි ඥාති පිරිස කපිලවස්තුවේ සිට මෙම ස්ථානයට පැමිණ තමන්ට හිමි විය යුතු ධාතු කොටස් ලබාගෙන මහා පෙරහරින් පුද පූජා පවත්වමින් සිට නුවරට පැමිණ සෑයක් කොට නිදන් කළ බව ශාසන ඉතිහාසය කියයි. පසු කලෙක මෙම ස්තූපය තිබූ තැන යට වී වැසී ගොස් ඉඩකඩම් වෙන් වී ප්‍රදේශය සම්පූර්ණ පරිවර්තනයකට භාජනය වී තිබූ බව පෙනේ. මෙම වකවානුව වන විට මෙකී සෑය ඇතුළත් ඉඩමේ අයිතිකරු වූයේ ඇන්.වී. පෙප්පේ නම් ඉංගී‍්‍රසි වතු හිමියෙක් ය. ඔහු ද ශ්‍රී සුභූති නාහිමියන්ගේ මිත්‍රයකු වීම උන්වහන්සේගේ පූර්වභාග්‍යයක් සේ සැලකිය හැකි ය.ඉන්දීය පුරාවිද්‍යාඥයින් විසින් කැණිම් කටයුතු කරද්දී මෙම ස්ථූපය ද ඔවුන්ගේ දැඩි විමසිල්ලට භාජනය විය. ඔවුන් මෙය හැඳින්වූයේ ‘පිප්‍රාවා’ හෙවත් ‘පෙප්පේගේ ස්ථූපය’ නමිනි. මෙම ස්ථූපය කැණීමේ දී පළමුව විශාල ගල් පෙට්ටියක් හමු වූ බවත් එම පෙට්ටිය තුළ කුඩා කරඬු කීපයක් ධාතුන් වහන්සේලා සහිතව නිධන් කර තිබූ බව ද, එයින් එක් ගල් කරඬුවක් වටා “ඉයං සලීල නිධනේ බුධස භගවතෝ සකියානං සුකිති භතානං සභගිනි කාතං සසුන දලත” යනුවෙන් කොටා තිබූ බව වින්සන්ට් ස්මිත් පඬිවරයා සඳහන් කරයි. මෙම ශ්‍රී සුභූති හිමියන්ගේ සහාය ලබා පාලි භාෂාවට පරිවර්තනය කොට දක්වා ඇත. ඒ අනුව මෙම කරඬුවල තිබී හමු වූ ධාතුන් වහන්සේලා සත්‍ය වශයෙන් ම ප්‍රථම ධාතු බෙදීමේ දී ශාක්‍ය රජ දරුවන්ට හමු වූ සර්වඥ ධාතු කොටස බව සනාථ වන අතර, කපිල වස්තු හා ඒ අවට කැණිම් කොට අංග සම්පූර්ණ වාර්තාවක් සැපයූ පූර්ණ චන්ද්‍ර මුඛර්ජි මහතා මෙන් ම භාරතීය ඉතිහාසඥයෙකු වූ වින්සන්ට් ස්මිත් මහතා ද උක්ත මතය එකහෙලා පිළිගනී. මෙම ස්ථූපයෙන් ලැබුණු ධාතුන් වහන්සේලා සියම් මහරජුටත්, බුරුම මහරජුටත්, කොටස් දෙකක් යවා ඇති අතර, ශ්‍රී සුභූති මහනාහිමියන්ට වෙන්කර ශ්‍රී ලංකාවට එවූ කොටස පිළිබඳව 1898 අගෝස්තු 19 ඉතිහාසඥ වින්සන්ට් ස්මිත් මහතා ශ්‍රී සුභූති නාහිමියන්ට එවන ලද ලිපියකින් අනාවරණය වෙයි.

එදා මෙම ධාතුන් වහන්සේලා ඇතුළත් චෛත්‍ය පිහිටා තිබූ භූ®මිභාගයේ හිමිකරුව සිටි පෙප්පේ මහතා වසර ගණනාවක සිට තමන්ගේ ශ්‍රී ලාංකීය මිත්‍රයෙකු මෙන් ම ලෝකයේ උගතුන් පිළිගත් කුශාග්‍ර බුද්ධිමතෙකු වූ ශ්‍රී සුභූති මහනාහිමියන්ට ලිපියක් සමග පාර්සලයක් එවූ අතර, එයින් උන්වහන්සේ තුළ කාලයක සිට පැවති අදහස ඉටුකර ගැනීමට හැකි වූ බව පහත සඳහන් ලිපියෙන් මොනවට පැහැදිලි වේ.

මිගෙට්ටුවත්තේ ගුණානන්ද නාහිමි

වස්කඩුවේ ශ්‍රී සුභූති මහා නාහිමි

ශ්‍රී ජිනවරවංශ හිමි

දීපදුත්තමාරාම පුරාණ තායි රාජ මහා විහාරය කොළොම්පුර බටහිර ජාතීන්ගේ ග්‍රහණයට නතු වූ පසු වෙසෙසින් ජනාකීර්ණ හා දියුණු නගරයක් වුව ද අතීතයේ කැලණි පුදබිමේ සිට බෙල්ලන්විල පුදබිම අතර භූමි කලාපය තුළ බෞද්ධ විහාරස්ථානයක් නො වූ අතර විහාරයක් ඉදි කිරීමට තබා බුදු පිළිමයක් ඉදි කිරීමටවත් අධිරාජ්‍යවාදිහු ඉඩ නොදුන්හ. එකී පසුබිම තුළ කොළොම්පුරයේ ඉදි වූ ප්‍රථම බෞද්ධ විහාරස්ථානය වූයේ දීපදුත්තමාරාමයයි. ‘රටගිය මුදියන්සේ’ නමින් ප්‍රකට සවියෙල් තාබ්‍රෙව් උභය කුලතුංග විජේසිරිවර්ධන මහා මුදලිතුමන් එවකට ඕලන්ද ආණ්ඩුකාරවරයාගේ විශේෂ අවසරයක් ගෙන තම වලව්වේ විහාරයක් පිහිටුවා ගත්තේ ය. ඔහු මුල් කාලීන ව සීනිගම ධම්මක්ඛන්ධ හිමියන් වැඩමවා ආගමික කටයුතු හා වස් වසවා ගැනීම ආදිය සිදුකළ අතර පසුව සීනිගම ධීරක්ඛන්ධ හිමියන් මෙහි ස්ථිර ආරාමයක් ආරම්භ කළහ. උන්වහන්සේගෙන් පසු ව ලෝක පූජිත වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද නාහිමියන් මෙකී විහාරයේ අධිපතීත්වයට පත්වූහ. උන්වහන්සේ මෙකී විහාරස්ථානයේ වැඩවසමින් සිදුකළ ජාතික, ආගමික මෙහෙවර නිසා ම මෙකී විහාරස්ථානය දෙස් විදෙස් සුපතල බෞද්ධ ආයතනයක් බවට පත් විය. පංච මහා වාදයට හා එකල බෞද්ධ ප්‍රබෝධයට මූලික වූ මූලස්ථානය, බෞද්ධ කොඩිය ප්‍රථම වරට ගුවනට එස වූ හා වෙසක් පොහොය නිවාඩු දිනයක් බවට ප්‍රකාශ කළ පින්බිම ලෙස මෙරට බොදු ජනතාවගේ හදවත් වල සදා නොමැකෙන මතකයක් දීපදුත්තමාරාමය පිළිබඳව සටහන්ව තිබේ. මිගෙට්ටුවත්තේ ගුණානන්ද නාහිමියන්ගෙන් පසු ව උන්වහන්සේගේ ශිෂ්‍යවරයන් වහන්සේලා ඇතුළුව මෙම විහාරස්ථානය පවරා දී තිබුණේ ගුණානන්ද නාහිමියන්ගේ ජාතික මෙහෙවරට තම ඥාන ශක්තියෙන් සහය දැක්වූ උන්වහන්සේගේ සමීප යතිවරයකු වූ රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති නාහිමියන්ට ය. ගුණානන්ද නාහිමියන්ගේ ශිෂ්‍යවරයකු වූ මොහොට්ටිවත්තේ ජනානන්ද හිමියන් අකාලේ අපවත් වූ බැවින් වස්කඩුවේ ශ්‍රී සුභූති නාහිමියන් විසින් තමන් යටතේ වස්කඩුව විහාරයේ පැවිදි වූ සියම් ජාතික රජ කුමරුවකු වූ පී.සී. ජිනවරංශ හිමියන් (Prince Prisdang Chumsai) හට මෙකී විහාරස්ථානය පවරා දෙනු ලැබීය.

උන්වහන්සේගේ යුගයේ දී ලෝකප්‍රකට රත්න චෛත්‍යය මේ විහාරස්ථානයේ ඉදි කළ අතර මෙම චෛත්‍යයේ තැන්පත් කරන ලද්දේ පූර්වයෙන් සඳහන් කළ කපිලවස්තුවෙන් රාජගුරු ශ්‍රී සුභූති හිමියන්ට ලද ධාතුන් වහන්සේලාගෙන් එක් නමකි. ගුණානන්ද නාහිමියන්ගේ ශ්‍රී නාමය වෙනුවෙන් කුමාර හිමියන් විසින් ‘ගුණානන්ද විද්‍යාලය’ බිහි කිරීම ද වැදගත් කාරණයකි. මුන්වහන්සේගෙන් පසුව මාදම්පිටියේ ජිනානන්ද නාහිමියන් මෙහි අධිපතීත්වයට පත් වූ අතර උන්වහන්සේ ධර්ම ශාලාව, පුස්තකාලය හා ධාතු මන්දිරය ඇතුළත් තෙමහල් ගොඩනැගිල්ලක් ඉදි කළ අතර විහාරයේ ප්‍රතිසංස්කරණයක් ද සිදු කළහ. කුමාර නාහිමියන්ගේ ශ්‍රී නාමය වෙනුවෙන් කුමාර විද්‍යාලය ද ආරම්භ කළ මුන්වහන්සේ අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ මහා නායක ධුරයට ද පත් වූ සේක.

උන්වහන්සේගෙන් පසුව පින්වත්තේ ජිනරතන හිමියන් විහාරාධිපති ධුරයට පත් වූ අතර උන්වහන්සේගේ අකල් අපවත්වීමෙන් අනතුරු ව 1997 වර්ෂයේ දී මෙකී විහාරස්ථානය වර්තමාන අමරපුර ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ මහානායක ධුරන්දර වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති මහා විහාරය ඇතුළු විහාර ගණයේ අධිපති ශාස්ත්‍රපති වස්කඩුවේ මහින්දවංශ නාහිමියන්ගේ භාරකාරත්වයට පත් විය. ගොඩනැගිලි කඩා වැටී ජරාවාස වීතිබූ මේ පින්බිම මුන්වහන්සේගේ අධිපතීත්වය යටතේ මේ වන විට ස්වර්ණමය යුගයකට ළඟා වෙමින් පවතී. කඩා වැටී තිබූ විහාර මන්දිරය හා ධාතු මන්දිරය, ධර්ම ශාලාව සහිත තෙමහල් ගොඩනැගිල්ල මිලියන ගණනක වියදමින් ප්‍රතිසංස්කරණය, රත්න චෛත්‍යය ප්‍රතිසංස්කරණය කොට නව බුදු පිළිම වහන්සේලා තැන්පත් කිරීම හා තායිලන්ත රජ පවුලේ අනුග්‍රහයෙන් නව කොත්වහන්සේ නමක් පළඳවීම, දාන ශාලාව සහිත දෙස් විදෙස් භික්‍ෂූන් වහන්සේලාගේ පරිහරණයට සුදුසු තෙමහල් සංඝාවාසයක් ද ඉදි කිරීම උන්වහන්සේගෙන් මෙතෙක් සිදු වූ සේවාවන්ගෙන් කොටසකි. ඊට අමතරව අප නාහිමියන් බිඳ වැටී තිබුණු ජාත්‍යන්තර සබඳතා නැවත ගොඩ නැංවීය.

ඒ නිසා ම 1997 න් පසු තායිලන්ත රජතුමාගේ දියණියන් දෙදෙනෙකු විහාරස්ථානයට සැපත් විය. (1999 දී චූලාබෝන් කුමරිය, 2013 දී මහාචක්‍රී සිරින්තෝන් කුමරිය) එමෙන් ම හිටපු තායිලන්ත අගමැති තක්ෂින් ෂිනවත්‍රා මැතිතුමා මෙන් ම වර්තමාන තායිලන්ත අගමැතිනි යින්ග්ලක් ෂිනවත්‍රා මැතිනිය ද විහාරස්ථානයට සැපත් විය. එමෙන් ම සෑම තායි තානාපතිවරයෙක් ම ශ්‍රී ලංකාවේ වැඩ භාර ගැනීමෙන් පසුව ප්‍රථමයෙන් මෙම විහාරස්ථානයට පැමිණීම චාරිත්‍රයක් බවට පත් ව ඇත. ශ්‍රී ලංකාවේ පවත්වන රාජකීය තායි කඨින පින්කම වසර ගණනාවක් ම දීපදුත්තමාරාමය මූලික කරගෙන සිදු කර ඇති අතර තායිලන්ත රජ පවුලේ සාමාජිකයන් විහාරස්ථානයට සැපත් වීම සනිටුහන් කරමින් රෝපිත ශාකයන් අදට ද සුරැකි ව ඇත. වර්තමාන විහාරාධිපති මහින්දවංශ මහා නාහිමියෝ අතින් සිදු වූ තවත් උත්කෘෂ්ට සේවාවක් නම් බෞද්ධ පුනරුදය සිදුකළ මිගෙට්ටුවත්තේ ගුණානන්ද නාහිමියන්ගේ පිළිරුවක් කොටහේන නගර මධ්‍යයේ විවෘත වීමයි.

මේ උතුම් කපිලවස්තු ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලාගේ ආනුභාවයෙන් සියලු දෙනාටම යහපතක් වේවා......!

 

 

උඳුවප් පුර අටවක පෝය

උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් මස 09 වැනි දා සඳුදා පූර්ව භාග 09.26 ට ලබයි. 10 වැනිදා අඟහරුවාදා පූර්ව භාග 08.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 09 වැනි දා සඳුදා ය.
මීළඟ පෝය
දෙසැම්බර් 16 වැනිදා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 09

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 16

Second Quarterඅව අටවක

දෙසැම්බර් 25

New Moonඅමාවක

ජනවාරි 01


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk