UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නැව්ගල කන්ද මුදුනේ වලිමිණිකන්ද රජ මහ වෙහෙර

මුහුදු මට්ටමේ සිට මීටර් එක්දහස් එකසීයක් පමණ උසින් පිහිටි නැව්ගල කඳුයාය මිහිදුම් සේලයෙන් වැසී තිබේ. එදෙසින් හමා එන සිසිල් වූ මදනල දැවටී ගත සිත ප්‍රබෝධවත් වේ. කුරුලු කොබෙයියන්ගේ හඬ පරයා නැව්ගල කඳුමුදුනින් ඇරඹෙන සිසිල් දිය පහරේ හෝ හඬ පහතින් ඇසෙයි. සමනල රෑන් මලින් මලට පියඹා යන අතර ගිරවුන් රංචුවක් ඈත අහසේ රටා මවමින් ඉගිලී යති. ඈතින් ඇසෙන රැහැයි හඬ අඳුර ගලා එන බැව් පවසන්නා සේ ය. මලහිරු බැස යන හැන්දෑවේ රාස්සිගේ අව්ව වැටී චෛත්‍යයේ කොත්කැරැල්ල රන්වන් පාටින් බැබලෙයි. අවට පරිසරය ද රත්පැහැ ගැන්වී තිබේ. සොබාදම් සිත්තම එතරම්ම චමත්කාරය. මනරම්ය. ගිරිකුළක් මත ඉදිවූ අහස්ගව්ව චෛත්‍යය නෙත පිනවන දර්ශණයකි. මෙම භූමියට පැමිණි පසු සිතට දැනෙන මානසික සුවය කියා නිමකර නොහැකි තරම්ය. සොබාදහමේ චමත්කාරය විඳගනිමින් ,ආගමික වතාවත් ඉටුකැර මානසික සුවයක් ලබාගත හැකි බෞද්ධ සිද්ධස්ථානයක් වශයෙන් වලිමිණිකන්ද පුරාණ රජමහා විහාරය හැඳින්විය හැකිය.

මෙම විහාරස්ථානයේ ඉතිහාසය වළගම්බා රජසමය දක්වා අතීතයට දිවයයි. වලිමිණිකන්ද ග්‍රාමයට නම ලැබුණු අයුරු ජනප්‍රවාදයේ මෙසේ සඳහන් වේ. වළගම්බා රජතුමා සහ බිසව නැව්ගල කන්දේ කලක් වාසය කොට ඇති අතර බිසව ස්නානය කිරීම සඳහා බිසෝඇල්ල නමැති ස්ථානයට ගොස් ඇත. එහිදී බිසවගේ මැණික් ඔබ්බවන ලද වළල්ලක් ඇල්ලට වැටී එහි වූ මැණික් මිණිකැට මෙන් දිලිසෙන්නට විය. වළගම්බා රජුගේ නමෙහි මුල් අකුරු දෙකවන ‘වල’ සහ බිසවගේ වළල්ල ඇල්ලට වැටී මිණිකැට මෙන් දිලිසෙන්නට වූ නිසා එයින් ‘මිණි’ යන පදයත් ගෙන වලමිණි කන්ද යනුවෙන් ගම්වැසියන් විසින් ව්‍යවහාරයට ගෙන ඇත. වලමිණිකන්ද පසුව වලිමිණිකන්ද යනුවෙන් භාවිතයට ගෙන තිබේ. වළමිණිකන්දට ඉහළින් බිසෝඇල්ල යනුවෙන් හඳුන්වන ස්ථානයක්ද වර්තමානයේ දක්නට ඇත. වළගම්බා රජු විසින් ආරම්භ කරන ලද වළමිණිකන්ද පුරාණ රජමහා විහාරය ඉන්පසුව දේවමිත්‍ර බණ්ඩාර නම් කුමාරයකු විසින් ප්‍රතිසංස්කරණයට ලක්කැර ඇත. වර්තමානයේ දක්නට ලැබෙන සැතපෙන බුද්ධ ප්‍රතිමාව මෙම කුමාරයා විසින් ඉදිකැර තිබේ.

කාලයත් සමග විහාරය වනගත වෙයි. එහි වත්මන් ඉතිහාසය ආරම්භ වන්නේ ඉංගී‍්‍රසි පාලන යුගයේදීය. එක්දහස් අටසිය ගණන්වල මුල් භාගයේදී වලිමිණිකන්දට වැඩම කළ වරාගල ධම්මසිද්ධි නාහිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් නැවත විහාරස්ථානය නගාසිටුවීම ආරම්භ වූහ. අනතුරුව මිල්වානේ ඉන්ද්‍රජෝති නාහිමියෝ 1918 දක්වා විහාරාධිපති පදවිය හෙබ වූහ. පසුව පිළිවෙළින් මොරගොල්ලේ සුමංගල නායක හිමි (1918 –1978) මොරගොල්ලේ සුමනජෝති හිමි (1978 – 1984) මොරගොල්ලේ සීලානන්ද හිමි (1984 – 1998) දක්වා විහාරාධිපති පදවිය හෙබ වූහ. 1998 සිට මේ දක්වා අලුත්වැවේ විමලසාර නායක හිමියෝ විහාරාධිපති පදවිය හොබවති. මෙම විහාරයට අයත් විහාරස්ථාන තුනකි. එනම් පල්ලෙකැන්ද සිරිමහා පුරාණ විහාරය, උඩහේන කටියාවේ පුරාණ විහාරය ,කොටුහේන වේරනමළුව පුරාණ විහාරය වේ. මෙම සියලු විහාරස්ථානවල විහාරාධිපති පදවිය දරනුයේ අලුත්වැවේ විමලසාර නායක හිමියන්ය.

වලිමිණිකන්ද පුරාණ රජ මහා විහාර භූමියට ඇතුල්වන අපට පළමුව දක්නට ලැබෙන්නේ පනහ දශකයේ මුල් බාගයේදී ඉදිකරන ලද සංඝාවාස ගොඩනැගිල්ලයි. සොල්දරයක් සහිතව ඉදිකරන ලද මෙය එවකට පැවැති ගෘහ නිර්මාණශිල්පය විදහා දක්වන කදිම නිදසුනකි. සංඝාවාසය පසුකොට ඉදිරියට පියගැටපෙළ නගිමින් මීටර් සීයක් පමණ ගියවිට මාර්ගය දෙපසට විහිදී යයි. වම් පස ඇත්තේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ සර් ජෝන් කොතලාවල මහතා අතින් කොත පලඳවන ලද ධර්මශාලාවයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ ගඩොල් හැඩැති කළුගල්වලින් ගොඩනැගිල්ල සාදා නිම කිරීමය . එම සෑම ගලකම එය පූජා කළ අයගේ නම සඳහන් වී තිබේ. ධර්මශාලාව පිහිටා ඇත්තේ සංඝාවාසයට වඩා අඩි තිහක පමණ උසකිනි. දකුණු පසට විහිදී යන කළුගලින් නිමකරන ලද පියගැට පෙළ දිගේ ගොස් බුදුගෙය, බෝධීන්වහන්සේ හා ආකාශ චෛත්‍යය වැඳපුදා ගැනීමට හැකිවේ. මෙම කළුගලින් නිමකරන ලද එක් පිය ගැට පෙළක උස සහ පළල අඩි එකහමාරක් පමණ වේ. දිග අඩි හයක් පමණ වන අතර සෑම පියගැට පෙළකම එය පූජා කළ අයගේ නම සඳහන් වේ. මෙම ගල් පියගැට පෙළ අවසානයේ ඇත්තේ ඝණ්ඨාර කුලුන ය. එයින් ඇතුල්වන අපට දැකගත හැකිවන්නේ කටාරම් කොටන ලද ගල්ලෙනක ඉදිවූ බුද්ධ මාලිගාවය. එහි ඇත්තේ සැතපෙන බුදුපිළිම වහන්සේය. බුදු මැදුරෙන් දකුණුපස ඉහළින් ඇත්තේ බෝධියයි. විහාර භූමියේ ඉහළින්ම පිහිටා ඇත්තේ මෙම බෝධින් වහන්සේ වේ. සංඝාවාසයේ සිට අඩි සියයක් පමණ උසකින් මෙය පිහිටියේය. බුදුමැදුරින් වම් පසට ගියවිට අපට හමුවන්නේ ආකාශ චෛත්‍යයට පිවිසෙන මාර්ගයයි. මෙම මාර්ගයෙන් ධර්මශාලාවට ද පිවිසීමට හැකිවේ. ආකාශ චෛත්‍යයට පිවිසෙන්නට වන්නේ පාලමක් මතිනි. මෙම පාලම අඩි පනහක් පමණ උසකින් යුක්තය. චෛත්‍යය සාදා ඇත්තේ අඩි පනහක් පමණ උසින් යුක්ත තනි ගල් කුළක් මතය. විහාර භූමියේ අති දර්ශනීය පෙදෙස වන්නේද චෛත්‍ය මළුව ප්‍රදේශයයි.

වලිමිණිකන්ද පුරාණ රජමහා විහාරාධිපති අලුත්වැවේ විමලසාර නාහිමියන් අදහස් දක්වමින් “

“මෙම විහාරස්ථානය ආරම්භ කළේ වළගම්බා රජතුමා . කහටගහ පතල හිමිවෙලා තිබුණේ සර් ජෝන් කොතලාවල මැතිතුමාට. එතුමා මෙම විහාරස්ථානය අද තිබෙන තත්වයට ගෙන ඒමට මූලිකත්වය ගෙන ක්‍රියා කළා. එතුමා පසුව මේ රටේ අගමැති තනතුරටත් පත්වුනා. ඉස්සර කැලෑමුල්ල ගමට එන්න පාරක් තිබුණෙ නැහැ. අඩිපාරවල් තමයි තිබ්බෙ . කුරුණෑගල මාතලේ පාර තිබුණ. පුද්ගලික බස් විතරයි ඉස්සර තිබුණේ. කහටගහපතලෙ හිටපු අලිය තමයි පන්සල හදන්න සිමෙන්ති පීප්ප (බැරල්) ගෙනාවෙ. දායකයො පතලෙ ඉඳන් හැතැක්ම තුනක් විතර උලු අරගෙන ආවෙ වහල සෙවිලි කරන්න. පිට පළාත්වලින් පතලෙ වැඩට ඇවිත් හිටපු බාසුන්නැහැලා තමයි පන්සල හැදුවේ. ඔවුන් මේ ප්‍රදේශවලින් විවාහ වෙලා මෙහි පදිංචි උනා. 1971 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගෙ කාලෙ පතල් රජයට පවර ගත්ත. ඊට පස්සෙ මිනිස්සුන්ගෙ ජන ජීවිතය ඉහළ නැංවුනා. දැන් මේ වලිමිණිකන්දට එන්න පාරක් ලැබුණෙ වසර පහළොවකට පමණ පෙරයි. දැන් නම් මේ ප්‍රදේශවල පාරවල් කාපට් වෙලා. මාර්ග පහසුකම් දියුණු වෙලා. ඒ වගේම ජනතාවගේ ආධ්‍යාත්මික පැත්තත් දියුණු කළොත් රට සංවර්ධනයට විශාල පිටුවහලක් වේවි කියා මා සිතනව. ඒ සඳහා අප කැපවී කටයුතු කරනව. මෙවර අපගේ විහාරස්ථානයේ කඨින පින්කම ඉතා උසස්ව පැවැත්වීමට කටයුතු කර තිබුණා යැයිද පැවසූහ.

 

උඳුවප් පුර අටවක පෝය

උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් මස 09 වැනි දා සඳුදා පූර්ව භාග 09.26 ට ලබයි. 10 වැනිදා අඟහරුවාදා පූර්ව භාග 08.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 09 වැනි දා සඳුදා ය.
මීළඟ පෝය
දෙසැම්බර් 16 වැනිදා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 09

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 16

Second Quarterඅව අටවක

දෙසැම්බර් 25

New Moonඅමාවක

ජනවාරි 01


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk