UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කුඩාම කාලයේදීත් මගේ අදහස තිබුණේ පැවිදි වන්නයි

අග්ග මහා පණ්ඩිත වැලිගම ඤාණරතන මහා නා හිමියෝ පවසති

සියක් ආයු විඳි යතිවර උදානය
මා පුංචි කාලයේ දී අපේ අම්මගේ කම්බායක්, සිවුරක් විදියට පොරවාගෙන බණ කියන විදියට අම්මා ඉදිරිපිට බණ කිව්වා. කුඩා කාලයේ දී සෙල්ලම් නොකළා නොවෙයි. නමුත් සෙල්ලමක් හැටියටත් කළේත් පින්කමක්, ශිලාචාර විදියට අප හැදුණ කුඩා කාලයේ දී බලු කපුටු දාන දෙනවා. පහන් පින්කම් කරනවා


ධර්මානුධර්ම ප්‍රතිපන්න සංඝභෝභන ගුණයන්ගෙන් හෙබි සංඝ පීතෘන් වහන්සේ නමකි රත්මලානේ මල්ලිකාරාමාධිපති අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහා නිකායේ මහානායක ශ්‍රී සුමංගල විද්‍යාවතංශ, ශ්‍රී වජිරඤාණ ධර්ම කීර්ති ශ්‍රී රාජකීය පණ්ඩිත අග්ග මහා පණ්ඩිත වැලිගම ඤාණරතන මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. වැලිගම ඤාණරතන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙම මස 14 වන දා සිය දිවි ගමනේ සියක් වසර සපුරති.

උන්වහන්සේ සමඟ යෙදුනු කෙටි පිළිසඳරක දී උන්වහන්සේ පැවැසුවේ තමන් වහන්සේගේ ජීවිතය ගැන ආපසු හැරී බලන විට නිරහංකාර සතුටක් ඇති වන බවයි. සියක් ආයු ගෙවන උන්වහන්සේට දිගාසිරි පතමින් එම කෙටි පිළිසඳර පිළිබඳ සටහනක් මෙසේ තබමු.

පවුලේ තොරතුරු

අපේ පවුලේ සහෝදරයෝ හය දෙනයි. සහෝදරියෝ හතර දෙනයි. පොඩිකාලයේ දී එක අක්ක කෙනෙක් මියගොස් තිබෙනවා. පවුලේ බාලයා මම. අප නිතර ආ ගිය පන්සල වැලිගම අග්‍රබෝධි විහාරයයි.

අපේ සීයා කෙනෙක් අපේ වත්තේ බෝධියක් රෝපණය කරලා තිබුණා. පුරුද්දක් ලෙස පන්සල ඇසුරු කළා. පුංචි අප එකතුවී ඒ බෝධීන් වහන්සේ වටා ඉඳගෙන පින්කම් කළා.

මා පුංචි කාලයේ දී අපේ අම්මගේ කම්බායක්, සිවුරක් විදියට පොරවාගෙන බණ කියන විදියට අම්මා ඉදිරිපිට බණ කිව්වා. කුඩා කාලයේ දී සෙල්ලම් නොකළා නොවෙයි. නමුත් සෙල්ලමක් හැටියටත් කළේත් පින්කමක්, ශිලාචාර විදියට අප හැදුණ කුඩා කාලයේ දී බලු කපුටු දාන දෙනවා. පහන් පින්කම් කරනවා.

මා වැලිගම සිද්ධාර්ථ විදුහලේ ඉගෙන ගත්තේ, ඉතින් ඒ කාලයේ ඒ පාසලේ ළමයි 800 ක් විතර ඉගෙනුම ලැබුවා. ස්කෝලයට ගියත් ටිකක් අකැමැතියි.

අපේ කුඩා කාලය ගැන දැන් මතක් වන විටත් නිතරම පුදුම සන්තෝෂයක් ඇති වෙනවා. කඨින පින්කමක්, පෙරහරක් තියෙනවා නම් කොහොම හරි අම්මත් සමඟ ඊට සහභාගි වෙනවා.

අපේ අප්පොච්චි අප කුඩා කාලයේ දී මට මතකයි පාන්දරින් අවදිවෙලා ළිඳ ළඟට ගිහින් මුහුණකට සෝදාගෙන මිදුල් අතුගාල බෝධීන් වහන්සේ ළඟට ගිහින් දිනපතා වඳිනවා. බොහොම ධාර්මිකව ජීවත් වුණා.

පැවිදිවීමේ අදහස

පුංචිම කාලයේ ඉඳල මගේ අදහස තිබුණේ මහණ වෙන්නයි. වයස අවුරුදු එකොළහ පහුවෙන කොට මහණ වුණා. අහංගම විමලසාර ලොකු හාමුදුරුවන් වහන්සේගේ ගෝලයෙක් හැටියට මහණ වුණේ. මහණ වෙලා ටික දවසක් ගතවන කොට පණ්ඩිත අහංගම පඤ්ඤාලෝක හාමුදුරුවෝ පණ්ඩිත උපාධිය සමත්වෙලා අහංගමට වඩින වෙලාවෙ විශාල පිළිගැනීමේ උත්සවයක් පවත්වල උන්වහන්සේ පිළිගත් උත්සවය ගැන මට තවම මතකයි.

අධ්‍යාපනය ලැබීම

විද්‍යෝදය පිරිවෙනට යන කාලයේ දී දෙහිවල කරගම්පිටියේ සුබෝධාරාමයේ නේවාසිකව ඉඳගෙනයි පිරිවෙනට ගියේ. දෙහිවල ඉඳල පිරිවෙනට මරදාන දක්වා කෝච්චියෙන් ගියේ. අපේ පන්තිභාර ආචාර්යවරයා කළුකොඳයාවේ පඤ්ඤාසේකර මහානායක හාමුදුරුවෝ. ඒ කාලයේ හම්මලව සද්ධාතිස්ස නායක හාමුදුරුවෝ, අකුරැටියේ අමරවංශ නායක හාමුදුරුවෝ, හඟුරන්කෙත විමල හාමුදුරුවෝ ඇතුළු එකසිය ගණනක් අපේ පන්තියේ ඉගෙන ගත්තා.

යුද්ධ කාලයේ දී මොරවක, දෙනියාය ආදී ඈත පළාත්වලට ගිහින් පන්සල්වල ධර්ම දේශනා කළා.


මහා නා හිමියන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් ඉකුත් වසරේ දී ආශීර්වාද කළ ජනාධිපතිතුමාට ආශිර්වාද පතමින්...

කරගම්පිටියේ සුබෝධාරාමයෙන් පසුව පැළෑණේ වජිරඤාණ මහානායක හාමුදුරුවන්ගේ ඉල්ලීම පරිදි බම්බලපිටියේ වජිරාරාමයේ නේවාසික වුණා. මා සමඟ පැළෑණේ මහා නායක හාමුදුරුවෝ හරිම හිතවත්. උදේ දානය වැළඳුවට පස්සේ උන්වහන්සේට උදේ පත්තරේ කියවන්න ඕන. ඒ කාලයේ දී ‘දිණමිණ’ පත්තරේ උන්වහන්සේට උදේට කියෙව්වේ මමයි. පැළෑණේ මහානායක හාමුදුරුවෝ මට කතා කළේ. ‘වැලිගම’ කියල.

මල්ලිකාරාමය ආරම්භ කර ඩී.ජේ. කොඩිතුවක්කු හේවා මල්ලිකා රාළහාමි කාමර දෙකක් හදල පූජා කළා. පසුව ක්‍රමයෙන් අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් වුණා.

මා කොතන හිටියත්, පොතක් පතක් බලාගෙන හිටියා. පොත් පත් ලිව්වා. කවදාවත් චෝදනා ලබල නෑ.

මගේ ජීවිතය ගැන හිතන කොට මට හරිම සතුටුයි. චෝදනා විරහිතව අහිංසකව ජීවත් වුණා. කියල සතුටු වෙනවා. ගුවන් විදුලියෙන් මගේ බණ අහපු බොහෝ දෙනා සතුටු වෙලා මට ලිපි මගිනුත් ප්‍රශංසා කරල එව්වා.

තමන්ගේ ඇවතුම් පැවතුම් හොඳ වීමත්, සංසාරයේ හොඳ ජීවිතයක් ගත කිරීමත් දිගාසිරි ලැබීමට හේතු වෙනවා යැයි මහ නා හිමියෝ පැවැසූහ.

1913 ඔක්තෝම්බර් 14 වන දා වැලිගම වල්ලිවෙල දෙණියෙගෙදරදී කටුකුරුන්දේ වෙල්ලාලගේ ඕදිරිස් ද සිල්වා සහ කොග්ගල වෙල්ලාලගේ බබුන්හාමි දම්පතීන්ගේ පුත් රුවනක් ලෙස උපත ලැබීය.

වැලිගම සිද්ධාර්ථ විද්‍යාලයෙන් නිසි වයසේ දී මූලික අධ්‍යාපනය ලබා 1925 නොවැම්බර් 30 වන දා අහංගම එළුකැටියේ බිම්බාරාමයේ දී අහංගම විමලසාර මාහිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි බිමට පත්විය.

රාජකීය පණ්ඩිත අහංගම ශ්‍රී ප්‍රඥාලෝක නාහිමියන් වෙතින් මූලික අධ්‍යාපනය ලැබූ වැලිගම ඤාණරතන හාමුදුරුවෝ කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනින් අධ්‍යාපනය ලැබූහ. එහිදී වැලිවිටියේ ශ්‍රී සෝරත නා හිමි, කහවේ ශ්‍රී රතනසාර නා හිමි, බද්දේගම ශ්‍රී පියරතන නා හිමි, කළුකොඳයා ශ්‍රී ප්‍රඥාසේකර මහ නා හිමි ආදී වියත් මහ සඟරුවන යටතෙහි අධ්‍යාපනය ලබමින් විද්‍යොදය පිරිවෙනෙහි දීප්තිමත් ශිෂ්‍යයකු වශයෙන් ත්‍යාග සහිතව රාජකීය පණ්ඩිත උපාධිය ලැබූහ.


පසුගිය වසරේ ජන්ම දිනය දා...

1933 ජූනි 09 වන දා පැළෑණේ ගංගාරාමාසන්න පොල්වතු නදී සීමාවේ දී අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහා නිකායේ මහානායක බම්බලපිටියේ වජිරාරාමාධිපතිව වැඩ විසූ පැළෑණේ සිරි වජිරඤාණ මහා නාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් උපසම්පදාව ලැබූහ. 1951 දී සීමා සම්මත හා උපසම්පදා විනය කර්මය සඳහා නේපාලයට උන්වහන්සේ වැඩම කළහ.

1954 දී බුරුමයේ පැවැති ජට්ඨ සංගායනාවේ දී සංයුක්ත නිකායේ කොටසක් ශුද්ධ කිරීමේ කමිටු සාමාජිකයකු ලෙස කටයුතු කළ වැලිගම ඤාණරතන හාමුදුරුවෝ 1956 දී අමරපුර ශ්‍රී ධර්මක්‍ෂිත නිකායේ සමලේකම් ධුරයට පත්ව එහි වසර 25 ක් පමණ සේවය කළහ.

බුද්ධ භූමි වන්දනාවට 1956 දී වැඩම කළ අතර බැංගලෝර්හි සීමා සම්මතයට ද සහභාගි වී නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැති 2500 බුද්ධ ජයන්ති උළෙලට ද සහභාගි වූහ.

ඩී.ජේ. කොඩිතුවක්කු හේවා මල්ලිකා මහතා විසින් 1959 නොවැම්බර් 14 වනදා එවකට පර්චස් 30 කින් සමන්විත භූමි භාගයෙහි මල්ලිකාරාමය අරඹා පූජා කරන ලදී.

1960 ජනවාරි 24 වන දා මල්ලිකාරාම කාර්ය සාධක සමිතියද, 1961 ජනවාරි 01 වන දා ගාමණි මාතා තරුණ බෞද්ධ සමිතිය ද ජනවාරි 07 වන දා සිරි විදුරුණැන දහම් පාසල ද 1961 ඔක්තෝබර් මාසයේ දී මල්ලිකාරාමස්ථ විශාඛා කුළඟන සමිතිය ද ආරම්භ කළහ.

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ ආචාර්යවරයකු වශයෙන් 1960 සිට වසර 08 ක් පුරා කටයුතු කළ වැලිගම ඤාණරතන හාමුදුරුවෝ මහරගම සිරි පඤ්ඤානන්ද පිරිවෙනෙහි පරිවෙනාධිපති ධුරයද දැරූහ.

1968 ජූලි 09 වන දා කළුකොඳයාවේ සිරි පඤ්ඤාසේකර මහානායක ස්වාමීන්ද්‍ර වහන්සේගේ සහ මඩිගේ පඤඤාසීහ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මල්ලිකාරාමස්ථ ශ්‍රී ධර්මරක්‍ෂිත ත්‍රිපිටක ධර්මායතනය ආරම්භ කළේ ය.

1974 දෙසැම්බර් 29 වන දා ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සම ලේකම් ධුරයට ද පත්ව උන්වහන්සේ ‘විනය විශාරද ධර්ම කීර්ති ශ්‍රී’ යන ගෞරව නාමයෙන් පිදුම් ලබා ඒ පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානෝත්සවය රත්මලානේ මල්ලිකාරාමයේ දී 1990 ජූලි 28 වන දා ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

1996 අගෝස්තු 30 වන දා මාතර පඹුරණ ශ්‍රී වාලුකාරාමයේ දී අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහා නිකායේ අනුනායක පදවිය පිරිනැමූ අතර ඒ පිළිබඳ අක්ත පත්‍ර ප්‍රදානය මඩිහේ පඤ්ඤාසීහ මහා නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් 1996 නොවැම්බර් 30 වන දා රත්මලාන මල්ලිකාරාමයේ දි පැවැත්විණි. ථෙරවාදී සම්ප්‍රදායානුකූලව පෙළ අටුවා ටිකා අනුසාරයෙන් ධර්ම දේශනා පවත්වන ලද මෙරට වැඩ සිටින විචිත්‍ර ධර්ම කථිකයන් වහන්සේ නමකි.ධර්ම විනයධර මහා යතීන්ද්‍රයන් වහන්සේ නමක් වන අග්ගමහා පණ්ඩිත වැලිගම ඤාණරතන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ‘කුදුසික විවරණය’ ඇතුළු ලොකු කුඩා ධර්ම ග්‍රන්ථ සියයකට අධික ප්‍රමාණයක් ලියා පළ කර ඇත.

අනුරාධපුර බුද්ධ ශ්‍රාවක විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ සාමාජික ධුරයකින් ද, බෞද්ධ තොරතුරු අධීක්‍ෂණය හා කාර්ය සාධක මණ්ඩලයේ සාමාජික ධුරයකින්ද බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ත්‍රිපිටක සම්පාදක මණ්ඩලයේ සූත්‍ර ලිහිල් බසින් ලිවීමේ කමිටුවේ සාමාජික ධුරයකින් ද ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ උපදේශක මණ්ඩලයේ සාමාජික ධූරයකින් ද ප්‍රාචීන භාෂෝපකාර සමිතියේ කාරක සභික ධුරයකින් ද වැලිගම ඤාණරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ පිදුම් ලැබූහ.

අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහා නිකායේ මහානායක ධුරන්දරව වැඩ විසූ අග්ගමහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීමෙන් පසු රාජකීය පණ්ඩිත වැලිගම ඤාණරතන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත නිකායේ මහා නායක ධුරයෙන් පිදුම් ලැබූහ.

වැලිගම ඤාණරතන මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මියන්මාර් (බුරුම) රාජ්‍යයෙන් අග්ග මහා පණ්ඩිත උපාධියෙන් ද පිදුම් ලැබූහ.

සිය වස සපුරන වැලිගම ශ්‍රී ඤාණරතන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට දිගාසිරි පතා රත්මලාන මල්ලිකාරාමයේ දී මෙම මස 13 සහ 14 යන දිනවලදී පින්කම් මාලාවක් පැවැත්වේ. ලෝ සසුන් වැඩ වඩන්නට තෙරුවන් බලයෙන් උන්වහන්සේට තවතවත් ධෛර්යය ලැබේවා.

 

වප් පුර අටවක පෝය

වප් පුර අටවක පෝය ඔක්තෝබර් මස 11 වෙනිදා සිකුරාදා අපරභාග 05. 40ට ලබයි.
12 වෙනිදා සෙනසුරාදා අපරභාග 03. 28 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 11 වෙනිදා සිකුරාදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් මස 18 වෙනිදා සිකුරාදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 11

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 18

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 26

New Moonඅමාවක

නොවැම්බර් 03


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]