පුනරුප්පත්ති
ලිපි මාලාව - 34
පුෂ්ප
ඡත්‍රයක් පිදීමේ පින
චුල්ලපන්ථක
ථෙරාපදානය
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ හිටපු
කථිකාචාර්ය
අස්ගිරි මහාවිහාර පිරිවෙනෙහි ආචාර්ය
ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත
මහරැඹෑවැවේ පාලිත හිමි
පසුගියදා අපගේ සාකච්ඡාවට බඳුන් වූයේ ගෞතම බුදුසසුනෙහි අග්‍ර උපස්ථායක,
ධර්ම භාණ්ඩාගාරික හා ස්මෘතිධාරි භික්‍ෂූන් අතර අගතැන්පත් ආනන්ද මහරහතන්
වහන්සේගේ චරිතාපදානයයි. මෙවර අපගේ සාකච්ඡාවට බඳුන් වනුයේ මනෝමය
ශරීරයෙන් නිර්මාණය කිරීමෙහි අග්‍ර වූ චුල්ලපන්ථක මහරහත් චරිතාපදානයයි.
උන්වහන්සේ ගෞතම බුදු සසුනෙහි රහත්ව මෙම තනතුර ලැබීමට හේතු වී ඇත්තේ
පදුමුත්තර සම්බුදුරජාණන් වහන්සේට මල් කුඩයක් පිදීමයි. එම කතා
ප්‍රවෘත්තිය මෙසේ ය.
එකල්හි පූජාවන් පිළිගන්නාවූ හෙවත් පූජාවනට ගෘහයක් බඳු වූ ඒ පදුමුත්තර
නම් බුදුරජාණන් වහන්සේ ගණ සමූහයා කෙරෙන් වෙන්වූයේ හිමවතෙහි විසූ සේක.
එකල්හි මම හිමවතෙහි අසපුවක වෙසෙමි. පැමිණි නොබෝ කල් ඇති, ලෝක නායකවූ,
මහා වීර බුදුරජාණන් වහන්සේ වෙත එළඹියෙමි.
මල් කුඩයක් ගෙන නර ශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත එළඹියෙමි. මම සමාධියට සමවත්
උන්වහන්සේගේ සමාධියට අනතුරක් නොකෙළෙමි. මම දෑතින් ගෙන මල් සැත දුනිමි.
උන්වහන්සේ එය පිළිගත් සේක. සතුටු වූ ඒ සියලු දෙවිවරු හිමවතට එළඹෙත්,
පසැස් ඇති බුදුරජාණන් වහන්සේ අනුමෝදනා කරන්නේ යැයි සාධුකාර පැවැත්වූහ.
ඒ දෙවිවරු මෙය කියා අහසෙහි මාගේ පියුම් සැත දරන්නාවූ උතුම් වූ නර
ශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත එළඹියාහු ය.
මේ තවුස් තෙමෙ පියුම් සැතක් ගෙන මට දුන්නේ ය. ඔහු පිළිබඳව මම කරුණු
ප්‍රකාශ කරමි. එසේ කියන්නාවූ මාගේ වචනය අසන්න මෙතෙම පස් විසි වසරක්
දිව්‍ය රාජ්‍යය කරන්නේය. සූතිස් වරක් සක්විති රජද වන්නේ ය. මෙතෙම
දිව්‍ය වූ හෝ, මනුෂ්‍යවූ හෝ, යම් යම් යෝනියක සැරිසරාද, අභ්‍යවකාශයෙහි
(එළිමනෙහි) හුන්නේ පියුමක් කුඩයක් මෙන් දරන්නේ ය. කල්ප ලක්‍ෂයකින්
මතුයෙහි ඔක්කාක නම් කුලයෙහි උපදින්නාවූ, නමින් ගෞතම නම් වූ, ශාස්තෘන්
වහන්සේ ලොව පහළවන සේක. උන්වහන්සේ පිටකත්‍රය ධර්මය දෙසූ කල්හි හෙතෙම
මිනිසත් බව ලබන්නේ ය. මනෝමය වූ ශරීර නිර්මාණයෙහි අග්‍ර ද වන්නේ ය.
සොහොයුරන් දෙදෙනෙක් වන්නාහුය. දෙදෙනම පත්ථක නම් වන්නාහුය. උත්තමාර්ථය
වූ නිවන ප්‍රතිවේධ කොට සසුන බබුළු වන්නාහු ය.
ඒ මම අටළොස් වියැත්තේ, අනගාරිය නම් ශාසනයෙහි පැවිදි වුණෙමි. මම ශාක්‍ය
පුත්‍ර වූ බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි විශේෂයක් ධර්මාවබෝධය
නොලද්දෙමි. මාගේ ගතිය (ස්වභාවය) අන්ධ - මෝඩ විය. පෙර දුකින් මඩනා ලද්දේ
විය. දැන් ස්වකීය ගෘහයට යවයි කියා මාගේ සොහොයුරාද මා පන්නා දැමිය,
පන්නා හරින ලද ඒ මම සඟරම දොරටුවෙහි නැවතී දොම්නස් වූයේ, පැවිදි බවෙහි
බලාපොරොත්තු සහිතවූයේ, එහී සිටියෙමි. ඉක්බිති මාගේ ශාස්තෘන් වහන්සේ එහි
පැමිණියහ. මාගේ හිස පිරිමැද්දේය. මාගේ අතින් අල්ලාගෙන සංඝාරාමයට ඇතුළු
කරවීය. පිරිසුදු මෙය ගෙන පිරිමදිමින් එක්ත්පසෙක හිඳ මනාකොට ඉටුවවයි
(සිහි කරවයි) කියා මට අනුකම්පාවෙන් ශාස්තෘන් වහන්සේ මට රෙදි කඩක්
දුන්නේ ය.
මම එම රෙදිකඩ දෝතින් ගෙන පියුම සිහි කෙළෙමි. එහි (පියුමෙහි) මාගේ සිත
නැවතී කෙලෙස් වලින් මිදුණේ ය. රහත්බවට පැමිණියේ ය. සියලු තන්හි මනෝමය
ශරීරයෙන් නිර්මිත කිරීමෙහි පරතෙරට පැමිණියේ, සියලු ආශ්‍රවයන්
ප්‍රහාණපරිඥ වශයෙන් දැන දුරුකළේ, ආශ්‍රව රහිතව (රහත්ව) වෙසෙමි. මේ සිවි
පිළිසිඹියාවෝ ද, අෂ්ට විමොක්‍ෂයෝ ද, ෂඩ්අභිඥාවෝ ද සාක්‍ෂාත් කරන ලදිමි.
බුදුරජාණන් වහන්සේගේ සසුන ද කරන ලදිමි. මේ මගේ අන්තිම ඉපදීමයි. මෙයින්
මතු ඉපදීමක් නැත.
සටහන: බණ්ඩාර පිළවල
පුනරුප්පත්ති ලිපි මාලාව - 33 සේසත් දැරීමේ අනුසස් ආනන්ද ථෙරාපදානය |