බිනර පුර අටවක 2013 සැප්තැම්බර් 12 වන දා
මව් පිය රැකවරණය
මේ ලෝකයේ වාසය කරන සෑම මව්පිය කෙනෙකුටම ඇති උතුම් ම වස්තුව නම්
තම දරුවන් වේ.
එය සෑම සත්වයන් අතරම පවතින පොදු ධර්මතාවයක් ද වේ.
තම කුසින් බිහි කරන ආදරණීය දරුවන් තම නෙත් දෙක මෙන්, සුරැකීමට
දයාබර මෑණියන් පසුබට නොවන්නීය. එමෙන් ම සිය දරුවන් හදා වඩා
පෝෂණය කිරීමට හැම විට පියාණන් දරනුයේ අප්‍රමාණ වෙහෙස
මහන්සියකි.
මව් පිය සෙනෙහස තරම් අන් සෙනෙහසක් දරුවන්ට තවත් නොමැත.
උපදින හැම සත්වයා ම මරණය වෙත ළඟාවීම පොදු ධර්මතාවයකි. එහෙත්
උපදින ඒ හැම සත්වයා ම මරණය හමුවේ පවා මොහොතක් හෝ ජීවත්වීමට
උත්සාහ කරති.
මරණය නමැති හැමට සාධාරණ වූ පොදු ධර්මතාවය රැගෙන එන්නේ උපතත්
සමගය. එහෙත් එම ධර්මතාවයට අකාලයේ මුහුණදීමට සිදුවීමෙන් හෙවත්
නොසිතූ අවස්ථාවකට පත්වීමෙන් ජීවත්වන ඤාති මිත්‍රාදීන් වෙත
උදාකරනුයේ මහත් වේදනාවකි.
මනුෂ්‍යයා මෙ ලොවට බිහිවන මොහොතේ රැගෙන එන කර්ම ශක්තිය
ලෙහෙසියෙන් හෝ පහසුවෙන් වෙනස් කළ හැකි ද නොවේ. එහෙත් සියල්ල
කර්මය යැයි සිතා කටයුතු කළ යුතු නොවේ. ඇතැම් කර්ම ක්‍රියාවෙන්
වෙනස් කළ හැකි වේ.
මව්පියවරු ස්වකීය දරුවන් හදා වඩා ඇති දැඩි කරනුයේ අනන්ත
අප්‍රමාණ පැතුම් සමුදායක් ද ඒකරාශි කර ගෙන ය.
එහෙත් අවාසනාවකට මෙන් කලාතුරකින් හෝ මව්පියවරුන්ගේ අතපසුවීමෙන්
නැතහොත් වැඩිදුර සිතා නොබැලීමෙන් ඇතැම් කුඩා දරුවකුට ජීවිතයෙන්
සමු ගැනීමට සිදුවුවහොත් එය කෙතරම් අවාසනාවක් වේද?
කුඩා දරුවන් හැම විට නිදහස අගයති. විනෝදයට, ක්‍රීඩාවට,
නැඹුරුවෙති. එහෙත් දරුවන්ට අවශ්‍ය ඒ නිදහස අනවශ්‍ය ලෙස යොදා
ගැනීමට ඉඩ සැලසුනහොත් ඇතැම් විට දරුවාගේ ජීවිතය පවා අහිමිවීමට
ඉඩ ඇත.
ඇතැම් විට ඇළේ, දොළේ, ගඟේ, මුහුදේ දිය නෑමට ගිය දරුවන් නැවත පණ
පිටින් නො පැමිණෙන විට ඒ දරුවන් අයිති මව්පියන්ට දරා ගත නොහැකි
වේදනාවක් උරුම වේ.
දරුවා විනෝදයෙන් පසුවනවා යැයි සිතමින් ඇතැම් මව්පියවරු
කලාතුරකින් හෝ ඒ දරුවා ගැන සොයා බැලීමට වඩා තම තමන්ගේ කටයුතු
වල නිරතවීම නිසා ද දරුවන් අහිමි වන අවස්ථා නැතුවා නොවේ.
කුඩා දරුවකු නිවසේ රැඳී සිටියදී වුව ද මොහොතක් පාසා ඒ දරුවා
පිළිබඳ විමසිල්ලෙන් පසුවීම මව්පිය වගකීම නොවේද? පාසලට ගිය
දරුවා නැවත නිවසට පැමිණෙන තෙක් විමසිලිමත්වීම මව්පිය වගකීම බව
කල්පනා කළ යුතුය.
ඇතැම් විට මහ මග බීමතින් රිය පදවන කලාතුරකින් හෝ රියැදුරන්
විසින් පාසල් යන දරුවන්ගේ ජීවිත අහිමි කළ අවස්ථා ද නැතුවා
නොවේ.
පාසල් යන දරුවන් ද තමන් වෙත පැමිණෙන රිය අනතුරු ගැන නිතර
සිහියෙන් පසුවිය යුතුය.
විමසිල්ලෙන් හා සැලකිලිමත් වීමෙන් පසුවන්නේ නම් කුඩා දරුවන්
වෙත පැමිණෙන අනතුරුවලින් දරුවා මුදා ගැනීමට මව්පියවරුන් වෙත
හැකියාව ලැබේ.
දරුවා කෙරෙහි අවධානයෙන්ම පසුවිය යුත්තේ මව්පිය වැඩිහිටියන් ම
ය.
රිය පැදවීමකින් සිදුවන අනතුරකදී නීතිය මගින් අදාළ රියැදුරු වෙත
නිසි දඬුවම් ලැබෙනු ඇත. වරදට දඬුවම රියැදුරු තැන වෙත ලැබුණ ද
දරුවකුගේ ජීවිතයක් රිය අනතුරකින් අහිමි වුවහොත් මව්පියවරුන්
වෙත නැවත ඒ දරු සම්පත නොලැබීමෙන් අදාළ මව්පියවරු, වැඩිහිටියන්
විඳින වේදනාවෙන් නිදහස් විය හැකි නොවේ.
දරුවන් කෙරෙහි සමාජයේ බොහෝ පිරිසක් වෙසෙස් අවධානය යොමු කළ ද,
ඇතැම් විට කලාතුරකින් හෝ ස්වකීය දරුවන් කෙරෙහි එතරම් ඇල්මක්
නොදක්වන මව්පියවරුන්ගේ නොසැලකිලිමත්වීම නිසා ම දරුවන් අහිමි වන
බව පෙනෙන්නට ඇත.
කවර කටයුතු අධික වුවද ස්වකීය දරුවන් පිළිබඳ විමසිල්ලෙන් ම
පසුවීම මව්පියවරුන් සතු වගකීම වේ. එසේ සිය වගකීම නිසි අයුරින්
ඉටු කරන්නේ නම් කුඩා දරුවන් අකාලයේ ඈත්වීම සිදු නොවනු ඇත.
කෑම බීම, ඇඳුම්, පැළඳුම් පමණක් නොව දරුවාට අත්‍යවශ්‍ය රැකවරණය
සැලසීමද මව්පියවරුන් සතු වගකීමකි. එම වගකීම නිසි අයුරෙන්
ඉටුනොකළහොත් එමගින් සිදුවන හානිය කිසි කලෙක පිරිමැසිය නොහැකි
පාඩුවක් වනු ඇත.
දරුවකුට අවශ්‍ය විවේකය, විනෝදය , ක්‍රීඩාව ලබාදීම මෙන්ම
අත්‍යවශ්‍ය රැකවරණ සැලසීමට ඉතා බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුය.
දරුවකුගේ ජීවිතය රැක ගැනීමේ වගකීම සතු මව්පිය දෙපළ කිසිවිටෙකත්
සිය වගකීම අමතක කළ යුතු නොවේ. පැහැර හැරියයුතු නොවේ.
දරුවා මෙලොවට බිහිකිරීම මෙන්ම ආහාර පානාදියෙන්ද, ඇඳුම්,
පැළදුම් ආදියෙන්ද අවශ්‍ය අනෙකුත් පහසුකම් ද, නිසි අධ්‍යාපනය ද
ලබාදීමත් මේ සියල්ල සමග දරුවාගේ ජීවිත රැකවරණයත් සැලසීම මව්පිය
වගකීම වේ. |