පොද්දල්ගොඩ චන්දානන්ද නා හිමි
මහනුවර දිස්ත්‍රික්කයේ පොද්දල්ගොඩ ග්‍රාමවරයේ, පොද්දල්ගොඩ ඒකනායක
මුදියන්සේලාගේ කිරිවනාවේ ගෙදර රම්බණ්ඩාර නිලමෙතුමාට සහ පොද්දල්ගොඩ
ඒකනායක මුදියන්සේලාගේ මුතු මැණිකේ මාතාව මව්පියන්කොට 1930 ජනවාරි මස 28
වැනි දින පින්වත් කුමරෙකු ජන්ම ලාභය ලැබීය. ඒ කුමරා උඩිස්පත්තුව
ප්‍රාථමික විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලැබීය. අනතුරුව පොද්දල්ගොඩ පුරාණ
විහාරය සහ උකුවෙල බෝවත්තේ පුරාණ විහාරය යන උභය විහාරාධිපති අපවත්වී
වදාළ මාතලේ ප්‍රධාන සංඝනායක අලුත්ගම ශ්‍රී සරණංකර නාහිමිපාණන්ට භාර දෙන
ලදී.
කෙටි කලකින්ම සාමණේර බණදහම් පොත ප්‍රගුණ කළ හෙයින් අළුත්ගම ශ්‍රී
සරණංකර හිමිපාණන් වහන්සේ සහ අළුත්ගම ධම්මානන්ද හිමිපාණන් වහන්සේගේ ද
ආචාර්යත්වයෙන් 1941 ඔක්තෝබර් මස 10 වෙනි දින උකුවෙල, බෝවත්තේ පුරාණ
විහාරස්ථානයේ දී පැවිදි දිවියට ඇතුළු වූයේ පොද්දල්ගොඩ චන්දානන්ද හිමි
නමිනි. බෝවත්තේ ශ්‍රී ගුණරතනාභිධාන නාහිමිපාණන්ගේ සහ උඩුරාවණ
ත්‍රිපිඨකාචාර්ය සිරිපියරතන හිමියන්ගේ ආචාර්යත්වයෙන් 1952 ජූනි මස 09
වෙනි දින උපසම්පදාව ලැබූහ. මාතලේ ශ්‍රී ධර්මරාජ පිරිවෙණෙන් මූලික
පැවිදි අධ්‍යාපනය ලබා නුගේගොඩ ශ්‍රී සුභද්‍රාරාම පිරිවෙණට ද ඇතුළත්ව
කොළඹ විද්‍යෝදය මහ පිරිවෙන් සාහිත්‍යය සංගමයෙන් ශාස්ත්‍රාචාර්ය උපාධිය
ලබාගත්හ.
සිය ගුරුදේවයන් වහන්සේගේ අපවත්වීමෙන් පසු පොද්දල්ගොඩ පුරාණ විහාරයේ හා
මාතලේ උකුවෙල බෝවත්තේ පුරාණ විහාරයේ විහාරාධිපති තනතුරට පත් වූ අතර
පොද්දල්ගොඩ විහාරස්ථානයේ පදිංචිව පොද්දල්ගොඩ ග්‍රාමය සංවර්ධනය කිරීමේ
පුරෝගාමියා වශයෙන් කටයුතු කරමින් පොද්දල්ගොඩ ග්‍රාමයේ, මාර්ග, විදුලි,
ජල ආදී සියලු අවශ්‍යතාවයන් ගම්මුන්ට සපයා දුන්හ.
ව්‍යක්ත කථිකත්වයක් තිබූ මුන් වහන්සේ ‘දුම්බර රිදී සීනුව‘ යනුවෙන් කා
අතරත් ප්‍රචලිත විය. ප්‍රදේශයේ තුන් නිකායික මහා සංඝරත්නයේ ආරාධනයෙන්
මැදදුම්බර ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී තනතුරේ නිතරඟයෙන්ම 28
අවුරුද්දක් කැපවීමෙන් ශාසනික සේවයේ යෙදී ඇත. එකල මැදදුම්බර ප්‍රදේශයේ
විශාල දහම් පාසල් සංඛ්‍යාවක් අලුතෙන් අරඹන ලදුව අදටත් ඒවා ඒ ඒ ස්ථානවල
ගමට ආලෝකයක් වෙමින් පවතී. මැදදුම්බර එක්සත් බෞද්ධ බලමණ්ඩලයේ ආරම්භක
සභාපති ද වූ. මෙම සේවාවන් පිළිබඳව සතුටට පත්වූ අස්ගිරි මහා නා
හිමිපාණන් වහන්සේ ප්‍රධාන කාරක මහා සංඝ සභාව විසින් ප්‍රදේශයේ සංඝ
සභාවේ ද ඉල්ලීම අනුව ‘සද්ධර්ම කීර්ති ශ්‍රී සරණංකර’ ගෞරව උපාධිය සහිතව
මැදදුම්බර ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියට 2002.02.18 වෙනි දින පත් කරන
ලදී.
විහාරස්ථානයේ භෞතික සංවර්ධන කටයුතු වලට අමතරව මහජන සුබසිද්ධිය සඳහා කරන
ලද කටයුතු අතර ශ්‍රී ගුණරතන දහම් පාසල ආරම්භ කිරීම, ස්කෝලමුදුනේ සිට
වටගල දක්වා මාර්ගය වාහනයක් යා හැකි පරිදි සකස් කිරීම, පොද්දල්ගොඩ
ප්‍රාථමික විදුහලේ දෙවන ශාලාව සහ ක්‍රීඩා පිටිය ඉදි කිරීම, පේෂකර්ම
ශාලාවක් ගමට ලබා ගැනීම, පොද්දල්ගොඩ ග්‍රාමයට විදුලිබලය ලබා ගැනීම,
සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ලබා ගැනීම සහ ඒ සඳහා ඉඩමක් පරිත්‍යාග කිරීම,
තෙල්දෙණිය දිස්ත්‍රික් රෝහලේ භික්‍ෂු වාට්ටුව නවීකරණය කිරීම,
පොද්දල්ගොඩ ග්‍රාමයට උප තැපැල් කාර්යාලයක් ලබා ගැනීම ආදී කටයුතු මුල්
තැනක් ගනී.
පොද්දල්ගොඩ විජිතානන්ද හිමි, නුගපිටියේ ධම්මානන්ද හිමි, පොද්දල්ගොඩ
උපනන්ද හිමි සහ මැදමහනුවර ආනන්ද හිමි යන ස්වාමීන් වහන්සේලා උන්වහන්සේගේ
ගුරු පරපුර රැකීමට ඇප කැප වී සසුන් කෙතෙහි බැබලෙමින් සිටින සිසු
හිමිවරු වෙති.
අවුරුදු අසූ තුනක් (83) ආයු වින්දනය කර 2013.08.09 වෙනි දින අපවත්වී
වදාළ සේක.
උන්වහන්සේට නිවන් සුව ලැබේවා!
එච්.එම්. ජී. රන්බණ්ඩාර
දිගතතැන්නේ ශ්‍රී සුමංගල නා හිමි
දිගතතැන්නේ ශ්‍රී සුමංගල නා හිමියන්1925 ක් වූ සැප්තැම්බර් මස 25 දින
උපත ලැබීය. හේනෙගෙදර එල්.එල්.කේ. බණ්ඩාර මහතා එච්. ජේ. එම්. බණ්ඩාර
මැණිකේ දයාබර මාතාව දෙමාපියෝ වූහ. අඹේගොඩ ශ්‍රී සංඝබෝධි මහ විදුහලෙන්
අධ්‍යාපනය ලැබීය.
1938 දී බණ්ඩාරවෙල වැවතැන්නේ ශ්‍රී සුමංගලාරාමාධිපති දිගනතැන්නේ ශ්‍රී
සුමංගල මහ නාහිමියන් වෙතින් පැවිදි බිමට පත්වූහ.
සුමංගල හිමියන් ඉඳුරුවේ කටුකෝලියේ ශ්‍රී සර්වෝදය පිරිවෙණට ද, 1947 දී
කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනට ද, ඇතුළත්ව වැලවිටියේ ශ්‍රී සෝරත,
බද්දේගම ශ්‍රී පියරතන කළුකොදයාවේ පඤ්ඤාසේකර, පළන්නෝරුවේ ශ්‍රී විමලධම්ම
ආදී මහ පඬිරුවන් යටතේ දහම් අත්පොත් තැබූහ.
1946 දී උපසපන් භූමියට ද පත්වූ උන්වහන්සේ පාලි, සංස්කෘත, අභිධර්ම
විෂයන් සමත්වූහ. 1953 දී විද්‍යෝදය අවසාන විභාගයෙන්ද සමත්වූ ශ්‍රී
සුමංගල හිමිපාණෝ ප්‍රාචීන, ප්‍රාරම්භ, මධ්‍යම, අවසාන ත්‍රිපිටකාචාර්ය
විභාග වලින්ද සමත්ව, අභිධර්ම විශාරද යන ගෞරව උපාධියත් ‘පණ්ඩිතාචාර්ය’
යන උපාධියත් ලබාගත්තේ ය.
1958 දී අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ගුරු පත්වීමක් ලබාගෙන කටයුතු කරද්දී
විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධියද සම්පූර්ණ කරමින්,
මොණරාගල, දැලිව විදුහල, බදුල්ල, මහියංගන විදුහල, බණ්ඩාරවෙල කිරිඔරුව
විදුහල, ඇට්ටැම්පිටිය විදුහල, මලිත්ත මහ විදුහල ආදී විද්‍යාස්ථානවල උප
ගුරු, උප විදුහල්පති, විදුහල්පති ශ්‍රේණිවල අධ්‍යාපන සේවාවන්හි කටයුතු
කළහ. සිය ශාසනික කටයුතු සඳහා තායිලන්තයටත්, භාරත දේශයටත්, වැඩම කළ
උන්වහන්සේ එදා තමන් වහන්සේ වැඩවාසය කළ කොන්හෙල ජයකාන්තාරාමයට අනුබද්ධව,
ඝන කැලෑවක්වැ පැවති වැවතැන්න ප්‍රදේශයේ රමණීය භූමි භාගයක ශ්‍රී
සුමංගලාරාමය ආරම්භ කළහ.
උන්වහන්සේ විසින් ආරම්භ කරන ලද ශ්‍රී ධර්මපාල දහම්පාසලේ මේ වන විට
අටසියයකට අධික දරු දැරියන් පිරිසක් අධ්‍යාපනය ලබමින් සිටිති.
ශ්‍රී සුමංගල නා හිමියන්ගෙන් සිදුවන මෙම මහා ශාසනික සේවාව අගැයූ මහනුවර
මල්වතු මහා විහාරයීය කාරක සංඝ සභාව 1978 දී විශේෂ කර්මාචාර්ය ධූරයක් ද,
1981 දී ධර්ම කීර්ති ශ්‍රී පඤ්ඤානන්ද ගෞරව නාමය ද, බදුලු
දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංඝනායක පදවියද පිරිනමා ඇත.
දහම් පොත් රාශියක් ද එළිදැක්වූ උන්වහන්සේ මේ වන විටත් ධර්ම
ග්‍රන්ථකරණයේ යෙදී සිටී. 2600 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් දේශනා කළ
දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව, එදිනම ඌව ගුවන්විදුලිය මගින් විකාශනය කළ
අතර විද්‍යුත් තැටියක් ලෙස එළිදක්වා ඇත.
බණ්ඩාරවෙල දිසාවේ විහාරාධිපති හිමිවරුන්ගේ සභාපති ධූරයද, ශාසනාරක්‍ෂක
මණ්ඩලයේ අනුශාසක ධූරයද, සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලයේ කාරක සභික
ධූරයද, හොබවති. දිගනතැන්නේ ශ්‍රී සුමංගල නාහිමියන්ට දිගාසිරි වේවා!
ඩී.එම්. සිරිනායක |